ඇස්බැස්ටස් ගැටලුවක් වන්නේ ඇයි?
ඇස්බැස්ටස් යනු ස්වභාවිකව ඇතිවන ඛනිජ තන්තු සමූහයකි. ශක්තිමත් බව සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැනි ගුණාංග නිසා, අතීතයේ මෙන්ම වර්තමානයේද එය වාණිජ කටයුතු සඳහා බහුලව භාවිත කර ඇත. ඇස්බැස්ටස්වල ප්‍රධාන වර්ග හයක් ඇති අතර, දැනට ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ක්‍රයිසොටයිල් හෙවත් සුදු ඇස්බැස්ටස් ය.
ඇස්බැස්ටස්වල ප්‍රධාන වර්ග හයම මිනිසුන්ට පිළිකා ඇති කරන ද්‍රව්‍ය බව
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් තක්සේරු කර ඇත. ක්‍රයිසොටයිල් ඇතුළු ඇස්බැස්ටස්වලට නිරාවරණය වීමෙන් පෙනහළු, ස්වරාලය සහ ඩිම්බකෝෂ ආශ්රිත පිළිකා මෙන්ම මෙසොතීලියෝමා ද ඇති වේ. මෙසොතීලියෝමා යනු පෙනහළු සහ උදර කුහරය ආවරණය කරන පටල ආශ්‍රිතව ඇතිවන පිළිකාවකි. එසේම, ඇස්බැස්ටස් නිසා ඇස්බැස්ටෝසිස් හෙවත් පෙනහළුවල තන්තුමය කැළැල් පටක ඇතිවීම වැනි නිදන්ගත ශ්වසන රෝග සහ පෙනහළුවලට වෙනත් අහිතකර බලපෑම් ඇතිවන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ඇත.
ඇස්බැස්ටස් බහුලව භාවිත කරන බැවින් විශාල පිරිසක් එයට නිරාවරණය විය හැකිය. ඒ හේතුවෙන් සෑම වසරකම විශාල පිරිසකට රෝගාබාධ සහ මරණ ඇතිවන බව ඇස්තමේන්තු කර ඇත.
බලපෑම
ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නවතම
WHO/ILO ඒකාබද්ධ ඇස්තමේන්තු අනුව, රැකියා ස්ථානයේදී ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම නිසා ලොව පුරා වසරකට පුද්ගලයන් 200,000කට වැඩි පිරිසක් මිය යති. මෙම සංඛ්‍යාව 2016 වසර සඳහා කළ ඇස්තමේන්තු මත පදනම් වේ. මෙය රැකියාව ආශ්රිත පිළිකා හේතුවෙන් සිදුවන මරණවලින් 70%කට වැඩි ප්රමාණයකි.
මෙම මරණ සංඛ්‍යාවට අමතරව, ඇස්බැස්ටස්වලට නිරාවරණය වීමෙන් සැලකිය යුතු රෝගාබාධ ප්‍රමාණයක්ද ඇතිවන බව ඇස්තමේන්තු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධිතභාවය අනුව ගැළපූ ජීවිත වසර (DALYs) මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් අහිමි වේ. DALYs යනු රෝගාබාධ නිසා ඇතිවන සෞඛ්‍ය හානිය මැනීමට භාවිත කරන සම්මත මිනුමකි.
රැකියා ස්ථානයෙන් පිටතදී ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම නිසාද සැලකිය යුතු මරණ හා රෝගාබාධ ප්‍රමාණයක් ඇති වේ. දුම්කොළ දුමට සහ ඇස්බැස්ටස් තන්තුවලට යන දෙකටම නිරාවරණය වීමෙන් පෙනහළු පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩිවන බවද පෙන්වා දී ඇත. දුම්පානය කරන ප්‍රමාණය වැඩි වන තරමට මෙම අවදානමද වැඩි වේ.
අවදානමට ලක්වන්නේ කවුද?
WHO/ILO ඒකාබද්ධ ඇස්තමේන්තුවලට අදාළ ක්රමානුකූල පර්යේෂණ සමාලෝචනයක් අනුව, මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනවලින් පෙනී යන්නේ ලොව පුරා ඉදිකිරීම් ක්ෂේත්රයේ ශාරීරික ශ්‍රමය යොදා වැඩ කරන සේවකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඇස්බැස්ටස්වලට නිරාවරණය වන බවයි
(1). කෙසේ වෙතත්, දැනට පවතින සාක්ෂිවල ගුණාත්මකභාවය “අඩු” ලෙස තක්සේරු කර ඇති අතර, මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයන අවශ්‍ය වේ.
ඇස්බැස්ටස් කැණීම සහ සැකසීමේදීද, ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන නිපදවීමේදී හා භාවිත කිරීමේදීද නිරාවරණය වීම සිදු වේ. වාහනවල තිරිංග සපත්තු (brake shoes), තිරිංග පෑඩ් සහ ක්ලච් කොටස් මෙන්ම, විශේෂයෙන් ඇස්බැස්ටස් සිමෙන්තිවලින් සෑදූ වහල උළු වැනි ගොඩනැගිලි ද්‍රව්‍යද මෙයට ඇතුළත් වේ. ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන කපා ප්‍රමාණයට සකස් කරන හෝ සවි කරන ඕනෑම අයෙකු අවදානමට ලක්විය හැකිය.
ඇස්බැස්ටස් අඩංගු නිෂ්පාදන දිරාපත් වී ඇති විටද ඇස්බැස්ටස් තන්තුවලට නිරාවරණය විය හැකිය. ගොඩනැගිලි නඩත්තු කිරීම, කඩා ඉවත් කිරීම සහ ඉදිකිරීම් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී මෙවැනි නිරාවරණයන් ඇති විය හැකිය. ඇස්බැස්ටස් අඩංගු ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කර ඇති ගොඩනැගිලි ස්වාභාවික ආපදාවලින් හානියට පත්වීම විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තත්ත්වයකි.
ඇස්බැස්ටස් භාවිත කර ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම්, නඩත්තු හෝ කඩා ඉවත් කිරීමේ කටයුතුවල නිරත වන ඕනෑම අයෙකු අවදානමට ලක්විය හැකිය. ඇස්බැස්ටස් සවි කර වසර ගණනාවක් හෝ දශක ගණනාවක් ගතවී තිබුණද මෙම අවදානම පැවතිය හැකිය.
වැළැක්වීම සහ පාලනය
ඇස්බැස්ටස් ආශ්රිත රෝග වළක්වා ගත හැකිය. ඒ සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන්නේ නිරාවරණය වැළැක්වීම සඳහා සියලුම වර්ගවල ඇස්බැස්ටස් භාවිතය නතර කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 50කට වැඩි සංඛ්‍යාවක් ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීමට නීති සම්පාදනය කර ඇත.
මෙවැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී විවිධ වියදම් සහ ප්රතිලාභ සලකා බලා ඇත. සාමාන්‍ය ආර්ථික හා වෙළෙඳ කරුණුවලට අමතරව, සෞඛ්‍ය සේවා සැපයීමේ වියදම් සහ ශ්‍රම බලකායේ ඵලදායිතාව අඩුවීම නිසා ඇතිවන පාඩුද ඒ අතර වේ.
ඇස්බැස්ටස්වලට නිරාවරණය වීම වැළැක්වීම සඳහා, දැනටමත් ඇස්බැස්ටස් සවි කර ඇති ස්ථානවල නඩත්තු කටයුතු සිදුකරන විට සහ ඇස්බැස්ටස් ඉවත් කරන විට සේවකයන් ආරක්ෂා කිරීමද අවශ්‍ය වේ.