මාස් පඩි කාරයන්ට බෝම්බ බයට වඩා රස්සාව වැදගත් වෙලා තිබුනේ. නිවාඩු ඉවරවුන ගමන් වැඩට නොගියොත් මුදල් නැති කමින් ප්‍රශ්ණ එනවා, ඉතින් මොන බෝම්බේ පිපිරුනත් මැරුණ මිනිස්සු අයින්කරලා කැඩුන බිඳුන දේවල් හදලා දවසින් දෙකින් සාමාන්‍ය තත්වෙට පත්වෙනවා. යුද්දේ දරුණුවට යන කාළේ දෙමව්පියෝ පුලු පුලුවන් විදියට ඉස්කෝල ඉස්සරහ ඉඳගෙන ළමයින්ගේ බෑග් චෙක්කරා. බස්වල හුඩ් රැක් වල ආවරණය කරපු දේවල් තියන්න දුන්නේ නෑ. ඉස්කෝලවලට පොලිසි වලින් ඇවිත් දැනුවත් කරනවා විවිධ ආකාරයේ නිර්මානාත්මක බෝම්බ ගැන, විවිධ හදිසි අවස්ථා වල හැසිරිය යුතු ආකාර ගැන.
ඒ කාළේ ළමයි හැටියට නොතේරුම් කමට හා වගකීමක් නැති නිසා ලොකු බරක් දැනුනේ නෑ හිත් වලට නමුත් දැන් බලනකොට අමුතූ කාලයක්.
තාත්තා මොන දේ ගන්න ගියත් මාවත් ඇදගෙන පිටකොටුවට තමයි යන්නේ. හැමදේම පිටින් ගන්නවට වඩා බාගෙට බාගයක් ලාබයි. තාත්තා මුස්ලිම් වෙළෙන්දන්ට දෙමළින් කතාකරාම තව අඩුයි.
මාරයි මචන් ඒ කාළේ

පාර පුරා ඊ-බේ එක වගේ. වෙළෙන්දෝ මොකක් හරි අලුත් දෙයක් ගෙනල්ලා බිම තියාගෙන කුණු කොල්ලෙට විකුනණවා.ඇඳුම් ගොඩ ගහලා විකුනන්නේ. ගෝටා ඇවිත් ඕව නැතිකරාම කොටුව පාලුවට ගියා. හෙන ගැහිලා ගියා වගේ දැනුනේ.
ඉස්සර අපිලිවෙලයි තමයි, නමුත් ඒක වෙනින් නගරෙක දකින්න තිබුන නැති දෙයක්. ඒ දවස්වල වැස්ස දවස්වලට නං පාරේ යන්න බෑ මඩ වෙලා හතර අපාය වගේ, ඒ වෙලත් මිනිස්සු පාරේ තියන් අල ලූනු විකුනණවා. මාර කාලයක් මචං ඒක.
රැකියාවට අමතරව තාත්තා SLVNF වල හිටියා. මිනිස්සුන්ගේ හැසිරීම් සැකනම් ප්‍රශ්ණ කරනවා. අවුල් නම් පොලිසියට බාරදෙනවා. මාරම අමුතු කාලයක්.
මැනිං මාකට් එකේ පාතාලේ සෙට් එකක් තාත්තගේ පැත්තෙන් දුරින් නෑයෝ වෙනවා. උන් ඉන්නවා කියන්නේ මාකට් එකට ගියාම පුදුම සැලකිලි. මම හරි පොඩියි හැබැයි පට්ට ගැම්මක් තිබුනේ ඇඟ හදාගත්ත නෑයෝ දකිනකොට. උන් ටික තමයි බැස්සේ ආච්චිලගේ ඉඩම මැදින් පන්සලට පාරක් දීලා ගියපු රන්ඩුවට. කඩු පොලු අරන් බැස්සා දායක සබාව විසිර ගියා.
