මහින්දලා දෙදෙනෙක් රටට අනවශ්‍ය බව ඔහු තේරුම් ගෙන නැති අතර ඔහුගේ මහත් ආශාව මහින්දට ආවේශ වෙමින් ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගැනීම බව පැහැදිලිය. පළමු කථාවෙන් තමන් බලයට පත් කළ බලවේග වෙතින් තමා වේගයෙන් ඉවතට විසි වෙමින් තිබෙන තත්ත්වය තුල තාර්කික බුද්ධියක් සහිත කෙනෙක් විසින් කළ යුතු දෙය වන්නේ එම බලවේග සමග යම් ආකාරයක සම්මුතියකට යෑම සහ වෙනස්කම් සමනය කර ගත හැකි ආකාරයට කටයුතු කිරීම නමුත් සිරිසේන ජනාධිපතිවරයා ඊට සපුරා වෙනස් මගක් ගනිමින් දෙවන පුවත් පත් සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් හමුදාව ඉදිරියේ කළ මහින්ද රංගනය යලි ස්ථිර කිරීමත්, තමා බලයට ගෙන ආ සිවිල් සංවිධාන ‘මොන්ටිසෝරි කට්ටියක්‘ යැයි අපහාස කරමින්ද නොනැවතී තම ඇච්චන් බච්චන් ලවා රට පිළිගත් සිවිල් සංවිධාන නායකයන්ට පහර දීමද සිදු කෙළේය. ඉනුත් නොනැවතී පසුගියදා තමන් බලයට ගෙන ඒමට ගුටි කමින් හිරේ විලංගුවේ වැටෙමින් ක්‍රියාකළ රාජ්‍ය නොවන සංවිධාන වලට වීරවංශලාගේ අවලාදය පුනරුච්ඡාරණය කරමින් තමන් එන්ජීඕ කියන ආකාරයට ක්‍රියා නොකරන බවද අගමැතිවරයාද වේදිකාවේ තබා ගෙන පැවසීය. මේ තත්ත්වය ගැන මුණිවත හැරදා සලකා බැලීම පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළ අප වැනි දේශපාලන විචාරකයන්ගේ අත්හළ නොහැකි වගකීමකි.