තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රබාඅබස්ජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ.