කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය
පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත.
ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං!
දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය.
මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි:
මගේ බලප්‍රදේශයේ ඕනෑම පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්න එපා කියලා. උදව්වක් අවශ්‍ය ඕනම විටක කතා කරන්න. කඹුරුපිටිය පොලිසියටත් උපදෙස් දීල තිබෙන්නෙ තවත් කරදර කරන්න එපා කියල. ඒ කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු යොදාගන්න
මේ කැටයම් චින්තකගේ නැගනිය කළ ප්‍රකාශයකි: අපේ ගෙට ගිනි තියල. අපට ඉතිරි වුණේ මේ ඇඳිවත විතරයි. ඒ ගේ හැදුවෙ මම බැංකුවලින් ණය අරගෙන. අයියගෙ සල්ලි කීයක්වත් ඊට යොදවල නෑ. අයිය වරදක් කළානම් දැන් ඊට වන්දි ගෙවල ඉවරයි. අපේ ගෙවල් ගිනි තිබ්බේ ඇයි ? මේ ගැන කියන්න අහන්න කවුරුවත් අපට නෑ. මාධ්‍යවලින් සමහර ඒව මේ කරුණු විකෘති කළා. ඒ නිසා තමයි ජනතාවගේ කෝපය ඇවිස්සුනේ. එහි ප්‍රතිඵල වෙන්න ඇති මේ විනාශය වුණේ. ඊයෙ උදෙත් රතිඤ්ඤා පත්තු කරන ගමන් කිව්ව තොපේ ගේත් ගිනි තියනව කියලා. මම ඒත් හිතුවෙ නෑ එහෙම කරාවි කියලා.
රිවිර පුවත්පතේ පළ වූ මෙම වාර්තාව අවසන් කර තිබුණේ මෙසේ ය: කැටයම් චින්තකගේ මවගේ නිවස ඉදිරිපිට කුරුඳු ගහක කිරිබත් පාර්සලයක් එල්ලා තිබෙන අයුරු දක්නට ලැබුණි.
කුඩුකාරයන් සමග ඇසුරු කර අතට ම අසු වූ අගමැතිවරයාට තමන්ගේ ජාමෙ බේරා ගැනීම සඳහා ගෝලයකු බිල්ලට දෙන්නට සිදු වී තිබේ. එහෙත්, සිද්ධිය මෙතැනින් අවසන් විය යුතු නැත. අගමැති පුත්‍රයාගේ ඡන්ද ව්‍යාපාර පසුබිමේ හෙල්ලුණ සල්ලි ගස්වල කුඩු සල්ලි තිබුණා ද යන්න ගැන පරීක්ෂණ පැවැත්විය යුතු ය. මේ එක් තලයකදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අාකාරයයි. එහිදී නීතිය කොර ය.
කැටයම් චින්තකගේ මවගේ හා සොයුරියගේ නිවෙස් ගිනි තබන්නේ කාගේ අනුදැනුම මත ද යන්න ඉතා පැහැදිලි ය. එම අපරාධ සිදු වන්නේ පොලිසියේ රැකවරණය තුළ බව ද පෙනේ. සැකකරුවන් පිරිසක් මරා, කිරිබත් කා, කිරිබත් පාර්සලයක් මිය ගිය මිනිහාගේ මවගේ නිවස ඉදිරිපිට එල්ලා යන සමාජයේ ම්ලේච්ඡ වී තිබෙන්නේ ද නීතිය නො වේ ද?
අප මෙම සිද්ධි පිළිබඳ දිගින් දිගට ම කතා කරන්නේ අන් හේතුවක් නිසා නො වේ. මේ වනාහි ලංකාවේ නීතියේ ආධිපත්‍යය බිංදුවට ම වැටී ඇති ආකාරය හා නීතියෙන් තොර පසුබිමක් තුළ සමාජය ම්ලේච්ඡත්වය වෙත තල්ලු වන ආකාරය පෙන්නුම් කරන සංකේතාත්මක සිද්ධි වන නිසා ය. අනෙක් පැත්තෙන්, මානව හිමිකම් රාජ්‍ය නො වන සංවිධාන ආදිය මේ පිළිබඳ දක්වන නිහඬත්වය ද මේ ම්ලේච්ඡත්වයේ ම කොටසකි. ඔවුන් නිහඬ වන්නට හේතුව මේවා සිය ව්‍යාපෘතිවලට මුදල් ලැබෙන දේ නො වන හෙයිනි. මිනිසුන්ට මානව හිමිකම් තිබිය යුත්තේ රාජ්‍ය නො වන සංවිධානවලට විදේශාධාර ලැබෙන ප්‍රමාණයට අනුව නො වේ.
http://www.w3lanka.com/2013/12/blog-post_12.html


