මුදල් නෝට්ටුව

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ‘මුදල් නෝට්ටුව විකාශය වී අවසානද ?

    දෙයියන්ගේ මල්ලි ‘සල්ලි’ යයි කටකතාවට කියති. එහෙත් මේ සල්ලි හෙවත් මුදල් කවදා සිට බිහි වුනේද , කුමක් නිසා වූයේද, යන්න සිතිය යුතු දෙයකි. එහෙත් මුදළ යනු සර්පයෙකි. අල්ලා ගත යුත්තේ බෙල්ලෙන්මය. මැදින් හෝ අගින් අල්ලා ගත හොත්, සර්පයා කැරකී ඔබව දෂ්ට කරනු ඇත. එසේ හෙයින් කුඹුරක වැටී තිබුණු අයිතිකරුවෙක් නැති මුදල් මඩිස්සලයක් දැක, බුදුන් වහන්සේ ආනන්ද හිමිට; ...“ආනන්ද, සර්පයා දුටුවේද යයි ඇසූහ.

    ආර්ථික විද්‍යාවේ පදනම මුදළ වේ. ආදී කාලීන මිනිසා තමාගේ අවශ්‍යතා සපුරාගත්තේ එක් එක් මිනිසා කිසියම් පවුල් ඒකකයයක් වැනි සමාජයක යම් යම් වෙනස් කොටස් භාර ගැනීමෙනි. එය අද වුවද කෙරේ. උදාහරණයකට බිරිඳ මුළුතැන් ගෙයි වැඩි වැඩක් කිරීම සහ, ස්වාමිපුරුෂයා නිවසෙන් බැහැර රැකියාවක් කිරීම ගත හැකිය. මේ කාර්යය අවශ්‍ය නම් මුදලෙන්ද මැනිය හැක. එහෙත් මෙවැනි දෙයක් ගණුදෙණුවකට හෝ ශ්‍රමය හුවමාරු කර ගැනීමකට වඩා සැළකෙන්නේ එය එම පවුල් සංස්ථාව අතර ඇති නොලියැවුණු නීති කොටසක් මෙනි.

    සමාජයේ නොයෙක් තල අතරේද මේ භාණ්ඩ හුවමාරුව සිදු විය. සමහරවිට එක් භාණ්ඩයකට ලැබුනේ ද්‍රව්‍ය නොව ස්තුතියකි. නැතිනම් අදහන ආකාරයේ පිනක් විය. මා කුඩා කාලයේ, හිඟන්නෙක් නිවසකට පැමිණි විට ඔහුට ‘හාල් පතක්’ දෙණු ලැබීය. ‘හාල් පතක්’ වූ කලී පුවක් කොළයකින්, එනම් එහි කොලපතකින් තැනූ කුඩා ගොට්ටකි. එහි හාල් හුන්ඩුවක් පමණ දැමිය හැක. එතනදී එම හිඟන්නාට උදව් කල අයට ද්‍රව්‍යමය දෙයක් ලැබුනේ නැත. එහෙත් සතුට ලෙස හැඳින්වෙන ‘පිනා යාම’ හෙවත් ආගමික වශයෙන් බැලූ විට නම්, ‘පින’ අයත් විය.

    එහෙත් කෙමෙන් කෙමෙන් මේ කුඩා සමාජ විශාල ජාළයන්ට විකාශ විය. ඒ අනුව එක් එක් සමාජය සඳහා අවශ්‍ය දේ තවත් සමාජයකින් ලබා ගැනීමේ අවශ්‍යතාවය පැන නැගිණ. උදාහරණයක් වශයෙන් මී පැණි මෙන්ම දඩ මස් වැනි දේ සිංහළ සමාජයට, ලැබුනේ වැදි ජනතාවගෙනි. එහෙත් ඒ ද්‍රව්‍ය ලැබීමේදී මුදල් හුවමාරුවක් නොතිබිණ. එකල එය සිදු වූයේ භාණ්ඩ හුවමාරුවෙනි. රට මැදට වන්නට ඇති පළාත්වල, අන් සමාජ හා ඉතා දුරකින් ගැටී ජීවත් වූ වැදි ජනතාවට අවශ්‍ය ලුනු වැනි දේ හුවමාරුව ඉහත කී දඩ මස් හෝ මී පැණි සමඟ සිදු විය.

