2019 අවුරුද්දේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු කොරෝනා වෛරසය ලෝකය වසංගතයක් බවට පත්වෙන්න ගතවුණේ බොහෝම කෙටි කාලයක්. 2021 වසරේ අප මේ ගෙවමින් සිටින අවසාන කොටස වන වසර දෙකක කාලයකට ආසන්න කාලයක් මුලු ලෝකයක් මේ වසංගතයෙන් තවමත් පීඩා විඳිනවා.
මුල් කාලයේ සාමාන්‍ය කොරෝනා වෛරසය ලෙසින් ආරම්භ වුණු මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය තව තවත් දරුණු වුණේ වෛරසයේ දරුණු ප්රභේදයන් කරළියට ඒමත් සමඟයි. මිනිසා විසින් නිර්මිත ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන්ට පවා අභියෝග කරමින් වෛරසය විවිධ ආකාරයෙන් අප වෙත ආවා.
කොරෝනා වෛරසයේ නවමු ප්‍රභේදය විදිහට වර්තමානයේ අප හඳුනාගන්නේ කොරෝනා ඩෙල්ටා යනුවෙන් හඳුන්වන ප්‍රභේදය. මෑතකදී ඉන්දියාවේ පැවති ‘කුම්භ මේලා’ වසංගතයත් සමඟ ආසියාතික රටවලට ව්‍යාප්ත වුණු මේ ඩෙල්ටා ප්‍රභේදය පෙරටත් වඩා දරුණු අයුරින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකය පුරාම පැතිරෙන්නට වුණා.
නමුත් ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ ආරම්භයක් පමණයි. තත්වය වඩාත් දරුණු වන්නට පටන් ගන්නේ කොරෝනා වෛරසයේ ‘ඩෙල්ටා ප්ලස්’ ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟ.
මොකක්ද මේ කොරෝනා ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය කියන්නේ ?
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය හඳුන්වන්නේ ඩෙල්ටා ප්රභේදයෙහිම ශක්තිමත් උප කොට්ඨාසයක් විදිහට.
විද්‍යානුකූලව B.1.617.2 විදිහට හඳුන්වන ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට රටවල් 92 ක පැතිරී අවසන්. එක්සත් රාජධානිය වැනි රටවල් වල 90-99% අතර ප්‍රමාණයක ඩෙල්ටා ප්‍රභේදය පැතිරී යනකොට එක්සත් ජනපදයේ 20% අතර ප්‍රමාණයක් ඩෙල්ටා රෝගීන් හමුවනවා. පර්යේෂකයන් පවසන්නේ මේ ප්‍රමාණය ඉදිරියේදී දෙගුණ විය හැකි බවක්.
කෙසේ නමුත් විද්‍යානුකූලව B.1.617.2.1 හෝ AY.1 යන නම්වලින් හඳුන්වන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේදී මෙම තත්වය තරමක් වෙනස්.
ඩෙල්ටා ප්ලස් වෛරස් ප්‍රභේදයෙහි මිනිස් සෛල වලට ඇතුළුවීමට භාවිතා කරන කරන Spike Protein වල යම්කිසි විකෘතියක් දකින්න ලැබෙනවා. K417 විදිහට හඳුන්වන එම විකෘතිය ඇල්ෆා ප්‍රභේදයෙහි ගුණ අඩංගු, නමුත් ඩෙල්ටා ප්රභේදයෙහිම විකෘතියක්. මේ වනවිට සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් රෝගීන් වාර්තා වන ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය තුළ දියුණු වෛරස ආකෘතියක් දක්නට ලැබෙනවා.
මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වෛරසය සහ ඩෙල්ටා ප්‍රභේදය මෙන් කිහිපගුණයකින් සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩියෙන් ඇති වෛරසය ප්‍රභේදයක්. මිනිස් පෙණහළු සෛල වලට පහසුවෙන් ඇතුළු වෙලා පෙනහකු සෛල ප්‍රතිග්‍රාහක වලට තදින් බැඳීමේ හැකියාවත් මෙම ප්ලස් ප්‍රභේදය සතුයි.
එමෙන්ම මිනිස් ශරීරයේ Monoclonal ප්‍රතිදේහ වලට මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ හැකියාවත් ඉතා අඩු තත්වයකයි පවතින්නේ. වැඩිදුර කියනවා නම් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට මේ වෛරසයට එරෙහිව ඇත්තේ අඩු ඵලදායිතාවක්. එම නිසා ඩෙල්ටා ප්ලස් වැළඳුනු රෝගියෙකුගේ තත්වය මාරාන්තික අඩියකට පැමිණෙන්න යන්නේ බොහෝම පොඩි කාලයක්.
මේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වැළඳුනු කෙනෙකුට ඇතිවිය හැකි සාමාන්‍ය රෝග ලක්ෂණ විදිහට හඳුනාගෙන තියෙන්නේ වියළි කැස්ස, තෙහෙට්ටුව, උණ වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ. රෝගය තරමක් දරුණු වුවහොත් හුස්ම හිරවීම සහ උදර වේදනාව පවා ඇතිවිය හැකියි. ඊට අමතරව තවත් රෝග ලක්ෂණ විදිහට සමේ කැසීම, ඇඟිලිවල වර්ණය වෙනස් වීම, උගුරේ අමාරු, ගඳ සුවඳ නොදැනීම, දියර නාසය, අතීසාරය වගේ ලක්ෂණ පවා මතුවීමට පුලුවන්
එසේ ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුළ බලපෑම් ඇතිකරපු ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ඉන්දියාව හරහා පෙරදිගට එන්නේ ඉතාමත් හානිකර අයුරින්.
