යාපනේ මඟුල් ගෙයක් වගේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    යාපනේ මඟුල් ගෙයක් වගේ


    copyright: lankadeepa
    පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.
    මහින්ද රාජපක්ෂ ජනපති පිළිගැනීමට දුම්රියපොළ පමණක් නොව මුළු නගරයම සරසා තිබිණි.
    ශ්‍රී ලංකාවේත් ඉන්දියාවෙත් ජාතික කොඩි එහි විය.අතුරු සිදුරු නැතිව සෙනඟ දුම්රියපොළේ දකින්නට ලැබිණි.
    දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් හෝ මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හෝ එහි නොවීය.
    දුම්රිය පොළේ චාම් උත්සවයෙන් පසු ජනපති යාපන සම්බන්ධිකරණ රැස්වීමට සහභාගි වීමට නියමිතව සිටියේය.


    10734132_388421401315614_290216769111854361_n1.jpg


    191.jpg


    10155011_388421194648968_1066664615121818397_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada

    copyright :divaina
    උතුර, දකුණ මිත්‍රත්වය ශක්‌තිමත් කරමින් වසර 24 කට පසු යාපනයේ වැසියන්ට පමණක්‌ නොව රටවාසී සැමට සතුටු සිනා කැන්දාගෙන යාල්දේවිය ඊයේ (13 දා) යාපාපටුන බලා යළිත් ගමන් ඇරඹුවාය.

    පලෙයි සිට යාපනය දක්‌වා කිලෝමීටර් 36 ක්‌ වූ දුම්රිය මග ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් ඊයේ (13 දා) පෙරවරුවේ විවෘතවීමත් සමඟ උතුරේ වැසියන්ට දකුණටත් දකුණේ වැසියන්ට උතුරටත් අතීතයේ මෙන් කොළඹ සිට යාපනය දක්‌වා දුම්රියෙන් ගමන් කිරීමේ අවස්‌ථාව උදාවිය.

    පෙරවරු 10 ට පමණ පලෙයි දුම්රිය ස්‌ථානය වෙත පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහජන හරසර මැද පලෙයි දුම්රිය ස්‌ථානය සුබ මොහොතින් විවෘත කර එම දුම්රිය ස්‌ථානයෙන් යාපනය දක්‌වා ගමන් කිරීම සඳහා ප්‍රථම ප්‍රවේශ පත්‍රය මිලදී ගත්තේය. පෙරවරු 10.09 ට ගමන් ඇරඹූ යාල්දේවී දුම්රියෙන් යාපනය දක්‌වා දුම්රිය ස්‌ථානය තෙක්‌ ගමන් කරමින් ජනාධිපතිවරයා එය ජනතා අයිතියට පත් කළේය.

    වසර 24 කට පසු යාපනය දක්‌වා මගී දුම්රියක්‌ ධාවනය වන ප්‍රථම අවස්‌ථාව දැකබලා ගැනීමට පලෙයි සිට යාපනය දක්‌වා දුම්රිය මග දෙපස ජාතික ධජ අතින් ගත් යාපනයේ වැසියන් හා පාසල් දරුවන් අතවනමින් තමන්ගේ ගමන් සගයා වූ යාල්දේවිය යළි උතුරට කැන්දාගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සිය ආචාරය හා ගෞරවය පුද කරද්දී ජනාධිපතිවරයාද අත් ඔසවා ජනතාවට සිය ගෞරවය පුද කළේය.

    මග දෙපස මෙන්ම පලෙයි සිට යාපනය දක්‌වාවූ කොඩිකාමම්, මීසාලේ, සංකත්පෙනේ, නාවක්‌කුලි හා යාපනය දුම්රිය ස්‌ථාන වෙත එක්‌රොක්‌ව සිටි ජනතාවගෙන් බොහොමයක්‌ තම අත තිබූ ජංගම දුරකථන හා සමහරු අත තිබූ කැමරා තුළින් රූපගත කරමින් එම ඓතිහාසික අවස්‌ථාව සනිටුහන් කර ගැනීම විශේෂත්වයකි.

    එමෙන්ම යාපනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් බස්‌, කාර්, වෑන්, ලොරි ආදී මේ සියලු වාහන මොහොතක්‌ නවතා මේ ඓතිහාසික අවස්‌ථාව නරඹද්දී දුම්රිය මග දෙපස කුඹුරේ කෙතේ වගා කටයුතු කරමින් සිටි ගොවීන් හා ගෙවිලියන් මදකට එය නතර කර යාල්දේවිය ගමන් කරන දෙස දැස්‌ අයා සතුටින් බලාඋන්නාහ. ඔවුන්ගේ මුහුණුවලින් පෙන්නුම් කෙරුණේ උතුරායන සෙනෙහසකි.

    පලෙයි දුම්රිය ස්‌ථානයෙන් පෙරවරු 10.09 ට පිටත්වූ යාල්දේවිය 10.25 ට කොඩිකාමම් දුම්රිය ස්‌ථානයට ළඟා වූවාය. එහිදී දුම්රිය ස්‌ථානාධිපතිවරයා විසින් බුලත් හුරුල්ලක්‌ දී ජනාධිපතිවරයා පිළිගත්තේය. පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සිංහ ධජය හා ඉන්දීය ධජය ලෙළවමින් ප්‍රීති ඝෝෂා කරද්දී ජනාධිපතිවරයා දුම්රිය ස්‌ථානය විවෘත කළේය.

    අනතුරුව පෙරවරු 10.53 ට නාවක්‌කුලි දුම්රිය ස්‌ථානයට පැමිණි ජනාධිපතිවරයා ඒ අයුරින් පිළිගනිද්දී එම දුම්රිය ස්‌ථානය විවෘත කර පෙරවරු 11.13 ට පමණ යාපනය දුම්රිය ස්‌ථානයට ළඟාවිය.

    යාපනය දුම්රිය ස්‌ථානයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා වසර ගණනාවක්‌ තමන්ට ගමන් පහසුව සැලසූ සිය ගමන් සගයා වූ යාල්දේවිය පිළිගැනීමට අතිවිශාල පිරිසක්‌ යාපනය දුම්රිය ස්‌ථානය වෙත එක්‌රොක්‌ව සිටියහ.

    ජනාධිපතිවරයා දුම්රියෙන් බැස ජනතාවට ආචාරකරමින් ජනතාව අතරින් ගමන් කරද්දී රැස්‌ව සිටි අතිවිශාල පිරිස පාලනය කිරීමට ආරක්‍ෂක අංශවලට විශාල වෙහෙසක්‌ දැරීමට සිදුවිය. ජනාධිපතිවරයාද කොතරම් අපහසුතා මැදවුවත් ජනතාව අතරින්ම ජනතාවගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ගමන් කළේය.

    යළි යාපාපටුනට ගමන් ඇරඹුණ යාල්දේවිය මල්වලින් ඉතා අලංකාරවත් ලෙස සරසා තිබූ අතර ජනාධිපතිවරයා එම දුම්රියේ දෙවන මැදිරියේ ගමන් කළේය. ඓතිහාසික අවස්‌ථාව වාර්තා කිරීමට දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීහු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ. ඔව්හු ජනාධිපතිවරයා ගමන්ගත් මැදිරියට ඉදිරි මැදිරියේ ගමන් කළහ.

    යාපනය දුම්රිය ස්‌ථානය විවෘත කළ ජනාධිපතිවරයා අමුත්තන්ගේ පොතේ සමරු සටහන් කර යාපනය සිට කොළඹ දක්‌වා ප්‍රථම දුම්රිය ප්‍රවේශපත්‍රය මිලදී ගත්තේය.

    දකුණේ හා උතුරේ ජනතාවට එදා මෙන්ම අද දවස පටන් යාල්දේවී දුම්රියෙන් කොළඹ සිට යාපනයටත් යාපනයේ සිට කොළඹටත් පැය 6 ක්‌ වැනි සුළු කාලයකින් ගොස්‌ සිරි නැරඹිය හැකිය.

    යාපාපටුනට මගී දුම්රියක්‌ ගමන් කරනු කිසිදා නොදුටු ශිෂ්‍යයින් හා ළමයින් මේ ඓතිහාසික අවස්‌ථාව මහත් ආසාවෙන් දැක ගැනීමට දුම්රිය ස්‌ථාන වෙත වගේම මග දෙපස විශාල වශයෙන් රැස්‌කකා රොක්‌ව සිටිනු දක්‌නට ලැබුණි.

    90 දශකයෙන් පසු වව්නියාවෙන් ඔබ්බට දුම්රියක්‌ ධාවනය වූයේ ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් උතුර සම්පූර්ණයෙන් මුදාගැනීමෙන් අනතුරුවය.

