Nalin Subasinghe
November 21 at 6:49 PM
පල්ලෙවත්ත සහ මොරගොඩ
රොහාන් පල්ලෙවත්ත දැක්කම මට මතක් වන්නේ මිලින්ද මොරගොඩ. ඒ දෙන්නටම තට්ටෙ තියෙන නිසා නෙවෙයි.
මිලින්ද මොරගොඩ කියලා කෙනෙක් ඉන්නවද කියලා මිනිස්සුන්ට දැන් වැඩිය මතකයක් නෑ. මිලින්ද මොරගොඩ දේශපාලනයට ආවේ පැරෂුට් එකක් විදියට. සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනයේ ඉහළට එන්න දේශපාලන පවුලකින් එන්න ඕන; නැතිනම් කාලයක් දේශපාලනයේ නිරත වෙලා ඉඳලා ගොඩ නැගෙන්න ඕන. මේ දෙකම නැතිව මිලින්ද මොරගොඩ එජාපයේ ඉහළ නායකයෙක් විදියට 2000 දි විතර එක පාරටම අහසෙන් පාත් වුනා.
සාමාන්‍යයෙන් මාධ්‍යමික ජනයා (විශේෂයෙන් කොළඹ සහ අවට වාසය කරන) ගේ මන දොළ සපුරන ලක්ෂණ තමයි මිලින්ද මොරගොඩ ට තිබුනේ. ඔහු සාම්ප්‍රදායික දේශපාලඥයෙක්ට වඩා ගොඩක් වෙනස් වුනා. බටහිර රටක උපාධිය, ෆුල් සූට් ඇඳීම, ඉංගිරිසි හොඳට උච්චාරණය වගේ දේවලට අමතරව ඔහුගේ කතා බහත් ගොඩක් වෙනස්. සාම්ප්‍රදායික දේශපාලඥයෝ ගොඩක් කරන දෙයක් තමයි විපක්ෂය විවේචනය කරන එක. මිලින්ද මොරගොඩ කවුරුවත් එහෙම විවේචනය කළේ නැහැ. ඔහු ආර්ථිකය, රට දියුණු කරන එක වගේ දේවල් ගැන තමයි කතා කළේ. විශේෂයෙන් බටහිර සහ ආසියාවේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද, ඒ රටවල තියෙන ක්‍රම මොනවද වගේ දේවල් ඔහු කතා කළා. සිරස මාධ්‍යයෙන් ඔහුගේ වැඩසටහන් වලට විශේෂ තැනක් දුන්නා. ඒ වගේම මට මතකයි ඔහු සතිපතා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සමඟ ධර්ම සාකච්ඡා වැඩසටහනකුත් කළා.
ඔහු මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කියලා ඔහුගේ විද්‍යුත් ලිපිනය දුන්නා. මේ කාලයේ අපේ රටේ අන්තර්ජාල පහසුකම් වැඩිය තිබුනේ නැහැ; ඒ නිසා විද්‍යුත් ලිපි යැවීම සුලබ දෙයක් වුනේ නැහැ. මිලින්ද මොරගොඩ විවාහ වෙලා සිටියේ ඇමෙරිකානු ජාතික කාන්තාවක් බවත් ඇය හරහා ඔහුට ඇමෙරිකාවේ ඉහළ දේශපාලනයට සබඳතා ඇති බවත් මේ දවස්වල කියැවුනා. මිලින්ද මොරගොඩ රනිල් සමඟ ඉහළ එජාප නායකයෙකු ලෙස නිතර පෙනී සිටිනු දක්නට ලැබුනා. එජාප නායකත්වයට රනිල්ගේ අනුප්‍රාප්තිකයා මොරගොඩද කියලා මට ඒ කාලයේ හිතුනා.
මේ කාලයේ මම ලංකාවේ එක් ප්‍රධාන සමාගමක පුහුණු කාලයක් ගත කරමින් හිටියේ. මේ සමාගමේ විධායක මට්ටමේ නිලධාරීන් මේ දවස්වල මිලින්ද මොරගොඩ ගැන ආඩම්බරයෙන් කතා කළා "අන්න මේ වගේ මිනිස්සු තමයි අපේ රටට ඕන, නියම මොළයක්". "පක්ෂ දේශපානය තමයි මේ රට කෑවෙ." "අපේ රටේ පොලිටික්ස්වලට එන්න ඕනෙ ඇකඩමික්ස්ලා, ප්‍රොෆෙෂනල්ස්ලා, ඔන්ටර්ප්‍රින්‍යුර්ස්ලා. දැන් කවුද පාලිමන්ට් එකේ ඉන්නේ නිකන් අට පාස් කසිප්පු කාරයෝනෙ." මට මතක් වෙන්නේ අද සමහරු පල්ලෙවත්ත ගැන කියන කතා.
කොහොම හරි මිලින්ද මොරගොඩ 2001 දී රනිල්ට විතරක් දෙවනිව කොළඹින් මනාප අරන් පාර්ලිමේන්තුවට ආවා. ඇමතිකමකුත් ලැබුනා. ඊට පස්සෙ ඔහු ගැන වැඩිය අහන්න ලැබුනේ නැහැ. රට හදන එක ගැන ලොවෙත් නැති කතා කිව්වට මිලින්ද මොරගොඩ කරපු කෙං ගෙඩියක් නෑ, තමන්ගෙ ව්‍යාපාරික කටයුතු ගැන බැලුව මිසක්. ඔහු හිටියෙත් වැඩි පුරම හිටියෙත් පිටරට.
මේ අතර 2005 දි කෝප් කමිටු වාර්තාවකින් හෙළි වුනේ ඔහු විශාල මූල්‍ය අක්‍රමිකතා ප්‍රමාණයකට වග කිව යුතුයි කියලා. ඊට පස්සෙ ඒකෙන් බේරෙන්න ඔහු ආණ්ඩු පක්ෂයට මාරු වුනා. 2010 ඡන්දෙන් අඩුම තරමේ ඔහුට පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වුනා. (2015 ඡන්දෙ ඉල්ලුවද මතකත් නෑ.) අද මිලින්ද මොරගොඩ කොළඹ නගරසභාවේ සභිකයෙක්. අද ඔහු ගැන වැඩිය අහන්න නැහැ. මෑතක අහන්න ලැබුනේ ඔහු ළඟ පන්සලක පිරිත් දාන්න එපා කියලා නඩුවක් දාල තිබුනා කියන කතාවෙන්. මට අර සිරසේ ගිය ධර්ම සාකච්ඡා මතක් වුනා.