රතන සූත්‍රය

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    කවුරුත් රතන සූත්‍රය අහල තිබුනට තේරුම දැනෙගන හිටියද.

    සූත්‍රය

    1. යානීධ භූතානි සමාගතානි,
    භුම්‌මානි [භූමානි (ක.)] වා යානි ව අන්‌තලික්‌ඛෙ;
    සබ්‌බෙව භූතා සුමනා භවන්‌තු,
    අථොපි සක්‌කච්‌ච සුණන්‌තු භාසිතං.

    2. තස්‌මා හි භූතා නිසාමෙථ සබ්‌බෙ,
    මෙත්‌තං කරොථ මානුසියා පජාය;
    දිවා ච රත්‌තො ච හරන්‌ති යෙ බලිං,
    තස්‌මා හි නෙ රක්‌ඛථ අප්‌පමත්‌තා.

    3. යං කිඤ්‌චි විත්‌තං ඉධ වා හුරං වා
    සග්‌ගෙසු වා යං රතනං පණීතං
    න නො සමං අත්‌ථි තථාගතෙන
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    4. ඛයං විරාගං අමතං පණීතං
    යදජ්‌ඣගා සක්‍යමුනී සමාහිතො
    න තෙන ධම්‌මෙන සමත්‌ථි කිඤ්‌චි
    ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    5. යං බුද්‌ධසෙට්‌ඨො පරිවණ්‌ණයී සුචිං
    සමාධිමානන්‌තරිකඤ්‌ඤමාහු
    සමාධිනා තෙන සමො න විජ්‌ජති
    ඉදම්‌පි ධම්‌මෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    6. යෙ පුග්‌ගලා අට්‌ඨ සතං පසත්‌ථා
    චත්‌තාරි එතානි යුගානි හොන්‌ති
    තෙ දක්‌ඛිණෙය්‍යා සුගතස්‌ස සාවකා
    එතෙසු දින්‌නානි මහප්‌ඵලානි
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    7. යෙ සුප්‌පයුත්‌තා මනසා දළ්‌හෙන
    නික්‌කාමිනො ගොතමසාසනම්‌හි
    තෙ පත්‌තිපත්‌තා අමතං විගය්‌හ
    ලද්‌ධා මුධා නිබ්‌බුතිං [නිබ්‌බුති (ක.)] භුඤ්‌ජමානා
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    8. යථින්‌දඛීලො පථවිස්‌සිතො [පඨවිස්‌සිතො (ක. සී.)
    පථවිංසිතො (ක. සි. ස්‍යා. කං. පී.)] සියා
    චතුබ්‌භි වාතෙහි අසම්‌පකම්‌පියො
    තථූපමං සප්‌පුරිසං වදාමි
    යො අරියසච්‌චානි අවෙච්‌ච පස්‌සති
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    9. යෙ අරියසච්‌චානි විභාවයන්‌ති
    ගම්‌භීරපඤ්‌ඤෙන සුදෙසිතානි
    කිඤ්‌චාපි තෙ හොන්‌ති භුසං පමත්‌තා
    න තෙ භවං අට්‌ඨමමාදියන්‌ති
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    10. සහාවස්‌ස දස්‌සනසම්‌පදාය [සහාවසද්‌දස්‌සනසම්‌පදාය (ක.)]
    තයස්‌සු ධම්‌මා ජහිතා භවන්‌ති
    සක්‌කායදිට්‌ඨී විචිකිච්‌ඡිතඤ්‌ච
    සීලබ්‌බතං වාපි යදත්‌ථි කිඤ්‌චි
    චතූහපායෙහි ච විප්‌පමුත්‌තො
    ඡච්‌චාභිඨානානි [ඡ චාභිඨානානි (සී. ස්‍යා.)] අභබ්‌බ කාතුං [අභබ්‌බො කාතුං (සී.)]
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    11. කිඤ්‌චාපි සො කම්‌ම [කම්‌මං (සී. ස්‍යා. කං. පී.)] කරොති පාපකං
    කායෙන වාචා උද චෙතසා වා
    අභබ්‌බ [අභබ්‌බො (බහූසු)] සො තස්‌ස පටිච්‌ඡදාය [පටිච්‌ඡාදාය (සී.)]
    අභබ්‌බතා දිට්‌ඨපදස්‌ස වුත්‌තා
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    12. වනප්‌පගුම්‌බෙ යථ [යථා (සී. ස්‍යා.)] ඵුස්‌සිතග්‌ගෙ
    ගිම්‌හානමාසෙ පඨමස්‌මිං [පඨමස්‌මි (?)] ගිම්‌හෙ
    තථූපමං ධම්‌මවරං අදෙසයි [අදෙසයී (සී.)]
    නිබ්‌බානගාමිං පරමං හිතාය
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    13. වරො වරඤ්‌ඤූ වරදො වරාහරො
    අනුත්‌තරො ධම්‌මවරං අදෙසයි
    ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    14. ඛීණං පුරාණං නව නත්‌ථි සම්‌භවං
    විරත්‌තචිත්‌තායතිකෙ භවස්‌මිං
    තෙ ඛීණබීජා අවිරූළ්‌හිඡන්‌දා
    නිබ්‌බන්‌ති ධීරා යථායං [යථයං (ක.)] පදීපො
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    15. යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    බුද්‌ධං නමස්‌සාම සුවත්‌ථි හොතු.

    යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    ධම්‌මං නමස්‌සාම සුවත්‌ථි හොතු.

    යානීධ භූතානි සමාගතානි
    භුම්‌මානි වා යානි ව අන්‌තලික්‌ඛෙ;
    තථාගතං දෙවමනුස්‌සපූජිතං
    සඞ්‌ඝං නමස්‌සාම සුවත්‌ථි හොතූති.

    තේරුම

    1. පොළොවෙහි වූ හෝ අහසෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූහු ද, ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිතැත්තෝ වෙත්වා. තව ද මගේ වචනය සකසා අසත්වා.

    2. භූතයෙනි, ඒ බැවින් සියලු තෙපි (මගේ වචනය) අසවු. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරවු. යම් කෙනෙක් දහවල් ද රෑ ද පුද පඬුරු එළවත් ද, එහෙයින් නො පමා ව ම ඔවුන් රකිවු.

    3. මේ මිනිස්ලොව හෝ නාලෝ ආදි අන් ලොවෙක හෝ යම් ධනයෙක් වේ ද දෙව්ලෝහි හෝ මහඟු රුවනෙක් වේ ද (ඔවුන් අතුරෙහි) තථාගතයන් හා සදෘශයෙක් නැත් ම ය. මෙ කරුණින් ද බුදුරජුහු උතුම් රුවනෙකි (නොහොත් මෙය බුදුරජුන් ගේ රත්නභාවය යි.) මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    4. ශාක්‍යමුනි තෙම (ආර්යමාර්ග සමාධියෙන්) එකඟ වූ සිත් ඇත්තේ, කෙලෙස් නැසීමට නිමිති වූ, රාගයෙන් වෙන් වීමට නිමිති වූ, මරණයක් නැති, උතුම් වූ (මහත් වූ) යම් නිවනක් පසක් කළේ ද, ඒ දහම හා සම වූ කිසිවෙක් නැත්තේ ය. මෙ කරුණින් ද නිවන්දහම උතුම් රුවනෙකි. මේ සත්‍යවචනානුභාවයෙන් සෙත් වේවා.

