ආණ්ඩුවේ නව ඇමැතිවරුන් දිවුරුම් දීම හා ටික දිනකින් එම ඇමැතිවරුන්ගේ විෂය පථ වෙනස් කිරීම රටේ සිදුවන ස්වභාවික ආපදා මෙන් ජන ජීවිතයේ කොටසක් බවට පත්ව තිබේ. ඇත්තටම, රට හමුවේ ඇති ලොකුම ආපදාව මේ යෝධ ඇමැති මණ්ඩලයයි. මෙම ඇමැති මණ්ඩලයේ එක් ඇමැතිවරයකු නඩත්තුවට වසරකට රුපියල් බිලියන ගණනක මහජන මුදල් වැයවන බව රටේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා තිබුණි. එය සැබෑවකි. නමුත් අවාසනාව වන්නේ ජී.එල්. පීරිස් මහාචාර්යවරයාද නියෝජනය කරනුයේ එම ඇමැති කුලකය වීමය.
හරියටම මීට දින පහකට පෙර දිවුරුම් දුන් ඇමැතිවරුන් පස්දෙනාගෙන් නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්තාන් මහතාගෙන් හින්දු ආගමික කටයුතු විෂය ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් හින්දු ආගමික විෂය ගැලවීමට බලපා ඇත්තේ සංස්කෘතික ගැටලුවකි. මෙම අර්බුදයට මුහුණදී සිටින අනෙක් ඇමැතිවරයා වන්නේ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමැති රංජිත් අළුවිහාරේ මහතා ය. ආණ්ඩුව ඇමැතිවරුන්ගේ විෂය පථ ගැසට් කිරීමේදී සංස්කෘතික කාරණා පැත්තකට දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සතුට හා ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ඇමැති ධුර බෙදාහැරීම ආණ්ඩුවේ දෛනික ක්‍රියාවලියේ කොටසක් බවට පත්වී තිබේ. මෙමගින් සිදුවන බරපතළ හානිය වන්නේ මහජන නියෝජිතයන්ගෙන් රටේ පුරවැසියන්ට ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් බරපතළ ලෙස හෑල්ලුවට ලක්වීමය.
ශ්‍රී ලංකාව යනු බහුවාර්ගිකයන්ගෙන් සමන්විත බහු ආගමික සංස්කෘතියක් ඇති රටකි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මේ සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර තිබෙන නමුදු රටේ බහු සංස්කෘතියේ ඝට්ටනයක් හේතුවෙන් ඇතිවන ගැටුම් ජන ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් බවට පත්ව තිබේ. ප්‍රධාන වශයෙන් බෞද්ධ, හින්දු, ඉස්ලාම් යන ආගමික සංස්කෘතීන්හි පවතින නොගැළපීම් මෙම ගැටුම්වලට වස්තු බීජය වී ඇති අතර මේ සියලු සංස්කෘතීන් පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන් බොහෝ ගැටුම් වළක්වාගත හැක. මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුවට සුවිශේෂී වගකීමක් පැවරී තිබේ. නමුත් දිනෙන් දින රටේ ජනවර්ග අතර ගැටුම් ඉහළ යැමෙන් පෙනී යන්නේ ආණ්ඩුව තමන්ට පැවරී ඇති වගකීම හරිහැටි ඉෂ්ට නොකරන බවකි. ආණ්ඩුව සිතන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ෂෂෂ වැනි පරිච්ඡේදයේ එන මූලික අයිතිවාසිකම් වගන්තිවලින් පමණක් රටේ සංහිඳියාව ගොඩනැඟිය හැකි බවය. මෙය වර්තමාන ආණ්ඩුවට පමණක් නොව බලය හෙබවූ සියලු ආණ්ඩුවලට පොදු වූ චින්තනයකි.
රටක සංහිඳියාව ගොඩනැඟිය හැක්කේ රටේ සියලු ජාතීන්ට අයත් සංස්කෘතිය පෝෂණය කිරීමෙන් පමණි. ආණ්ඩුව කළ යුත්තේ එම සංස්කෘතික ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති මහජන නියෝජිතයන්ට අදාළ විෂය පථ භාරදී ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමය. විද්‍යාත්මක ඇමැති මණ්ඩලයක් සකස් විය යුත්තේ මෙසේය. එසේ නොමැතිව ඉස්ලාම් භක්තිකයකු වූ කාදර් මස්තාන් මහතා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා කිරීමෙනුත්, බෞද්ධයකු වූ රංජිත් අලුවිහාරේ මහතා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමැතිවරයා කිරීමෙනුත් රටේ "සංහිඳියා" දෝරේ ගලා යනු ඇතැයි ආණ්ඩුව සිතනවා නම් ඒ තරම් මුලාවක් තවත් නැත. මෙවැනි ක්‍රියාවලින් සිදු වන්නේ රටේ තිබෙන සංහිඳියාව ද හෑල්ලුවට ලක්වීමය.