තම පන්සලේ සිටි 13 හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ නගරයේ සිට කි. මී. 8ක් පමණ ඈතින් පිහිටි ජනපදයක විහාරස්ථාන භාරකාර හිමිනමක් හා එම සාමනේර හිමිනමගේ මවගේ පියා (සීයා) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (20) නියෝග කළේය.
සාමනේර හිමිනම තඹලගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව හිමිනමගේ සීයා අත්අඩංගුවට පත්වුවද චීවරධාරියා සිද්ධියෙන් පසු කට්ටි පනිමින් සිටියදී තඹලගමුව පොලිසිය මගින් ත්‍රිකුණාමලය කෝඩ්බේ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
පන්සල්වල බාල අපචාර සිදු වන බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ.
විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්රය පිළිබඳව මුනි වත රකිති.
යමක් කමක් ඇති, කරුණු කාරණා දන්නා, දරුවන් ගැන තැකීමක් ඇති දෙමව්පියෝ දැන් සිය දරුවන් මහණ කරන්නේ නැති තරම් ය. එසේ කරනවා නම් කරන්නේ සාංඝික හෝ ලොකු දේපලක් හිමි වන්නට තිබේ නම් පමණි. හතර කේන්දරේ පාළු වුණත් ළමයින් මහණ නො කිරීමට ළමයින්ට ආදරේ කරන දෙමව්පියන් වග බලා ගන්නේ ඔවුන් මෙම බාලාපරාධ පිළිබඳ අසා ඇති බැවිනි.
මෙම තත්වය හේතුවෙන්, දැන් ළමයින් මහණ කිරීම සිදු වන්නේ හද්දා පිටිසර ගම්වල, දිළිඳු සමාජ කණ්ඩායම් අතරේ පමණි.
සාමනේර භික්ෂූන් සිවුරු හැර යාම වැඩි වීමට ද මෙම තත්වය හේතු වී තිබේ. අද වන විට, බෞද්ධයන්ගේ ආගමික අවශ්‍යතා සඳහා භික්ෂූන්ගේ හිඟයක් ද ඇත.
කෙසේ වෙතත්, නූතන මානව ශිෂ්ටාචාරය අනුව, කුමන තත්වයක් යටතේ හෝ දරුවන් දෙමව්පියන්ගෙන් වෙන් කර, නො තේරෙන බාල වයසේදී මහණ කිරීම ශිෂ්ට ක්‍රියාවක් වන්නේ නැත.