රූබරියක ගේ කථා වස්තුව!!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
රූබරියක ගේ කථා වස්තුව!!!

අපේ පන්තියේ ඉගෙන ගත් නර්මදා බෙහෙවින් රූබර වූවා ය.

පන්තියේ සිටි අපේ යහළුවෝ කිහිප දෙනෙක්ම ඇයට වසඟ වී සිටියහ. ඈ පතා ඔවුහු දබර ද වූහ. නර්මදා ගේ පියා මිය ගොස් සිටියේ ය. දරු පවුල ගෙන යන්නට පියා ගෙන් උරුම වූ විශ්‍රාම වැටුප නොසෑහුණු බැවින් මව කඩයප්පන් හැදුවා ය.

උදෑසන පායන සඳක් සේ නර්මදා ද උදෑසන ම පායා අපේ පන්තිය එළිය කරන්නී ය. එහෙත් බාහිර තරුණයකු හා ඇගේ සම්බන්ධයක් පැවති බව පන්තියේ කිසිවකු දැන සිටියේ නැත. හිටි අඩියේ ම සඳ මැකී ගියේ ය. ඇය ඔහු හා සැඟව ගියා ය; ඉන්පසු කිසිදා පාසල් නාවා ය.

නර්මදා නැති අඩුව අපට තදින්ම දැනුණත් ටික කලකින් අපට ඇය අමතක විය. වසර ගණනාවකට පසු අපේ පාසල් දිවිය අවසන් විය. අපි රැකියා කරනු පිණිස සමාජයේ විසිර ගියෙමු.

මා අගනුවර රැකියාවට ගියේ දුම්රියෙනි. ඒ වන විට අලුත් මිතුරු කැළක් මා වටා සිටියහ. අප ගමන් කිරීමට පුරුදු ව සිටියේ එක ම මැදිරියක ය.

දිනක් අප මැදිරියේ ගමන් කරමින් සිටි පාසල් දැරියක් මගේ දෑස පැහැර ගත්තා ය. ඒ නර්මදා ගේ මුහුණේ ම පිළිබිඹුවකි. නර්මදා නැවත උපන් සේ ය.

තවත් දිනෙක, කුහුලින් යුතු ව මම ඇයට සමීප වීමි.

‘ඔයාගෙ අම්මගෙ නම නර්මදා ද?’

ඇය දෑස් ලොකු කර මදෙස බැලුවා ය.

‘අංකල් කොහොමද දන්නෙ? අපේ අම්මව දන්නව ද?’

‘ඔයාගෙ අම්මයි, මායි එක පන්තියෙ ඉගෙන ගත්තෙ’

ඇය සිනාසුණා ය. ඒ නර්මදා ගේ ම හිනාව ය.

‘ඒ කාලෙ ඔයාගෙ අම්ම හිටියෙ.... පැත්තෙ’

‘ඔව්, එයාගෙ මහ ගෙදර තියෙන්නෙ එහෙ’

එතැන් පටන් අපි දැන හඳුනා ගතිමු.

දිනක් මම ඇයට අදහසක් ඉදිරිපත් කළෙමි.

‘දුවේ, මට ඕනැ ඔයාගෙ අම්මව මුණ ගැහෙන්ඩ’

‘මං අම්මට කියන්නං අංකල්’

නියමිත දිනයේ මම දුම්රිය වේදිකාවේ බලා සිටියෙමි. නර්මදා දියණිය හා එහි ආවා ය.

ඇය මා බඳු ව ම වැඩී සිටිය ද අතීත තාරුණ්‍ය ලාලිත්‍යය ඈ සමඟම රැඳී තිබිණ. දියණිය පුදුම වී බලා සිටිය දී අපි පන්ති කාමරයේ වූ සිද්ධීන් මෙනෙහි කරමින් සිනාසීමු.

‘ඒක නෙමේ නර්මදා. කොහොමද ඔයාගෙ ජීවිතේ?’

ඇය සිය කතාව කීවා ය. එය කඳුළු කතාවකි.

ඇගේ සැමියා හදිසි අනතුරකින් මිය ගොස් සිටියේ ය. එතැන් පටන් ඇය දරු දෙදෙනා රැක බලා ගන්නට මහත් වෙහෙසක් දරා තිබිණ.

