copyright :divaina
උතුර, දකුණ මිත්‍රත්වය ශක්‌තිමත් කරමින් වසර 24 කට පසු යාපනයේ වැසියන්ට පමණක් නොව රටවාසී සැමට සතුටු සිනා කැන්දාගෙන යාල්දේවිය ඊයේ (13 දා) යාපාපටුන බලා යළිත් ගමන් ඇරඹුවාය.
පලෙයි සිට යාපනය දක්‌වා කිලෝමීටර් 36 ක් වූ දුම්රිය මග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඊයේ (13 දා) පෙරවරුවේ විවෘතවීමත් සමඟ උතුරේ වැසියන්ට දකුණටත් දකුණේ වැසියන්ට උතුරටත් අතීතයේ මෙන් කොළඹ සිට යාපනය දක්‌වා දුම්රියෙන් ගමන් කිරීමේ අවස්‌ථාව උදාවිය.
පෙරවරු 10 ට පමණ පලෙයි දුම්රිය ස්‌ථානය වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහජන හරසර මැද පලෙයි දුම්රිය ස්‌ථානය සුබ මොහොතින් විවෘත කර එම දුම්රිය ස්‌ථානයෙන් යාපනය දක්‌වා ගමන් කිරීම සඳහා ප්‍රථම ප්‍රවේශ පත්‍රය මිලදී ගත්තේය. පෙරවරු 10.09 ට ගමන් ඇරඹූ යාල්දේවී දුම්රියෙන් යාපනය දක්‌වා දුම්රිය ස්‌ථානය තෙක් ගමන් කරමින් ජනාධිපතිවරයා එය ජනතා අයිතියට පත් කළේය.
වසර 24 කට පසු යාපනය දක්‌වා මගී දුම්රියක් ධාවනය වන ප්‍රථම අවස්‌ථාව දැකබලා ගැනීමට පලෙයි සිට යාපනය දක්‌වා දුම්රිය මග දෙපස ජාතික ධජ අතින් ගත් යාපනයේ වැසියන් හා පාසල් දරුවන් අතවනමින් තමන්ගේ ගමන් සගයා වූ යාල්දේවිය යළි උතුරට කැන්දාගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ආචාරය හා ගෞරවය පුද කරද්දී ජනාධිපතිවරයාද අත් ඔසවා ජනතාවට සිය ගෞරවය පුද කළේය.
මග දෙපස මෙන්ම පලෙයි සිට යාපනය දක්‌වාවූ කොඩිකාමම්, මීසාලේ, සංකත්පෙනේ, නාවක්‌කුලි හා යාපනය දුම්රිය ස්‌ථාන වෙත එක්‌රොක්‌ව සිටි ජනතාවගෙන් බොහොමයක් තම අත තිබූ ජංගම දුරකථන හා සමහරු අත තිබූ කැමරා තුළින් රූපගත කරමින් එම ඓතිහාසික අවස්‌ථාව සනිටුහන් කර ගැනීම විශේෂත්වයකි.
එමෙන්ම යාපනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් බස්, කාර්, වෑන්, ලොරි ආදී මේ සියලු වාහන මොහොතක් නවතා මේ ඓතිහාසික අවස්‌ථාව නරඹද්දී දුම්රිය මග දෙපස කුඹුරේ කෙතේ වගා කටයුතු කරමින් සිටි ගොවීන් හා ගෙවිලියන් මදකට එය නතර කර යාල්දේවිය ගමන් කරන දෙස දැස් අයා සතුටින් බලාඋන්නාහ. ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කෙරුණේ උතුරායන සෙනෙහසකි.
පලෙයි දුම්රිය ස්‌ථානයෙන් පෙරවරු 10.09 ට පිටත්වූ යාල්දේවිය 10.25 ට කොඩිකාමම් දුම්රිය ස්‌ථානයට ළඟා වූවාය. එහිදී දුම්රිය ස්‌ථානාධිපතිවරයා විසින් බුලත් හුරුල්ලක් දී ජනාධිපතිවරයා පිළිගත්තේය. පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිංහ ධජය හා ඉන්දීය ධජය ලෙළවමින් ප්‍රීති ඝෝෂා කරද්දී ජනාධිපතිවරයා දුම්රිය ස්‌ථානය විවෘත කළේය.
අනතුරුව පෙරවරු 10.53 ට නාවක්‌කුලි දුම්රිය ස්‌ථානයට පැමිණි ජනාධිපතිවරයා ඒ අයුරින් පිළිගනිද්දී එම දුම්රිය ස්‌ථානය විවෘත කර පෙරවරු 11.13 ට පමණ යාපනය දුම්රිය ස්‌ථානයට ළඟාවිය.
යාපනය දුම්රිය ස්‌ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා වසර ගණනාවක් තමන්ට ගමන් පහසුව සැලසූ සිය ගමන් සගයා වූ යාල්දේවිය පිළිගැනීමට අතිවිශාල පිරිසක් යාපනය දුම්රිය ස්‌ථානය වෙත එක්‌රොක්‌ව සිටියහ.
