රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට මේ දිනවල වෙන වැඩක් නැත. දැනගන්නට ඇති ආකාරයට අනතුරට පත්වූ තම පුත්‍රයා බලන්නට ද තවමත් රාජ්‍ය ඇමැතිවරයා ගොස් නැත. ඔහු කියන්නේ පසුගියදා යශෝධ රංගේ බණ්ඩාර නම් තම පුත්‍රයා සිදුකරන ලද අනතුර පිළිබඳව ජනමාධ්‍ය බොරු කියන බවය. රාජ්‍ය ඇමැතිවරයා කියන පරිදි ඇත්ත කතාව මෙසේය.
තමාගේ පුත්‍රයා අනතුරට ලක්කරන ලද වාහනයේ තිබී හමුවූ වොඩ්කා බෝතලයේ පුරවා ඇත්තේ උණුකර නිවාගත් බීමට සුදුසු ජලයයි. කඩුව සහ විකට් කූර අනතුර සිදුවූ පසු යශෝධ රංගේ බණ්ඩාරට පහරදීමට පැමිණි පිරිසක් දමාගිය ඒවාය. ඊට පෙර සිදුවූ අනතුර සිදුකර ඇත්තේ තම පුත්‍රයා නොව වෙනත් අයයි. යශෝධ රංගේ බණ්ඩාර පැදවූ වාහනය රජයේ වාහනයක් වුවද, එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් නොවේ. ඊට හේතුව තම පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර තමන්ගේ මාධ්‍ය ලේකම්වරයා වන නිසාය.
මෙවැනි කරුණු ගණනාවක් පිළිබඳව මාධ්‍ය හමුවකදී කියන රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා වාහනයේ තිබූ "බයිට්" ගැන වචනයක් හෝ නොකියන්නට ප්‍රවේශම් වෙයි. දැන් මේ කියන කාරණා අනුව අපට හිතෙන්නේ යශෝධ රංගේ බණ්ඩාර ශීල වැඩසටහනකට හා භාවනා පන්තියකට සහභාගි වී එන අතරතුර විශාල කරදරයකට මුහුණපා ඇති බවය. කොටින්ම කීවොත් උණුකර නිවාගත් ජලය ටිකක් බී වාහනයක් දෙකක් හප්පා නිවී සැනසිල්ලේ කාලය ගත කරනවා හැරුණු විට යශෝධ රංගේ බණ්ඩාරගෙන් කිසිදු වරදක් සිදුනොවේ. හෙතෙම බෝ පැළයකි. රාත්‍රි ජාමය පසුවීත් ප්‍රදේශයේ සුපිරි හෝටලයක ඔහු කාලය ගත කර ඇත්තේ ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට ගිය නිසා බව රාජ්‍ය අමාත්‍යවර පියාම කියන නිසා අපට ශීල කතාව පැත්තකට දැමීමට සිදුවේ. පළාතේම තිබෙන පොලිස් ස්ථාන මේ සිද්ධියේදී රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිව කටයුතු කර තිබෙන බවක් පෙනේ. ඊට හේතුව මේ වෙනතුරුත් අනතුර සිදුවූ මොහොතේ එතැනට පැමිණ කිසිවකුටත් හානියක් නොකොට කැබ් රථයේ කඩුවක් සහ විකට් කූරක් තැන්පත් කළ එකා අල්ලා නොගැනීමය. කරුමෙකට මෙන් කැබ් රථය කඩාවැදී සුනු විසුණු වූ නිවසේ හිමිකරු පවා යශෝධ රංගේ බණ්ඩාරට පහරදීමට පැමිණි මැරයන් දැක නැත.
මෙවැනි "පුදුම හිතෙන" දේවල් ශ්‍රී ලංකා දේශපාලන කරළියේ බහුලව සිදුවන නිසා අපටද ඒ ගැන අමුතු පුදුමයක් දැනෙන්නේ නැත.
රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා කියන්නේ ඇත්තම ඇත්ත යෑයි කියන්නට අප ඉක්මන් වන්නේ නැත. එමෙන්ම ඒ කියන්නේ බොරු යෑයි කියන්නටද අප ඉක්මන් වන්නේ නැත. මේ කියන කාරණා ගැන අප සැලකිලිමත් විය යුත්තේ යශෝධ රංගේ බණ්ඩාරගේ "පෙර ක්‍රියා" සැලකිල්ලට ගනිමිනි. යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගන්නා සියලු වාහන මිනිසුන් යටකර දමන්නේද, ගෙවල් සුන්බුන් බවට පත් කරන්නේද, ඔහු එම වාහන තුළ ගමන් ගන්නා අවස්ථාවේදීම වීම පුදුම සහගතය. මීට පෙර අනතුරට පත් වාහනවල පිරිසිදු ජලය, පොල් වතුර, කිතුල් පැණි, මිදි යුෂ, අරිශ්ට බෝතල් තිබුණු බව වාර්තා වී නැත. ඒ නිසාම ඒ ගැන අප කිසිවක් නොකියමු.
දැන් අපට දැන ගැනීමට ඇති වැදගත් කරුණක් තිබේ. ඒ මේ හාදයා යළි රිය පදවන්නේ නම් ඔහු පැමිණෙන ගමන් මාර්ග කුමක්ද යන්නය. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාරගේ වගකීමකි.



