මොණරාගල යන ගමන්

RushAM

Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මොණරාගල යන ගමන්

    1-panoramio-vencent-mihel-876x520.jpg



    කොළඹ සිට කි. මී. 250ක සාමාන්‍ය දුරකින් යුත් මොණරාගලට මහනුවර මහියංගනය හරහා මෙන්ම ඇඹිලිපිටිය තණමල්විල වැල්ලවාය හරහාත් ළඟාවීමට පුළුවන්. එ් සඳහා පැය 6ක පමණ කාලයක් ගතවෙනවා. ඌව පළාතේ ප්‍රධාන නගරයක් වන මෙම ප්‍රදේශය වනාන්තර, කඳුහෙල්, පුරාණ වැව් හා නටබුන් සපිරි ඉපැරණිම ජනාවාස සහිත පෙදෙසක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. කඳුබෑවුම් අතර සැඟවුණු කටාරම් කෙටූ ලෙන් මෙහි බහුලයි.


    2-The-Map-701x485.jpg

    නගරය අවට සිතියමකින්


    අද වැඩි සංචාරකයන් පිරිසක් පොතුවිල් ආරුගම්බේ හෝ අම්පාර බලා ගමන් කරන්නේ මොණරාගල හරහායි. ඒත් ඉන් බහුතරයක් මේ නගරය අවට පිහිටි බලාගත යුතුම තැන් මඟහරින බවයි පේන්නේ. ඒ සඳහා මඟපෙන්වීමක් කිරීමටයි, මේ උත්සාහය.


    නුවරඑළිය මොණරාගලට කැන්දන මරගල

    316-701x357.jpg

    මරගල කන්දේ සිරියාව


    මොණරාගල නගරය දැඩි උණුසුමෙන් යුක්තයි. නගරය පිටුපසින් මිහිදුම් සේලයෙන් බරව ඇදීයන මරගල කන්ද ඒ වියළි දේශගුණයට අභියෝග කරන තැනක්. අඩි 2500ක් පමණ උස මේ කන්දේ සීත දේශගුණයක් පවතිනවා. මේ නිසාම ඉංග්‍රීසී පාලන සමයේදී මෙහි ජීලොං නමින් යුත් වතු සමාගමක් ආරම්භ කර තේ වගාකළා. අද නම් එහි දක්නට ලැබෙන්නේ රබර් වතුයායක්. කි. මී. 10කට වැඩි දිගකින් යුක්තව ඇදී යන මේ කඳුවැටියේ වනාන්තර වගේම ජනාවාසත් පැතිර තිබෙනවා.


    4-panoramio-chamila-1978-701x526.jpg

    මරගල කන්දේ කඳු මුදුනක්

    සීතා කන්ද, ගලබැද්ද කන්ද, ඇත්ගල, හබරත්තාගල ආදී කඳුමුදුන් එහි දැකගත හැකියි. මොණරාගල නගරයට ජලය සැපයෙන්නේ මෙහි ජල මාර්ග හරස් කර තැනූ ජලාශයකින්. මොණරාගල ඔරලෝසු කණුව අසලින් දකුණට දිවෙන පොළ පාර ඔස්සේ ගියවිට ජීලොං වතුයායට දිවෙන මාර්ගය හමුවෙනවා.


    58-701x466.jpg

    කන්දට දිවෙන මාවත


    ඒ මාර්ගයේ කි. මී. 8ක් වාහනයක දුෂ්කර මඟක ගමන්කර තවත් ටික දුරක් පයින් ගමන් කිරීමෙන් කඳු මුදුනට ළඟාවීමට පුළුවන්. කඳු මුදුනට පහළ ඌවේ සුන්දර දර්ශනයක් දැකගත හැකියි. මොණරාගල සිට කි. මී. 4ක් දුරින් පිහිටි වැලියාය කනිටු විදුහල අසලින් ගමන් කිරීමෙන්ද මේ කන්දට පිවිසිය හැකියි.


    සුගලාගේ උදුන්දොර රජදහන

    6-imgrum-org-701x701.jpg

    ජලය පිරි පොකුණ


    මොණරාගල නගරයේ සිට සියඹලාණ්ඩුව පාරේ (අම්පාර මාර්ගයේ) කි. මී. 8ක් දුරින් ගලබැද්ද ප්‍රෙද්ශය පිහිටා තිබෙනවා. මේ ගම්මානයට පිටුපසින් ද ඇදී යන්නේ මරගල කඳුවැටියයි. පුරාණයේ මෙ පෙදෙස අයත්ව තිබී ඇත්තේ අට්ඨසහස්ස රටටයි. එහි අගනුවර වූ උදුන්දොර අද ගලබැද්දයි. එදා උදුන්දොර රාජධානිය (12 වන සියවස) පාලනය කළේ එඩිතර කාන්තාවක් ලෙස ඉතිහාසයේ සඳහන් වන සුගලා රැජනයි. උදුන්දොර අමරගිරි පර්වතය සමීපයෙහි සුරක්ෂිතව වැඩ සිටි දළදා පාත්‍රාධාතුන් ගැන දළදා පූජාවලිය පොතේ සඳහන් වෙනවා. පරාක්‍රමබාහු රජු සුගලා පරදවා දළදා වහන්සේ අත්පත් කර ගත් පසු මෙම රජදහන කැළයට යනවා.


    76-701x526.jpg

    අවට නටබුන්


    මෙහි පුරාණ නටබුන් වශයෙන් පවතින අලංකාර පොකුණ එදා පැවති ශ්‍රී විභූතියට උදාහරණ සපයනවා. ගම්වැසියන් එය හඳුන්වන්නේ බිසෝකොටුව නමින්. පොළොවෙහි සිට අඩි 5ක් පමණ උසට සකසන ලද වේදිකාවක් මැදිකර මෙම පොකුණ ඉදිකර තිබෙනවා. එය දිගින් හා පළලින් අඩි 60ක්. සිව් පසින් පිහිටි සිංහ මුඛ හතරකින් පොකුණට ජලය වෑස්සෙනවා. පොකුණ කැටයම් කළ ගල්පුවරුවලින් සරසා තිබෙනවා. පොකුණට ජලය ලබාගෙන ඇත්තේ කන්දේ සිට එන ජලමාර්ගයක් හරස් කිරීමෙන්. අදත් මෙය අසලින් දොළ පාරක් ගලාබසිනවා. අලංකාර කැසිකිළි ගලක්ද මේ අසල දකින්න පුළුවන්. ජනප්‍රවාද පවසන්නේ මෙම පොකුණේ සුගලා රැජිණ ස්නානය කළ බවයි.


    සිරිපාන ලෙන් විහාරය

    පොකුණට නුදුරින් පිහිටි පැරණි ලෙන් විහාරය එකල රාජධානියේ වැඳුම්පිදුම් කළ ස්ථානය වශයෙන් සැලකෙනවා. එහි පැරණි ගල්කණු, කැටයම් පුවරු ආදිය තිබෙනවා.


    මාලිගාවිල උසම බුදු පිළිමය

    8-anglefire9.jpg

    සංරක්ෂණය කළ පිළිමය


    ඔක්කම්පිටිය මාලිගාවිල ග‍‍‍මෙහි වනාන්තරය තුළ මෙම බුද්ධ ප්‍රතිමාව පිහිටා තිබෙනවා. ‍‍‍‍කොළඹ ‍මොණරාගල ප්‍රධාන මාර්ග‍‍යේ කුඹුක්කන හන්දි‍‍‍යෙන් දකුණට ඇති ඔක්කම්පිටිය මාර්ග‍‍යේ කි. මී. 12ක් ක් පමණ ගියවිට ‍මෙම ස්ථානයට පිවිසිය හැකියි. මොණරාගල නගරයේ සිට මාලිගාවිලට දුර කි. මී. 23ක්.

    ක්‍රි.ව. 6 වන සියව‍‍සේ සිට 08 වන සියවස දක්වා කාලයට අයත් යැයි සැල‍‍‍‍‍‍‍‍‍‍‍‍කෙන මාලිගාවිල පුදබි‍‍‍‍‍මෙහි පිළිම ‍‍ගෙයක නටබුන් සහ ආරාම සංකීර්ණයක නටබුන් දක්නට ලැබෙනවා. පුරාවිද්‍යාඥයින්‍‍ගේ අදහස වංශකතාවල සඳහන් ‘අරියකර විහාරය’ මෙය ලෙසයි. චූලවංශයට අනුව ක්‍රි.ව.667-683 රජ කළ අග්ගබෝධි රජු විසින් රුහුණු ර‍ටේ කාණගාම‍‍‍යෙහි අන්ධයින් හා ගිලනුන් ‍උ‍‍දෙසා ‍‍රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් කළ අතර එය මෙම ස්ථානය ‍‍‍‍ලෙස විශ්වාස ‍‍කරනවා.

    නටබුන්ව ඇති පිළිම ‍‍‍‍ගෙය ‍‍ගෙඩිගෙයක් ‍‍‍ලෙස නිමවා ති‍‍‍බෙන්නට ඇති බවත්, ප්‍රදක්ෂිණා පථයක් තිබුණු බවත්, හමුවන සාධක අනුව පැහැදිලි ‍වෙනවා. බුද්ධ ප්‍රතිමාව උසින් අඩි 37 අඟල් 10 ක්. සමභංග හිටි ඉරියව්‍‍‍‍‍‍‍වෙන් යුත් ප්‍රතිමා‍‍‍‍වෙන් අභය මුද්‍රාව නිරූපිතයි. තනි ගල්පර්වතයකින් නෙළුෑ ලංකාවේ උසම බුදු පිළිමය මාලිගාවිල ප්‍රතිමාවයි. (අවුකන මෙන්ම බුදුරුවගල ප්‍රතිමා නෙළා ඇත්තේ පර්වතවලට ආබද්ධ වන ලෙසයි) කඩා වැටී තිබූ මෙම ප්‍රතිමාව 1990 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර නැවත පිහිටුවා තිබෙනවා. ප්‍රතිමා ගෘහය ඉදිරිපිට වූ සඳකඩ පහණත් සුවි‍ශේෂී නිර්මාණයක්. තවත් ගොඩනැගිලි රාශියක නටබුන් මෙහි වනගතව තිබෙනවා. මෙම පුරාවිද්‍යා බිම අක්කර 300 ක පමණ වපසරියකින් යුක්ත සුන්දර වනාන්තරයක්.


    ලොව උසම බෝසත් පිළිමය

    94.jpg

    ආවරණ ගෘහය තුළ පිහිටි ප්‍රතිමාව


    මාලිගාවිලට කි. මී. භාගයක් පමණ නුදුරින් වනමැද කඳුගැටයක් මුදුනේ දඹේගොඩ ශෛලමය බෝසත් ප්‍රතිමාව පිහිටා තිබෙනවා. එයින් නිරූපණය වන්නේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්. කඩාවැටී තිබූ මෙම ප්‍රතිමාවත් 1990 දී සංරක්ෂණය කර විවෘත කළා. රුහුණේ රජකළ දප්පුල රජු විසින් අරියාකර විහාරයට මෙම ප්‍රතිමාව කරවූ බව මහාවංශයේ 45 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා.

    7- 8 සියවස්වලට අයත් ප්‍රතිමා කලා ලක්ෂණ පළ කරන මෙම ප්‍රතිමාව උසින් අඩි 29 අඟල් 5ක්. එය පිහිටුවා ඇත්තේ පද්මාසනයක් මතයි. එහි බර ටොන් 40ක්. පුරාණ රෝහණ රාජධානියට අයත් ප්‍රතිමා කලාවේ විශිෂ්ට ශිල්පීය ලක්ෂණ පළ කරන මෙම ප්‍රතිමාව විවිධ ආභරණවලින් සැරසී සිටින ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.


    තිස්ස කුමරු සැඟවුණු දෙමටමල් විහාරය

    102-701x526.jpg

    විහාරයේ සුන්දරත්වය


    මොණරාගල සිට කුඹුක්කන හරහා කි. මී. 21ක් දුරින් ඔක්කම්පිටියේ දෙමටමල් විහාරය පිහිටා තිබෙනවා. ඒ අසලින් ගලාගෙන යන්නේ කුඹුක්කන් ඔයයි. මෙම පුරාවිද්‍යා ස්ථානයේ ඉතිහාසය දුටුගැමුණු යුගය දක්වා ඇදී යනවා.

    දුටුගැමුණු කුමාරයා රජකම සඳහා තම මලණුවන් වන සද්ධාතිස්ස කුමාරයා සමඟ යුද්ධ කරනවා. එම යුද්ධයෙන් පරදින සද්ධාතිස්ස කුමරු සිය ජීවිතය බේරාගනු වස් ආසන්නයේ වූ විහාරස්ථානයක් වෙත දුවගොස් එහි විහාරාධිපති ස්වාමීන් වහන්සේ සැතපෙන ඇඳ යට සැඟනෙවා. දුටුගැමුණු කුමාරයා ද ඔහු පසුපස ලුහුබැඳ විත් එම විහාරස්ථානයටම පැමිණෙනවා. ඒ අවස්ථාවෙහි විහාරාධිපතීන් වහන්සේ තිස්ස කුමාරයා ඇඳක සතප්පවා සිවුරකින් වසා කුඩා සාමණේරයන් වහන්සේලා සතර දෙනෙකු ලවා මියගිය සඟරුවනක් ගෙන යන පරිද්දෙන් ඇඳ විහාරස්ථානයෙන් පිටතට ඔසවාගෙන යන්නට සැලැස්වනවා. ඒ සිද්ධීය දුටුගැමුණු කුමාරයා දකිනවා. ඒ ගෙන යන්නේ සද්ධාතිස්ස කුමාරයාම බව නිසැකවම දැන ගත්තත් ඔහු සමඟ නැවත සටන් කරන්නේ නැහැ.


    1111-701x526.jpg

    ඉපැරණි දාගැබ


    මේ විස්තරයේ සඳහන් පරිදි එලෙස තිස්ස කුමාරයා සැඟ වී දිවි බේරාගත් විහාරස්ථානය දෙමටමල් විහාරය නමින් ප්‍රකට වුණා. දෙමටමල් විහාරය පිහිටියේ සුවිශාල කෙත්වතු මැදිකරගෙනයි. විහාරයේ නටබුන් රැසක්ද කුඹුරුවල පිහිටා තිබෙනවා. මෙහි පිහිටි වැදගත්ම ස්මාරකය ඉපැරණි දාගැබයි. පැරණි ස්වරූපය සුරැකෙන සේ සංරක්ෂණ කර ඇති එම දාගැබ අනුරාධපුර මුල් යුගයට අයත් ඉදිකිරීමක්. සංඝාරාම, ප්‍රතිමා මන්දිර ආදියේ නටබුන් රැසක්ද මෙම භූමියේ දැකගත හැකියි.


    මොණරාගල ලෙන් විහාරයේ උඩරට සිතුවම්

    127.jpg

    විහාරයේ මකර තොරණ


    මොණරාගල නගරයේ සිට කි. මී. 2ක් දුරින් මොණරාගල රජමහා විහාරය හෙවත් මුප්පනේ විහාරය පිහිටා තිබෙනවා. එය විහාරමුල්ල විහාරය වශයෙන්ද හඳුන්වනවා. ඌව පළාතේ උඩරට සම්ප්‍රදායට අයත් වටිනා සිතුවම් නැරඹිය හැකි විහාරයක් වශයෙන් මෙම පුදබිම වැදගත්. විහාරයේ පිට මාලයේ අපාය, මිනිස් රූප හා ලියවැල් මෝස්තර ඇඳ තිබෙනවා. මකර තොරණ, සමාධි බුද්ධ ප්‍රතිමාව, දේව රූප ආදියත් මෙහි දැකගත හැකියි.






    මූලාශ්‍ර-
    ශ්‍රී ලංකාවේ ලෙන් කුසුම්සිරි විජයවර්ධන, දෙවන මුද්‍රණය 2008, 16-19 පිටු
    සිරිලක දළදා මාලිගා- කුසුම්සිරි විජයවර්ධන, 2012, 41-43 පිටු
    දළදා පූජාවලිය- පුංචිබණ්ඩාර සන්නස්ගල සංස්කරණය, 46 පිට
    www.archaeology.gov.lk
    by Kusumsiri Wijayawardena
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලංකාවේ වැඩිම වටප්‍රමානයක් තියෙන දාගැබ.වැල්ලවායේ ඉදන් මොනරාගල පාරේ 18km ක් ගියාම හම්බවෙන යුදගනාව හන්දියෙන් හැරිලා යන්න ඕන 1km විතර.ජුලි වල යන්න පුලුවන්නම් හොද පෙරහැරකුත් තියෙනවා.

    81283393.jpg