සොකරි
සොකරි රංග ශෛලිය සම්පූර්ණවයන්ම අනුරූපණ මාධ්‍ය,අනුකරණය භාවිත කල රංග ශෛලියකි. මෙහි සියළුම අවස්ථා ප්‍රෙක්ෂකයාට පෙන්වුයේ අනුකරණය මගිනි.
උදා:- ගුරුහාම් ඇතුළු පිරිස ලංකාවට පැමිණිම සදහා භාවිත කරන නැව සැදිමේ අවස්ථාව මෙසෙ අනූරූපණ මාධ්‍යයෙන් ඉදිරිපත් කරයි. එනම් ගස් කැපීම,ලී ඉරීම,නැව සැදීම ආදි අවස්ථා නළුවන් රඟ මඩලේ අනුකරණයෙන් කර පෙන්වයි මේ අතර මෙම කාර්යයන් ගැන කියැවෙන කවි ගායනා කරනුද දක්නට ලැබෙ. මෙසේ සොකරි නාට්‍ය මුල සිට අග දක්වාම සියළුම සිද්ධි,අවස්ථා අනුකරණයෙන් කර පෙනවනු ලැබේ. ගුරුහාම් ඇතුළු පිරිස මුහුදු 7ක් තරණය කර ලංකාවට පැමිනෙන බව නළුවන් රඟ මඩලේ අනුකරණය කරන අතර කවියෙන් එය විස්තර වන්නේ මෙසේය.
මහා මහුදට නැව ඇවිත් බසින්නේ
මහා මුහුදෙ නැව ගමනි බොලන්නේ
ගොළු මුහුදට නැව ඇවිත් බසින්නේ
ගොළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කළු මහුදට නැව ඇවිත් බසින්නේ
කළු මුහුදෙ නැව ගමනි බොලන්නේ
කර මහුදට නැව ඇවිත් බසින්නේ
කර මුහුදෙ නැව ගමනි බොලන්නේ
මේ ආකාරයට සොකරිය වීවෙලීම,ගෙපල තැනීම,මැටි ගෑම ආදි අවස්ථාද අනූරූපණයෙන් ඉදිරිපත් කරන අතර ඒ ගැන කියැවෙන කවි ගයනා කරනු ලැබෙ.
එමෙන්ම මෙම සොකරි නාටක තුළදි එක් එක් චරිත රංඟාවතරණය කරන විට (රඟපෑමට වේදිකාවට එන විට) එම චරිත හදුන්වා දීමට ඒ ඒ චරිත සඳහාම නිර්මිත කවි ගායනා කරනු ලැබේ මෙහිදි නළුවා වෙදිකාවට පැමිනෙන අතර කවි ගායකයන් එම චරිතයට අදාල කවිය ගයනා කරමින් ප්‍රෙක්ෂකයාට චරිතය හදුන්වාදෙයි.
පළමුවෙන්ම රඟමඩලට පැමිනෙන්නේ වෙද රාළය. ඔහු කුදු ඉතා අවලස්සන අයෙකු බවත් ගත ඉතා දුර්වලව ගිය අයෙකු බවත් මෙම කවියෙන් කියැවේ.
වෙදා නටන්නේ පළමුව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙව්ලන්නේ
කුදා වැනෙන්නේ සබයේකොක් හඬලන්නේ
විදා පාන්නේ අත් දෙක තෑගි කියනනේ
මෙසේ තුන් වන වරට රඟ මඩලට පිවිසෙන්නේ පරයායි ඔහු ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය උපදින ආකාරයට රංඟනයේ යෙදෙයි. පරයා කවියෙන් විස්තර වන්නේ මෙසේය.
ඉතින් කියන්නේ තුන්වන වරට නටන්නේ
පරයයි එන්නේ වට පිට නිතර බලන්නේ
කට දෙඩවන්නේ ගිය ගිය තැන පෙරළන්නේ
කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ
තුනවන වරට රඟ මඩලට එන පරයා නටන අතර වට පිට බලමින් හාස්‍ය මතු කරන බවත්, හැම විටම කියවමින් යන යන තැන පෙරළියක් කරන බවත්, සොරියට ඉඟි බිඟි පාන බවත් මෙම කවියෙන් කියැවේ.
සොකරි කතා පුවතේ ප්‍රධාන චරිතය වන සොකරිය රඟ මඩලට එනවිට ඇය ගැන කියැවෙන කවිය මෙසේය.
සොකරී එන්නි සබයෙන්අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නි පියයුරු ලැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩය ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අදින්නී පටකින් ඔමරි කරන්නී
ඉහත කවි ගායනා කිරිම මගින් සොකරිය ගැන යම් අදහසක් ප්‍රේක්ෂකයාට ලබා දීමට උත්සහා දරන බව පෙනියයි. සොකරියගේ චරිත ලක්ෂණ මෙම කවි වලින් කියැවෙන්නේ එබැවි
දැන් අප මෙතෙක් කථාකල සොකරි නාටක වල ඇදුම් නිර්මාණ ගැන විමසා බලමු. මෙම පරිච්චේදයෙන් සොකරි නාට්‍යයේ ඇදුම් ගැන දීර්ඝවිස්තරයක් කිරිමට මා බලාපොරොත්තු නොවෙමි ඔබගේ දැන ගැනීම පිණිස ඉතා කෙටියෙන් එහි ඇදුම් නිර්මාණ ගැන සදහන් කරමි.
ආඬිගුරු :-
උඩරට නර්තන ශිල්පියෙකුගේ යටි කය ඇදුමට ගොක් කොල වලින් නිර්මිත වෙස් තට්ටුවක් භාවිත කරයි ඉංදීය බමුණෙකු ලෙස පූන නුලක් බැඳ නලලේ ඉරි ඇඳ මොනර පිල් හිසේ ගසාගෙන සිටින අතර සමහර අවස්ථා වල පොතක් අතින්ගෙන සිටියි.
සොකරි:-
ඔසරියක් හැඳ ආභරණ පැළඳ සිටියි.
පරයා:-
බම්බු කොට කලිසමක් හැඳ ශරීරයේ උඩ කොටස විවෘතව ඇත, අතේ කොටුවක් දක්නට ඇත.
වෙදරාළ:-
සුදු වේට්ටියක් ඇද උඩට සුදු මේස් බැනියමක් අඳියි රැවුලක්ද දක්නට ඇත.
මෙසේ කවි වලින්, ඇදුම් වලින්, රංඟනයෙන් අලංකෘත සොකරි එදා රඟ දැක්වුයේ කුමන පරමාර්ථයෙන් දැයි විමසීම වටී.
සොකරි නාට්‍ය දෙස බැලූ බැල්මට පෙනි යන්නේ එය ප්‍රෙක්ෂකයාට හාස්‍ය මතු කිරිමට රග දැක්වු සෙයකි. එහිද සත්‍ය තාවයක් නැතුවාම නොවේ මන්ද යත් අනේක දුක් විඳ තම කුඹුරු රැක බලාගෙන අපමන වෙහෙස වී සිටින ගොවීනට මෙම සොකරි තුළින් යම් මානසික විශ්රාන්තියක් ලබා දීමට අපේකෂා කරමින් මෙය හාස්‍ය මතු කිරිමට යොදා ගත්තා විය හැක. මෙම සොකරි තුළ දෙපැත්ත කැපෙන සංවාද භාවිත කර තිබේ. කුණුහරුප වචන භාවිත කිරිමත් , ශෘංගාර රසය මතු කිරිමත් දක්නට ලැබේ. මෙමගින් පෙනි යන්නේ ගොවියන්ගේ මනසට යම් විවෙකයක් ලබා දීමට යම් විනොදාස්වාද මාධයක් ලෙස සොකරි භාවිත කල බවයි.
නමුත් එතැනින් එහා ගිය පරමාර්ථ මෙම සොකරි නාටක තුළ පැවති බවනම් පැවසිය යුතුමය. සොකරි හුදු විනොදය සදහාම පමණක් යොදා ගත් නාටකයක් නොවිය එනම් මෙතුළින් ගමට රටට සශ්‍රීකත්වය ලඟා කර ගැනීමේ අරමුණ ද ඉටු කර ගැනිමට බලාපොරොත්තු විය. මෙම සොකරි නාට්‍ය තුළ ද දරුවෙකු බිහිවෙයි මෙම දරු ප්‍රසූතිය තුළින් සංඛෙතවත් කරන්න සශ්‍රීකත්වයම නොවේද? අනෙක් අතට මෙම සොකරි වෙදිකාව තුළ භාවිත වන එකම රංඟ භාණ්ඩය වන්නේ වංගෙඩියයි මෙයද ඔවුන් සශ්‍රීකත්වයේ සංඛෙතයක් ලෙස සලකන ලදි. මෙම සොකරි නාටක අවසන කිරි උතුරවනු ලබයි එයින්ද මතු වන්නේ සශ්‍රීකත්ව සංකල්පයමයි.
මෙම සොකරි අවසානයේදි ගමටත් රටටත් තම අස්වැන්න්ටත් සෙත් පතා ඒවා ආරක්ෂා කර ගැනිමේ අරමුණින් සෙත් පතා මෙවැනි කවි ගායනාද අඩංගු විය.
ගව සම්පත් බෝ වේවා
ගහ කොළ පලදාවේවා
ගජ කුළු බිය නැතිවේවා
ගණ දෙවි නුවණක් දේවා
සොකරි නාටක පිළිබඳව පර්යේෂණ කල විජේසිංහ මහතා සමස්ථ සොරියම සංසර්ගය සංඛෙතවත් කරන බව පවසයි. පරයා අත තිබෙන ලී කැබැල්ල, සොකරි වෙද රාළ හා පැන යාම, දරුවෙකු ලැබීම ආදී අවස්ථා විශේෂ අවස්ථාවන්ය. එමෙන්ම පොළව නැමති කාන්තාව පුරුෂයන් නැමති ගොවියන් සමග සංසර්ගයේ යෙදිමෙන් සශ්‍රීකත්වය නැමති දරුවන් ලැබිම මින් මතු කරන සශ්‍රීකත්ව ලක්ෂණයකි.
මෙතෙක් අප කථා කලේ ලංකා නාටය කලාව තුළ අපට හමුවන පළමු ගැමි නාටක විශේෂය වන සොකරි නාටක ගැනයි. මාගේ මෙම සටහන තුළින් හැකිතාක් දුරට සොකරි නාටක පිළිබඳ නිවැරදි තොරතුරු සංෂිප්තව ඉදිරිපත් කර ඇත එබැවින් ඔබට සොකරි ගැන තවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමටනම් ඒ සම්බන්ධයෙන් ලියැවුනු පොත පත ආශ්‍රය කිරිමට සිදුවනු ඇත.