    අනාදිමත් කාලයක් තිස්සේ අරාබි මුස්ලිම් වෙළෙන්දන් විසින් කරගෙන ගිය වහල් වෙළඳාම යුරෝපීයයන් අතට ගත් අවදිය වන තුරුම, වහළුන් වෙනුවෙන් ගෙවන ලද්දේ නොයෙක් ආකාරයේ භාණ්ඩයි. ඒවා ‘සම්’, ‘දුම්කොළ‘, ‘සීණි’, ‘වයින්’, ‘මධ්‍යසාර’, ‘රෙදි’ සහ මුහුණ බැලිය හැකි කණ්නාඩි වැනි දේ විය. මේ ලෙස සිදු වූ භාණ්ඩ හුවමාරු ක්‍රමය වූ කලී, කම්මල් කරුවාට ගොවිතැන් කර බත සපයා ගැනීමට නොහැකි වෙන අවස්ථාවක මෙන් හෝ, ගොවියාට ඔහුට අවශ්‍ය කැත්ත උදැල්ල තනා ගැනීමට නොහැකි වුණු නිසා ඇති වුණු දෙයක් මෙනි.

    එවන් අවස්ථාවල් වලදී භාණ්ඩ හුවමාරුව ඈත අතීතයේ සිදු වූ බවට තොරතුරු ඇත. එහෙත් කම්මල් කරු කොතරම් ආයුධ තැනුවත්, එසේ නැත්නම් ගොවියා කොතරම් වී නිෂ්පාදනය කලද, එක් පාර්ශවයකට එම අනෙක් පාර්ශවයේ අවශ්‍යතාවය නොමැති නම්, මේ භාණ්ඩ හුවමාරුවේ ප්‍රශ්නයක් ඇති වේ.

    මෙවැනි උදාහරණ බොහෝ ඇත. උදාහරණයක් සේ ගතහොත්, නිවසක් සඳහා අවශ්‍ය සාමාන්‍ය කුළු බඩු සපයන තැනැත්තෙක් සහ වැදි සමාජයේ මස් සපයන කෙනෙක් සිටී යයි සිතන්න. එහෙත් කුළු බඩු සපයන්නාට ඒ සඳහා නිවාස වලින් සහල් ලැබෙන්නේ යයි සිතන්න. එහෙත් ඒ නිවාස වලට කුළු බඩු අවශ්‍යතාවයක් නැතිනම්, කුළු බඩු සපයන්නාගේ සේවය අනවශ්‍ය විය. එවිට එම කුළු බඩු සපයන්නා, වැද්දාගේ මී පැණි හෝ දඩ මස් ගැනීමට කුළු බඩු හුවමාරු කර, නිවාස වලට එම මී පැණි හෝ දඩ මස් අවශ්‍ය වේදැයි සෙවීම සිදු විය. මෙය සංකීර්ණ ක්‍රියාවලියකි.

    මෙහිදී ඇතිවන තවත් සංකීර්ණතාවයක් වන්නේ කිසියම් ද්‍රව්‍යයක් නිවැරදිව මනින්නේ කෙසේද යන්නය. මේ සඳහා අප්‍රිකාවෙන් උදාහරණයක් ගන්නට කැමැත්තෙමි. කලක් යන තුරුම අප්‍රිකාවට අඳුරු මහාද්වීපය යයි කියන්නට හේතුවක් වූයේ, ඔවුන් අදද මේ ආකාරයේ ප්‍රාථමික ගණුදෙණු වල යෙදෙන බැවිනි. අප්‍රිකාව ගවේෂණය කිරීම, අතීතයට යෑමේ අනර්ඝ මාර්ගයකි. අද දිනද යුරෝබා වැනි ගෝත්‍ර වල, සමහර සමාජයන් බිරින්දෑවක් සහේට ගැනීමට අවශ්‍ය වූ විට, ඇයගේ පියාට දෙන්නේ හරක් කීප දෙනෙකි. මෙහිදී බිරිඳ යන්නට මුදළක් නැතිව අගයක් නියම වේ.