    5. බුද්ධශ්‍රේෂ්ඨ තෙම අත්‍යන්තපරිශුද්ධ වූ යම් මාර්ගසමාධියක් වර්ණනා කළේ ද, බුද්ධාදීහු ආනන්තරික (අනතුරුව ම පල දෙන) සමාධිය යැ යී යමකට කියත් ද, ඒ සමාධිය හා සදෘශ (අන් සමාධි) යෙක් නැත. මේ කරුණින් ද ආර්යමාර්ගධර්මය උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    6. සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද නොහොත් ප්‍රශස්ත වූ යම් අටෝරාසියක් අරී පුගුලෝ වෙත් ද, මොහු හැම දෙන සතර යුග කෙනෙක් වෙති. සුගත බුදුරජුන්ගේ සවු වූ ඔහු තුමූ දක්ෂිණාවට (කර්මය ද කර්මවිපාකය ද අදහා දෙන දානය පිළිගැන්මට) සුදුස්සෝ වෙති. මේ බුදුසව්වන් කෙරෙහි දෙන ලද දානයෝ මහත් පල ඇත්තෝ වෙත්. මේ කරුණින් ද බුද්ධශ්‍රාවක සඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    7. ගොයුම්බුදුරජුන් ගේ සස්නෙහි වූ, සුවිශුද්ධ කායවාක්කර්ම සංඛාත ශීලස්කන්ධයෙන් යුක්ත වූ, ස්ථිර සිතින් (හෙවත් සමාධිගත සිතින්) යුක්ත වූ, ප්‍රඥාව කරණ කොට ගෙණ සියලු කෙලෙසුන්ගෙන් නික්මුනා වූ යම් පුද්ගල කෙනෙක් වෙත ද, ඔහු තුමූ (අරමුණු කිරීම් වශයෙන්) නිවනට බැස ගෙණ නො මිලේ ම රහත්පල සමවත ලැබ ගෙණ එය විඳින්නාහු වෙති. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    8. යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්‍රියකීලය තෙමෙ සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද. ආර්යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි. මේ කරුණින් ද ආර්යසඞ්ඝයා උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    9. යම් සෝවාන් පුඟුල් කෙනෙක් ගැඹුරු නුවණැති බුදුරජුන් දෙසූ ආර්යසත්‍යයයන් තමනට ප්‍රකට කෙරෙත් ද, ඔහු (දෙව්ස්‍රව සක්විති රජස්‍රව ආදි පමාවට කරුණු වන තැනකට පැමිණ) බෙහෙවින් පමා වූවාහු නමුදු අටවන භවයක් නො ගණිති. මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    10. මේ සෝවාන්හුගේ දර්ශනසම්පත්තිය (පළමු වන නිවන් දැක්ම) හෙවත් සෝවාන් මඟ නුවණ පහළ වීම සමග ම සත්කායදෘෂ්ටිය ද, (බුද්ධාදි අට තන්හි) සැකය ද, යම් මිථ්‍යාශීලව්‍රත කෙනෙක් වූහූ නම් ඒ සියල්ල ද යන මේ තුන් සංයෝජනයෝ දුරු කරණ ලද්දෝ වෙත්. හෙතෙම සතර අපායයන් කෙරෙන් මිදුනේ ද වේ. (ආනන්තර්ය කර්ම පසත් මිථ්‍යාදෘෂ්ටියත් යන බැරෑරුම් වූ පව් සය කරන්නට ද හේ අභව්‍ය ය (ඔහු විසින් ඒ පව් සය නො කට හැක්ක). මෙ කරුණින් ද ආර්යසංඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    11. ඒ (සෝවාන්) පුද්ගල තෙම (ප්‍රමාදයෙකින්) කයින් හෝ වචනයෙන් හෝ නැත හොත් සිතින් හෝ ප්‍රඥප්තිවද්‍යමාත්‍ර වූ කිසි වරදක් කරන්නේ නුමුදු, හේ එය සඟොවන්නට නො හැක්කේ ය. දක්නා ලද නිර්වාණපදය ඇති සෝවාන්හුගේ (වරද සැඟෙවීමෙහි) අභව්‍ය බව (හෙවත් වරද සැඟෙවිය නො හැකි බව) (බුදු රජුන් විසින්) වදාරන ලද්දේ ය. මේ කරුණින් ද ආර්යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    12. වන ලැහැබ තෙමේ ග්‍රීෂ්මර්තුව සම්බන්ධී වූ ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි (හෙවත් බක් මස) සුපිපි අක් ඇත්තේ යම්සේ ද, එසේ වූ නිවන්පුර පමුණුවන පර්යාප්තිධර්මරත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිණිස (ඒ බුදුරජ තෙම) දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    13. උතුම් වූ නිවන් දන්නා වූ, උතුම් නිවන දෙන්නා වූ, උතුම් නිවන් මඟ ගෙන හැර පාන්නා වූ, නිරුත්තර වූ බුදුරජ තෙම උතුම් දහමක් දෙසී ය. මේ කරුණින් ද බුදුරජ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    14. යම් කෙනෙකුන්ගේ පුරාතන කර්ම (මෙයින් මත්තෙහි ප්‍රතිසන්ධියක් දිය නො හැක්කේ) රහත්මඟින් ක්ෂීණ වූයේ ද, (කර්මක්ෂය කළ බැවින් මත්තෙහි විපාක දිය හැකි) අළුත් කර්මයන්ගේ පහළ වීමෙකුත් නැද්ද, මතු භවයක් කෙරෙහි නො ඇලුණු සිතැති, ක්ෂීණ වූ ප්‍රතිසන්ධිවිඥාන සඞ්ඛාත වීජ ඇති, පුනර්භව සඞ්ඛාත සංස්කාර වෘද්ධිය කෙරෙහි කැමැත්තක් නැති, ධෛර්යසම්පන්න වූ ඒ රහත්හු මේ පහන මෙන් අවසන් සිත නිරුද්ධ වීමෙන් පිරිනිවෙත්. මේ කරුණින් ද සඞ්ඝයා උතුම් රුවනි නොහොත් මේ ද සඞ්ඝයා ගේ උතුම් රුවන් බවෙකි). මේ සත්‍යබලයෙන් සෙත් වේවා.

    (සක්දෙව්රජ කී ය:)

    15. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද (අපි) දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජාණන් වහන්සේ නමදිමු. (සත්ත්වප්‍රජාවට) සෙත් වේවා.

    16. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද, (බුද්ධාදීන්) විසින් අවබෝධ කරන ලද බැවින් තථාගත වු ධර්මය නමදිමු. (සත් වගට) සෙත් වේවා.

    17. පොළොවෙහි හෝ අහසෙහි වූ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙ තන්හි රැස් වූහු ද, ඔහු ද, මම් ද දෙව්මිනිසුන් විසින් පුදන ලද (ආත්මහිතයෙහි පිළිපන්නවුන් විසින් යෑ යුතු මඟෙහි යෑම් ආදී අරුතින්) තථාගත වූ සඞ්ඝයා නමදිමු සෙත් වේවා.