මැරෙන මොහොතේ සිත෴
මැරෙන මොහොතේ අපේ සිත සහ ඊ ළඟ උපත කෙබඳු වේ ද? මේ ඒ ප්‍රශ්නයට කෙටි පිළිතුරකි.
ලෙස්ලි කුලතුංග
දිනක් බුදු රජාණන් වහන්සේ හා ආනන්ද තෙරුන් වහන්සේ අතර පුනර්භවය පිළිබඳ ධර්ම සාකච්ඡාවක් ඇති විය. අංගුත්තර නිකායේ තික නිපාතයෙහි සඳහන් වන එම ධර්ම සාකච්ඡාවෙන් කොටසක් මෙබඳු ය:
“ස්වාමීනි, භවය සිදු වන්නේ කෙසේ ද?”
“ආනන්ද, කාම ලෝකයෙහි විපාක දෙන කර්මයක් නැති නම් කාම ලෝකයෙහි ඉපදීමක් සිදු වෙයි ද?”
“නැත, ස්වාමීනි.”
ආනන්ද, කර්මය කෙතකි. විඤ්ඤාණය (සිත) බීජයකි. තණ්හාව ජලයකි. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුක්ත වූ සත්ත්වයන්ගේ සිත් මරණින් මතු කාම භවයෙහි හටගනී. මේ අන්දමට මතු මත්තෙහි පුනර්භවයෙහි පැවැත්ම ද සිදු වෙයි.”
රූප ලෝකයෙහි හා අරූප ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරයත් මෙම සාකච්ඡාවේදී බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළහ. කුසල අකුසල කර්ම ඇති වීම කර්ම භවය යි. ඒ අනුව යම් තැනක ඉපදීම උප්පත්ති භවය යි. සිත අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් පිරී පවතින තෙක් ඉපදීම සිදු වෙයි. මෙම කර්ම භවය හා උප්පත්ති භවය නැවත නැවතත් සිදු වීම පුනර්භවය යි.
කාමලෝකයට අයත් සතර අපායෙහි (කාම දුගතියෙහි) ඉපදීමට අකුසල කර්ම හේතු වෙයි. මිනිස් ලොව හා සදෙව් ලොව (කාම සුගතියෙහි) ඉපදීමට හා රූප, අරූප, ලෝකවල ඉපදීමට කුසල කර්ම හේතු වෙයි. කාම ලෝකයෙහි උපදින ආකාරයත්, අරූපලෝකවල උපදින ආකාරයත් අභිධර්මයෙහි
වෙන් වෙන් ව දක්වා තිබේ.
අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.
උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.
යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.
මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.
අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.
අප මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වී මහාමායා දේවියගේ කුස පිළිසිඳගත්හ. මවු කුසින් බිහි වූ උන් වහන්සේ පියවර සතක් ඉදිරියට ගමන් කොට,
“මම ලොවට අග්‍ර වෙමි.
මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි.
මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි.
මේ මාගේ අන්තිම ඉපදීම යි.
දැන් පුනර්භවයක් නැත.
යනුවෙන් පැවසූ හ. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුතු බෝසතාණන් වහන්සේගේ සිත තුසිත දෙව්ලොවින් චුත වූ පසු මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳගැනීම පුනර්භවය යි.
උන් වහන්සේ බුදු බවට පත් ව අවිද්‍යාව, තණ්හාව ප්‍රහීණ කළහ. එහෙයින් මල්ල රජ දරුවන්ගේ සල් උයනෙහි වැඩ සිට පිරිනිවන් පා වදාළ උන් වහන්සේගේ චුති සිත අවිද්‍යා තණ්හාවන්ගෙන් තොර ය. එහෙයින් නැවත ඉපදීමක් නැත, පුනර්භවයක් නැත. සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසින් බිහි වී, සත් පියවරක් ගමන් කොට, “දැන් පුනර්භවයක් නැත (නන්තිදානී පුනබ්භවෝ)” යනුවෙන් පැවසුවේ එහෙයිනි.