    එහෙත් ලුනු අවශ්‍ය වූ විට ඒ සඳහා හරකෙක් දීමට නොහැක. මක්නිසාද යත් එතරම් ලුනු ප්‍රමාණයක් එක හරකෙක් දී ලබා ගැනීමට අවශ්‍ය නැති හෙයිනි. හරකා කෑලි වලට කපා දීමද ප්‍රායෝගික නොවේ. මෙහිදී එම ‘හරකා’ යන ඒකකය වෙනස් වේ. සමහර විට එය කුකුළෙක් විය හැක.
    මේ ආකාරයේ විවිධ තල වලට විහිද ගිය සමාජයේ අවශ්‍යතා සඳහා සැමට ප්‍රිය වන, සැමට හැම විටම අවශ්‍ය වන එක්තරා ද්‍රව්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. මෙන්න මේ ස්ථානයට එන තුරු, එම ඒකකය වශයෙන් සම්, දුම්කොළ, දුර්ලභ බෙල්ලෝ වර්ග, සීණි වැනි දේ පමණක් නොව වහළුන්ද භාවිතා විය.

    යුරෝපීයයන් වහල් වෙළඳාම තහවුරු කරගන්නා තුරු මුස්ලිම් වෙළෙන්දන් අප්‍රිකාවෙන් මිනිසුන් වහළුන් ලෙස මිලියන ගණනක් ගෙන ආහ. මේවා සෙනෙගාලයේ ගොරේ දූපත සහ ඝානාවේ කේප් කෝස්ට් වැනි ස්ථාන වල ඇති කෞතුකාගාර වල සාක්ෂි ඇතිව පෙන්වා ඇත.

    එහෙත් මේ ද්‍රව්‍ය හුවමාරුවේ ප්‍රශ්න තිබිණ. එනම්, යම් භාණ්ඩයක් ගැනීමට හරකා, එළුවා හෝ කුකුළා යන ඒකක විශාල විශාලනම්, ඒවා දෙකට කපා දීමට හැකියාවක් නොතිබිණ. ක්‍රම ක්‍රමයෙන් රන් සහ රිදී භාවිතයට ලෝකයා පුරුදු විය. මේ සඳහා ප්ලැටිනම්, මැණික් සහ දියමන්ති යන රන් රිදී වලට වඩා මිළ වැඩි ද්‍රව්‍ය භාවිතය සිදු නොවුයේ, ඒවා කුඩා වටිනාකම් වලින් යුතු භාණ්ඩ සඳහා කෑලි වලට කැපීමේ අපහසුව නිසා විය.

    දැන් ඊළඟට පැමිණි ප්‍රශ්ණය වූයේ, ඒ රන් රිදී මැන ගැනීමට ඇති අපහසුව විය. මෙවිට එක් එක් සමාජයන්හී සිටි ‘මහා සම්මත රජුන්’ විසින් මුද්‍රා තබන ලද, වෙනස් අගයන්ගෙන් යුතු රන් හෝ රිදී කැබලි භාවිතය ආරම්භ විය. එදා රටේ පවතී නීතිය අනුව මේ රන් කැබලි වල සම්මතය වෙනස් කිරීම නීති විරෝධී විය.

