අප ජීවිතයේ තුළ අවංක ආදරය හා මිත්‍රත්වය හමුවන්නේ ඉතා අහම්බෙනි.
එවැන්නක් විඳීම හෝ හමුවීම විරල නම් එවැන්නක් අහම්බෙන් කැමරා කාචයක සිත්තම් වූ අවස්ථා තවත් විරලය.
කොන්දේසි වලින් විරහිත ආදරය, කැපකිරීම, සැබෑ මිත්‍රත්වය, ඉවසීම, මනුෂ්‍යත්වය වැනි හැඟීම් රැසක් කැටිවූ මෙම ඡායාරූපය ය එවැනි අහඹු අවස්ථාවකි.මෙහි සිටින්නේ විස්කොන්සින් හි වෙසෙන 49 හැවිරිදි ජෝන් අන්ගර් හා ඔහුගේ මහලූ වියේ සිටින සුනඛ මිතුරා වන ෂෙප් ය.
මේ වන විට 19 වියේ පසුවන ෂෙප් ගේ පාද වල සන්ධි ඉදිමීම හේතුවෙන් ඔහුට දැඩි වේදනාවකින් පසුවන අතර, මෙම වේදනාව අවම කිරීම සඳහා ජෝන් විසින් ෂෙප් ව සුපීරියර් විලට ගෙන යනු ලබයි.
ජෝන් ගේ සුරක්ෂිත දෑත මත විල් ජලයේ පාවෙන ෂෙප් හට සිය සිරුරේ බර නොදැනී යාම හේතුවෙන් සිය ශාරීරික අපහසුතාවයන් අඩුව දැඩි සහනයක් ලැබේ. සිරුරට දැනෙන සහනය හේතුවෙන් නොදැනීම නින්දට යන ෂෙප් සිය සිරුරට වාරු කරගනිමින් ඇතැම් විට පැය ගණනක් පුරාවට ජෝන් විල් ජලයේ සිටියි.
ඔවුන් දෙදෙනා සුපීරියර් විල් ජලය මත සිටින අයුරු සිය කැමරා කාචයේ සටහන් කර ඇත්තේ ජෝන්ගේ සමීප මිතුරියක් වන හැනා ස්ටෝන්හවුස් හඞ්සන් විසිනි.
පළමුව ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ පළ වූ මෙම ඡායාරූපය පසුව ලැව්ගින්නක් මෙන් සයිබර් අවකාශයේ පැතිරීගියේ බොහෝ දෙනෙකුගේ සිත් හැඟීම් වලින් පුරවමින් හා නෙතට කඳුළක් එක්කරමිනි.
මෙම හැඟීම්බර ඡුායාරූපය දැක ජෝන් හා ෂෙප් ගේ අපූරු කතාව ඇසූ බොහෝ දෙනා විසින් ෂෙප් ගේ වේදනාවන් සමනය කිරීම සඳහා කළ හැකි ප්‍රතිකාර වෙනුවෙන් මුදලින් පවා ආධාර කිරීමට ඉදිරිපත් ව ඇතැයි පැවසේ.
සිය මිතුරා පිළිබඳව ජෝන් අදහස් දක්වන්නේ ඉතා හැඟීම්බරවයි. ජෝන් හා ඔහුගේ පෙම්වතිය විසින් ෂෙප් සිය නිවහනට රැුගෙන එන විට ඔහු කුඩා පැටියෙකි. පසුකාලීනව සිය පේ‍්‍රමය දෙදරා ගිය පසුව දැඩි මානසික සිත්තැවුලෙන් සිටි තමාට යළි නැගිටීමට දිරිය දුන්නේ ෂෙප් බව ජෝන් පවසයි.
එදා තමාට ජිවත් වන්නට අත්වැලක් වූ මෙම කුඩා ප්‍රාණය වෙනුවෙන් ජෝන් අද දිනයේ මෙලෙස කැප වෙන්නේ තමාගේ හා ෂෙප් ගේ මිත්‍රත්වයේ අවසන් සමයට මනුෂත්වයේ වර්ණ එක්කරමිනි.
Last edited:

