දැන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන් ගැන කතා කරන දවස් කිහිපයයි මේ ගෙවෙමින් තිබෙන්නේ. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අහිමි කරගත් දක්ෂයන් පිළිබඳව කියවෙනවා. ඉන් එක් අයෙක් පිළිබඳ සටහනක් අවසන් වූ ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනා අතර තරගයක් අවසානයේ දී විදෙස් මාධ්‍ය හී ලියවී තිබුණා.
ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනා අතර වූ ඉන්දීය - පකිස්තාන තරගය තිබුණේ ගෙවුණු සැප්තැම්බර් 10 වෙනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි. එහිදී පකිස්තාන කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩිට එරෙහිව ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා backward square දෙසින් හයේ පහරක් එල්ල කරද්දී, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාගාරය දෙසට කැමරා යොමු වුණා. ඒ එහි බැල්කනියේ සිටගෙන සිටින පුද්ගලයෙකු වෙත. බොහෝ ක්‍රීඩා ලෝලීන්ට පවා එදා ඒ පුද්ගලයා හඳුනාගත් නොහැකි වුණා. ඔහු තමා ඉන්දීය කණ්ඩායමේ වම් අතින් විසිකිරීමේ විශේෂඥවරයා(left-arm throwdown specialist) . ඔහුගේ නම උදේනක නුවන් සෙනෙවිරත්න. කොළඹ වෙස්ලි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අයෙක්.
නුවන් ශ්‍රී ලංකාවේදී පළමු පෙළ තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ඔහුගේ ක්‍රිකට් දිවිය අවසන් කරන්නේ එලෙස අප්‍රකටව සිය ක්‍රීඩා දිවිය අවසන් වූ බොහෝ දෙනා අතරට එක්වෙමින්. එහෙත් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම ක්‍රිකට් තාක්ෂණික කණ්ඩායම් හොඳින්ම දන්නා කැපී පෙනෙන අයෙක්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අත්‍යවශ්‍යම පුද්ගලයෙක්.
ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් වන රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි විශ්වාස කරන්නේ නුවන් සෙනෙවිරත්නට ඔහුගේ වම් අත විසිකිරීම් සමඟින් ආන්තික වේග සහ තියුණු කෝණ ජනනය කිරීමට ඇති හැකියාව, තරගයක දී වමත් වේගපන්දු යවන්නන් වඩා හොඳින් මුහුණ දීමට ඔවුන්ට උපකාරී වන බවයි.
මේ දක්වා අප්‍රකට නුවන් සෙනෙවිරත්නගේ පිළිබඳ කතාව දිග හැරෙන්නේ එතැන් පටන්. ඉන්දීය මාධ්‍ය පවසන්නේ නුවන්ගේ ගමන එතරම් සරල නොවූ එකක් බවයි.
මෙරට සෙසු බොහෝ තරුණයන් මෙන් නුවන් තම අනාගතය ගැන නොදැන, කොළඹ පාසල් වෑන් රියැදුරෙකු ලෙස තම ජීවිකාව සොයා ගැනීමට උත්සාහ කළ කාලයක් තිබූ බව පැවසෙනවා. කලෙක Nondescripts Cricket Club – NCC හී දෙවෙනි පෙළ අස්ථාවර ක්‍රීඩකයෙකු වූ ක්‍රිකට් අතහැර ජීවත්වීම සඳහා කුලී රථ ධාවකයෙක් ලෙස රැකියාව තෝරා ගත් අයෙක්. ඒ රැකියාව අතරතුර ඔහුගේ විවේක කාලය තුළ නුවන් සෙනෙවිරත්න නැවතත් ඔහුගේ පැරණි සමාජය වන NCC අසල ගසක් යට සෙවණකට එන්නේ දහවල් කාලයේ ඔහුගේ වෑන් රථය ගාල් කර ගැනීමට යි. එලෙස 2015 වසරේ දී NCC වෙත ගිය එක් දවසක ඔහුට හිටපු ශ්‍රී ලංකා පිතිකරු චරිත් සේනානායක මුණගැසෙනවා. ඒ වෙන විට නුවන් තම වෑන් රථය ගාල් කර ලද විවේකයේ දී ශ්‍රී ලංකා ‘A’ පිලට ඔවුන්ගේ පන්දු රැකීමේ අභ්‍යාසවලට සහය වෙමින් සිටි සමය යි.
චරිත් සේනානායක ඒ වන විට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ කළමනාකරු යි.
“ඔහු ඔවුන්ට පන්දු යැවීම සහ විසිකිරීම් කිහිපයක් කරමින් සිටියා. ඔහුගේ දක්ෂතා සහ රාජකාරීමය ආචාර ධර්ම ගැන මම වහාම පැහැදුණා. ඔහු මුලින්ම පිටියට පිවිසි අතර අවසන් වරට පිටත්ව ගියේ ඔහුයි” චරිත සේනානායක ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබුණා. නුවන් සෙනෙවිරත්නගේ වේගය සමඟ පිතිකරුවන් අසීරුතාවයට පත්කිරීමේ හැකියාව තමන් දුටු බව චරිත් සේනානායක පවසනවා.
“විශේෂයෙන්ම දැල තුළ ක්‍රීඩා කිරීමේ දී වමත් වේග පන්දු යවන්නෙකුගේ කෝණ ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔහුගේ විසිකිරීම් විශිෂ්ට වුණා. එය අපේ පිතිකරුවන්ට, විශේෂයෙන් දනුෂ්ක ගුණතිලකට, පසුකාලීන ‘A’ කණ්ඩායමේ සංචාරවලදී බොහෝ සෙයින් උපකාරී වුණා.
