යක්‍ෂ ප‍්‍රශ්නයට උත්තරයක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යක්‍ෂ ප‍්‍රශ්නයට උත්තරයක්

    යක්‍ෂ ප‍්‍රශ්නයට උත්තරයක්

    අපේ මහාවිහාර මතවාදයෙන් කියැවෙන “යක්‍ෂ කතාව” එච්චර පැහැදිළි නෑ. හැබැයි තියෙන කරුණු මත පදනම්වෙලා සාධනීය විදිහට ඒක පැහැදිළි කරගන්න බැරිකමකුත් නෑ. මේ කරන්නේ ඊට අදාළ මූලික අදහස් කිහිපයක් ඉදිරිපත්කරන එක. පෙර පරිච්ඡේදයෙන් කියපු විදිහට මහියංගනයේ දී කළා කියන යකුන් දමනය තේරුම්ගන්න පුළුවන් ආගමික විශ්වාසවල කියැවෙන අර්ථයෙන්. ඒ සඳහනේ එයට වැඩි යමක් තියෙනවා කියලා මේ ලේඛකයා විශ්වාස කරන්නේ නෑ. “මේ ශ‍්‍රීලංකාද්වීපය නම් අබුද්ධෝත්පාදකාලයෙහි යක්‍ෂයන්ට ම නිවාස වෙයි. බුද්ධෝත්පාදකාලයෙහි මනුෂ්‍යයන්ට ම වාස වෙයි” කියලා පූජාවලිය කියන්නේ මේ ආගමික විශ්වාසය. ඒත් කුවේණිගේ පිරිස සහ ඊට පස්සේ හිටිය කියන යක්කු කවුද?
    79161139_167478947676402_2977241286290964480_o.jpg


    මේ අය මනුස්ස කොට්ඨාශයක් කියන අදහසේ වැරැද්දක් නෑ. ඒත් බෞද්ධ මූලාශ‍්‍රවල ඒ අයව යක්කු විදිහට හඳුන්වලා තියෙන්නේ ඇයි? පැහැදිළිව ම ඒ අයත් එක්ක තිබුණු අරියාදුවක් හින්දා ඒක කළා වෙන්න ඕන. ඒ එක්ක ම අපි තේරුම්ගන්න ඕන විජයාගමන කාලයේ දී මේ රටේ මහ නගර, සුවිසල් ගොඩනැගිලි ආදිය ඉදිකර තිබුණු බවට ප‍්‍රමාණවත් සාධක ලැබිලා නැති බව. අතරින් පතර ඉබ්බන්කටුවේ තියෙන ඉපැරැණි සොහොන් වගේ දේවල් ඉස්මතු කරගෙන තියෙන බව ඇත්ත. ඒත් මේ රටේ බොහොම සාරවත් විදිහට පැලපදියම්වුණු සමාජයක් තිබුණා නම් ඊට වඩා දෙයක් ඉතිරිවෙන්න ඕන. ඉන්දු නිම්න, මිසර, මෙසපොතේමියානු බිම්වලින් ලැබිලා තියෙන විදිහේ දෙයක් හරි, එයින් සුළු ප‍්‍රමාණයක් එක්ක සසදන්න පුළුවන් දෙයක් හරි අපේ රටෙන් ලැබිලා නෑ.

    දැන් දැන් රාවණා මතවාදය ගැන කියන අය ගේ කතන්දරවල හැටියට නම් ඉන්දු නිම්න, මිසර, මෙසපොතේමියානු බිම්වල තියෙනවාටත් වඩා දේවල් මේ රටෙන් තිබිලා තියෙන්න ඕන. ඒත් තාමත් ඒ වගේ දේවල් හොයාගන්න පුළුවන් ඒ අය ලියන ලිපිවල, පොත්වල විතරයි. ඒ හින්දා යක්කු කියලා අපේ මහාවිහාර මතවාදය විසින් නම් කරලා තියෙන පිරිස මේ රටේ පැළපදියම් වෙලා හිටපු පිරිසක් විදිහට සැළකිය යුතු නෑ.