    ඉන්දීය රජයේ ණය ආධාර මත ඉර්කොන් සමාගම විසින් 2011 වසරේ සිට උතුරු දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම් ආරම්භ කළ අතර පළමු අදියර යටතේ වව්නියාවේ සිට තාන්ඩිකුලම් දක්‌වාත් ඉන්පසු ඕමන්ත හා කිලිනොච්චිය දක්‌වාත් එහි සිට පලෙයි දක්‌වාත් ඉදිකෙරුණු අතර ඕමන්තේ සිට කිලිනොච්චිය දක්‌වා වූ දුම්රිය මාර්ගය ඉදිකර 2013 සැප්තැම්බර් මස 16 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් දුම්රිය මාර්ගය විවෘත කර යාල්දේවිය කිලිනොච්චිය දක්‌වා කැන්දන් යනු ලැබීය.

    1986 න් පසු වරින් වර ත්‍රස්‌තවාදී ප්‍රහාර යාල්දේවියට එල්ලවිය. අවසන්වරට 1990 ජුලි 07 වනදා කොන්ඩාවිල් දුම්රිය ස්‌ථානයට ආසන්නයේදී එල්ලවූ ත්‍රස්‌තවාදී බෝම්බ ප්‍රහාරයෙන් පසු ගමනාගමනය අඩාලවූ යාල්දේවිය යාපාපටුනට යළි පැමිණියේ අදයි.

    ත්‍රස්‌තවාදී ප්‍රහාරය හේතුවෙන් විනාශ වී වසර ගණනාවක්‌ අත්හැර දමා තිබුණු යාපනය දුම්රිය ස්‌ථානයේ පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය එලෙසම ආරක්‍ෂා කරමින් යළිත් නවීන පහසුකම් සහිතව ගොඩනගා තිබේ.

    ලොව දුම්රිය මාර්ග ඉදිකිරීමට යොදා ගන්නා ඉහළම තාක්‍ෂණය යොදාගෙන පැයට කිලෝ මීටර් 120 ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි පරිදි මාර්ගය ඉදිකර ඇත.

    වසර ගණනාවක්‌ නිහඬව සිටි යාල්දේවිය යළි සුපුරුදු හූ හඬ නංවමින් හිමිදිරියේ කොළඹින් යාපාපටුන බලා ඊයේ සිට ගමන් ඇරඹියේ උතුරේත් දකුණේත් සහෝදරත්වය යළි කිසිදා බිඳ නොදැමීමට කිසිවකුට ඉඩනොතබන පරමාර්ථයෙනි.

    යාල්දේවී දුම්රියෙන් යාපනය බලා ගිය ගමනට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු තවත් ප්‍රභූන් රාශියක්‌ එක්‌ව සිටියහ.
     
    • Like
    Reactions: [email protected]

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,885
    113
    canada
    බෝම්බ 13 ක් මැද්දෙන් යාල්දේ විය ගෙන ආ හැටි
    මැදිරි 10 න් අටක් කොකාවිල්හි බෝම්බ 8 කට අසුවුණා

    දුම්රිය රියැදුරු රපියෙල් ලියනගේ
    copyright: silumina


    යාල්දේවිය හෙට යළිත් යාපා පටුන දක්වා ගමන් අරඹනු ඇත. වසර 58 ක් තිස්සේ යාල්දේවිගේ මේ ගමන සුන්දර මෙන්ම දුක් දොම්නස් කම්කටොලු පිරි එකක්ද විය. යාල්දේවිගේ ගමන් නොරිස්සූ ත්‍රස්වාදීහු ඇයට විවිධ අඩම්තේට්ටම් කළහ. එහෙත් ඇය එයින් සැලුණේ නැත. හැකි උපරිම අයුරින් ඇය කොළඹ සිට යාපා පටුනේ කෙළවර වන කන්කසන්තුරයටත් කන්කසන්තුරයේ සිට කොළඹටත් තම ගමන නිසොල්මනේ ගියාය. වරෙක ඇයගේ ගමනට බාධා පමුණුවමින් ත්‍රස්තවාදීන් තැබූ බෝම්බයක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී පුපුරා ගියේය. ඒ බෝම්බය එවා තිබුණේ දුම්රියේ ප්‍රවාහනය කළ පාර්සල් අතරේය.

    මීටත් වඩා භයානක කතාවක් අපට අසන්නට ලැබුණේ මාන්කුලම් දෙසිනි. දිනය හරියටම කියනවානම් 1985 ජනවාරි 19 වැනිදායි. එදින අලුයම 5.45ට කන්කසන්තුරය බලා ධාවනය වූ යාල්දේවී ශීඝ්‍රගාමී දුම්රිය පදවාගෙන ගියේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු රියැදුරකු වන රපියෙල් ලියනගේ මහතායි.

    කොළඹ සිට කන්කසන්තුරය හෝ තලෙයි මන්නාරම හෝ බලා යන ඕනෑම දුම්රියක රියැදුරු මහතා අනුරාධපුරයෙන් තම සේවා වාරය අවසන් කළ යුතුය. එතැන සිට දුම්රිය බාර ගනු ලබන්නේ අනුරාධපුරයට අනුයුක්ත දුම්රිය කාර්ය මණ්ඩලයයි. එහෙත් එදින අනුරාධපුරයේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගෙන යායුතු ද්‍රවිඩ ජාතික රියැදුරා සේවයට වාර්තා කර තිබුණේ නැත.

    එම නිසා තේ උගුරක් පමණක් පානය කළ රපියෙල් ලියනගේ දුම්රිය කන්කසන්තුරය දක්වා යළි ගෙන යාමට කටයුතු කෙළේය. හරි හමන් උදේ ආහාරයක් පවා නොගත් ඔහු තම සේවය එසේ සැලසීය.

    එහෙත් එදින බොහෝ දුම්රිය ස්ථානවල ද්‍රවිඩ කාර්ය මණ්ඩල සේවයේ යෙදී නොසිටි නිසා යම් අනතුරක සේයාවක් වැටි තිබුණි. එම නිසාදෝ දුම්රියට හමුදා ආරක්ෂාව සලසන්නට යුද හමුදාව විසින් කටයුතු කර තිබුණි.

    රපියෙල් ලියනගේ මහතාගේ සහායකයා වූයේ නෝබට් පෙරේරායි. හමුදා ආරක්ෂාව සහිතව වවුනියාව පුලියන්කුලම් මාන්කුලම් ප්‍රදේශ පසු කර ධාවනය වූ දුම්රිය කිළිනොච්චියට ළගා විය. එතැන් සිට දැඩි පරීක්ෂාකාරීව දුම්රිය ධාවනය කළ රපියෙල් ලියනගේ සැක සහිත සෑම තැනක්ම හමුදා පරීක්ෂාවට ලක් කර ගත්තේය. ඉදිරිය ඍජුව පෙනෙන මාර්ගය වුවද දැඩි ප්‍රවේශමෙන් දුම්රිය ධාවනය කළ රපියෙල්මහතා අලිමංකඩ කඳවුර අසල දුම්රිය නැවැත්වූයේ ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ දැනුම් දීම උඩය.

    එතැනින් තවත් හමුදා භට පිරිසක් දුම්රියට නැඟ ගත් අතර ඔවුන් රපියෙල් මහතාට පැවසුවේ ඉදිරියෙන් නිරතුරුවම බෝම්බ පුපුරන හඬ ඇසුණු නිසා ප්‍රවේශමෙන් දුම්රිය ධාවනය කරවන ලෙසයි. අයියකච්චි ප්‍රදේශයට සමීප වන විට ඉදිරියෙන් යම්කිසි බාධකයක් තිබුණු බැවින් දුම්රිය නැවැත්වූ රපියෙල් ඉදිරියේ මාර්ගයේ යම් බාධාවක් ඇත්නම් ඒ ගැන සොයා බලන ලෙස හමුදාවෙන් ඉල්ලිමක් කෙළේ ය. රිය සහායක නෝබට් පෙරේරාද දුම්රියෙන් බැස මඳ දුරක් ඉදිරියට ගියේය.

    ‘අයියකච්චි පාලම පුපුරවලා ඉස්සරහට යන්න බෑ‘ හමුදාවේ දැනුම් දීම විය.

    තල්රුප්පාවට යෑමට ගිය යාල්දේවිට තම ගමන එසේ අතර මඟ නවතා දමන්නට සිදු විය. ඇය ආපසු ඒමට තීරණය කළත් තනි මාර්ගයේ ගමන්ගත් දුම්රියට ආපසු ඒමට සිදු වූයේ පසුපසටය. ඒ වන විට පාලම් පුපුරවා හළ බව දැනගත් දුම්රිය මඟීන් දුම්රියෙන් බැස යන්නට විය.