    එහෙත් රන් සහ රිදී අතැතිව සිටීම හොරුන්ට පාර කපන්නක් විය. කාර්මික විප්ලවය ඇරඹෙන්නටත් කලින් මේ ප්‍රශ්ණය මඟ හැරීම සඳහා එංගලන්තයේ එක් ක්‍රමයක් තිබිණ. එනම් මේ සඳහා ‘රන් කරුවා’ ගේ ඉදිරිපත් වීමයි. එනම් රන් සහ රිදී තිබෙන කෙනෙක්ට, කුඩා කුළියක් රනින්ම ගෙවා, රන් කරුවාගේ ‘සුරක්ෂිත කරන ලද ස්ථානයේ’ එම රන් රිදී තැබිය හැකි වීමයි. එසේ රන් කරුවාගේ සුරක්‍ෂිත බව යටතේ තබන ලද රන් රිදී වලට මුද්‍රා තබන ලද, ‘කුවිතාන්සියක්’ හෙවත් ‘රිසිට්’ එකක් ලැබිණ.

    කිසියම් හේතුවක් නිසා දැවැන්ත රන් ප්‍රමාණයක් ගෙන ආ විට රන් කරුවන් කිහිප දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් විය. විශේෂයෙන්ම එවැනි කුවිතාන්සි නැවත රන් කරුවා ලඟට ගෙන ආ විට විශාල රන් ප්‍රමාණයක් දෙන්නට සිදු වීම වැනි සංකීර්ණතා නිසා විය. දැන් මෙහිදී ඉහත කී භාණ්ඩ හුවමාරුව සඳහා රන් කරුවා නොවන වෙනත් කෙනෙක්ට, කිසියම් රන් හෝ රිදී වල වටිනාකමට හෙට්ටු වන ‘කුවිතාන්සිය’ මාරු කිරීමේ හැකියාවද ඇති විය. රන් කරුවාට තබා ගැනීමට දෙන රන් හෝ රිදී වෙනුවට, ඉහළ අගයකින් යුතු එක් කුවිතාන්සියක් නොදී, අවශ්‍ය නම්, එම රන් රිදී වල වටිනාකමට සරිලන කුඩා අගයකින් යුතු කුවිතාන්සි කිහිපයක් ලබා ගැනීමේ හැකියාවද තිබිණ.

    එනම් මෙම මෙම කුවිතාන්සිය හෙවත් මුදල් නෝට්ටුවේ උපත මේ ලෙස ඇති විය. ඒ අනුව බැංකුවේ උපතද මෙසේම ඇති විය. රන් කරුවා ළඟ තැන්පත් කල රන් හෝ රිදී සමහරවිට එහි අයිතිකරුවා විසින් නැවත ලබා ගත්තේද නැත. එවිට රන් කරුවා ළඟ එම රන් රිදී ගොඩ ගැසීම වළක්වන්නට, එම රන් කරු විසින් ලාභයක් හෝ පොළියක් දිය යුතු සේ එම රන් රිදී විකිණීම හෝ ණයට දීම සිදු විය.

    එම බැංකු යයි කියා ගන්නා රන්කරුවාගේ සුරක්‍ෂිත ධනය තැන්පත් කල ස්ථාන වලින් ලැබෙන කුවිතාන්සිය, එක් එක් රන්කරුවා හෙවත්, පසුව බැංකුවලට වෙනස් නොවන ආකාරයේ සම්මත කුවිතාන්සි බවට හැරවීමේ අණ පනත් මෙහිදී ක්‍රියාත්මක කරන ලදී. දැන් මෙහිදී එක්තරා ප්‍රශ්නයක් සිතට නගී. රන් කරුවාට ඉහත කී ‘කුවිතාන්සි’ නිකුත් කල හැක්කේ, ඔහු ළඟ ඇති ‘රන් ප්‍රමාණය’ සඳහා පමණක්මද යන්නය.
    එය මුල් කාලයේ නීති විරෝධී වුවද, පසු කලක එම ‘කුවිතාන්සි’ හෙවත් මුදල් නෝට්ටු සඳහා වූ රන් ප්‍රමාණයට වඩා එම ‘කුවිතාන්සි’ හෙවත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදු විය.