නවමු ප්‍රභේදයක් වුවත් මේ වනවිට එහි බලපෑම කොතෙක් ද කියනවා නම් ජූලි 23 වනවිට ඉන්දියාවේ පමණක් ඩෙල්ටා ප්ලස් රෝගින් 70ක් වාර්තා වී අවසන්.
එමෙන්ම දකුණු කොරියාව තුළත් මේ වනවිට වාර්තා වූ ඩෙල්ටා ප්ලස් රෝගීන් ගණන දෙදෙනෙක්.
වෛරස් රෝග පිළිබඳව පර්යේෂණායතනයක් වන GISAID ආයතනය ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව කරනු ලැබූ පර්යේෂණයකදී සොයාගත් ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දියානු වසංගත රෝග විද්‍යාඥ ලලිත් කාන්ත් කියා සිටියේ,
” මෙම ඩෙල්ටා ප්ලස් ප්‍රභේදයේ මතුවීමත් සමඟ අනතුරුදායක ප්රභේදයන් කලින් හඳුනාගැනීම සම්බන්ධව අපගේ උත්සහයන් තවත් පුළුල් කළ යුතුයි.” යනුවෙන්.
විද්‍යාඥයන් පවසන පරිදි ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය ඇතුළුව කොරෝනා වෛරසයේ විවිධ ප්රභේදයන් මතුවීම නිසා ඇතිවන ප්‍රධානම ගැටලුව වන්නේ එන්නත්කරණය සම්බන්ධයෙන්.
විටින් විට නිර්මාණය වන නව ප්රභේදයන්ට එරෙහිව එන්නත් ඵලදායි ලෙස ක්රියාකරාවි ද ?
මේ ගැන එක්සත් රාජධානියෙහි මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආකෘති නිර්මාණ සහ විශ්ලේෂක කොලින් ඇන්ගස් කියා සිටියේ,
” ඩෙල්ටා ප්ලස් මූලික වශයෙන් දක්නට ලැබෙන්නේ තරුණයන් තුළ. එමෙන්ම එන්නත සම්පූර්ණයෙන් ලබාගත් පුද්ගලයන් තුළ පවතින ප්‍රතිදේහ යම්තාක් අයුරින් මෙම ප්‍රභේදයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. නමුත් අප සතුව දැනට පවතින්නේ කුඩා සාම්පලයක්. ඩෙල්ටා ප්ලස් වලට එරෙහිව එන්නත්වල ඵලදායිතාව පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමට අපට තවත් සාක්ෂි අවශ්‍යයි. ඒ කෙසේ වුණත් ඉහළ එන්නත් අනුපාතයන් ඇති රටවලට පවා තවමත් පැහැදිලිව ඩෙල්ටා පරාජය කිරීමටවත් හැකියාව ලැබී නැහැ. ” යනුවෙන්.
වෛරස යනු ස්වාභාවිකව අදාල තත්වයන්ට අනුව හැඩගැසෙන්නා වූ ජීව ක්‍රියාවලියක්. වෛරස වලට නිතැතින්ම අවශ්‍ය වන්නේ තමාව නැවත උත්පාදනය කිරීමයි. විටින් විට විවිධ ශක්තිමත් ප්‍රභේදයන්ගෙන් කොරෝනා වෛරසය පවා අප හමුවට පැමිණෙන්නේ ඒ හේතුවෙන්. මිනිසා විසින් ප්‍රතිශක්තිකරණ ක්‍රමවේදයන් නිර්මාණය කිරීමේදී, කොරෝනා වෛරසය තමා විසින්ම ඒ අදාල ප්‍රතිශක්තිකරණ ක්ර්මෝපායන්ට අනුව හැඩගැසෙනවා.
මේ පිළිබඳව ඉලිනොයිස් සෞඛ්‍ය විශ්වවිද්‍යාලයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී නිචඩ් නොවක් සඳහන් කළේ,
” අපි මේ වනවිටත් කොරෝනා වෛරසයේ වෙනත් ප්රභේදයන් අත්හදා බලමින් සිටිනවා. නමුත් කාලයත් සමඟම ඒ ප්රභේදයන් වඩාත් ශක්තිමත් විය හැකියි.” යනුවෙනි.
එමෙන්ම ඔහු අවසන් වශයෙන් සඳහන් කළේ.,
” අප එකතුවී ක්‍රියාත්මක වන තෙක් මෙම වෛරසය බලා ඉන්නේ නැහැ. අප මේ මොහොතේ සිටින්නේත් අපගේ ශිෂ්ඨාචාරය නැවත හරවා යැවීමේ අනතුරක් අභියස.” යනුවෙන්.
ඇල්ෆා ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදය, ඉන් පසු වර්තමානයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය. වෛරසය තව තවත් දියුණු ප්රභේදයන් ලෙසින් පවා අප වෙත පැමිණිය හැකියි.
Source-serendib news.