    දුම්රියේ සිටියේ හමුදා භට පිරිස් පමණි. දුම්රිය පසු පසට ගෙන ඒමට රපියෙල් මහතා කටයුතු කළ අතර පරන්තන් දක්වා එසේ පසු පසට ගමන් කෙළේ ය. මැදිරි 10 කින් යුත් දුම්රිය පරන්තන් වල නවතා දුම්රිය එන්ජිම අනෙක් පසට සවි කර ඉන් පසු කුමක් කළ යුතු දැයි රපියෙල් මහතා විමසන්නට විය.

    එවකට අනුරාධපුර ප්‍රවාහන අධිකාරි ලෙස කටයුතු කළ සිසිල් පෙරේරා මහතා ගේ උපදෙස වූයේ දුම්රිය කාර්ය මණ්ඩලයට අලිමංකඩ හමුදා කඳවුරට ගොස් සිටින ලෙසත් දුම්රිය පරන්තන් හි නවතා තබන ලෙසත් ය.

    එහෙත් ප්‍රදේශයේ පැවැති ආරක්ෂක තත්ත්වය මත දුම්රිය එහි තබා ගැනීම සුදුසු නොවන බව ආරක්ෂක අංශවල මතය විය. එහෙයින් දුම්රිය අනුරාධපුරය දක්වා ගෙන යාම සුදුසු බව හමුදාවේ දැනුම් දීම විය. රාත්‍රී 12.00 ට පෙර කෙසේ හෝ දුම්රිය ගෙන එන ලෙස රපියෙල්ට දැනුම් දී තිබුණි. එහෙයින් දුම්රිය පස්වරු 6.30 ට පමණ යළිත් අනුරාධපුරය බලා ධාවනය විය.

    ආරක්ෂාවට සිටි හමුදා භට පිරිස්වලට අමතරව නිවාඩු ලබා කොළඹ බලා පැමිණිමට සිටි හමුදා පිරිස් ද දුම්රියේ විය. දුම්රිය සම්බන්ධ අනතුරුදායක තත්ත්වය නිසා දුම්රියේ විදුලි පහන් නිවා දමා ධාවනයට රියැදුරු සහ සහායකයා තීරණය කර තිබුණි.

    අත්‍යවශ්‍ය ස්ථානවලදී හා අලි මාරුවන ස්ථානවලදි හැරෙන්නට අනෙක් සියලු ස්ථානවලදී කිසිදු විදුලි පහනක් නොනිවා දැල්වීමට ඔවුහු තීරණය කළහ.

    දුම්රිය සැතපුම් 190.25 සැතපුම් කණුව පසු කෙළේ විදුලි පහන් දල්වා යළි නිවා දමමිනි. ඒ අලියකු පාර හරහා මාරු වන ස්ථානයක් එහි තිබූ නිසාය. එම ස්ථානයේ ඇති කුඩා පාලම පසු කරනවාත් සමඟම හෙණ හඩ නංවමින් දුම්රිය උඩ විසිවන බව රපියෙල්ට තේරුම් ගියේය. බෝම්බ වැලකට දුම්රිය අසුවූ බව රපියෙල් දැන ගත්තේය. ඒ සමඟම සැඟව සිටි ත්‍රස්තවාදිහු වෙඩි තැබූහ.

    කිසිදු ආකාරයකින් දුම්රිය නතර විමට ඉඩ ලබා නොදුන් රපියෙල් මහතා දුම්රිය දිගටම පදවාගෙන ගියේය. ඒ පැයට කිලෝමීටර් 90ක පමණ අධික වේගයෙනි.

    ඔහු දුම්රිය නතර කෙළේ පුළියන්කුලම් හා මාන්කුලම් අතර නිල නිවාසයක් අසලය. එතැන සිටි අප්පුහාමි නම් මාර්ග පරීක්ෂා කරන දුම්රිය සේවකයාට කතා කළත් ඔහු සිටියේ නැත. ඒ වන විටත් ත්‍රස්තවාදීන් විසින් ඔහු පැහැරගෙන ගොස් තිබුණි.