    එය ‘බොල් නෝට්ටු’ ලෙස නම් කලද, මේ වන විට මුදළට අගයක් ලැබී තිබුණු හෙයින්, එය ප්‍රශ්ණයක් නොවීය. එහෙත් ‘බොල් නෝට්ටු’ අධික සේ එම සමාජයේ ව්‍යවහාරයට පැමිණියහොත්, එය එම සමාජයේ භයානක තත්වයක් ඇති වීමට හේතු වේ. එනම්, එවන් සමාජයක ද්‍රව්‍ය වල මිළ වැඩිවෙමින් යන්නේය. පට්ට උදාහරණයක් :- ලංකාව.

    එසේ හෙයින් එංගලන්තයේ ක්‍රිස්තුගේ වර්ෂයෙන් 844 දී නීති ගෙනෙනු ලදුව, එංගලන්තයේ බැංකු වලට එම ‘බොල් නොට්ටු’ නිකුත් කල හැකි වූයේ රන් පවුම් මිලියන 14කට පමණි. එහෙත් මේ ක්‍රම කලින් කල වෙනස් විය. මෙතනින් එහාට භාවිතා වූයේ, අදද භාවිතා කරන ‘චෙක් පොත්’ ක්‍රමයයි. නූතන යුගයේ ඉලෙක්ට්‍රොනික කාඩ් පතද භාවිතා වේ. ක්‍රමයෙන් මුදල් නෝට්ටුව අභාවයට යන ලකුණු පෙනේ.

    මේ අතර මුදල් නෝට්ටුව ගැන කියන විට එහි එක් පැතිකඩක් වන මුදල් වංචාව ගැනද යමක් ලීම වටී. එදා මුදළ වෙනුවට හුවමාරුවූ වටිනාකමක් ඇති භාණ්ඩ වූ හරකාද සොරකම් කරනු ලැබිය. පසුව භාවිතා කල රන් රිදීද සොරකම් කරනු ලැබීය. මුදල් නෝට්ටු සොරකම අද දිනද සිදු වේ. චෙක් පත් වංචා කිරීමද, ඉන් අනතුරුව ‘ඉලෙක්ට්‍රොනික කාඩ් පතේ’ ඇති දත්ත වෙනස් කර හෝ, සොරකම් කිරීමද සිදුවේ.

    භාණ්ඩයේ සිට මුදල් නොට්ටුවටද, එතනින් චෙක් පොතේ සිට ඉලෙක්ට්‍රොනික කාඩ් පතටද ලෙස ලෝකය භෞතික සේ දියුණු වුවද, තවත් අනාදිමත් කාලයක් මේ වංචා නම් නැවැත්වීමට නොහැකි වෙනවා ඇත. මේ අතර, සොරුන් දාහකට කරන්න බැරි ආකාරයේ දැවැන්ත මංකොල්ලයක්, ලියැවිළි කිහිපයක් අඩංගු එක බ්‍රීෆ් කේස් එකක් අත ඇති මුදල් කළමනාකරුවෙක්, ආයෝජන කළමනාකරුවෙක්, හෝ මහ බැංකු අධිපතියෙක් විසින් හෝ මුදල් ඇමතියෙක් විසින් හෝ කරනු ඇත.

    භෞතික දියුණුව හා වංචාව අතර ඇති සම්බන්දයක් නැත. කතාවේ මුලට ගියොත්, ‘මුදල් නෝට්ටුව විකාශය වී අවසානද යන ප්‍රශ්ණයට’ උත්තරය වන්නේ, එය වෙනත් ක්‍රම වලට විකාශය වෙමින් වෙනස් වෙනස් ආකාර වලින්, ලොව පවතින තුරා පවතිනු යන්නය.

    Artical by Lalith කරුණාරත්න