    එහෙම නම් ඒ අය කවුද? ඒ අයත් විජයගේ ගමනට ආසන්න කාලයක දී මේ රටට සංක‍්‍රමණය වූ පිරිසක් වෙන්න ඕන. කොහොමත් ඒ අය විජයට පෙර මෙහි පැමිණි බව පැහැදිළියි. ඒ විතරක් නෙවෙයි. ඒ අය දැදුරු ඔය සහ මල්වතු ඔය අතර ප‍්‍රදේශයේ බලවත් ව හිටිය බවත් පැහැදිළියි.
    78389563_167478977676399_2893769382872219648_o.jpg

    දැදුරු ඔයට දකුණෙන් - ඒ කියන්නේ පැරැණි මායා රටට අයත් ප‍්‍රදේශවල සහ මල්වතු ඔයට උතුරින් තියෙන ප‍්‍රදේශවල පදිංචිවෙලා ඉඳලා තියෙන්නේ නාගයෝ. ඒ අයටයි, දේව කියලා හඳුන්වපු පිරිස්වලටයි තමයි බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරලා තියෙන්නේ. මේ ගැන මහාවංශාදී ග‍්‍රන්ථවල තියෙන කරුණු අපි හැමෝ ම වගේ අහලා තියෙනවා. හැබැයි කිසි ම තැනක යක්කුන්ට බණ කියපු බවක් නම් සඳහන් කරලා නෑ.

    ඒ හින්දා විජයාගමනයට පෙර හරි, මහින්දාගමනයට පෙර හරි හිටිය බෞද්ධයෝ ගැන හිතනවා නම් අපි සළකාබලන්න ඕන ඒ නාග සහ දේව වංශික පිරිස් ගැන. එහෙම නැතිව යක්කු බෞද්ධයන් වෙලා හිටිය බවක් තහවුරු කරන්න බෑ. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඇති. බමුණන් අතරිනුත් හොඳ බෞද්ධයෝ බිහිවුනානේ. පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන්වහන්සේ ශාසනයට එකතුවුනේ මහ බලවත් බමුණු පවුලකින්. අපි උන්වහන්සේව අසූ මහා ශ‍්‍රාවකයින්ගෙන් කෙනකු විදිහටත් සළකනවා. ඉතින් යක්කු අතර හිටිය යම් යම් අය බෞද්ධ වුනා නම් ඒක අමුතු දෙයක් කියලා හිතන්න බෑ.

    කොහොම වුනත් සමස්තයක් විදිහට සැළකුවා ම යක්කු බෞද්ධ නොවුනු බවක් තමයි පැහැදිළිවෙන්නේ. බොහොම පස්සේ කාලෙක ඒ අයගෙන් පැවැත එන අය නම් බෞද්ධ වෙන්න ඇති. කල් යන්න යන්න ඒ වගේ වෙනස්කම් සිද්දවෙනවානේ.

    මේ කියන කාලයේ දී අපේ රටට විවිධාකාර මිනිස් සංක‍්‍රමණ සිද්දවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, නාග ගෝත‍්‍රිකයන්ගේ සංක‍්‍රමණය පෙන්නලා දෙන්න පුළුවන්. වෙනත් උගතුන් ගේ අදහස් උපුටා දක්වමින් බද්දේගම විමලවංශ හාමුදුරුවෝ කියන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ නාගයන් පැතිරුනේ ආර්යයන්ටත් කලින් කියලා. ඒ විතරක් නෙවෙයි. නාගයෝ කියන්නේ “ටිබැට් බුරුම මිශ‍්‍රණයකින්” බෝවෙච්ච අය කියලාත් කියනවා. දැනටත් නාගලන්තයේ ඉන්න පිරිස “තද මොන්ගෝලියන් මිශ‍්‍රණයකින් යුක්ත බව” උන්වහන්සේ පෙන්වලා දෙනවා. “මුල් යුගයේ ම ලංකාවට පැමිණි නාගයෝ උතුරුකරයේත් කැලණියේත්” පදිංචිවුනා කියලාත් උන්වහන්සේ පැහැදිළි කරනවා. මේ විදිහට අපේ රටට ආපු නාගයෝ බෞද්ධ වෙච්ච විදිහ මණි අක්ඛිත නා රජු, චුලෝදර - මහෝදර වැනි අය ගැන කියන කරුණුවලින් වංශකතා විස්තර කරනවා. ඒ වගේ ම නාගයෝ කරපු පුද පූජා ගැන සඳහන් අභිලේඛන විශාල ප‍්‍රමාණයකුත් හොයාගෙන තියෙනවා.

    ඊට අමතර ව - ඇත්තෙන් ම බුද්ධ පරිනිර්වාණයට පස්සේ, ශාක්‍යයෝ අපේ රටට ඇවිල්ලා රුහුණු රටේ පදිංචිවෙලා තියෙනවා. විඩූඪභ රජ්ජුරුවෝ ශාක්‍යයන් වනසද්දී බේරුණු අය විවිධ ප‍්‍රදේශවලට පැනලා ගිහිල්ලා. ඒ විදිහට බේරුණු අයගෙන් පිරිසක් අපේ රටටත් ඇවිල්ලා.

    “රාම නම් ශාක්‍යයන් විසූ තැන් රාමගෝන නම් විය. රෝහණ නම් ශාක්‍යයන් විසූ තැන් රෝහණ නම් විය. දිගා නම් ශාක්‍යයන් විසූ තැන් දිගාමඬුලූ නම් විය. උරුවේල නම් ශාක්‍යයන් විසූ තැන් මහවැලිගම් නම් විය. අනුරාධ නම් ශාක්‍යයන් විසූ තැන් අනුරාධපුර නම් විය. විජිත නම් ශාක්‍යයන් විසූ තැන් විජිතපුර නම් විය” කියලා පූජාවලිය මේ ශාක්‍ය සංක‍්‍රමණය ගැන විස්තරකරනවා.

    කලින් පරිච්ඡේදයකින් කියපු විදිහට ශාක්‍යයන්ටත් මොංගොලොයිඩ් සම්බන්ධයක් තිබුණු බව පැහැදිළියි. මේ ගැනත් බද්දේගම විමලවංශ හාමුදුරුවෝ කරුණු කියලා තියෙනවා.
    79176333_167479031009727_9110786804994277376_n.jpg

    යක්‍ෂයන්ව තේරුම්ගත යුත්තේත් මේ විදිහට සංක‍්‍රමණය වෙච්ච තවත් පිරිසක් විදිහට. ඒ අය විජයට පෙර අපේ රටට ඇවිල්ලා, දැදුරුඔයට උතුරින් මල්වතුඔයට දකුණින් ප‍්‍රදේශයේ පදිංචිවෙලා හිටපු බව පැහැදිළියි. මේ අයට පර්සියානු සම්බන්ධයක් තිබුණු බව බොහෝ විද්වතුන් විසින් හඳුනාගෙන තියෙනවා.

    යක්‍ෂ ගෝත‍්‍රිකයන් ගැන කියද්දී නිතර අශ්වයන් ගැන සඳහන් කිරීමත් මේ හඳුනාගැනීම තහවුරු කරන්න යොදාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට, රාජාවලිය කියනවා ලග්ගල යකෙකුට ලොග්ගල යකින්නියක් කැන්දාගෙන ආපු වෙලාවේ කුවේණිය තමන්ගේ නෑයන් මැරීමට උදව්වුනේ වෙළඹකගේ වේෂයෙන් කියලා. මහාවංශය කියන විදිහට තමන්ගේ මාමාලා එක්ක සටන් කරන වෙලාවේ පණ්ඩුකාභය කුමාරයාට උදව්වෙලා තියෙන්නේ දුම්රක්ගල වෙළඹ රුවින් සිටි චේතියා කියන යකින්න. පස්සේ කාලෙක සූරතිස්ස බලයෙන් නෙරපලා අනුරාධපුරයේ රජවුනු සේන ගුත්තික දෙන්නා ඇවිල්ලා තියෙන්නේ අශ්ව වෙළෙඳාමේ. මේ රටට අශ්වයන් ගෙනාවේ පර්සියාවෙන් වෙන්න ඕන. අදටත් අරාබි අශ්වයන්ට තියෙන්නේ ඉතා ඉහළ ඇගැයීමක්.
    78894198_167479004343063_6276963633587027968_o.jpg

    එළාර පවා පර්සියානුවෙක් බවට මතයක් තියෙනවා. ඩී ජී බී ද සිල්වා, මහාචාර්ය නලින් ද සිලවා යන අයගේ නිරීක්‍ෂණ මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන්. පර්සියාවේ රජකළ ධාර්මික අනුශීරුවන් රජතුමා තමන්ගේ සයනය ළඟ සීනුවක් එල්ලාගෙන හිටියාලූ මිනිස්සුන් ගේ අවනඩු ගැන දැනගන්න. එළාරත් ඒ විදිහට ම කටයුතු කළ කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. එළාරගේ අවමගුල් කටයුතු පවා පර්සියානු චාරිත‍්‍ර අනුව සිදුකළ බවක් හඳුනාගෙන තිබෙනවා.

