දැන් රන් බණ්ඩා එදා සිටි මිනිසා ද නොවේ. කිසිවෙකු සමඟ කතා බහක් නැත. යමෙක් යමක් ඇසුවොත් ඊට වචනයෙන් දෙකෙන් උත්තර දී මග හැර යන නිශ්ශබ්ද පුද්ගලයකු බවට පත්ව සිටියේ ය. රැවුල කපා ගන්නට පවා වුවමනා නොවූ ඔහුගේ මුහුණ සහ රැවුලෙන් වැසී තියුණු ඇස් දෙක පමණක් ඒ තුළින් මතුව පෙනිණි.
උදේ රැයින් ගිනි කඳයා කර තබා ගෙන කැලේට රිංගන ඔහු බොහෝ විට ආපසු ගෙදර එන්නේ ගොම්මන් අඳුර වැටුණාටත් පසුව ය. ඒ එන්නේ මොකෙක් හෝ සතෙක් දඩයම් කොට කර තබා ගෙන ය. මේ ගෙදර තුන් වේලට ම දඩමස් ඇතිළියක් ළිප උඩ දුම් දැම්මේ ය. ගෙදර ආහාරයට වැඩි දඩමස් කොටස ගම්මුන්ට විකුණුවේ ය.
රන් බණ්ඩා උදේට කර තබා ගෙන යන ලැයිසොන් තුවක්කුවට හෝ රෑට කැලේ මානා බඳින තුවක්කුවට හෝ දිනපතාම නොවැරැදීම වන සතෙක් ජීවිතය පූජා කරන්නේය. මෙසේ එළා ගන්නා දඩයම ගෙට තරමක් දුරින් පිහිටි ගල් පොත්ත උඩට ගෙන ගොස් මස් කිරිම ඔහුගේ සිරිත විය. ගල් පොත්තේ බෑවුම පැත්තේ පහළින් ශක්තිමත් ලී කණුවක් සිටුවා එහි සවි කරන ලද ලොකු යකඩ කොක්කක් විය. දඩයම් කළ සතා ගේ බොකු බඩවැල් ඒ යකඩ කොක්කේ අමුණා තැබීම ද රන් බණ්ඩා නොකඩවා ම සිදු කළ චාරිත්තරයක් වීය.
ඉස්සර රන් බණ්ඩා මහත්තයා යැයි මේ ගමේ කවුරුත් කට පුරා කීව ද කාලයා ගේ ඇවෑමෙන් රන් බණ්ඩේ මස් බණ්ඩේ බවට පත් වීය. එසේ ම රන් බණ්ඩේ කෙරෙන් තවත් විශේෂයක් සිදු වීය. එනම් රන් බණ්ඩේට උණක් හෙම්බිරිස්සාවක් වැළඳී දඩයමේ නොගිය ද, ධාරානිපතා වරුසාව නිසා දඩයමේ යන්නට නොහැකි වුව ද එදාට කැලේ සිටින හාවෙකු, මී මින්නෙකු හෝ අඩු තරමින් තල ගොයෙකු හෝ කැලෙන් මතු වී ඔහුගේ නිවසට දුවගෙන ඇවිත් රිංගා ගැනීමයි. එදාට දඩයමේ යන්නට නොහැකිව කල ගත කරමින් සිටින රන් බණ්ඩේගේ ගෙදරට ඉබේ ම ඇවිත් රිංගන සතාට සිදුවන්නේ කුමක් දැයි කියන්නට වුවමනා නැත.
මෙසේ කාලය ගෙවී යද්දී දිනක් සුපුරුදු පරිදි රන් බණ්ඩේ දඩයමේ ගියේ ය. කැලේට රිංගූ ඔහු ඒ කැලයේ අනිත් පැත්තට ගියේ ය. එහි දී ඔහුගේ තියුණු ඇසට ලක් වූයේ කන්ද පාමුල ලන්දේ උලා කමින් සිටි තිත් මුවැත්තියකි. මුවැත්තිය අසල ම ඇගේ පුංචි පැටවා ද දැවටෙමින් සිටියේය. රන් බණ්ඩේ මුවැත්තියට ඉලක්කය අල්ලා කොකා ගැස්සුවේය. එදා නම් දඩයක්කාරයා ගේ ඉලක්කය වැරදී ගියේ ය. වෙඩි වැදුණේ කුඩා පැටවාට ය. මුවැත්තිය වෙඩි හඬින් බිය වී ලේ ගලමින් දඟලමින් සිටි පැටවා දෙස අහස පොළව කම්පා කරවන බැල්මක් හෙළුවා ය. ඒ දෙසට පිම්මේ දුවගෙන එන දඩයක්කාරයා දුටු මුවැත්තිය ඒ වන විට පණ නළ සිඳී ගිය පැටවා අත හැර කන්දෙන් පහළට දුවන්නට වූවා ය.
දඩයම කරා ළං වූ රන් බණ්ඩේ මළ පැටවා ගේ ගාත් දෙකකින් එල්ලා ගෙන මුවැත්තිය පසු පසින් දිව්වේ ය. කන්ද පාමුල ඒ ගමේ කුඩා පන්සලක් විය. ඒ පන්සලේ ආරාම කුටියේ අසුනක හිඳගෙන සිටි තපස්සර හාමුදුරුවෝ දැහැත් වට්ටියෙන් පුවක් ගෙඩියක් ගෙන ගිරයෙන් කපා සුද්ද කරමින් සිටියහ. කන්දේ සිට දුවගෙන ආ මුවැත්තිය කෙළින් ම පන්සල් ගෙට දුවගෙන ඇවිත් හාමුදුරුවෝ හිඳ ගෙන සිටි පුටුව යටට රිංගා ගත්තා ය.
දුටු දෙයින් විමතියට පත් වූ හාමුදුරුවෝ පුටුව යටට එබී බැලූහ. ඒ වන විටත් දරු සෙනහසින් පීඩිතව සිටි බියපත් මුවැත්තිය ගේ බුරුල්ලෙන් කිරි වැගිරෙමින් තිබිණි. හාමුදුරුවන්ගේ නෙත ගැටුණු මුවැත්තිය අන්ත අසරණව කෙඳිරි ගෑවා ය. මුවැත්තිය, පසු පසින් දුවගෙන ආ දඩයක්කාරයා පන්සල් මිදුලේ තියුණු දෙනෙත් දල්වා ගෙන බලා සිටී. ඔහුට වැරදුණු කුරුමානම පන්සල් කුටිය ඇතුළට රිගූ බව හේ හොඳාකාරව ම දනී. අතකින් පුවක් ගෙඩියත් අනිත් අතින් ගිරයත් ගෙන සිටි තපස්සර හාමුදුරුවෝ ද ඔහු දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයෙනි.