රස කථා

Bunny1970

Member
Feb 27, 2011
44
9
0
Ampara
රස කථා (උපුටා ගත්ත කි)

පෙර ලක්දිව වැඩවිසූ මහ යතිවරුන් තුළ පැවති ස්ථානෝචිත ප්‍රඥාව හා රසිකත්වය පිළිබඳ ව සඳහන් වන සත්‍යම සිදුවීම් පෙළක් එළකිරි යා‍ලුවන් ට කියන්න ඹ්න කියලා හිතුනා. මේ කථා සියල්ලම උපුටා ගත්තේ පොරොවගම ඤාණසිරි ස්වාමීන් වහන්සේ විසින් රචනා කල, “සඟ රස බස්” නැමති කෘතියෙන්.
මෙය 1827 ජනවාරි 20 දින හික්කඩුවේ දී උපත ලැබ ලක්දිව ජාතික හා ආගමික ප්‍රබෝධයේ පුරෝගාමී යතිවරයෙකු වූ ගෞරවණීය හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිදුවීම ක්.
දිනක් ශ්‍රී සුමංගල නායක හාමුදුරුවෝ මහනුවර මල්වතු විහාරයේ පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා වැඩම කිරීම පිණිස කොළඹ කොටුවෙන් දුම්රියකට ගොඩ වී අසුනක වාඩිව නිහඬ ව පොතක් කියවන්නට පටන් ගත්හ. මේ අතර, ඊලඟ දුම්රියපලෙන් එම මැදිරියටම දේවගැතිවරයෙක් ගොඩ වී නාහිමි ඉදිරිපිට අසුනේ වාඩි ගත්තේ ය.
දෙදෙනා සුහඳ කථාබහකට මුලපුරා දැන හැඳින ගත් හ. දුම්රිය ද වේගයෙන් ධාවනය වේ. මඳ වේලාවක් නිසොල්මනේ පසු වූ දේවගැතිවරයා, තම ආගමේ සත්‍යතාව ඔප්පු කරන කථාවකට මුල පුරා නොයෙක් තර්ක විතර්ක ගෙනහැර දක්වමින් කරුණු දැක්වී ය. නාහිමියෝ නිහඬ ව පසුවේ.
තම ආගමේ ශ්‍රෙෂ්ඨත්වය පෙන්වීම සඳහා කරුණු දක්වන දේවගැතිවරයා,
“ක්‍රිස්තියානි ය දැන් ලෝකයේ හැම රටක ම පැතිරෙනවා. අනෙක් ආගම් පාගා විනාශ කරමින් මහ නුග ගහක් වගෙ දිනෙන් දින වැඩෙනවා”යි ප්‍රකාශ කළේ ය.
මෙතෙක් නිහඬ ව සිටි නාහිමියන් ට ‘බක, බක ගා හිනා ගියේ ය. හිනාව නතර කළේ මහත් අමාරුවෙනි.
දේවගැතිවරයාට සාතන් ආරූඪ විය.
“ඇයි ඔබ වහන්සේ හිනා වෙන්නෙ”
“හිනා යන්නේ නැතැයි, දේවගැතිවරයෙකුට නොගැලපෙන කථාවක් ‍‍දේවගැතිවරයෙක් ම කියනකොට” නාහිමියෝ ප්‍රකාශ කල හ.
“ඇයි තමුන්නාන්සේ එහෙම කියන්නේ”
“ඔබතුමා දැන් කියපු විදියට ක්‍රිස්තියානිය නුග ගහක් නම්, නුග ගහ කියන්නේ වල් ගහක්. කිසිම කෙනෙකුට කිසිම ප්‍රයෝජනයක් නෑ. හොඳ ගහකට වැඩෙන්න දෙන්නෙ නෑ. එහෙම ගස්වල විනාශය ලඟ යි. ඒ මොකද, හොඳ ගහක් වවා ගන්න ඕන වුනාම ඔය නුග වගේ වැඩකට නැති වල් ගස් කපලා ඉවත් කරනවා.”
සඳුන්, තේක්ක, බුරුත වගේ ගස් එහෙම නෑ. ඒ ගස් වලින් අනෙක් ගස් වලට හානියකුත් නෑ. ලේසියෙන් විනාශ වෙන්නෙත් නෑ.
තමුන්නාන්සේ දැනගන්නවා, අපේ “බුද්ධාගම කියන්නේ සඳුන් ගහක්”
..................................................
මේ කථාව වර්තමානයේ කීර්තිමත් බෞද්ධ ආයතනයක් වන බම්බලපිටිය වජිරාරාමයේ නිර්මාතෘ අතිගරු පැළෑනේ වජිරඥාණ නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ සිදුවීම ක්.
දිනක් පැළෑණේ නායක හාමුදුරුවෝ ශිෂ්‍යයන් ට පාඩමක් උගන්වන්නට පටන් ගත් හ. පාඩම “බෙර” ගැන ය.
“අපේ පසඟතුරු වලින් ආතත කියන කොටසටයි බෙර ගැනෙන්නේ. කිසිම උපකරණයක් භාවිතා නොකර අත් වලින් පමණක් වාදනය කරන නිසයි ආතත කියන්නේ. සිංහල වාද්‍ය භාණ්ඩ වලින් වටිනාම එකක තමයි බෙර කියන්නේ.
යක් බෙරය, ගැට බෙරය, මිහිඟු බෙරය, පනා බෙරය, අණ බෙරය, මඟුල් බෙරය, ආදී බෙර වර්ග 24 ක් තියෙනවා. හැබැයි තවත් බෙරයක් තියෙනවා, ඒක අතින් ගහන එකකුත් නෙවෙයි. ඉනේ බැඳගෙන ගහන එකකුත් නෙවෙයි. ඒක තමයි 25 වෙනි බෙරය.
ශිෂ්‍යයයෝ ඔවුනොවුන් මුහුණ බලති.
“ඒක අර ඔක්කෝටම වඩා සද්දයි. ගව් ගානක් දුර ඇහෙනවා.” නාහිමියෝ සිසුන්ගේ තවත් කුහුල වැඩි කල හ.
කාටත් ප්‍රශ්ණයකි. පිළිතුර ලැබෙන තුරු ඉවසුම් නැත.
“හැබෑට ඔය ගොල්ලෝ දන්නේ නැද්ද? ඒක තමයි
“කෙබෙර” නා හිමියෝ ම විසදූ හ.

..................................................
කොටුවේ නායක හාමුදුරුවෝ යන ආදරණිය නාමයෙන් හැඳින්වූ ගාල්ල කොටුව සුදර්මාරාමය විහාරාධිපතිව වැඩවිසූ ගෝනාපීණුවල පුඤ්ඤසාර ස්වාමීන් වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. සිහින් සරළ ස්වරයෙන් දෙසුම් කළ උන් වහන්සේගේ දෙසුම් රසබර බවින් ද යුක්ත විය.
කලක් උන් වහන්සේ විද්‍යාලෝක විද්‍යාලයේ ධර්මාචාර්යන් වහන්සේ ලෙස සිසුන් ට සිප් සතර ‍බෙදාදීමේ ද නිරතව සිටිය හ. මෙම සිදුවීම එහි දී සිදුවූව කි.
එදින ද උදෑසනම පන්තියට වැඩි නා හිමියෝ දිනට නියමිත පාඩම ආරම්භ කල හ. නියමිත පාඩම වූයේ කොවුල් සන්දේශය යි.
“වයියා කරන්නත් - දෙමල කිවියර රඳනා
පයියාගල වෙහෙර - මුනිඳු දැක නැමඳ යව සතොසින්”
ඔය පයියාගල විහාරය ගැන හුඟක් සන්දේශ කාව්යවවල සඳහන් වෙනවා. ලස්සන බුදුරුවක් සහිත විහාරයක් තිබුණ තැනක්.
“කොහේද හාමුදුරුවනේ, පයියාගල තියෙන්නේ”
එක් තරුණ ශිෂ්‍යයෙක් ඇසුවේ නොදැන ම නොවේ.
“පයියාගල තියෙන්නේ කලුතරට ටිකක් මෙහා. බේරුවල පහු කලාම” පැවසූ නාහිමි, මොහොතක් තොල විකාගෙන නිහඬව සිට,
“හැබැයි, ඒක මේ පැත්තේ තිබුණ නම් තමයි හොඳ”
“ඒ මොකද නායක හාමුදුරුවනේ.....? සිසුන් ගෙන් පැණය කි.
“ ඇයි කීඹිය තියෙන්නේ ‍මේ පැත්තේ නෙ.....!

..................................................
 
  • Like
Reactions: Climax