මම හිතුවා නුවන්ගේ ජීවනෝපාය සඳහා පමණක් නොව ඔහුට සැබෑ දක්ෂතාවයක් ඇති නිසාත් ඔහුට උදව් කළ යුතු බව. ඒ නිසා මම ඔහුව රෝයි ඩයස් වෙත යොමු කළා මගේ නිර්දේශයත් එක්ක” යි චරිත් සේනානායක පවසනවා.
ඒ නිර්දේශයත් සමඟ 2016 වසරේ ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ සහය කාර්යය මණ්ඩලයට නුවන් සෙනෙවිරත්නට අවස්ථාව ලැබී තිබෙනවා. එම වසරේ අග භාගයේ දී එංගලන්ත සංචාරයේ නුවන් සෙනවිරත්න දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සේවය සඳහා කැඳවා තිබුණා.
“මම ඔහුව එවකට ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් වෙත නිර්දේශ කර තිබුණා. ඔහු දැල් පිටියේ දී නුවන්ව හොඳින් නිරීක්ෂණය කළා. දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන්ට එරෙහිව නුවන් සෙනෙවිරත්න යොමුකළ වමත් පන්දු වීසී කිරීම ගැන ෆෝඩ් වඩාත් පැහැදුණා.
එක් වරෙක නුවන්ගේ පන්දු විසිකිරීම දිහා බලා උන්නු ෆෝඩ් විහිළුවට මෙන් මගෙන් ඇසුවේය ‘ඔහු මනුෂ්‍යයෙක්ද’ කියලා. ඒ නිසා එවර නුවන්ව කණ්ඩායමත් සමඟ එංගලන්තයට රැගෙන යාමට කාටවත් කිසිදු පැකිලීමක් තිබුණේ නැහැ” යි එම සංචාරයේ කළමනාකරු ලෙස කණ්ඩායම සමඟ එක්වූ චරිත් සේනානායක පවසා තිබුණා.
මේ අතර 2017 ජූලි මාසයේ දී මෙරටට පැමිණි ඉන්දීය කණ්ඩායමට දැල තුළ පන්දු යැවීම සඳහා සහය වීමට නුවන් සෙනවිරත්න කැඳවා සිටියා.
දැල තුළ පුහුණුවේ දී එක් වරෙක නුවන් විසිකළ පන්දු විරාජ් කෝලිගේ සිරුරට ම වැදී තිබුණා. පසුව කෝලි පවසා තිබුණේ නුවන් විසිකරන පන්දුවෙ වේගය සහ එවනු ලබන කෝණය නිසා තමන්ට ඊට එරෙහිව පහරදීමට අපහසු වූ බවයි. පහර දුන් අතරතුර ඔහුගේ වේගය සහ කෝණවලින් ඔහුට ටිකක් කරදර වුණා.
“පුහුණුවෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු මා වෙත පැමිණ පන්දු විසිකිරීමේ විශේෂඥයා නුවන් පිළිබඳව විස්තර විමසුවා. ඉන් පස්සේ ඔහු නුවන් සමඟ කෙටි සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා” යි චරිත් සේනානායක පවසනවා.
“මාස කිහිපයකට පසු නුවන් සෙනෙවිරත්න ඉන්දීය කණ්ඩායමේ වම් අතින් පන්දු විසිකිරීමේ විශේෂඥයා වීමට ඉන්දියාවට යන ගුවන් යානයක සිටියේය” යි ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
“නුවන් එහෙමත් නැත්නම් අපි හැමෝම ආදරයට කියන ‘බවුවා’ මට කතා කරලා කිව්වා සර් මම එයාලගේ ක්‍රිකට් කණ්ඩායම එක්ක ඉන්න ඉන්දියාවට යනවා කියලා, අවසානයේ ඔහුට ලැබිය යුතු පිළිගැනීම ඔහුට ලැබුණු නිසා මම ගොඩක් සතුටු වුණා. මිනිසුන් බොහෝ විට දකින්නේ ඔහුගේ සාර්ථකත්වය පමණයි. නමුත් ඔහු තම කුසලතා වැඩි දියුණු කර ගැනීම සඳහා දැල්වල වෙහෙස මහන්සි වී වැඩ කළ අතර, ඔහුගේ විසි කිරීමේ අත ශක්තිමත් කිරීම සඳහා ජිම් එකේ පැය ගණන් ගත කළා.
මම හිතන්නේ වැඩ කිරීමේ ආචාර ධර්ම සහ ඔහුගේ රැකියාව සඳහා නුවන්ගේ ඇති කැපවීම කෝලිගේ සහ ඉන්දීය කළමනාකාරිත්වයේ පැහැදීමක් ඇති කළා” යි චරිත් සේනානායක පවසා තිබුණා.
“මම බවුවාට කිව්වා ඔයා ගියහම ඉන්දියාවට වාසියි හැබැයි ලංකාවට පාඩුයි කියලා. එයා හිනා වුණා” යි චරිත් සේනානායක පවසා තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව සමඟ පසුගියදා පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයෙන් පසු ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලි තම ක්‍රිකට් දිවියේ වත්මන් සාර්ථකත්වයට හේතු පුද්ගලයින් තිදෙනෙක් ගැන පවසා තිබුණා.
ඒ තිදෙනා අතර කියවුණු එක් තමයි නුවන් සෙනෙවිරත්න.
copied from FB