ජනාධිපතිවරයා දුම්රියෙන් බැස ජනතාවට ආචාරකරමින් ජනතාව අතරින් ගමන් කරද්දී රැස්‌ව සිටි අතිවිශාල පිරිස පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට විශාල වෙහෙසක් දැරීමට සිදුවිය. ජනාධිපතිවරයාද කොතරම් අපහසුතා මැදවුවත් ජනතාව අතරින්ම ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගමන් කළේය.
යළි යාපාපටුනට ගමන් ඇරඹුණ යාල්දේවිය මල්වලින් ඉතා අලංකාරවත් ලෙස සරසා තිබූ අතර ජනාධිපතිවරයා එම දුම්රියේ දෙවන මැදිරියේ ගමන් කළේය. ඓතිහාසික අවස්‌ථාව වාර්තා කිරීමට දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් එක්‌ව සිටියහ. ඔව්හු ජනාධිපතිවරයා ගමන්ගත් මැදිරියට ඉදිරි මැදිරියේ ගමන් කළහ.
යාපනය දුම්රිය ස්‌ථානය විවෘත කළ ජනාධිපතිවරයා අමුත්තන්ගේ පොතේ සමරු සටහන් කර යාපනය සිට කොළඹ දක්‌වා ප්‍රථම දුම්රිය ප්‍රවේශපත්‍රය මිලදී ගත්තේය.
දකුණේ හා උතුරේ ජනතාවට එදා මෙන්ම අද දවස පටන් යාල්දේවී දුම්රියෙන් කොළඹ සිට යාපනයටත් යාපනයේ සිට කොළඹටත් පැය 6 ක් වැනි සුළු කාලයකින් ගොස් සිරි නැරඹිය හැකිය.
යාපාපටුනට මගී දුම්රියක් ගමන් කරනු කිසිදා නොදුටු ශිෂ්‍යයින් හා ළමයින් මේ ඓතිහාසික අවස්‌ථාව මහත් ආසාවෙන් දැක ගැනීමට දුම්රිය ස්‌ථාන වෙත වගේම මග දෙපස විශාල වශයෙන් රැස්‌කකා රොක්‌ව සිටිනු දක්‌නට ලැබුණි.
90 දශකයෙන් පසු වව්නියාවෙන් ඔබ්බට දුම්රියක් ධාවනය වූයේ ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් උතුර සම්පූර්ණයෙන් මුදාගැනීමෙන් අනතුරුවය.
ඉන්දීය රජයේ ණය ආධාර මත ඉර්කොන් සමාගම විසින් 2011 වසරේ සිට උතුරු දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම් ආරම්භ කළ අතර පළමු අදියර යටතේ වව්නියාවේ සිට තාන්ඩිකුලම් දක්‌වාත් ඉන්පසු ඕමන්ත හා කිලිනොච්චිය දක්‌වාත් එහි සිට පලෙයි දක්‌වාත් ඉදිකෙරුණු අතර ඕමන්තේ සිට කිලිනොච්චිය දක්‌වා වූ දුම්රිය මාර්ගය ඉදිකර 2013 සැප්තැම්බර් මස 16 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් දුම්රිය මාර්ගය විවෘත කර යාල්දේවිය කිලිනොච්චිය දක්‌වා කැන්දන් යනු ලැබීය.
1986 න් පසු වරින් වර ත්‍රස්‌තවාදී ප්‍රහාර යාල්දේවියට එල්ලවිය. අවසන්වරට 1990 ජුලි 07 වනදා කොන්ඩාවිල් දුම්රිය ස්‌ථානයට ආසන්නයේදී එල්ලවූ ත්‍රස්‌තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ගමනාගමනය අඩාලවූ යාල්දේවිය යාපාපටුනට යළි පැමිණියේ අදයි.
ත්‍රස්‌තවාදී ප්‍රහාරය හේතුවෙන් විනාශ වී වසර ගණනාවක් අත්හැර දමා තිබුණු යාපනය දුම්රිය ස්‌ථානයේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය එලෙසම ආරක්‍ෂා කරමින් යළිත් නවීන පහසුකම් සහිතව ගොඩනගා තිබේ.
ලොව දුම්රිය මාර්ග ඉදිකිරීමට යොදා ගන්නා ඉහළම තාක්‍ෂණය යොදාගෙන පැයට කිලෝ මීටර් 120 ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි පරිදි මාර්ගය ඉදිකර ඇත.
වසර ගණනාවක් නිහඬව සිටි යාල්දේවිය යළි සුපුරුදු හූ හඬ නංවමින් හිමිදිරියේ කොළඹින් යාපාපටුන බලා ඊයේ සිට ගමන් ඇරඹියේ උතුරේත් දකුණේත් සහෝදරත්වය යළි කිසිදා බිඳ නොදැමීමට කිසිවකුට ඉඩනොතබන පරමාර්ථයෙනි.
යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගිය ගමනට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු තවත් ප්‍රභූන් රාශියක් එක්‌ව සිටියහ.