අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත් අය නය ගෙවා දැමීමට වැඩියෙන් වැඩ කරමින් තමන්ගේ තරුණ කාළය කටුකව ගෙවා දමයි. මට නම් නය යනු හිතට වදයක් ගෙන දෙන මර උගුලකි. එබැවින් නය නොවි ජීවත් වෙන ක්‍රම ගැන නිතර සිතමි.
අපේ පැරැන්නන් නිවාස තැනීමට තමන්ගේ මනුශ්‍ය ජීවිතයේ ඒ තරම් ලොකු කාළයක් කැප කලේ නැත. මනුශ්‍ය ජීවිතය නිවසක් තැනිමට කැප කරනවා වෙනුවට කරන්නට වැඩ එමට ඇති බව පැරැන්නන් සක්සුදක්සේ අවබෝධකරගෙන සිටියා විය යුතුය. එබැවින් තම නිවසට අවැසි ගඩොල් තමන්ම තනා ගන්නට ඔවුන් පෙළඹුනි. තමන්ම තනා ගත්තේ මැටි ගඩොලකි. එයින් යස අගේට තැනූ ගෙවල් අද දක්වා නොනැසී තිබෙයි. මාගේ සීයා හැදූ මහ ගෙයද එවැන්නකි. වසර 60 ක් ඉක්මවා තිබුනද තාම එම ගෙය ඉතාම ශක්තිමත්ව විරාජමාන වෙයි.
ලංකාව වැනි උෂ්ණාධික රටක නිවෙස් තැනීම සදහා හොදම අමුද්‍රව්‍ය වන්නේද නොපිලිස්සූ අමු මැටියෙන් තැනූ ගඩොල හෙවත් මෝඩ ගඩොල්ය. අපේ පැරැන්නන් නිවාස තැනීමට නය උගුලක පැටලුනේ නැත. බ්ලොක් ගල් ඒ කාලේ නැත. ඇති හැකි උන් මිස අනිත් උන් පුච්චපු ගඩොල් ගැනිමට දැගලුවේ නැත. නිවස අසලින් ලබාගන්නා පස්වලින් මැටි අනා තමන්ම ගඩල් කපාගත් ශක්තිමත් පිරිමි, ගැහැනු ගමේ සිටිනා මේසෙන් බාස් කෙනෙකු ලවා ගේ බැදගත්තේය. බාසුන්නැහි මැටිගඩොල බදින්නේද මැට්ටෙනි. කපරාරුවේ යට කොටස සිමෙන්තියෙන් කළද ඉහළ කොටසට යොදාගන්නේ වැලි මැටිය. බිත්තියක් අඩියක් එකහමාරක් පළල වුවත් වියදම ඉතාම අවමව සුවිසල් ගෙවල් බොහෝමයක් තැනුනේ මෙලෙසින.
ඉතාම හොද තාප පරිවාර ද්‍රව්‍යයක් වන මැටි එම සුවිසල් ගෙවල් සිසිල් කිරීමටද සමත් විය. නය නැති නිසා එම මිනිසුන්ගේ හිතද සිසිල්ය. නමුත් අද වෙන විට මේ මෝඩ ගඩොල භාවිතයෙන් ඉවත් වී ගොස්ය. ඇතැමුන් මෝඩ ගඩොල යනු කුමක්ද කියාවත් දන්නේ නැත. දැනගත්තද ඉන් සුවිසල් ගෙවල් තැනිය හැකි බව දන්නේද නැත. දැන් මිනිසුන් සිතන්නේ එක්තරා රාමුක පමණි. ගෙයක් හදමු කි සැනින් මතක් වෙන්නේ නයවී ගඩොල් ටිකක් ගෙන මහා සිමෙන්ති ගොඩකින් ඉදි කරන නිවසකි. එම රාමුවෙන් පිට සිතන්නට මිනිසුන් අකතැයි.
මෙය මට ලියන්නට හිත්වූයේ කාට හෝ මෝඩ ගඩොලෙන් ගෙවල් තැනීමට උපදෙස් දීමට නොව. නමුත් මෙහිද සිතිය යුතු යමක් තිබේ. තට්ටු ගෙවල් මෝඩගඩොලෙන් තනන්නට බැරිය. දැන් සිටින බොහෝ බාස්ලා මැට්ටෙන් බිත්ති බදින්නට දන්නේද නැත. නමුත් පොඩි ගේ කෑල්ලක් හදාගන්න සිහින මවන. ඒකට සල්ලිත් නැති කොල්ලෙකුට වෙනස් විදිහකට සිතිය හැකි නම් නය නොවෙී තමන්ගේ අරමුන ඉටු කරගත හැකි ක්‍රමද තිබෙන බව කිව යුතුය. ගෙයක් යනු ලොවට පෙනෙන්නට ගොඩ නගා, තමන් ඒ තුළ හිතින් පිච්චෙමින් ජීවත් විය යුත්තක් නොව. තමන්ට නිවීසැනසිල්ලේ සිටිය හැකි තැනක් විය යුතුය. අපි සැම දෙනා, බොහෝ පැරැන්නන් මෙන් වත්කමේ හැටියට පිංකම කිරීමට උගත යුතුය.