මේ මොන හරුපයක්ද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ මොන හරුපයක්ද?


    මේ ලිපිය උපුටා ගන්නා ලද්දකි.
    https://yakaageadaviya.blogspot.com/2015/09/blog-post_14.html?m=1

    සමහරවිට මෙය ඉතාමත් මතභේදකාරී විවාදයට තුඩුදෙන සමහර අයට උන්හිටිතැන් ඉහිලුම් දෙන්නැති ලිපියක් වෙන්න බොහෝ අවස්ථාව තිබෙනවා.

    ලිපිය වගේම මේ ලිපිය සඳහා අදහස් දක්වා ඇති අයගේ අදහසුත් කියවීමට වටිනවා.

    මරා ගැනීමකින් තොර අදහස් දැක්වීමක් වටිනවා කියලා හිතුණු නිසයි එලකිරියට මේක දාන්නේ.

    ලිපිය ගොඩක් දිගයි කියවලා බලන එක වටිනවා.

    ඒහි පස්සිකෝ ( එව බලව ) / තාර බර හැර මඩද සෝදා ඇත්ත මතුකරගනිමු.
    බුදුන් වහන්සේගේ චරිත කතාව දෙරණ රූපවාහිනියේ කොටස් වශයෙන් යයි. මේ වන එහි පරිනිර්වාන සමයයි.අප ඇසූකියවූ දේවල් රූපමය ලෙසින් නැරඹීම අපූරු අත්දැකීමක් විය. මෙය මීට කලින්ද විකාශනය කළත් එය මට නැරඹිය නොහැකි විය.ලංකාවේ විකාශනය කරන විට බුදුන් නොපෙන්වා බුද්ධ පින්තූරයක් පෙන්වා තිබේ. එය හොඳය. බුදුන් වෙනුවෙන් නළුවෙක් රඟපාන හැටි දකින එක ටිකක් අවුල් නිසාය.

    මම සාමාන්‍යයෙන් කෙනෙක් කියන දෙයක් එලෙසම පිළිනොගෙන හැම දෙයක් ගැනම තර්ක කරන්නට වෙනස් පැති ඔස්සේ සිතන්නට පුරුදු වුන කෙනෙක්මි. මේ නිසා මට ආගමක් දහමක්, පක්ෂයක්, රජකෙනෙක්, දෙවිකෙනෙක් ,වීරයෙක් ,නායකයෙක් ගැන භක්තියක් පිහිටුවාගැනීමට අමාරුය.

    භක්තිය අපූරු සංකල්පයකි. තමන්ට කිසිසේත්ම ලගාවිය නොහැකි යම් දෙයකට හෝ පුද්ගලයෙකුට හෝ බලවේගයකට සිය මුළු පෞර්ෂයම ඌණනය කිරීම භක්තිය ලෙස අර්ථ දැක්විය හැකියැයි මම සිතමි.භක්තිය යන වචනය ටිකක් අසභ්‍යයි කියා සිතෙන නිසාදෝ අපි ශ්‍රද්ධාව කියා වචනයක් ඇත.මේ දෙකම බොහෝදුරට සමානය.වෙනසක් ඇත.ශ්‍රද්ධාව යනු පැහැදීම නිසා යමකට හෝ යමෙකුට මෝහනය වීමයි.

    මම කියන්නට යන්නෙ මේකයි.බුදුන් වහන්සේ සර්වඥද කියන ප්‍රශ්නය මට ඇතිවුනේ කුඩා කලදීමය.මට බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් භක්තියක් ඇතිවී නොතිබුනාම නොවේ.එවැණි අවස්ථාවක් මට මතකය. කණදුල්ල පන්සලේ අටවිසිබෝධිපූජාව දා මට ඇතිවුනේ කියා නිමකළ නොහැකි භක්තියකි.බුද්ධ රූප පසුකරගෙන යනවිට මම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද වීමි.මෙය උපාසකම්මලා තුල ඇතිවන හැඟීමම විය හැක.

    අපේ ආච්චි ( අපේ පළාත්වල කියන්නෙ කිරි අම්ම කියාය ) පැවසුවේ ( විශ්වාස කළේ ) ඉරසේවය යනු සූර්යයා සම්බුදු සිරිපතුලට නමස්කාර කිරීම බවය. වර්තමානයේ පොඩි ළමයිවත් මෙය විශ්වාස නොකරති.මෙවැනි හැඟීමක් ඇති කෙනෙකුට බුදුන් ගැන ඇත්තේ අපූරු හැඟීමකි. බුදුන් යනු දහ අට රියනක් උස දෙතිස් මහා රූප ලක්ෂනයෙන් හෙබි අපූරු කායකි. අහසින් ගමන් කළ හැක.කළ නොහැකි දෙයක් නැත.රහතන් වහන්සේලා අහසින් යන නිසා අනුරාධපුර යුගයේ කාන්තාවනට වී වේලා ගැනීමට අපහසු වූ බව කියනු ලැබේ.

    පසුකලෙක ත්‍රිපිටකය මෙන්ම වෙනත් ඉන්දියානු ආගමික ග්‍රන්ථ කියවන විට අප පුරුදු වී සිටියේ එක් කතාන්තරයකට බවටත් ලෝකෙයේ තවත් කතාන්දර තිබෙන බවත් අවබෝධ කර ගත්තෙමි.බුදුන් වහන්සේ ගේ යුගය වනවිට බුද්ධත්වය යන සංකල්පය ජනප්‍රිය වී තිබිනි.බුද්ධත්වය බලාපොරොත්තු වූ අය බොහෝ විය. තමන් රහත් යැ‍යි කියාගත අය ඉන්දියාව පුරාම සිටියහ.

    සිද්ධාර්ථ ගෞතමයානන්ට සටන් කිරීමට සිදුවුනේ බමුණන්ගේ බිලිපූජා සමග පමණක් නොවේ.හරකුන් එළුව්න්,බල්ලන් ලෙස ජීවත් වූ අය සමගද සටන් කිරීමට සිදු විය. මේ අයට තිබූ බලය කොතරම්ද යන්න පෙනෙන්නේ ජම්බුක කතාවෙනි. බුදුන් වහන්සේ ජම්බුක දමනය කළහ. පසුව ජනතාව ඉදිරියට ගිය පළමු හමුවේදී ජනතාවට ප්‍රශ්නයක් වුනේ ගෞතම ජම්බුකව දමනය කළාද නැත්නම් ජම්බුක ගෞතමව දමනය කළාද යන්නය.ජම්බුක සතුව තිබූ සිවිල් බලය ඉන් පෙනේ.ඉන්දියාවේ ක්‍රි "පූ 6 වන සියවසේ මෙවැනි අය පහළ වීම අරුමයකි.ජම්බුක යනු අශූචි කන පරිබ්‍රාජකයෙකි.මේ අයට මිනිසුන් පෙරලි පෙරලි වැන්දහ.

    අප බෞද්ධ ඇසින් දුටු පුරාණ ඉන්දියාව ජෛනයෝ වෙනත් ඇසකින් දකිති. මේ දෙකම කියවීම සුදුසුය.බිම්බිසාර ,පසේනදී කෝසල (ප්‍රසේනජිත් ), අජාසත්ත (අජාතසතෘ ) වැනි බෞද්ධ රජවරු ඔවුන්ගේ පොත්වල ජෛන රජවරු ලෙස හදුන්වා ඇත.මේ රජවරු සිය ප්‍රතිපත්ති ප්‍රකාශන රැගෙන හැම තැනටම ගියාට සැක නැත.දකින දකින අය රජා අපේ ආගමේය කියා සතුටු වූවාට සැක නැත.

    අපූරු කතාවක් මතක් වෙයි.වරක් පසේනදී කෝසල බණ අසමින් සිටින විට පාරේ පරිබ්‍රාජක පිරිසක් ගියහ . කෝසල වහා නැගිට ගොස් ඔවුන්ට නමස්කාර කළහ.ඉන් පසු තීර්ථකයන් පිරිසක් ආඅහ. කෝසල කලින් වර සේම කළේය. මේ ආකාරයට ශ්‍රමණයන් කණ්ඩායම් ආ අතර කෝසලද දුව ගොස් ඔවුන්ට නමස්කාර කළේය.

    ඉන්පසු බුදුන් අමතා මේ ගිය අය රහතුන් නිසා වැන්දාට කමක් නෑ නේදැයි අසා ඇත. එවිට බුදුන් රහතුන් යනු කවුදැයි පහදා බණ කියා ඇත. එවිට කෝසල

    ඉතා මැණවි ඒ ගිය අය මගේ චර පුරුෂයෝය.කියා කියා ඇත. මෙහිදී කෝසල කර ඇත්තේ බුදුන් පරීක්ෂා කිරීමක් නේද

    මේ කෝසලම වරෙක ජේතවනය අසල තීර්ථකයන්ගේ ආරාමයක් සෑදීමට අල්ලස් ගත්හ.


    ඉස්සර රාජප්පුලා ක්‍රියා කර ඇත්තේ දේශපාලන සටකපටකම් වලින් මිස සැබෑ භක්තියෙන් නොවේ.

    බුදුන් සියල්ල දත් කෙනෙක්ද කියා සිතිය හැකිද පහත දේවල්වලින් පෙනෙන්නේ සියල්ල දත් කෙනෙකුට වඩා සාමාන්‍ය සමාජ සංශෝධකයෙක් හා විද්වතකු බවයි

    බුදුන් වහන්සේ පැනවූ විනය නීති වරින්වර වෙනස් කිරීම සිදු කළහ. ඒ අවස්ථාවන්ට අනුවය.අනාගතය දන්න කෙනෙක් ලෙස නොව සමූහයක් පාලනය කරන නායකයෙක් ලෙසය

    උන් වහන්සේ අව්‍යාකෘත ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් සේක.

    වච්ඡගොත්ත සූත්‍රයේදී සර්වඥ බව ගැන අපූරු කතාවක් කී සේක.

    කච්චායන හමුවේදී සියල්ල නැතැයි කීමත් සියල්ල ඇතැ‍යි කීමත් එක සේම මංමුලා වීම් බව කී සේක.

