රටම වේළෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ වන විට රටපුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් දැඩි ජල හිඟයකට මුහුණදී තිබේ. ඒ අනුව පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, හම්බන්තොට හා මොනරාගල යන දිස්ත්‍රික්ක මෙම තත්ත්වයට මුහුණදී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
හම්බන්තොට පවුල් තිස්දහසකට අධික ප්‍රමාණයකට පානීය ජල ගැටලු ඇතිවී තිබෙන බව හම්බන්තොට ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉන්ජිනේරු ජේ.පී.ඩී. ජයසූරිය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින මෙම දැඩි නියං තත්ත්වය හේතුවෙන් තංගල්ල, බෙලිඅත්ත, කිරම, කටුවන, ලුණුගම්වෙහෙර, කිරින්ද, බූන්දල වැනි ප්‍රදේශ රැසකට පානීය ජල ගැටලු මතුවී තිබෙන බවත් එම ප්‍රදේශ සඳහා ජල බවුසර් මඟින් හා වෙනත් ප්‍රදේශයන්ගෙන් ජල පොම්පාගාර වෙත ජලය ගෙනැවිත් මෙම තත්ත්වය පාලනය කර තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.


මේ අතර පවුල් දාහත්දාහකට අධික ප්‍රමාණයක් සඳහා පානීය ජලය සැපයෙන රන්න කට්ටකඩුව වැවේ ජලය සීග්‍රයෙන් අඩුවීම නිසා තංගල්ල, රන්න, නෙටොල්පිටිය, හුංගම, අඟුණුකොළපැලැස්ස වැනි ප්‍රදේශ රැසක ජනතාව පානීය ජලය නොමැතිව පීඩාවට පත්වී තිබේ.
අම්බලන්තොට වලවේ ගඟේ ජල මට්ටමද සීග්‍රයෙන් පහළ ගොස් ඇති හෙයින් පානීය ජලය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසට අම්බලන්තොට ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ස්ථානාධිපති ඒ.පී. රූපසේන මහතා ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.


මීට අමතරව පානීය ජලයට ලවණ එකතු වීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ නළ ජලය භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් හේතුවෙන් පනස් දහසකට වැඩි පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කර සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ජලාපවහන මණ්ඩලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව පානීය ජල හිඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හයේම ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබෙන බව ඔහු පැවැසීය.
එමෙන්ම මෙම ජල ගැටලුව වෙනුවෙන් හඳුන්වා දුන් 117 අංකය ඇමැතීමෙන් සියලු ආයතන සම්බන්ධීකරණය කරමින් ජනතාවගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්න වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.