    රපියෙල් දුම්රිය දෙස පසුපස හැරී බැලුවේ එහිදිය. එන්ජිම සමග මැදිරි දෙකක් පමණක් බේරී තිබුණි. සෙසු මැදිරි බෝම්බයට හසු වී තිබුණි. මෙවන් පසුබිමක ත්‍රස්වාදීන් පහර දෙද්දී දුම්රිය පිපිර වු ස්ථානයට දුම්රිය ආපසු ගෙන යාමට රපියෙල් තීරණය කෙළේය. ඒ සිය දිවිය පවා පරදුවට තබමිනි. යළිත් පසු පසට දුම්රිය ධාවනය කළ රපියෙල්ට හමුදාවේ උපකාර ද ලැබුණි.

    කිලෝමීටර් කිහිපයක් පසුපසට පැමිණි පසු බෝම්බ තැබූ දුම්රිය ගිනි ගනිමින් තිබෙනු රපියෙල්ට දැකගත හැකි විය.

    එම ස්ථානයේම මිය ගිය 50 කගේ පමණ සිරුරු තිබුණි. එකසිය පනහකට අධික පිරිසක් තුවාල ලබා තිබුණි. රපියෙල්ද හමුදාවට තුවාල කරුවන් දුම්රියට දමා ගැනීමට උදවු විය. දුම්රිය යළි වේගයෙන් අනුරාධපුරය දක්වාම ගෙන යාමට රපියෙල් ඉදිරිපත් විය.

    කේ. කේ නන්දසිරි සේයාරුව -සරත් පීරිස්

    අනුරාධපුරයේදි තුවාලකරුවන් රෝහල්ගත කිරිමටද රපියෙල් කටයුතු කෙළේ ය.

    පසු දින දුම්රිය මාර්ගය පරීක්ෂා කර බලා එහි කටයුතු අධීක්ෂණයට යාමට දුම්රියක් යොදවන ලදී. ඒ සඳහා කිසිවකු නොවූයෙන් රපියෙල් මහතා ඉදිරිපත් විය.

    තම දිවිය පවා නොතකා ඒ සඳහා ඉදිරිපත් වූ රපියෙල් මහතා ට කිසිදු ඇගැයීමක් සිදු වූයේ නැත. යාල්දේවියට බෝම්බ 13 ක් අටවා තිබුණි. එයින් පුපුරා ගියේ 8 ක් පමණි. බෝම්බ සියල්ලම පිපිරුවා නම් සම්පුර්ණ දුම්රියම පුපුරා යාමට ඉඩ තිබුණි.

    රපියෙල් ලියනගේ මහතා අද විශ්‍රාම සුවයෙන් සිටී. වයස අවුරුදු 86 කි. ඔහුගේ කල්පනා ශක්තියද එතරම් යහපත් මට්ටමක් නැත. ඔහුගේ ඥාති පුත්‍ර කේ. කේ. නන්දසිරි මහතාද දුම්රිය රියැදුරකු ලෙස සේවයට බැඳුණේ ය.

    ඔහුද දැන් විශ්‍රාමිකය. මේ සියලු තොරතුරු සැපයිමට දායකත්වය සැපයුවේ නන්දසිරි මහතායි. . දුම්රිය රියැදුරකු නිසා සිදුවීම් සියල්ල ඔහුටද හොඳින් මතකය.

    තමන්ගේ සේවය පිළිබඳව ඇගැයීමක් හෝ අවම වශයෙන් ස්තුතියක් හෝ නොමැතිවීම ගැන රපියෙල් දැඩි කලකිරීමකින් පසු වේ.නන්දසේන මහතාද 2008 වසරේ දුම්රිය සේවයෙන් විශ්‍රාම ගත්තේ ය.

    නිසි කල්පනා ශක්තියක් නැතත් රපියෙල් ලියනගේ මහතාට ඉවෙන් මෙන් යාල්දේවිය ගැන මතකයක් ඇත. ඔහු සැම විටම යාල්දේවිය ගැන මුමුණණු පෙනේ. කිළිනොච්චි දක්වා යන ගමනටද ඔහු සහභාගි විය.

    ඔහු නිතරම පවසා ඇත්තේ කෙසේ හෝ යාපනයට යළි දුම්රියක් ගමන් කරනු දැකීම ඔහුගේ අපේක්ෂාව බවයි. ඒ අපේක්ෂාව හෙට ඉටු වනු ඇත.
     
    • Like
    Reactions: isuru r

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ණය හම්බ වෙනවනම් මේවා ආණ්ඩුවක් නැතුව වුනත් හදන්න පුලුවන්.මේක හදන එක මැජික් නෙවෙයි.
     
    • Like
    Reactions: BINGU_PUTHA