    එසේම පහත දේවල් පසුකාලීනව එක් වූ බව සිතන්න හැකි නේද

    සූර්ය පරිත්ත චන්ද පරිත්ත සූත්‍රවල තිබෙන භූගෝල විද්‍යාත්මක කරුණු

    පොලවේ අභ්‍යන්තරය ගැන විග්‍රහය ( ජලයට යටින් වාතය )

    ජාතක කතා

    ඉහත දේවල් නිසා බුදුන් වහන්සේ ගැන වෙනස් කියවීමක් අවශ්‍ය බව පෙනේ.

    උන් වහන්සේ සාමාන්‍ය මනුශ්‍යයෙකු සේම ලෙඩ රෝගවලට ගොදුරු වූහ.මහළු වූහ.
    එසේම උන් වහන්සේ ජීවත්ව සිටි කාලයේ අයට උන් වහන්සේ එතරම්ම අරුමයක් නොවූ බව පෙනේ.
    බුදුන් එන බව අසා කුතුහලයෙන් නගරයට ආ පිරිසක් එකිනෙකා පෙරලා ගෙන ගියහ.එවිට එක් ශ්‍රමණයෙක් හැපී ඇද වැටුනි. එක් පුරුශයෙක් ශ්‍රමණයා නැගිටුවා ලූ විට මොකද මේ කලබලේ කියා ඇසූහ. දන්නෙ නැද්ද අද බුදුහාමුදුරුවො එනවානෙ කියා කී විට ශ්‍රමනයා " මම තමයි බුදුහාමුදුරුවෝ " කියා ඇත. මේ අනුව බුදුන් එකළ සිටි මිනිසුන්ට වඩා වෙනස් කෙනෙක් නොවූ බව පැහැදිලිය.

    මම සිතන්නේ බුදුන් ද යේසුස් මොහමඩ් සොක්‍රටීස් වැන්නන් සේම සාමාන්‍ය මනුෂ්‍යයෙක් බවයි. උන් වහන්සේ දාර්ශනිකයෙකු , බුද්ධිමතකු සේම සමාජ සංශෝධකයෙකුද වූ සේක.එසේම පසුකාලීනව බුදුන් වහන්සේ වටා විවිධ දේවල් ගොඩ නගා ඇත,.


    මම බුදුරජානන් වහන්සේට ගරු කරමි. ඊට හේතු ඇත.ඒ සර්වඥයන් වහන්සේ කෙනෙක් ලෙස නොවේ.විශිෂ්ට දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙකු හා විද්‍යාඥයෙකු ලෙසය.උන් වහන්සේ කී දේ කුමක්ද

    බුදුන් වහන්සේ සිටි යුගයේ ඉන්දියාවේ හා චීනයේත් දාර්ශනික චින්තාවලියක් පහළ විය.


    බටහිරින් පර්සියාවේ අහුරමස්දා දහම පැතිරී තිබිණි.පර්සියානුවෝද ඉන්දියානුවන් සේම සොබාවික වස්තූන්ට නමස්කාර කරමින් සිට සර්වබලධාරී දෙවි කෙනෙකුට නම්ස්කාර කරන්නට පටන් ගත්හ. ඔවුන්ගේ අනාගත වක්ත්රෘන් වූවේ සොරවැස්ටර් තුමාය. ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය අවෙස්ථා නම් විය. මෙම දහමට අනුව අහුරමස්දා සහ ආරිමාන් යැ‍යි බලවේග දෙකක් වෙයි. අහුරමස්දා යහපතත් ආරිමාන් නපුරත් නියෝජනය කරයි.අවසානයේ ජය අහුරමශ්දාටය.ඊට පූරවයෙන් මැවුම්කාර බලවේගයක්ද වේ.

    අසල්වැසි චීනයේ ට ඕ නම් සංකල්පයක් විය. මෙය ඉන්දියානු බ්‍රහ්මන් ගේම චීන ස්වරූපයකි.ඉන්දියානු පුද්ගල දෙවියා චීන බලපෑමෙන් බලවේගයක් වූ බව මම සිතමි.මෙම කාලයේදීම කර්ම ය බලවේගයක් විය. රා ( සෝම ) බොන ගවයන් සමග ඔබ මොබ යන වෛදික දෙවිවරු ක්‍රම ක්‍රමයෙන් බලවේග බවට පත් විය.ඒ අනුව දෙවගනන්ට බැලුම් හෙළැන බ්‍රහ්මයා වෙනුවට බ්‍රහ්මන් නම් වූ සියල්ල තුල පවතින බලවේගයක් නිර්මාණය විය. මිනිසාගේ අරමුණ එම බලවේගය හා එක් වීමයි.

    දාර්ශනික ප්‍රබෝධය ඇතිවන්නේ එසේය. පවු ( කෙලෙස් ) නැති කර ගැනීමට විවිධ උපක්‍රම කියා දුන් ගුරුවරු තැනින් ඇන පහළ වේ.ශට් ශාස්තෲවරු පස්වග තවුසන් උද්දකලා කාල දේවල ලා මෙවැනි අයයි.බුදුන්ට පූර්වයෙන් මහාවීර ඉන්දියාවේද ලා ඔට්සේ චීනයේද ග්‍රීසියේ විශාල පිරිසක්ද දාර්ශනිකයන් ලෙස ජීවත් වූහ.මේ අය බුදුන් ට බලපා තිබේ. සිවුර , නමස්කාර ක්‍රම , අනුභව චාරීත්‍ර මේ සියල්ල මෙසේ උරුම වූ ඒවාය. ජෛනයන්ගේ පංචශීලයෙහි සුරාමේරය වෙනුවට තිබුනේ බ්‍රහ්මචර්යාවයි.

    කපිලවස්තුවේ කපිල මුනි නම් වූ දාර්ශනිකයෙක් විය. මෙතුමන්ගේ දර්ශනය සාංඛ්‍ය දර්ශනය නම් විය.සියල්ල අනිත්‍ය බව මෙයින් කියවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්මක් එහි විය. සියල්ල වෙනස්වන සුළුය කියා ඉගැන්වීය. කපිලවස්තුවට නම වැටුනේද මෙම මුනිවරයා නිසා ඔහු කොතරම් බලපෑමක් කළාද කියා සිතිය හැක.


    බෞද්ධ දර්ශනය සාංඛ්‍ය දර්ශනයේ දිගුවක් බව මට සිතේ.අවශ්‍ය නම් කපිල මුනි කාශ්‍යප බුදුන් ලෙස සිතාගැනීමට කෙනෙකුට පුළුවන.ජෛනයන්ගේද මෙවැනි තීර්ථංකරයන් 28 ක් වෙයි.වර්ධමාන 28 වැණි තීර්ථකරයන් වහන්සේය.පූර්ව බුදුවරු යන සංකල්පය බෞද්ද දහමට ආවේ ජෛනයන්ගෙනි. ජෛනාගම බුදුදහමට වඩා පැරණිය.ජෛනයන් ආදි කතෲවරයෙක් ගැනත් කියයි. ඒ පාර්ශ්වනාථය. සමහරවිට පාර්ශ්වනාථ හා කපිල මුනි එක් අයෙක් විය හැක.
    ඉන්දුඉ නිම්නයෙන්ද ශ්‍රමන රූප හමුවී ඇති නිසා ඇදහිල්ල වෙනුවට දාර්ශනික විග්‍රහ පැහැදිලිවම අනාර්ය උරුමයකි.


    ඉන්දියානු දර්ශනය බහුදේවවාදයෙන් ඒක දේවවාදයටත් ඉන් පසු බලවේග යුගයටත් පැමින දැන් ශූන්‍යවාදයක් කරා පරිනාමය වී ඇති බව පෙනේ.මට තේරෙන හැටියට ඒ කියන්නෙමෙයයි.

    සියල්ල වෙනස් වේ. නිත්‍ය වූ කිසිවක් නැත.මෙහිදී ආත්මයද නිත්‍ය නැත. එනිසා ආත්මයද වෙනස් වේ .එනම් ආත්මයක් නැත.මෙය කර්මය ක්ෂය ආත්මය විශුද්ධියට කරා යාමට වෙනස් වෙයි.එනම් විශුද්ධිය කරා යාමට ආත්මයක් නැත.මෙහිදී පරස්පරයක් ඇතිවෙයි.ආත්මයක් නැත්නම් විමුක්තිය ලබන්නේ කවරක්ද

    සම්මුතියක් ලෙස මමත්වය ඇත.මෙය රදා පවතින්නේ එය බිහිවීමට හේතුවූ සාධක නිසාය.එම සාධක අහෝසි වුන විට මම ද අහෝසි වේ.මෙය මෙසේ තේරුම් ගනිමු. අද ලෝකය ඊයේ ලෝකයේ ප්‍රතිපලයකි. එනම් අද ලෝකය ඊයේ ලෝකය ඇසුරින් නිර්මාණැය වූවකි. මෙය හේතුඵලවාදයයි. වෙන ගුප්ත කිසිවක් නැත.

    මම කියා කෙනෙක් නැත.මෙය මෙසේ තේරුම් ගනිමු. ශුක්‍රාණුවක් හා ඩිම්බයක් එක් වී යුක්තානුවක් ඇතිවේ.ශුක්‍රානුව හා ඩිම්බය වෙනත් ජීවීන් දෙදෙනෙකුගේය.එනිසා යුක්තානුවට මමත්වයක් තිබිය නොහැක.ජීවිතය පිළිබද සියළු තොරතුරු අඩංගු සෛල බෙදී බෙදී යයි.එනිසා සැබවින්ම නොපවතින මමත්වය පසුකාලීනව මනසේ නිර්මාණය වන්නකි.


    සිතිවිලි යනු චිත්ත රූපය. මෙම චිත්ත රූප ජීවියා තුල ගබඩා වෙයි.එසේම එක සමාන චිත්ත රූප කාන්ඩ ගත වෙයි.සිතීම යනු මෙයයි.අපට යම් චිත්ත රූපයක් පහල වූ විට එම චිත්ත රූපයට සමාන චිත්ත රූප අපේ මතක ගබඩාවෙන් එකතුවෙයි. මේ පොකුර වැල මෙන් යයි. එය අවසන් වන්නේ වෙනස් චිත්ත රූපයක් ගැටෙන විටය. එයද පෙර මෙන්මය.මමත්වය පහලවනේ මෙසේ කාන්ඩගතවීමේදීය.මෙසේ කාන්ඩගතවන්නේ එක් ප්‍රධාන චිත්ත රූපයක් වටාය. එය ප්‍රධාන චේතනාව ( භවාංගය ) කියා කියමු.ධර්මාවබෝධයේදී සිදුවන්නේ මෙම ප්‍රධාන චේතනාව අහෝසි වීමයි.මමත්වය අහෝසිවූ විට ලෝකය හා මගේ බැදීමද අහෝසි වේ.

    ධර්මයේ හරය එයයි.එය කෙනෙකුට පැහැදිලිව තේරුම් කළ හැකි තේරුම් ගත හැකි දෙයකි. අහසින් යාම් වැනි ප්‍රාතිහාර්යයන් අවශ්‍ය නැත.කිසිම මැජික් එකක් අදාලම නැත.

    සර්වඥ කෙනෙකුගේ නොව බුද්ධිමතකුගේ සාර්ථක පැහැදිලිකිරීමකි.ඉන්දියානු තත්කාලීන දැනුම සාරසංග්‍රහ කිරීමකි.සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ කතා සත්තු කතා කරන සිදුවීම් ,දිව්‍ය ලෝකවල දිග පළාල දමා විතන්ඩවාදීව කරුණු ඉදිරිපත්කිරීම් වලින් වන්නේ නිධානයකින් වැසූ පිධානය්ක් මෙන් සත්‍ය සැගවී යාමය.

    බුදුදහමේ සාරය අංගුලිමාල කතාවෙන් පිළිබිඹු වේ. ශ්‍රමන භවත් ගෞතමයන් දහස් ගනන් අංගුලිමාලලාට නවතින ලෙස කියයි. එහෙත් ඒ කිසිවෙක් නවතින්නේ නැත. ඒ වෙනුවට දුවන ලෝකයේ විවිධ අරමුණු ඔස්සේ දුවති හති වැටෙති.මොකක්ද මේ නැවතීම. නිර්මිත මන්හ්කල්පිතයක් වන මම නවත්වාගැනීමයි.සියළු සිතිවිලි බැහැරකිරීමයි. සියළු ආශාවන් දෂ්ට කරන සරපයන් බැවින් උන්ගෙන් ඈත්වීමයි.එසේ නැතිව විකාර පුදපූජා කරමින් ආශාවන් පොදි බදිමින් අඩව් අල්ලමින් දහ අට පාලිය නැටීම නොවේ.

    බුදුදහම යනු ක්‍රමානුකූලව කාලයක් තිස්සේ ඇතිවූ දාර්ශනික විපරිනාමයකි. තනි පුද්ගලයෙකුගේ සොයාගැනීමක් නොවේ. එහි කිසි ගුප්ත ගූඪ බවක්ද නැත
    බුදුදහම ඇතුළු භාරතීය දර්ශන ගැන තුලනාත්මක අධ්‍යනයක් අවශ්‍යය.මෙය ශ්‍රාවකයන් නළවා මෝහනය කිරීමට නොව බුද්ධි කලම්බනය පිණිසය.



    .





     
    • Like
    Reactions: Amila llll

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113



    yakageadaviya at 1:02 AM
    Share
    42 comments:

    vicharakaSeptember 14, 2015 at 1:15 AM
    බුදුහාමුදුරුවන් ඇත්තටම දකින්න පුළුවන් වෙන්නේ ඒ දර්ශනය ටිකෙන් ටික අවබෝධ වනවිටයි. පිළිමයක් කියන්නේ අධ්‍යාපනික ආධාරකයක්. නමුත් අපේ අය පිළිම දෙස බලන්නේ ඊට වෙනස් ආකාරයකට.

    Reply
    Replies

    yakageadaviyaSeptember 14, 2015 at 1:55 AM
    අධ්‍යාපනික ආධාරක සහ ඉතාම නූගත් මුග්ධ ( මේ වචනෙ යොදන එක හරිද මන්ද ) ජනකොටස් හික්මවීම පිනිස යම් යම් දේ යොදා ගන්නවා විය හැකියි. ඒත් ඒකෙන් වෙනෙ දර්ශනය යටපත් වීම. එතනයි අවුල.

    මම අත්දැකීමෙන් කියන්නෙ විදර්ශනාව ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දෙයක්ය කියන එක. විදර්ශනාව වඩන විට කෝපය, බිය, දෙගිඩියාව, ශෝකය ආශාවන් වගෙ දේවල් තුනී වුනේ පුදුමාකාර ලෙස.
    වෙදාටයි වට්ටෝරුවටයි වැද වද ඉදල පලක් නෑ බේත පාවිච්චි කරන්න ඕන.


    UnknownSeptember 14, 2015 at 9:06 PM
    ඔරුවට වඳින්න සලකන්න ඕන.ඒක තමයි එගොඩ වෙන්න පිළිසරණ වෙන්නෙ. පිහිඑ වෙන්නෙ. ඒත් එගොඩ ගියාට පස්සෙ ඔරුව කරේ තියාගන යන එකේ තෙරුමක් නෑ. ඉහත විචාරකත් යකාත් දෙදෙ නාම පවසන දෙයෙහි ගතයුතු හරයක් තිබෙනවා. බුද්ධ දර්ශනය පසක් කරන්නට තැත් කරමින් එම මග යනවා මිස බුද්ධාගමක් ලෙස ගනිමින් ගිරිවුන් සේ ගාතා කියවමින් මග වරද්දා ගන්නා අය මුදවා ගන්නයි වියත් හාමුදරුවරුන් ඕන වෙන්නෙ. එහෙම අය බොහොම හිඟ බවත් ඉන්නෙ කපටින් හා මුදලාලිලා බවත් වෙනම කතාවක්.

    Reply

    UnknownSeptember 14, 2015 at 1:44 AM
    අැත්ත යකා....................

    ඒ දර්ශනය තුළ මහා දැනුමක් සහ විද්‍යාත්මක සත්‍යයක් තියෙනවා.... ඒක තමා අපි අධ්‍යයනය කළ යුතු දේ.... නැතුව අැස් දෙක වහගෙන ඔහේ වැදගෙන පස්සෙන් යෑම නෙමෙයි...... අගනා ලිපියක්..

    Reply
    Replies

    yakageadaviyaSeptember 14, 2015 at 4:37 AM
    Well said thanks

    Reply

    එල ද බ්‍රා මෙන්ඩාSeptember 14, 2015 at 2:05 AM
    මේ ටික උඔ තරම් හොදට කියන්න අපේ හාමුදුරැ කෙනෙකුටත් බැරැව ඇති

    Reply
    Replies

    yakageadaviyaSeptember 14, 2015 at 2:09 AM
    ස්තුතියි

    හාමුදුරුවරු කට්ටියක් රොටී පුච්චනව. තව කට්ටියක් තම්බිල එක්ක මල්ලව පොර. තව කට්ටියක් මුර දේවතාවො වෙලා වොචර් ජොබ් එක බාර අරන්. තවත් කට්ටියක් නක්ෂත්‍ර ගුරුකම් කරල හරි ගියාම ගාස්තුව ඉල්ලනව.සමහරු මුදලාලිල.
    වැඩි දෙනෙක් ඇබිත්තයො සාමනේරල එක්ක ගල් කර්මාන්තෙ කරගෙන ගල් වඩුවො වෙලා දැහැමෙන් සෙමෙන් ඉන්නව.
    ඉතින් කොහෙද වෙලාවක්.පොතක්වත් කියවන්න.

    හැබැයි හොඳ හාමුදුරුවරුත් බින්නව. ආරන්‍ය සේනාසන වල වගෙ.


    කලියුගයSeptember 14, 2015 at 11:09 PM
    යමකු, ගිහියෙකු වශයෙන් ඔබ වැනි අයකු ඔබගේ ජාතික වගකීම පැහැර හැරි අවස්ථාවක ඒ වෙනුවෙන් පෙනිසිටින හාමුදුරුවන්ට සිදුවීම කණගාටුදායකයි... හාමුදුරුවන්ගේ වගකීම වන නිරවාණ මාර්ගය පසක් කිරීම ඔබ වැනි අයකු, හුරේ දාපු මිතුරනුත් බ්ලොග් හරහා භාරගැනීම කලියුගයයි.

    Reply

    UnknownSeptember 14, 2015 at 6:46 AM
    This comment has been removed by the author.

    Reply
    Replies

    UnknownSeptember 14, 2015 at 7:31 AM


    ඔබෙ ඉහත අදහස නිවරදියි.පසුකාලීනව ගුරැකුල බෙදියාමත් සමග බුදුන් වහන්සේ වටා විවිධ දේ එක් වනවා.විශේෂයෙන්ම මහායානික සංකල්ප තුල බුදුන් වහන්සේ අතිමානුෂියබවක් පෙන්වනවා.ආර්ය පර්යේෂණ,මහා පරිනිබිබාන කියන සූත්‍ර වලට අනුවනමි බුදුන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක්.මහාසකුලු දායි සූත්රයේදි උන්වහන්සේම කියනවා මම විශේෂ වෙන්නේ තමන් වහන්සේ සතු සුවිශේෂි ඥාණදර්ශණය නිසාය කියන කරැන.පසුකාලිනව බ්‍රහ්මණ ආගම නව ස්වරෑපයකින් හින්දු ආගම නමින් ඉදිරියට එනවා.සංකරාචාර්ය ත්‍රිමූර්ති සංකල්පයක් ඉදිරිපත් කරනවා බ්‍රහ්ම,විෂ්ණු,මහේෂවර ලෙසින්.ඉන් පසු විෂ්ණුගේ දස අවතාර අතරින් බුද්ධ යනු එක් අවතාරයක්ය යන මතය සමාජ ගත කරනවා.පසුව ක්‍රමයෙන් හින්දු සංකල්ප බුදු සමයට ඇතුලත් වෙලා බුදු සමයේ අනන්‍යතාවය ටිකින් ටික බිද වැ‍ටෙනවා.පසුකාලිනව මහයානිකයන් බුදුන් වහන්සේ වටා නොයෙක් පුරාවෘත ගොතනවා.කොහොම උනත් අද බොහෝ දෙනෙකුට මුල් බුදුසමය ගැන අවබෝධයක් නැ.අද සමජගත වෙලා තිබෙන කරැනුයි පිටකයේ තිබෙන මුල් සූත්ර ද්ශනාවල සදහන්වන කරැනුයි සමිපූර්ණයෙන් වෙනස්.බුදු සමය ආශ්‍රයකරගෙන ගොඩනැගිලා තිබෙන සාහිත්‍ය තමයි වර්ථමානයේ බොහෝ දෙනෙක් බුදු දහම කියලා හිතාගෙන ඉන්නේ.අද පවතිත බොහෝ දෙවල් මුල් බුදුසමයේ සදහන් නොවන දේවල්.භාවනා පිළිබදව උනත් එහෙමයි.මෙ පිළිබදව බොහෝ කරැනු දැක්වීමට ඇතත් අදහස දීර්ඝ වන නිසා කෙටියෙන් අවසන් කරන්නමි

    අපේ නවාතැන පැත්තේ ඇවිත් අදහසක් දක්වලා යන්න.මෙන්න පාර
    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ


    UnknownSeptember 14, 2015 at 7:33 AM
    අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ


    yakageadaviyaSeptember 15, 2015 at 1:17 AM
    බුදුහාමුදුරුවො කියන්නෙ සාමාන්‍ය මිනිහෙක්. ඒකෙන් එතුමාගේ කාර්යභාරය අවතක්සේරුවෙන්නෙ නෑ. උන් වහන්සෙ ප්‍රකාශ කළේ එවකට භාරතයෙ තිබුන දැනුම. දාර්ශනික පරිනාමයක අග්‍රඵලය ලෙස බුදුදහම හදුන්වන්න පුළුවන්. එය වහාම ප්‍රැක්ටිස් කළ යුත්තක්.
    සාහිත්‍යකරුවන් බුදුන් අරුම පුදුම දෙවියෙක් කරලා
    ඒ පැත්තෙ එන්නම්. ඔබගේ ලිපිය උඩින් පල්ලෙන් බැලුව එය ඉතා සුපිරියි. හුඟක් මහන්සි වෙලා කරුණු හොයල ලියපු බව පේනව.

    Reply

    ඉකොනොමැට්ටා EconomattaSeptember 14, 2015 at 6:50 AM
    මෙය මා සංවාදයට ලක් කිරීමට සිතා සිටි දෙයකි. එහෙත් ඊට පෙර වෙනත් දේ කතා කළ යුතුවිය. ඔබට මේ කරුණු ගැන මට වඩා දැනුමක් තිබේ. ඇත්තටම ඔබ සඳහන් කර ඇති පරිදිම බෞද්ධ දර්ශනයේ බොහෝ සංකල්ප කාලයක් තිස්සේ වර්ධනය වූ ඒවාය. බොහෝ බෞද්ධ සංකල්ප වර්ධනය වූයේ ජෛන සංකල්ප අනුවය. මහාවීර ගෞතම බුදුන්ගේ වැඩිහිටි පරම්පරාවට අයත් කෙනෙකි. නිර්වාන, පන්සිල් වැනි බොහෝ සංකල්ප බෞද්ධයන් ගත්තේ ජෛන ආගමෙනි. ඇත්තටම මේවා ඔවුන් නිර්මාණය කළ සංකල්පද නොවේ. ඔවුන්ද කළේ වර්ධනය කිරීමකි. වැඩි යමක් එකතු කිරීමට මේ වෙලාවේ විවේකයක් නැත. සුළු නිවැරදි කිරීමක්නම් 'වර්ධමාන 28 වැණි තීර්ථකරයන් වහන්සේය' යන්න 24 විය යුතුය.

    Reply
    Replies

    UnknownSeptember 14, 2015 at 8:13 AM
    පංච සීලය පමනක් නොව උපෝසථසීලය පවා බුදුන් වහන්සේ පහලවීමට පෙර පැවති සංකල්පයක්.නිර්වාණ,කර්මය,අවිද්‍යාව,සසර,වැනි බොහෝ සංකල්ප පෙර තිබුනත් බුදුන් වහන්සේ එයට දුන් අර්ථකතනය වෙනස් වෙනවා.පෙර සමයාන්තර තුල ඉගැන්වුන සාධුසමිමත යමි යමි ඉගැන්වීමි බුදුන් වහන්සේත් අනුමත කලා.සමහර අවස්ථාවන්වල එවැනි කරැනු විනයටත් ඇතුල්කලා.වස් සමාදන් වීම ජෛන ඉගැන්වීමක් මුල්කරගෙනයි පැනවෙන්නේ.පාචිත්තිය ශික්ෂා අතරත් එලෙසින් පැනවුන කරැනු තිබෙනවා.ඒ ආකාරයෙන් බුදුන්වහන්සේ සමයාන්තර සමහර කරැනු අනුයෝජනය කලා.සමහර දේවල් මදක් වෙනස්කලා.සිගාලවාද සූත්‍රය එවැනි සූත්‍රයක්.සතිපට්ඨානයෙත් එවැනි දේ තිබෙනවා.නමුත් ක්‍රමවෙිදයේ වෙනසක් තිබෙනවා.
    කොහොම උනත් වර්ථමනයේ කරැනු පටලවා ගැනීමක් තිබෙනවා.අද සිදුකෙරෙන මෛත්‍රිභාවනාවත් පිටකයෙහි දැක්වෙන ක්‍රමයත් අතර පවා වෙනසක් තිබෙනවා.අද සිදු කරන්නේ සුවපත්වෙවා කියන වචනය අරගෙන ඒ තුල සිත එකගකරන්න උත්සහ කරන එක.නමුත් මෙත්ත,කරජකාය,මෙත්තානිසංස,අඝාත පටිවිනය වැනි සුත්‍ර දේශනාතුල පෙන්වන්නේ මෙත් ආකල්ප සංවර්ධනය කිරිමක් ගැන.


    yakageadaviyaSeptember 15, 2015 at 1:26 AM
    28 නෙමෙයි 24 තමයි. මම ලියන්නෙ කරුණු සොයල ලිපියක් ලිවීම නොවෙයි. මතකයෙ තිබෙන දේවල් ඔහෙ ලියල දාන එක. කවදාවත් ලිපියක් ලියන්න කියල මූලාශ්‍රයක් බලල නෑ.ඉතින් මේ දේවල් මම කියෙව්වෙ මීට වසර 15 කට 20 කට එහායි. සමහර දේවල් මතකයෙන් ගිලිහිලා. නිවැරදි කිරීම ගැන සතුටුයි.

    ඉකොනොත් මනෝ මන්දිරත් කියන විදියට ඇත්තටම බුදුදහමෙන් 90% ක් ම කලින් පැවති දේවල් තමයි. සමහර තැන්වලදි බුදුන් තම නිගමන ඉදිරිපත් කළා.බ්‍රහ්මයා විවේචනය කළ බුදුන් තවත් බ්‍රහ්මයෙක් කිරීමට බමුණා ක්‍රියා කළා.තමන් වහන්සේ සර්වඝ්න නොවන බව වච්හගොත්ත සූත්‍රයේදෙ බුදුන් කීවා. මේ කොටස ඉවත් කරන්න බමුණාට බැරි වෙලා.
    එවකට තිබූ සියළු මිත්‍යාවන් බුදුදහමට එකතුකරල බුදුදහම බඩගිනි බුද්ධාගමක් කරල විගඩමක් කළාට බමුණට අභිධර්මයට ලොකු හානියක් කරන්න බැරිවෙලා තියනවා.
    අභිධර්මයට ලොකු හානියක් කරන්න බැරිවුනේ ඒකට විවිධ අර්ථකථන දෙන්න ලද බොළද බමුණාට නොහැකි වීමයි.

    Reply

    නයනේ - සිතුවිළිSeptember 14, 2015 at 8:01 AM
    මධ්‍යස්ත මත ධාරියා,
    ඔබගේ ලිපි වලට මා නොයෙකුත් වර අදහස් පල කලද ඒ සෑම විටම ඒවා නොසලකා හැරීමට බඳුන් විය. කමක් නැහැ බ්ලොග් කරුවෙකු නොවන මා මෙවැනි තැන්වල අදහස් පල කිරීම ඇතැම් විට ඔබලා දකිනවා ඇත්තේ පැනලා දීමක් හෝ බලෙන් ප්ලග් වීමක් ලෙස විය හැකියි. එසේ වුවත් කමක් නැහැ මගේ මතය කිව යුතුයැයි සිතෙන විට මා එය ප්‍රකාශ කරමි.

    ඔබගේ මේ ලිපියෙහි එන බොහෝ කරුනුවලට මා හේතු යුක්තව එකඟ නොවන මුත් මේම ලිපිය මා කලකින් දුටු යමෙකු තමන් බුදු දහම ගැන සිතන ආකාරය එලිපිට නිර්භයව පැහැදිලිව ප්‍රකාශ කල අවස්ථාවක් නිසා මා මේ ලිපිය ඇත්තෙන්ම අගයමි.

    මා එකඟ නොවන තැන් ගැන පැහැදිලි කිරීමට ගියහොත් මා හට ඔබගේ මුල් ලිපියට වඩා දිගු වූ ලිපියක් ලිවීමට සිදුවනු ඇත. එම නිසා යම් කිසි කරුනු කිහිපයක් පමණක් දක්වමි.
    ශ්‍රද්ධාව හා භක්තිය ගැන ඔබ දකවන අදහස ඉඳුරාම මිත්‍යාවකි. එනම් බුදු දහමෙහිම ශ්‍රද්ධාව දෙයාකාරයකට දක්වා ඇත. එම නිසා ශ්‍රද්ධාව යනු භක්තිය යන වචනය අසභ්‍යනිසා යෙදූ ආලවට්ටමක් නොව. එය පැහැදුලිවම වෙනස්ම වූ අරුතක් සහිත වෙනස් වදනකි. හරියට විග්‍රහ කොට බැලුවහොත් භක්තිය හා අමූලිකා ශ්‍රද්ධාව යන සංකල්ප දෙක යම් දුරකට සමානත්වයක් දක්වයි. එහෙත් බුදු දහමෙහි අගයකිරීමට ලක්වන ආකාරවතී ශ්‍රද්ධාව යන සංකල්පය ඊට ඉඳුරාම වෙනස් වූවකි. එනම් යමක් කෙරෙහි පැහැදිලිව ලබා ගත් අවබෝධයක් නිසා ඒ කෙරෙහි ඇතිවන විශ්වාසය ආකාරවතී (හේතු යුක්ත ) ශ්‍රද්ධාවකි. නොපෙනෙන දෙවියෙකු කෙරෙහි හෝ මා දෙවියන් ගේ නියෝජිතයාය, පුත්‍රයාය ආදී වශයෙන් වූ කථා අකාරවතී ශ්‍රද්ධාවෙන් පිහිටීමට කිසිසේත්ම නොහැකි කාරනාය.
    මේ එක් කාරනයකි.

    බිම්බිසාර, පසේනදී කෝසල හා අජාසත්ත යන රජවරුන් පිළිබඳ කතා පුවත තවත් පීලි පැනීමකි.
    එනම් මේ රජවරුන් මුලින් බෞද්ධයන් වූයේ නැත. එසේම මහා දානයන් බුදුනට පිළිගැන්වූ පසෙනදී කෝසල හා කෝසල මල්ලිකා ජෝඩුව කිසිදාක බෞද්ධයින් වූයේ නැත. ඔවුන් බුදුන් ට දාන පුරුනැමුවේත් බුදුන් බැහැදැකීමට ආයේත් රාවුෆ් හකීම් මහානායක හිමිවරුන්ට පළතුරු වට්ටියක් දෑතින් පිළිගන්වා මුණගැසීමට යන අයුරින් පමනි.
    බිම්බිසාර රජු පසුකලෙකදී බුදු දහම වැලඳ ගත් බවක් ත්‍රිපිටක දහමෙහි කියැවේ. එසේම අජාසත්තයන් පසුකලෙක බුදුන් කෙරෙහි මහා පැහැදීමකින් හා ආකර්ශනයකින් පසුවුවද බෞද්ධයෙකු වූ බවක් කියැවෙන්නේ කොතැනදැයි මාහට පැහැදිලි නැත. එම නිසා මා එය විවේචනය නොකරමි.

    ඉතින් එවන් පසුබිමක අනෙකුත් ආගමික ග්‍රන්ථ වල අසවල් රජු අපගේ අනුගාමිකයෙකියි කීම කිසිදු වරදක් නැත. එය අඩුම වශයෙන් යම්කිසි කාල සීමාවකට සත්‍යය වේ. අනෙක් අතට ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ ආගමේ බව කීමට එදා මිනිසුනුත් රුචි වූබව (අපේ ෆෙස්බුක් බෞද්ධයින් සේ ) මින් පෙනේ. (එයටත් හේතුව ධර්මානුකූලව පැහැදිලි කල හැක )

    මේ ලෙස මේලිපියෙහි ඇතිබොහෝ කරුනු වලයම් කිසි සුළු තැනක් වරද්දා ගැනීමක් මම දකිමි.
    ඔබ බුදු හිමියන්ගේ සර්වඥ්ඥ තාවය පිළිනොගැනීම ගැනනම් මම කිසිදු දොසක් නොදකිමි. එහි අරුත ඔබ ගැඹුරින් විමසන්නෙකු බවයි. දෙතිස් මහා පුරුශ ලක්ෂණ ගැන යමෙකුගෙන් ඇසූ පුවත්ක් නිසා ඔබ ශ්‍රද්ධාවක් (භක්තියක් ) පිහිටුවා ගන්නවානම් ඔබගේ විමර්ශනය එතෙකින්ම සුන් වේ.
    ඔබට ජය පතමි.

    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 1:40 AM
    බ්ලොග් අඩවිය පටන් ගත් දා සිට මේ වන තුරු කිසිම දිනක කිසිම කෙනෙක් නොතකා හැර නැත. මෙම අඩවියට එන කවුරුත් මගේ ආදරණීය අමුත්තෝය.ඇසින් නොදුටු නමුත් බ්ලොග්කරුවන් සමඟ සහෝදරාත්මක බැදීමක් ඇත. එසේම කිසිම කොමෙන්ටුවක් ඉවත් කර නැත. වෙනත් බ්ලොග් කරුවන්ට අපහාස කළ කොමෙන්ට් එකක් දෙකක් ඉවත් කළෙමි.මට අපහාස කළ ඇනෝ කොමෙන්ට්වත් ඉවත් කර නැත.
    එනිසා ඔබව ගනන් ගත්තෙ නැතැයි කරන චෝදනාව පිළිගත නොහැක.

    මා නියම බෞද්ධයකු වුනේ බුදු හිමියන් සරවඝ්න නැති බව තේරුම් ගත් දාය.

    ආකාරවතී ස්‍රද්ධාවක් පහළවන්නේ යමක් අවබෝධ කරගත් පසුය. බුදුදහමට අනුවනම් රහතන් වහන්සේට නම් එසේ ආකාරවතී ශ්‍රද්ධාවක් පහළ වනු ඇත. අනෙක් අයට අවබෝධ වී නැති නිසා ඔවුන් තුල ඇත්තේ වෙනත් ආගමිකයන්ට මෙන් අමූලිකා ශ්‍රද්ධාවකි/ඇදහිල්ලකි.

    රජවරු කර ඇත්තේ හකීම් කරන දේමය.එම රජවරුන්ගේ හැසිරීමෙන් ඔවුන් බෞද්ධ තියා සාමාන්‍ය ශිෂ්ටකමක්වත් තිබුනාද කියා සැකය. බිම්බිසාර යනු සිරකරුවන්ට( දේශපාලන විරුද්ධවාදීන්ට ) ඉතා දරුණු වධ දුන් අයෙකි. ඔහුට මේ වධ ගැන දැණුම ලැබුනේ පර්සියාවෙනි. පර්සියානු වධ හා මගධ වධ අතර සමානකම් ඇත.ප්‍රසේනජිත් හිට්ලර් මුසෝලිනි රන්ජන් ,විජේවීර වැනි ම්ලේච්ඡ අලුගෝසුවෙකි. ඔවුන්ගේ පුතුන් වන අජාසත්ත හා විඩූඩභ ගැන අමුතුවෙන් කිය යුතු නැතැයි සිතමි.

    අපි මුලින්ම බුදුන් වහන්සේ මහපොලොවට බස්වමු. ඉන් පසු නියම බෞද්ධයන් වෙමු.


    නයනේ - සිතුවිළිSeptember 15, 2015 at 2:49 AM
    සමාවන්න, නැවතත් මා ඔබට එක් කරුනක් මත එකඟ නොවෙමි.

    එනම් ඔබට අකාරවතී ශ්‍රද්ධාවක් පහල වීමට අර්හත්වයම අවබෝධ කල යුතුයැයි මා සිතන්නේ නැත. ඔබට බුදු හිමියන් ඉගන්වූ එකම එක කාරනයක් සම්මත මිනිස් සිතුවිලි සම්ප්‍රදායෙන් බැහැරව අවබෝධ විනි නම් ඔබට ඒ ගැන මහත් වූ ආහ්ඃලාදයක් හටගන්නවා නේද? එවිට බුදු හිමියන් දෙසූ මේ දෙය මෙතරම් අපූරුනම් විශ්මය ජනක නම්, උන් වහන්සේ දෙසා ඇති අනෙකුත් කාරනා වලත් තව කොතරම් නම් ගත යුතු දේ ඇතිද. මේවා වටහා ගැනීමට තැත්දරන්නෙමියි ඔබට යම් සිතුවිල්ලක් උපන්නානම් අන්න එයයි ආකාරවතී ශ්‍රද්ධාව. දැන් ඔබ බුදු හිමියන් දෙසූ දෙයෙහි ඇති ගැඹුර හා සත්‍යතාවය සොයන්නේ එහි එවැන්නක් ඇති බව විශ්වාසයෙනි (ඉල්ලම් පසක් බව දැන වට්ටියක දමා ගරන්නාක් මෙන් )
    මේ ශරද්ධාව බුදු හිමියන් අහසින් වැඩියායැයි කටින් කට ඇසූවෙකු කී නිසා ඇති වන විශ්මයට ඇති වෙනස ඔබ වැනි විමර්ශන ශීලියෙකුට අනිවාර්‍යයෙන්ම වැටහෙනවා.
    අකාරවතී ශ්‍රද්ධාවත් අමූලිකා ශ්‍රද්ධාවත් මා දකින්නේ මෙලෙසයි.

    Reply

    UnknownSeptember 14, 2015 at 11:44 AM
    ගිය පාර ලිපියත් මේකත් ආසාවෙන් කියෙව්වා මධ්‍යස්ථ. මමත් දකින්නේ බුදුන් දාර්ශනිකයෙක් ලෙස මිසක් පෙළහර පාන්නකු ලෙස නෙමෙයි. ඔය සියල්ල බමුණු මත වලින් වැසීගිය බෞද්ධ සාහිත්‍යය.

    //ජෛනයන්ගේ පංචශීලයෙහි සුරාමේරය වෙනුවට තිබුනේ බ්‍රහ්මචර්යාවයි.// මෙතනදි 3 වන
    සිල්පදයත් එක්ක පොඩි පැටලීමක් තියෙනවා නේද?

    Reply
    Replies

    ඉකොනොමැට්ටා EconomattaSeptember 14, 2015 at 12:53 PM
    මධු මාධවී: මෙයත් නිවැරදි විය යුතු තැනක්. ඇත්තටම සුරාමේරය වෙනුවට තියෙන්නේ අපරිග්‍රහ කියන එක. එයින් අදහස් වන්නේ පාරිභෝගික භාණ්ඩ වලට නොඇලී අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමයි.

    अहिंसासत्यास्तेय ब्रह्मचर्यापरिग्रहाः
    අහිංසාසත්‍යාස්තේය බ්‍රහ්මචර්යාපරිග්‍රහාඃ

    ඉතිරි හතරනම්:
    අහිංසා: මෙය අපේ ප්‍රාණඝාතයට වඩා පුළුල් සංකල්පයක්. ජෛනයන් ගස් මුලින් උදුරා ආහාරයට ගත යුතු අල, ළූණු වැනි දේවත් කන්නේ නැහැ. ක්ෂුද්‍ර ජීවීන් මියයන නිසා වතුර බොන්නේ පෙරීමෙන් පසු.
    සත්‍ය (බොරු නොකීම) සහ අස්තේය (සොරකම් නොකෙරීම): බෞද්ධ සංකල්ප වලට කිට්ටුයි. ඒත් මේ දේවල් නොකර සිතීම පමණක් වුවත් ජෛනයන්ට අනුව වැරදියි.
    බ්‍රහ්මචර්යා: අපේ තුන්වන සිල්පදයට කිට්ටුයි. හැබැයි සිතීමත් වරදක්.
    සුරා පැසෙන විට ක්ෂුද්‍ර ජීවීන් මියයන බව ජෛනයන් විශ්වාස කරන නිසා මෙය පළමුවැනි සිල්පදයටම අයිතියි. ඒ නිසා වෙනම සිල් පදයක් ඔවුන්ට අවශ්‍ය නැහැ.
    බෞද්ධ පන්සිල් වල අපරිග්‍රහ නැතත් මෙය බුදුන් අනුදැන වදාල දෙයක්.

    මේ සිල් පද රැකීම ප්‍රායෝගිකව අපහසු නිසා 'හැකි පමණ දුරට' කියන එකයි ජෛන සංකල්පය වුනේ. සිද්ධාර්ථ ගෞතමයන් විසින් මේ 'හැකි පමණ' කියන එකට ප්‍රායෝගික නිර්ණායක හැදුවා.


    UnknownSeptember 14, 2015 at 6:14 PM
    ඉකෝ ඔබ ලග ජෛන ඉගැන්වීමි වල පරිවර්තනයක් තිබෙනවද..මා ලග එම ඉගැන්වීමි පිළිබදව ලියවුන සිංහල ග්‍රන්ථ තිබුනත් පරිවර්ථන ග්‍රන්ථයක් නැ.මම හොයාගන්න බොහෝ උත්සහ කලා.ඒත් බැරිවුනා.මරදානේ සෑම පොත් කඩයකම හෙවිවා.ඒත් තිබුනේ නැ.ඔබ එය කොහෙන්ද හොයාගත්තේ.මම ක්ලාස් කරන නිසා මූලාශ්‍ර ග්‍රන්ථ අවශ්‍ය වෙනවා.මිලට ගන්න පුල්වන් තැනක් තිබෙනවනමි ලොකු උපකාරයක්.


    ඉකොනොමැට්ටා EconomattaSeptember 14, 2015 at 6:34 PM
    පරිවර්තන හෝ සිංහල පොත් මා කියවා නැහැ. ඇත්තටම මා ළඟ තිබුණු සිංහල නොවන පොතුත් දැනට මා සතුව නැහැ. ජෛන භක්තිකයින් මා ලඟින් ඇසුරු කර තිබෙනවා.


    නයනේ - සිතුවිළිSeptember 14, 2015 at 7:11 PM
    ජෛන දහමේ මූලික ඉගැන්වීම් ගැන දැනුවත්ව කෙරෙන මේ සාකච්චාව බොහෝම වැදගත්.
    ඒත් මම දකින විදියට බුදු දහමේ තුන් වන සිල්පදය ඉතාම වැරදි ආකාරයේ අරුත් දක්වීමක් තමයි වෙන්නේ. තුන් වැනි සිල් පදයේ එන කාම යන වදන අපි බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන. කාම සඟරා කාම චිත්‍රපට වැනි තැන්වලදී නම් ඒක හරි ඒත් බුදු දහමේ එන කාම කියන වචනයට ලිංගිකත්වයට වඩා බොහෝම එහාට ගිය අර්තයක් තියෙනවා. ඒ සඳහා "කාම සුකල්ලිකානු යෝගය" කියන වචනයේ අර්ථය ගෙන බලන්න. මෙහි කාම කියන වචනය සමස්ථ ලෞකික සම්පත් විඳීමටම අයත් වෙනවා ලිංගික කාරනය ඉන් එකක් පමණයි.
    සියළු කාම සමත්ති මිච්චා ආජීවයෙන් වැලඳීමෙන් වැලකීම තමයි තුන් වැනි සිල් පදයෙහි අරුත.
    මේකෙන් කියන්නේ නැහැ ගිහි බෞද්දයාට කටට රසට කෑම හෝ මන්දිරයක වාසය අකැපයි කියලා ඒක ඊට වඩා බොහෝම සිහියෙන් විමසිය යුතු දෙයක්.
    ඒ අනුව ජෛන ආගමේ බ්‍රහ්මචරියා සිල්පදය බුදු දහමේ තුන්වැනි සිල්පදයට වඩා විශාල ලෙස වෙනස් වූවක්.

    yakageadaviyaSeptember 15, 2015 at 1:49 AM
    මධු @
    තුන්වනි සිල්පදය ගැන ඉක්කා පැහැදිලිකිරීමක් කරල. ඇත්තටම කාමේ සුමිච්ඡාචාරා කියන්නෙ සෙක්ස් නෙමෙයි. ආහාරයකට කෑදරකමක් ඇතිවුනත් ඒක තුන්වැනි සිල්පදය බිදවැටීමක්.පංචකාම වස්තු ගැනයි ඒ කියන්නෙ.

    බ්‍රහ්මචර්යාවනම් සෙක්ස් වලින් සම්පූර්නයෙන්ම වැළකීම

    මනෝ @ ජෛන දහම ප්‍රායෝගික නෑ නේද?
    අපි හුස්ම ගන්නකොටත් ප්‍රානීන් මැරෙනවා ,වතුර බොන කොටත් මැරෙනවා. ඒ නිසා ජෛනයන් වතුර උනු කරල බොනවලු නේද

    සිතිවිලි සී තුන්වන සිල්පදය ගැන නියම පැහැදිලිකිරීමක් කරල.

    මගෙ අදහස මේකයි. අප කළ යුත්තේ බැඳීම් වලින් මිදීමයි. දුකට හේතුව බැඳීම් .බැඳීම් ඇතිවෙන්නෙ තෘෂ්නාව නිසයි.සිතිවිලි ඇතිවන්නෙ බාහිර අරමුණු නිසයි.අපි මේ බාහිර අරමුණුවලින් ගැලවෙන්න ඕන. ඒක තමයි හරය.

    Reply

    DineshSeptember 14, 2015 at 2:14 PM
    බුදුදහම හරියට දකින්න ඕන පොත පතින් පිළිම රූප වලින් නෙමෙයි.. ඒ දේශනා කරපු දේවල් අපි හිතට එකගව අනුගමනය කිරීමෙන්.. අන්න එහෙම කරන ඕනම කෙනෙක්ගේ හිතේ බුදුන් ජීවමානයි කියන හැඟීමයි මට නම් තියෙන්නේ..

    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 1:54 AM
    දේශනා කරපුවත් ඇත්තටම බුදුන් දේශනා කළ් ඒවාමද කියා හංසය කිරි දියෙන් වෙන්කරන ලෙසට වෙන් කරගත යුතුයි.
    භාෂා ශෛලිය හා නම් ගම් ආදිය මෙයට පහසුවක්. සංග්‍රාමජිත් වගෙ නම් බුද්ධකාලෙ තිබුනෙ නෑ ඒව ආවෙ සංස්කෘත යුගයෙන් පසු. බුදුන් සංග්‍රාමජිත් භික්ශුව ට ප්‍රශංසා කළා කීවට සංග්‍රාමජිත් ඉදල තියෙන්නෙ මුස්ලිම්වරු ඉන්දියාවට එන කාලෙ.සමහර සූත්‍රත් පසුකාලීනව එකතුවුන ඒව කියනව නේද

    අභිධර්මය නම් අමිශ්‍රව තියනව කියල හිතන්න පුළුවන්. මොකද ඒව වෙනස් කරන්න තරම් දැනුමක් හැකියාවක් තක්කඩින්ට තිබුන කියල හිතන්න බෑ.ඒක එහෙමම ගෙන එන්න ඇති.


    Reply

    ඉකොනොමැට්ටා EconomattaSeptember 14, 2015 at 6:57 PM
    //සිතිවිලි යනු චිත්ත රූපය. මෙම චිත්ත රූප ජීවියා තුල ගබඩා වෙයි.එසේම එක සමාන චිත්ත රූප කාන්ඩ ගත වෙයි.සිතීම යනු මෙයයි.අපට යම් චිත්ත රූපයක් පහල වූ විට එම චිත්ත රූපයට සමාන චිත්ත රූප අපේ මතක ගබඩාවෙන් එකතුවෙයි. මේ පොකුර වැල මෙන් යයි. එය අවසන් වන්නේ වෙනස් චිත්ත රූපයක් ගැටෙන විටය. එයද පෙර මෙන්මය.මමත්වය පහලවනේ මෙසේ කාන්ඩගතවීමේදීය.මෙසේ කාන්ඩගතවන්නේ එක් ප්‍රධාන චිත්ත රූපයක් වටාය. එය ප්‍රධාන චේතනාව ( භවාංගය ) කියා කියමු.ධර්මාවබෝධයේදී සිදුවන්නේ මෙම ප්‍රධාන චේතනාව අහෝසි වීමයි.මමත්වය අහෝසිවූ විට ලෝකය හා මගේ බැදීමද අහෝසි වේ.//

    මම මේකම ටිකක් වෙනස් විදිහට කියන්නද? දැන් අභිධර්මයේ චිත්ත වීථි කියා දෙයක් තියෙනවනේ. මෙය ඔබ කියන කාණ්ඩයක්. මේ වගේ කාණ්ඩ එකින් එක එන බවනේ කියන්නේ. යම් සංවේදනාවකින් (විඳීමකින්) පටන් අරන් ඒ ගැන අපේ අවධානය බිඳෙනකම්. මේ චිත්ත වීථි සුළු නිමේෂයකින් නැතිවෙලා යනවා. අභිධර්මය අනුව ඇතිවී නැතිවන සිත් මිසක් සිතක් කියා තනි දෙයක් නෑනේ. සිතුවිලිත් එහෙමයි. මේ චිත්ත වීථි එකිනෙක සම්බන්ධ වෙන්නේ භවාංග සිත් වලින්. වෙනත් චිත්ත වීථි ඇති නොවන වෙලාවට හැම විටම හිස් තැන පුරවන්නේ මේ භවාංග සිත් වලින්නේ. මේ නිසා මේ චිත්ත වීථි අඛණ්ඩව සම්බන්ධ වෙලා තනි වැලක් හැදෙනවා. එතකොට එක දිගට ජීවත් වන පුද්ගලයෙක් ඉන්නවා. දැන් මම මේ කතාවට ඔබ කියන අදහස (මට තේරෙන විදිහට) සම්බන්ධ කළොත් අපි මේ භවාංග සිත් ඇතිවන එක නවත්වනවා. එතකොට චිත්ත වීථි පහල වුනත් ඒ වීථිය ක්ෂණයකින් ඉවර වුනා. එච්චරයි. ඊළඟ චිත්ත වීථියට සම්බන්ධයක් නැහැ. සංවේදනා ආවත් එතනින් එහාට කිසිවක් නැහැ. විඳින පුද්ගලයෙක් නැති නිසා. මේ වගේ දෙයක්ද ඔබ කියන්නේ?



     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113


    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 2:00 AM
    ඒක තමයි කියන්නෙ. සිත කියා තනි දෙයක් නෑ. මමත්වය පසුකාලීන නිර්මාණයක්.විඳින පුද්ගලයෙක් නැති බව අවබෝධවීමක් අවසාන යේ සිදුවිය යුත්තෙ. ඒක තම බුදුදහම. ඒක අවබෝධ කරගන්න හාස්කම්. කතා කරන නයි. අහසින් යාම් අවශ්‍ය නෑ. සාමාන්‍ය මිනිස් සොයාගැනීමක්. එපමණයි.

    ප්‍රශ්නෙ මේකයි.
    ඔය දේවල් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑනෙ. ඒ නිසා හැකිතාක් සරල කරන්න ඕන.මගෙ ප්‍රයත්නය ඒ සඳහායි.

    Reply

    AnonymousSeptember 15, 2015 at 12:27 AM
    ඉතා හොද මාතෘකාවක් , නමුත් ඔබ කියන විදිහට "තාර බර හැර මඩද සෝදා" කියන්නේ බුදුන් වහන්සේගේ සර්වඥ භාවය හෝ ප්‍රාතිහාර්යයන් පෑම විශ්වාස නොකර බැහැර කිරීමද ? එවැනි කරුණු ගුප්ත යැයි ඔබ පවසන්නේ ඇයි ? නිර්වාණය අවබෝද කිරීමට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ "සම්මා සමාධි" තුල ධ්‍යාන ගැන කියවෙන අතර ඒවත් ගුප්ත යැයි බැහැර කල යුතුද ?

    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 2:05 AM
    ආර්ය අශ්ඨාංගික මාරගයෙ සඳහන් වන ධ්‍යාන බැහැරකළ යුතු නෑ. බැහැර කළ යුත්තෙ සාහිත්‍ය කරුවන් විසින් රිංගවා ඇති බව පැහැදිලිව පෙනෙන මැජික්.
    ප්‍රාතිහාර්ය මොකටද
    ගුරුත්වාකර්ශන නියම නිව්ටන් සොයාගත්ත. අපට ඒක විශ්වාස කරන්න නිව්ටන් අහසින් ගියා කියලත් කියන්න ඕනද
    ඇයි මේ විශිෂ්ට සොයාගැනීම මැජික් වලින් වසා දමන්නෙ.සිත දියුණු කළ උතුමන් සිටිනවා. බුදුනුත් එවැන්නෙක්.හැබැයි චිත්ත බලෙන් ගස් ගල් පෙරලන්න බැහැ. සිත දියුනු කිරීමේ වාසි තමන්ටමයි.
    අදටත් ඉන්දියානු යෝගීන් අවුරුදු දහස් ගනන් ජීවත් වෙනව , කටින් ගිනි මවනව, භාන්ඩ මවනව කිය කිය බොරු කියන්නෙ.


    AnonymousSeptember 15, 2015 at 5:54 AM
    ප්‍රතිචාරයට බොහෝම ස්තුතිය්, මට ඔබ සමග වාද කරන්න අවශ්‍ය නැහැ. මම දැක තිබෙනව අලුත් ප්‍රවණතාවයක් බොහෝ දෙනෙක් තමන්ගේ ආගම් වල තිබෙන Supernatural (ප්‍රාතිහාර්යයන් හෝ ඒ සමාන දේවල් ) මිත්‍යාවන් සේ සලකා හරය පමණක් සලකා කටයුතු කලයුතු බව පැවසීම. එසේම තවත් අය එවැනි supernatural events විද්‍යාවෙන් පැහැදිලි කරමින් පිළිගනිම. (මෙවැනි අදහස් දරණ බෞද්ධ , ක්‍රිස්තියානි, හින්දු හා මුස්ලීම් අය ගොඩක් හමුවී ඒ පිලිබදව කතා කොට තිබෙනවා ). නමුත් ඔවුන් මෙසේ සිතන්නේ අහසින් යාම, ජලයේ ඇවිදීම, මැවීම වැනි භෞතිකව අසාමාන්‍ය දේවල් දෙස පමණි. යේසුස් වහන්සේ ජලයේ මත ඇවිදීම හෝ දෙවියන්ගේ පුත්‍රයා ලෙස සැලකීම අතිසොක්තියක් ලෙස සලකන අය සර්වබලධාරි දෙවියන් ගැන විශ්වාස කරමින් ඔහු සමග ඍජුව සම්බන්දවීම සුදුසු බව විශ්වාස කරයි.

    බුදුන් වහන්සේගේ ධර්මය තුල ප්‍රාතිහාර්යයන් පෑමේ හැකියාව මිත්‍යාවක් සේ සලකන ඔබ එම බුදුන් වහන්සේගේම ගැඹුරු ධර්මය විශ්වාස කරයි. එවැනි ගැඹුරු දර්ශනයක් සාමාන්‍ය මිනිසකුගේන් බිහිවිය හැකිදැයි ඔබේම සිත ප්‍රශ්න කරනවිට ඔබ කරන්නේ බුදුන් වහන්සේගේ ධර්මය එකල තිබූ අනෙකුත් දර්ශනයක දිගුවක් බව ගැලපීමයි. මට සිතෙන ආකාරයට ඔබ සියල්ල ප්‍රශ්න කොට ඔබට අවශ්‍ය පිළිතුර කරා (ඔබගේ විශ්වාසයට අනුව) එලබි එය එය සාධාරණය කිරීමට උත්සහ දරයි. ඔබ කියන ආකාරයට බුද්ධ දර්ශනය තවත් ධර්මයක දිගුවක්නම් බුදුන් වහන්සේගේ පළමු දේශනාව වන "ධම්මචක්ක පවත්තන" සුත්‍රය අසා සෝවාන් වූ එකල තිබූ අනෙකුත් දර්ශයනයන් අධ්‍යනය කොට සිටි කෝණ්ඤ්ඤණ තවුසා තමාට " පෙර නොඇසූ විරු ධර්මයක දහම් ඇස පහළවිය ..... යැයි උදානය කරන්නේ කුමක් නිසාද? (මම ඉන්දියාවේ වසර 2 ක් සිටි අතර ජෛනාගම ගැන කුඩා අධ්‍යනයක් සිදු කලෙමි. එහිදී මම දුටු ආකාරයට ජෛනාගම මුල් කාලයේ සංවිධානාත්මකව නොතිබි ඇති අතර මොර්ය රජ වංශයත් සමග පසුකලෙක සංවිධානාත්මකව වර්ධනය වී ඇතිබවයි.)

    බුදුන් වහන්සේගේ සර්වඥ ඥාාණය ප්‍රතික්ෂේප කරන ඔබ උන් වහන්සේගේ පුබ්බේ නිවානුස්සතිඥාාණය, චුතුඋපාපති ඥාාණය හා ආශවඤයා ඥාාණයන් ද ප්‍රතික්ෂේප කරයිද ? ආගම් වල කියවෙන ශ්‍රද්ධාව හා භක්තිය විවේචනය කරන ඔබ නූතන භෞතික විද්‍යාව තුලින් ආගම් මැනීමට උත්සහ කරන්නේ නූතන භෞතික විද්‍යාව සදහා ඔබ තුල ඇති ශ්‍රද්ධාව හා භක්තිය නිසා බව සිතේ.

    ධර්මය තේරීම සහ අවබෝධ වීම යනු දෙකකි . බුදුන් වහන්සේ අහසින් පොලවට ගෙන ඒමට කරන උත්සාහය ම දකින්නේ ධර්මය දැනට පවතින භෞතික විද්‍යාව තුල කොටු කිරීමට දරන ප්‍රයත්නයක් වශයෙන් පමණි . ප්‍රශ්නයවන්නේ එහි පවතින ලෝකෝත්තර කොටස් අප දන්නා විද්‍යාව මගින් පැහැදිලි කර ගැනීමට ගොස් සියල්ල මිත්‍යාවක් ලෙස අර්ථකථනය වීමට ඉඩ ඇති නිසයි.

    Reply

    Pra JaySeptember 15, 2015 at 2:03 AM
    ඔබගේ පෝස්ට්වල ගැන මට තියන ප්‍රශ්නය තමයි ඒවා ගැන සෑහීමකට පත්වන තරමේ කමෙන්ට් දාන්න බැරි එක. දීර්ඝ කතාබහක් මිස කමෙන්ට්වලින් කරන්න බෑ

    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 2:13 AM
    වෙන්න පුළුවන්.

    ඇත්තටම මට ඕන ඔය කියන දීර්ඝ කතා බහ තමයි. ඒක සමාජයෙ සජීවීව වෙන දකින්න මට ඕන. හැම දෙයක්ම විමසන සංවාදශීලී නිදහස් සමාජයක් බිහිවෙනව දකින්න මම ආසයි.
    සියළුම පිලිම බිද දමන්න ඕන. සත්‍ය වගේම සත්‍ය සොයාගත් උතුමනුත් පිළිමවලට යට වෙලා දුක් විදිනවා.

    මිනිසා තමන්ගෙම සෙවනැල්ලට බයවෙනව. ඒ බය තුලින් ඔහු ගූඪ බවක් සෙවනැල්ලට ආරෝපනය කරනව. ඒක පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරවනව.අපි මේක නවත්වන්න ඕන.ප්‍රශ්න කරන්න ඕන.එසේ ප්‍රශ්න කරන්නාවත් අනුන්ගෙ ප්‍රශ්න කිරීමට ලක් විය යුතුයි.එවිටයි සංවාදශීලී සමාජයක් බිහිවෙන්නෙ.

    Reply

    samakayawateSeptember 15, 2015 at 2:09 AM
    අද ඉන්නා මහානායක කෙනකුටත් වඩා හොඳින් කරැණු කාරණා ඔබ ඉතාමත් මැනවින් සරලව කියා ඇත. සිත පහන් විය.

    Reply
    Replies

    yakageadaviyaSeptember 15, 2015 at 2:16 AM
    සතුටුයි ස්තුතියි .කළ යුත්තේ හැකිතාක් සරලව අදට ගැලපෙන උපමා ,භාෂා ශෛළීන් යොදා ගෙන පැහැදිලිකිරීම තමා

    ඇත්තටම ධර්මය ගැන කියවන්නට කැමති අය සිටිනවානම් තවදුරටත් ඒ ගැන ලිවිය හැක.

    Reply

    MPP GunasingheSeptember 16, 2015 at 2:32 AM
    බෞද්ධයෙක් ය කියන්නේ සියල්ල විමසන ප්‍රශ්න කරන්නෙක් කියන විදිහේ හැඳින්වීමක් මා අසා තිබෙනවා. ඒ අනුව මධ්‍යස්ථ මතධාරියා විදිහට මා කියවා ඇත්තේ නිර්භයව ලියූ බෞද්ධයකුගේ පෝස්ටුවක්.

    Reply
    Replies

    yakageadaviyaSeptember 17, 2015 at 11:24 PM
    අන්ධයෙක් පසුපස තවත් අන්ධයන් රැලක් පේලියට යනවා වාගෙ වැඩක් නෑනෙ.බුද්ධිය හැර අන් සරනක් නැතැයි කියන අපි කොහොමද ඊට පස්සෙ මෝඩ දේවල් අදහන්නෙ.මේක ඇදහිල්ලක් නෙමේ අවබෝධයක්නෙ.
    සීතාම්බර පටය වගෙ කවුරුවත් කතා නොකරන දෙයක් වෙන්න ඕන නෑ. කොහෙන් හරි පටන් ගන්න ඕන.
    මේක කන්ට මංග සූත්තරයක් කරගෙන ඉන්න ඌරුමීයො එලවල දාන්නත් ලේසියි.

    Reply

    කල්‍යාණ මිත්‍රSeptember 17, 2015 at 1:00 AM
    බුදුන් වහන්සේ ගැන මගේ කියවීමත් මීට බොහෝ සෙයින් සමානයි. නමුත් ඔබේ දැනුම හා කරුණු ඉදිරිපත් කිරීම වඩා පුළුල් හා තාර්කිකයි. ඒ හරහා මාත් මගේ අපැහැදිලි තැන් ගැන පැහැදිලි කිරීම් කර ගත්තා. ස්තුතියි. මේ ලිපිය පෙන්විය යුතු බොහෝ පිරිසක් ඉන්නවා. එත් කියෙන් කි දෙනෙක් පිළිගැනීමට සුදානම් වෙයිද විශ්වාස නෑ..

    Reply
    Replies

    yakageadaviyaSeptember 17, 2015 at 11:36 PM
    බුදුන් වහන්සෙව හින්දු දෙවියෙක් කරගෙන. ඉන්දුනීසියාවෙ එහෙම බුදු පිළිමවලට කිරිත් පොවනව. ලංකාවෙ කෑම ,බෙහෙත් පූජ කිරීම විතරනෙ කරන්නෙ. මේව බෞද්ධ දර්ශනයට එකඟ නෑ.
    මනෝ සෙට්ඨා මනෝමයා කියල අන්තිමට මනස හික්මවීම පැත්තකට දාල දානය ඉස්සරහට ගන්නවා. බුදුමග බුද්ධිමතුන්ට ගෝචර වූවක්.හිඟන්නන්ට නෙමෙයි.
    මනස හික්මවීම පැත්තට යොමුවුනානම් සමාජය හැම පැත්තකින්ම ඉදිරියට ඇවිත්. අශෝක තමන්ගෙ දේශපාලන ව්‍යායාමයන්ට ඕන විදියට හැඩගස්වන්න ගිහින් අවුල ආරම්භ වුනා.
    මුලින්ම බුදුන් වහන්සෙ අපි වාගෙ සාමාන්‍ය මිනිහෙක් කියල හිතල උන් වහන්සෙ සමකාලීන හා පුරාන ඉන්දියානු දර්ශනයෙ සහ මනෝ විද්‍යාවෙ හරය විදියට ප්‍රකාශයට පත් කළ කාරනා වලින් ප්‍රයෝජනයක් ගත්තනම් තමයි වටින්නෙ.පුරාන උගතුන්ගෙ වෛද්‍ය ගා ගණිත ක්‍රම භාවිතයට ගන්නව වගෙ.
    සමහර දේවල් කාලානුරූපීව බුදුන් වහන්සෙටත් ඉදිරියට ගිහින් කරුණු සොයාබලා නිගමන වලට එළබීමේ වරදක් නෑ. අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය පරීක්ෂනයට ලක් කරනව වගෙ.
    සර්වඥ මිනිස්සු මේ ලෝකෙ නෑ.ඒව කාලය හා සාහිත්‍යයෙ නිර්මාන පමණයි.

    නියම බෞද්ධයෙක් වෙන්න පුළුවන් වෙන්නෙ බුදුන්ගෙන් මිදුනොත් තමයි.


    නයනේ - සිතුවිළිSeptember 21, 2015 at 6:52 AM
    මිත්‍රයා(මද්‍යස්ථ මතධාරියා ),ඔබ දරන මතය ඇතැම් විට ඔබට හිතකර වුනත් පොදුවේ දහම අවබෝදයට හිත යොමු කොට නැති උදවිය හට ඉතාම හානිකර වන බවකුයි මට නම් පෙනෙන්නේ. වරදවා වටහා ගන්න එපා, ඔබ තුමා සර්වඥතාවය මෙතරම් දැඩිව ප්‍රථික්ශෙප කරන්නේ දහමෙහි එන සර්වඥතාවය කියන කාරනය ගැන වැටහීමක් නැතිව බවයි මට හිතෙන්නේ.
    වචනයක් කියන්නේ හුදු සංඤ්ඤාවක්. ඉතින් නානාත්ත කායා නානාත්ත සංඤ්ඤා සතුන් වන අපි එකම සංඤ්ඤාව විවිධාකාරයෙන් දරා ගැනීම සරල සිදුවීමක්. ඉතින් ඔබ එම වදන හෝ එම වදනෙහි භාවිතය විවේචනයට පෙර එම වදන දහමෙහි යෙදෙන්නේ කුමන අරමුණ කින්දැයි දැඩිව සොයා බැලීම නුසුදුසුද?
    සරව්ඥ්ඥකීමෙන් බුදු හිමියන් සාපෙක්ශතා වාදය දැන සිටිය යුතු යැයි යමෙකු කියනවානම් එය මුලාවකි.
    උන් වහන්සේ අවබෝධ කලේ ලෝකයේ පරම සත්‍යයයි. ඉතින් පරම සත්‍යය අවබෝධ කල කෙනා සර්වඥ්ඝ්න නොවේනම් ඒ අන් කවුරුන්ද?
    අපි ස්පර්ශ කරන භෞත රසායනික පද්දති වලින් සැදි ලෝකය බුදු හිමියන්ට හුදු රූපයක් පමණක් වූයේ ඇයි? ඒ රූපය ම පමණක් ඇසුරු කරමින් වත්මන් ලෝකය කරනා නොයෙකුත් සොයා ගැනීම් බුදු හිමියන් ඊට පෙර වදාරා නැත්තේ ඇයි. මෙයින් මා අදහස් කරන්නේ නැහැ උන් වහන්සේ ඒ සියල්ල දැන සිටි මුත් දේශනා නොකල බවක්. ඒත් ඒ බෞත රසායනික පද්ධතීන් හා කරන ගනුදෙනුව බුදු හිමියන්ට අනුව ඉතාමත් ප්‍රාථමික ගනු දෙනුවකි. ඒ සමග කල හැකි දේ බොහෝ වුවත් ඉන් දුකින් මිදීමට මගක් සැලසෙන්නේ නැහැ. තෘශ්නාව වැඩවීමට මිස දමනයට මගක් සැලසෙන්නේ නැහැ.
    මේ ආකාරයට සිතා ඔබට හැකිනම් බුදු හිමියන් පසුකොට ඉදිරියට ගොස් ඇති ලෝක ධර්මතාවය පිළිබඳව වූ දැනුමක් ගැන සිතා බලන්න. මේ අභියෝගයක් නොවෙයි සිතීමට කරන යෝජනාවක් පමණයි.
    ඔබ මා හා එකඟ නොවේවි. මේ වාදයට දරන තැතක් නොවෙයි එහෙත් විමර්ශන ශීලී පුදගලයෙකු හා මෙවැන්නක් පැවසීමෙන් අයහපතක් සිදු නොවේවි.


    yakageadaviyaSeptember 22, 2015 at 6:09 AM

    සිතුවිළි සි @

    සිත පිළිබද විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර විට අපට එතන සංවාදයක් කරන්න ලැබේවි.සංවාද කියන වචනෙට වඩා මා කැමති අදහස් එකතු කිරීම් කියනවාට.
    අප බුදු හිමියන් පසුකර නොගොස් උන් වහන්සේගෙන්ද ගැලවී යම් ප්‍රතිෂ්ඨාවක් ලබා ගනිමුද
    මගේ එම ලිපියේ අභිධර්මය හා පුරාණ හා මෑතකාලීන දාර්ශනිකයන් ගේ අදහස් වල සාම්‍යයක් ලෙස ප්‍රයෝජනවත් මනෝවිද්‍යාත්මක කාරනයක් ඉස්මතු කරන්න කැමතියි.
    මා හිතනව ඔබත් එම ලිපියට කැමති වෙයි කියා. ඉන්න මං අද හෙටම එය ලියන්නම්.
    එවිට ඔබට හැඟේවි මා බුදුහිමියන් පසුකරයන්නෙක්ද නැත්නම් බුදුහිමියන්ගෙ නියම අනුගාමිකයෙක්ද යන්න.( නියම බෞද්ධයෙක් යනු බුදුන්ගෙන්ද නිදහස් වීමයි )


    නයනේ - සිතුවිළිSeptember 22, 2015 at 5:53 PM
    සත්‍යය වශයෙන්ම බුදු හිමියන්ගෙන් නිදහස්වීම කියන මතවාදයට මම කැමතියි.
    ඔබගේ අළුත් ලිපිය බලාපොරොත්තු වෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහල පුරුදු කතාවක්.... 2006 දී ඔහොම කතාවක් මට එකෙක් කියාගෙන අවා...කියපු එකාව කිව්වොත් මෙතන ගහගන්න වෙනවා...හොඳම දේ ...දැකල කියලවල හිනාවෙලා අමතක කරලා දාන එක