    ගැමුණු කුමාරයා මාගම ඉඳලා උතුරට එන මග දී වනසපු බලකොටු තිස් දෙක යක්‍ෂ බලකොටු කියලාත් මතයක් තියෙනවා. ඒ කියන්නේ, “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නො ව, බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ය” කියන පුළුල් සටන් පාඨය එක්ක එකතු වෙන්නවත් යක්‍ෂ ගෝත‍්‍රිකයෝ කැමැතිවෙලා නෑ. ඒ අය වඩාත් කැමැතිවෙලා තියෙන්නේ එළාරගේ පැත්ත ගන්න. සේන ගුත්තික දෙන්නටත්, එළාරටත් පර්සියානු උරුමයක් තිබුණු යක්‍ෂ ගෝත‍්‍රිකයෝ උදව් කරන්න ඇති. ඒ ආක‍්‍රමණ තේරුම්ගන්න පුළුවන් පර්සියානු සංක‍්‍රමණයේ අවසන් අවස්ථා විදිහට.

    මේ යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ භාෂාව බොහෝ දුරට සංස්කෘත ඌරුවක් ගත්ත බවක් පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමියන් ලියපු “යක්‍ෂ ගෝත‍්‍රික භාෂාව හා රවි ශෛලාෂ වංශ කථාව” පොතේ එන කරුණුවලින් පැහැදිළිවෙනවා. අපි සිංහලෙන් “ඉරුගල්” කියලා කියන තනි නම යක්‍ෂ භාෂාවෙන් කියලා තියෙන්නේ “රවි ශෛලාෂ” කියන වචන දෙකෙන්. ඒ හින්දා යක්‍ෂ ගෝත‍්‍රිකයන් “සබ, වසබ, සරබ” වගේ නම් භාවිතාකරන්න ඇති කියලා බද්දේගම විමලවංශ නාහිමියන් කියන අදහස ප‍්‍රතික්‍ෂේප කරන්න වෙනවා. ඔවුන් භාවිතා කරලා තියෙන්නේ “උපේන්ද්‍රමිණි”, “රවි ශෛලාෂ මණ්ඨක”, “කේවේසත්ථාන මණ්ඨක” වගේ සිංහලයට නුහුරු, බොහොම බරසාර නම්.

    යක්‍ෂ ගෝත‍්‍රිකයොත් එක්ක බමුණොත් සම්බන්ධකම් පැවැත්තුවා කියලා හිතන්න පුළුවන්. මහාවංශය කියන විදිහට සොළොස් හැවිරිදි වූ පණ්ඩුකාභය කුමාරයා “වෙදපාරගතවු බොහෝ සම්පත් ඇති පණ්ඩුල නම් බ‍්‍රාහ්මණයෙක්” මුණගැහෙනවා. ඒ මුණගැසීම සිදුවෙන්නේ එතුමා යක්‍ෂ ගෝත‍්‍රිකයන් අතර ආරක්‍ෂා වෙමින් ඉන්න කාලයේ දී. පර්සියාවෙන් සංක‍්‍රමණය වුනු යක්‍ෂ ගෝත‍්‍රිකයන්ව සළකන්න ඕන ආර්ය පිරිසක් විදිහට. ඒ ආර්යයන් එක්ක බමුණන් සම්බන්ධකම් පැවැත්වීම පුදුමයට කාරණයක් නෙවෙයි. යක්‍ෂ භාෂාව පවා මේ සම්බන්ධය තහවුරුකරනවා.

    යක්‍ෂ ගෝත‍්‍රිකයෝ අපේ රටේ වැව් හදන්න මුල්වුනා කියන කතාව පිළිගන්න අමාරුයි. වැව් ළඟ අදට පවා දකින්න පුළුවන් නාග රූප. පර්සියානු උරුමයක් ඇති පිරිසක් වැව් හදන්න හේතුවකුත් නෑ. ඒ, අපි වගේ කුඹුරු කොටන මිනිස්සු හිටපු, ඉන්න රටක් නෙවෙයිනේ. හුඟක් උතුරට වෙන්න - ඒ කියන්නේ කැස්පියන් මුහුද කිට්ටුව නම් වී වගාකරනවා. වැව් හදන්න යක්කුන්ගෙන් වැඩ ගත්ත බව නම් බොහෝ කතන්දරවලින් කියැවෙනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ වැව් හදන වැඩේ දී යක්‍ෂ ගෝත‍්‍රිකයෝ නාගයන් යටතේ වැඩකරන්න ඇති.