‘දැං අපි පුංචි ගේක කුලියට ඉන්නව. දරුවො දෙන්න ඉහළ පන්තිවල ඉගෙන ගන්නව. මාත් පුංචි රස්සාවක් කරනව.’ ඇය කඳුළු පිස ගත්තා ය.

අපි සමු ගතිමු.

වැඩි කලක් නොගියේ ය.

හිටි අඩියේ ම දියණිය ගේ දුම්රිය ගමන නැවතිණ. මගේ කුහුල වැඩිණ.

‘යාළුවට මොකද වුණේ?’ මම ඇගේ යෙහෙළියක ගෙන් විමසීමි.

‘ඇයි අංකල් දන්නැද්ද? එයාගෙ අම්ම කෝච්චියට පැනල මැරුණනේ!’

මා සියොළඟ සසල වී ගියේ ය.

වරුවක් නිවාඩු දැමු මම නර්මදා එදා කී මඟ සලකුණු ඔස්සේ ඈ පදිංචිව සිටි නිවෙස සොයා ගියෙමි. සෑහෙන වෙහෙසකින් පසු පුංචි ගෙවල් තවානක් මැද වූ ඇගේ පුංචි ගෙය සොයා ගැනීමට මට හැකි විය. ඇගේ අවමඟුල වෙනුවෙන් එල්ලන ලද සුදු ඉටි කොළ ද ගේ අසල ළෙල දෙමින් තිබිණ.

නර්මදා ගේ දියණිය ද මහලු මව ද එහි සිටියහ. ඇගේ මරණය ගැන කම්පා වූ මම නොදැනුවත්කම නිසා අවමඟුලට සහභාගිවීමට බැරි වීම ගැන කනගාටුව පළ කළෙමි.

සමුගෙන ආපසු එද්දී ඇගේ අසල්වැසියෙක් මට ඇගේ සැඟවුණු කතාව හෙළි කළේ ය.

ඒ අසා මම යළිදු සසල වීමි.

නර්මදා ලොවට රහසින් රැකියාවක් කරමින් සිටියා ය. ඒ සම්බාහන ආයතනයක ය. ඉහළ පන්තියක ඉගෙන ගත් සිය පුතු වෙනුවෙන් දරන්නට තිබු වැය ඇය සරිකර ගත්තේ මේ රැකියාවෙනි.

පුතු ගැන විශ්වාසය තබා සිටියා මිස ඔහු කරන කියන දේ සොයා බැලීමට ඇයට කාලයක් නොවීය. ඔහු අධම ලෝකයේ ගොදුරක්ව සිටි බව ඇය නොදැන සිටියා ය.

පුතු මත්කුඩු ද, ශෘංගාරය ද අඹා යමින් සිටි චරිතයක් ව සිටියේ ය. සිහි විකල්ව සිටි පුතු දිනක් සම්බාහන ආයතනය තුළට වැදුණේ අහම්බෙනි. මව එහි රැකියාව කරති’යි ඔහු දැන සිටියේ නැත. ඔහු තම කුටියට එති’යි ඇය ද හීනෙකින්වත් නොසිතුවා ය.

නර්මදා ආයතනයෙන් පිට වූයේ උමතු වූ පටාචාරාවක සේ ය. පටාචාරාව ද ඒ සා බරපතළ අවස්ථාවකට මුහුණ දී නොසිටින්නට ඇත.

නුවර - කොළඹ දුම්රිය වේගයෙන් ඇදී ආවේ ය. නර්මදා එය ඉදිරියට ආවේ සිහියෙන් දැයි අපි නොදනිමු. දුම්රිය ඈතට ගොස් නැවතිණ. එහෙත් නර්මදා සිටියේ නැත.

නර්මදා ඔබේ මතු භවය සැපවත් වේවා!


උපුටාගත්තේ,
http://kiyumkerum.blogspot.com/2010/09/blog-post_21.html
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මම නම් අදමයි මේක දැක්කේ? මෙක ඇත්තක් වෙන්න පුළුවන්ද? මොනව වුනත් මාර සංවේදියි නේද? අර කොල්ල ජීවත් වෙනවා ඇත්ද?