මාහිමියන්ගේ වීර ක්‍රියාව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මාහිමියන්ගේ වීර ක්‍රියාව

    වාරියපොල මාහිමියන්ගේ වීර ක්‍රියාව

    වර්ෂ 1505 සිට ම විටින් විට ශ්‍රී ලංකාව වෙනත් ජාතීන්ට යටත් වූ බව ප්‍රකට කරුණකි. වරෙක පෘතුගීසීන්ගේත් තවත් වරෙක ලන්දේසීන්ගේත්, නැවත ඉංගී‍්‍රසීන්ගේත් කුමන්ත්‍රණකාරී උපක්‍රමයන්ගේ සාර්ථකත්වය නිසා ම තමන් උපන් බිම අන්‍ය ජාතීන්ට යටත් කොට ඔවුන්ගේ වහලුන්, බවට පත්වීමට තරම් ලාංකිකයා දුබල වූයේ නො දැනුවත්ව මය. මේ තත්ත්වය උදා වූයේ අභ්‍යන්තර භේද හා ආරවුල් වියවුල් සිංහල ජාතිය තුළ ජනිත කරවීමේ අපූරු ශක්තියක් එම ජාතීන්ට උරුම වූ නිසා ම නොව ලාංකිකයාගේ අදූරදර්ශී භේදභින්නතා හේතුවෙන් පෙළගැසුණු චින්තනය මත පදනම් වූ ක්‍රියාදාමයක් අහස උසට ගොඩනැං වූ නිසා ම නොවේද? එකම ජාතිය මෙසේ ඔවුනොවු හා ගැටෙද්දී උපක්‍රමශීලීව ක්‍රියා කළ බටහිර ජාතීහු වර්ෂ 1815 දී ඇති කර ගත් තීරණාත්මක ගිවිසුම මගින් කලක් තිස්සේ ඔවුන් හදවත්හි නලියමින් පැවැති අදහස් සමුදායක් මුදුන් පත් කරගත්හ. හද පිරි සතුටින් ජය පැන් බොන්නට වූහ. මේ සිදුවීම සමස්ත වශයෙන් අන්‍ය ජාතීන් විසින් වර්ෂ 1505 දී දියත් කෙරුණු සාර්ථක ප්‍රයත්නයන්ගේ දීර්ඝකාලීන ක්‍රියාදායමයක උත්කෘෂ්ට ප්‍රතිඵලයක් නොවේද? මෙරට වැසියාම ස්වකීය මාතෘභූමියේ උරුමය අන්‍ය ජාතීන් සතුකොට දීන ජාතියක් බවට ස්ථිර වශයෙන්ම මෙතැන් සිට පත් නොවුයේ ද? මෙම සංවේගජනක ඉතිහාස කතාන්තරය තුළ අපේ කථානායක වාරියපොල ශ්‍රී සුමංගල අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මාහිමියන්ගේ උදාර ජාතික මෙහෙවර වසර 200 ක් ගත වන අද අපේ විමසීමට ලක්විය යුතු කාලය එළඹ තිබේ.
    වර්ෂ 1815 මාර්තු 02 වෙනිදාට යෙදී තිබුණේ දෙදහස් තුන්සිය සත් පනස් වසක් ස්වාධීනත්වයේ හිණි හිසට නැග ප්‍රතාපයෙන් සාමන්ත ජාතින් පවා බිය ගැන් වූ අපේ රාජ්‍යය මහනුවර මඟුල් මඩුවේ දී ගිවිසුම් පත්‍රයක් පිට එංගලන්තයේ තුන් වැනි ජෝර්ජ් මහ රජතුමාණන් වෙත පවරා දීමයි.
    1815 පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා ඉංගී‍්‍රසීන් විසින් ජීවග්‍රාහයෙන් ගනු ලැබීමත්, 1815 මාර්තු මස 02 වෙනි දා උඩරට ගිවිසුමට අත්සන් තැබීමත් අතර කාලය ගෙවී ගියේ ඉංගී‍්‍රසි සිංහල දෙපක්ෂය අතර මහත් උණුසුම් වාදවිවාද සාකච්ඡා පැවැත්වෙමින් විය යුතු යයි සිතන්නට කරුණු තිබේ. මේ අතර ගත වූ කාලය දෙසතියකට පමණ සීමා විය. උඩරට රජතුමා ජීවග්‍රාහයෙන් අල්වා ගැනීමෙන් පසු රජමාලිගය ආදී රාජකීය ස්ථානද අවශේෂ පොදු භූමි ද ස්ව අභිමතය පරිදි පරිහරණයට ඉඩ ලැබී තිබුණත්, ආණ්ඩුකාරතුමා සහපිරිවරින් ම එහිම විසුවේ වුවද තවමත් යථාර්ථයක් වශයෙන් කඳුකර රාජධානිය ඉංගී‍්‍රසීන්ගේ බලයට පත් නොවූ බව පැහැදිලිය.
    එසේ ම බ්‍රිතාන්‍ය කොඩිය කිසිදු බාධාවකින් තොරව මොවුනට මහනුවර නැංවිය හැකි වූයේත් උඩරට රජතුමා අල්වා ගත හැකි වූයේත්, උඩරට සිංහලයන්ගේ ම අනුබලය නිසාය. මොවුන්ගේ අනුබලය ඔවුනට ලැබුණේ, සිංහලයන්ගේ උදාර පරමාර්ථයන් යටතේ පෙළ ගැසුණු ඉල්ලීම් සමූහයක් උඩ ය. මේ නිසා මේ දෙපක්ෂය අතර මූලික සම්මතයක් ඇති කර ගන්නා තුරු රටේ පාලන භාරය පිළිබඳ කිසියම් ස්ථාවරත්වයකට ගෙන ඒමට ඉංගී‍්‍රසීහු අපොහොසත් වූහ. එබැවින් දෙපක්ෂය අතර ගිවිසුම් පත්‍රයක් සකස් විය යුතු කාලය එළඹිණි. වර්ෂ 1815 මාර්තු මස 02 වැනි දින අත්සන් කොට ප්‍රකාශයට පත් කිරීමට නියම වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් (වාරියපොල සුමංගල හිමියන්) විසින් පිළියෙළ කරන ලද මේ දේශපාලන ගිවිසුම නිසා අවුරුදු දෙදහස් තුන්සියයක් තුළ රැකගෙන ආ සිංහල රාජ්‍යය හා බුද්ධාගම පිළිබඳ ස්වකීය අයිතිවාසිකම් තවදුරටත් සුරැකෙන සේ මෙම ශ්‍රී ලංකාද්වීපය බ්‍රිතාන්‍ය මහ රජුට පැවැරුවත්, ලෝකයේ අපරාජිත මානව වර්ගයක් වීමේ ගෞරවය එදත්, අපේ හෙළ වීරවරයෝ රැක ගත්හ.