    ශාක්‍යයන් මේ රටට ඇතුළු වුනේ ගෝකණ්ණයෙන් - ඒ කියන්නේ ත‍්‍රීකුණාමලයෙන්, කියලා අපේ වංශකතා කියනවා. ඒ අය පැළපදියම් වුනේ රුහුණු රටේ. මායා රටෙත්, උතුරෙත් නාගයෝ පදිංචිවෙලා හිටියා. මේ දෙපාර්ශ්වයත් එක්ක විජයට, ඊට පස්සේ මේ රටට ආපු ඔහුගේ උරුමක්කාරයන්ට කිසිම ආරවුලක් තිබිලා නෑ. ඇත්තෙන් ම ශාක්‍ය පරපුර ඒ අයත් එක්ක එකතුවුනු බව අපේ වංශකතාවල තියෙන පඬුවස් - භද්දකච්චායනා ප‍්‍රවෘත්තියෙන් පැහැදිළිවෙනවා. ඊට අමතරව, පාණ්ඩ්‍යයන් එක්ක සම්බන්ධකම් පවත්වන්නත් විජය කටයුතුකරලා තියෙනවා. ඒත්, විජයට පෑහෙන්න බැරිවුනු එක ම පිරිස තමයි යක්‍ෂ ගෝත‍්‍රිකයෝ.

    විජය මේ රටට ඇතුළුවුනේ තම්මැන්නාවෙන්. එහෙම රටට ඇතුළුවුණු විජයට මුණ ගැහුණේ පර්සියානු උරුමයක් තියෙන යක්‍ෂ ගෝත‍්‍රිකයෝ. අද විජය ආවා නම් මුණ ගැහෙන්නේ මේ දවස්වල විල්පත්තුවේ පදිංචිකරවනවා කියලා කියන පාකිස්ථාන ජාතිකයන් වෙන්න පුළුවන්.

    යවන (ග‍්‍රීක) පාලනයට යටත්වෙලා තියෙන කාලයේ දී මධ්‍යම ආසියාවේ සමහර ප‍්‍රදේශවලට බුදුදහම ව්‍යාප්ත වුනත් පර්සියානුවෝ ඒ ගැන තැකීමක් කළා කියලා හිතන්න අමාරුයි. දැන් ටර්ක්මෙනිස්ථානයේ තියෙන මර්ව් කියන ස්ථානය තමයි බෞද්ධ නටබුන් හොයාගෙන තියෙන බටහිර ම අන්තය. ඒක තියෙන්නේ ඇෆ්ගනිස්ථානයේ වයඹ දේශ සීමාවට කිලෝ මීටර් 250 ක් විතර දුරින්.

    පර්සියානු මනසට බුදුදහමින් කියන දේ වැටහිලා නෑ. ඒ අයට තියෙන්නේ ඒක දේවවාදී අදහස් පිළිගන්න, වියුක්ත විදිහට හිතන්න පුළුවන් වෙනත් ආකාරයේ මනසක්.

    ඒ හින්දා තමයි යවන, කුෂාන් පාලන කාලවල දී ඉන්දියානු උප මහාද්වීපයේ වයඹදිගට පැතිරුනු බුදුදහම මහා පර්වතයක හැප්පුනා වගේ ආපස්සට හැරිලා ඉතාමත් දුෂ්කර මාර්ගයක් ඔස්සේ චීනයට පැතිරුණේ. බුදුදහම පැතිරෙන්න භූමියේ පහසුවත්, අපහසුවත් සාධක වෙලා නෑ.

    එහෙම නම්, ඒ විදිහේ මනසක් උරුම කරගත්ත පිරිසක් බුදුදහම පිළිගන්න කැමැති වෙයි ද? ඒ විදිහේ පිරිසක් යකුන් විදිහට නම් කරන්න මහාවිහාර මතවාදය කටයුතු කිරීම පුදුමයක් ද?

    ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති