1904 වසරේ ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා ලංකා කෘෂිකාර්මික සංගමය පිහිටවනු ලැබීය. එම සංගමය ආරම්භ කර වසර 2ක් පමණ ගත වන විට ග්‍රාමීය ණය ක්‍රමයක අවශ්‍යතාවය පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් විය ඒ අනුව 1906 වසරේ දී කෘෂිකාර්මික සංගමයේ දුම්බර ශාඛාව මඟින් ණය දෙන සමිතියක් ආරම්භ කරනු ලැබුවේ තෙල්දෙණියේ දී යි. එය ලංකාවේ ණය දෙන සමූපකාර ක්‍රමයේ ආරම්භය ලෙසින් සදහන් වේ
එලෙස ආරම්භ කළ ග්‍රාමීය ණය ක්‍රමයේ අරමුණ වුණේ සීමිත ආදායමක් ලබන කම්කරුවන්, ගොවීන් වැනි පාර්ශවයන් අතර සකසුරුවම්කම, ස්වොත්සාහය, සහ සහයෝගිතාවය වැනි ගුණාංගයන් වර්ධනය කිරීම යි. 1906 වසරෙන් පසුව ක්‍රමයෙන් සමූපකාර සමිති සංඛ්‍යාව වර්ධනය වුණු අතර එම සමිති අධීක්ෂණය කරමින් නිසි මඟ පෙන්වීමක් ලබා දීම සඳහා නීතිරීති මාලාවක් අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1911 අංක 7 දරන සමූපකාර සමිති ආඥා පනත ලියාපදිංචි කරනු ලැබීය 1912 වසරේ නොවැම්බර් මාසයේ දී එවකට රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ලෙසින් කටයුතු කළ පොන්නම්බලම් අරුණාචලම් අතින් මුල්ම වරට සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සිදු විය. ඉන් පසුව රාජ්‍ය මැදිහත්වීම යටතේ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් නම් තනතුර ඇති විය. 1930 වසර වන තුරුම එම තනතුර සඳහා පත්කරන ලද්දේ එවකට සිටි කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා යි.
සමූපකාර ව්‍යාපාරය තවත් පුළුල් වෙයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වුණු සමූපකාර සමිතිවල සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා ගම්මුලාදෑනීන්ගේ සහාය ලැබුණි. ඒ අනුව ගම්මුලාදෑනි කොට්ඨාසයකට සමිතිය බැගින් පිහිටුවාගැනීමට කටයුතු කරන ලදී. 1916 වසරේ දී ආරම්භ වුණු ප්‍රාදේශිය ණය සහ සංවර්ධන අරමුදල මඟින් සමිතිවලට ණය මුදල් සපයනු ලැබීය. සමූපකාර ක්‍රමයේ මූලික අදියරේ දී ආරම්භ වුණු ණය දෙන සමිති මඟින් පසුකාලීනව නිෂ්පාදන අවශ්‍යතා සැපයීම ද ආරම්භ කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1921 වසරේ දී ද්විතීය සමිති ලියාපදිංචි කිරීමට හැකිවන අයුරින් සමූපකාර ආඥා පනත සංශෝධනය කරන ලදී.. 1911-1926 කාල සමය තුළ සමූපකාර ව්‍යාපාරයේ ප්‍රගතිය සතුටුදායක මට්ටමක පැවති බව එවකට කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා නිකුත් කළ පාලන වාර්තාවල සඳහන් වී ඇත. එසේම එම අවධිය වන විට ක්‍රියාත්මක වුණු සමිති 315න් 290ක්ම කෘෂිකාර්මික සමිති විය. එලෙස සාර්ථකව ඉදිරියට ගිය සමූපකාර ව්‍යාපාරය තවත් ශක්තිමත් කිරීම උදෙසා එච්. කේ. කැම්බල් සම රෙජිස්ට්‍රාර් තනතුරට පත්කරන ලද්දේ 1926 වසරේ දී යි. ඉන් පසුව සමිතිවලට ණය මුදල් නිර්දේශ කිරීම සිදු වුණේ කැම්බල් යටතේ යි. ඔහු එම තනතුරට පත්වීමෙන් වසර කිහිපයකට පසුව සමූපකාර ව්‍යාපාරය වඩාත් ස්ථාවර වන අතරම පුළුල්විය.
ලංකා සමූපකාරයේ දක්නට ලැබුණු විශේෂ ලක්ෂණ
ලංකා සමූපකාර ව්‍යාපාරය අනිත් රටවල්වල සමූපකාර ව්‍යාපාරවල දක්නට නොලැබුණු විශේෂ ලක්ෂණයක් දක්නට විය. විෂය ක්ෂේත්‍රයන් ගණනාවකට ව්‍යාප්ත වී ඒ වෙනුවෙන් විවිධ සමිති බිහිවීම එම විශේෂ ලක්ෂණය විය. එලෙස ලංකාව තුළ බිහිවුණු විශේෂ සමිති කිහිපයක නම් පහත සඳහන් වනවා.
1) මින්නේරිය වී අලෙවි සමිතිය
2) යාපන මලයාලම් දුම්කොළ සමිතිය
3) මූලායි සමූපකාර රෝහල් සමිතිය
සමූපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය වීම
1930 වසරේ ඔක්තෝබර් 1 වැනිදා සමූපකාර දෙපාර්තමේන්තුව ස්ථාපනය කරනු ලැබීය. එච්. කේ. කැම්බල් එම දෙපාර්තමේන්තුවේ මුල්ම සමූපකාර රෙජිස්ට්‍රාර්වරයා විය. ඉන් අනතුරුව කැම්බල් සමූපකාර ව්‍යාපාරය තවත් දියුණු කිරීමට ක්‍රියාකරන ලදී . එසේම ඔහුගෙන් පසුව රෙජිස්ට්‍රාර් තනතුරට පත්වුණු එච්. කැල්වට් නම් නිලධාරියාත් සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ලදී. ඔහු එම අවධියේ දී සමූපකාර නීතිය සහ ප්‍රතිපත්ති නමින් ග්‍රන්ථයක් ද රචනාකර ඇත.
විශේෂ සමිති කිහිපයක ආරම්භය
ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ලෙසින් ආරම්භ වුණු කඩ සමිති ව්‍යාපාරය ලංකා සමූපකාර ව්‍යාපාරයේ ඉතා වැදගත් ඉදිරි පියවරක් විය. දෙවන ලෝක යුධ සමයේ ආරම්භ වුණු මෙම වැඩපිළිවෙළ නිසා ජනතාවට සහන රැසක් හිමි විය. ඉන් අනතුරුව 1943 වසරේ දී සමූපකාර තොග වෙළඳ ආයතනය ආරම්භ කළේ සමූපකාර සමිතිවලට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය තොග වශයෙන් ලබා දීමේ අරමුණ ඇතිව යි. 1942 වසර වන විට කෘෂි නිෂ්පාදන සහ අලෙවි සමූපකාර සමිති 11ක් රට තුළ පිහිටුවා තිබුණා. ඉන් වඩාත් ක්‍රියාකාරී සමිති බවට පත්ව තිබුණේ මින්නේරිය වී අලෙවි සමිතිය සහ යාපන මලයාලම් දුම්කොළ සමිතිය යන සමිති දෙක යි. ඊට අමතරව යාපනය ප්‍රදේශයේ ළූණු සහ මිරිස් මිල දී ගැනීම සඳහා සමිති 5ක් පිහිටුවා තිබුනි. ඉහත සමිතිවලට අමතරව පහත සඳහන් ආකාරයේ විශේෂ සමිති එම යුගයේ දී ආරම්භ විය
1) ඌව පළාතේ කැප්පෙටිපොළ එළවළු අලෙවි සමිතිය
2) ගොවි ද්‍රව්‍ය නිපදවීමේ සහ අලෙවි කිරීමේ සමිති
3) ධීවර සමිති
4) රෙදි වියන්නන්ගේ සමිති
5) වෙනත් කර්මාන්ත සමිති
එම අවධියේ දී සමූපකාර ව්‍යාපාරයේ කටයුතු වැඩි දියුණු කිරීමට සහ විවිධ ක්ෂේත්‍රයන් සම්බන්ධීකරණය සඳහා දිසා සංගම් පිහිටවන ලදී. එලෙස පිහිටවනු ලැබූ සංගම් අතුරින් උතුරු දිසා සංගමය වඩාත් කාර්යක්ෂම විය. සති 2කට වරක් පුවත්පතක් නිකුත් කිරීමත් පුහුණු පාඨමාලා පැවැත්වීමත් එම සංගමය විසින් සිදුකළ ආකර්ෂණීය වැඩසටහන් අතරට අයත් විය.
විවිධ සේවා සමූපකාර සමිති බිහිවීම
1957 වසරේ දී සමූපකාර කඩ සමිති සහ වෙනත් අරමුණු වෙනුවෙන් පිහිටවා තිබුණු සමිති ඒකාබද්ධ කරමින් විවිධ සේවා සමූපකාර සමිති පිහිටවනු ලැබීය. එලෙස ආරම්භ කළ විවිධ සේවා සමූපකාර සමිති රැසක් අදටත් රට පුරා දක්නට ලැබේ. එදා පියවරෙන් පියවර ඉදිරියට ගිය සමූපකාර ව්‍යාපාරයට නව ජවයක් ලැබෙනුයේ, 1960 වසරේ ජූලි මාසයේ පත්වුණු සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ සමූපකාර අමාත්‍යවරයා ලෙසින් ටී.බී. ඉලංගරත්න මහතා පත්වීමත් සමග යි.
මහජන බැංකුව හා සමුපකාරය
1961 වසරේ ටී. බී. ඉලංගරත්න සහ පිලිප් ගුණවර්ධන යන දේශපාලඥයන්ගේ මැදිහත්වීමෙන් මහජන බැංකුව ආරම්භ විය. එහි දී මහජන බැංකු පනත අනුව බැංකුවට පැවරී තිබුණු කාර්යයන් අතර සමූපකාර සමිතිවලට, පිළිගත් සමිතිවලට, සහ ගොවිකාරක සභාවලට මුදල් හා වෙනත් ආධාර සැපයීමෙන් ලංකාවේ සමූපකාර ව්‍යාපාරය, ග්‍රාමීය බැංකු ක්‍රමය හා කෘෂිකාර්මික ණය ලබාගැනීම සංවර්ධනය කිරීම වැනි කාරණා ඇතුලත් විය. ඒ අනුව මහජන බැංකුව 1961 ජූලි මස 01 වැනි දින සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ විසුරුවන ලද සමූපකාර ෆෙඩරල් බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගනිමිනි. එවකට සමූපකාර ව්‍යාපාරයේ පියා යන විරුදාවලිය ලබා තිබුණු වින්සන්ට් සුභසිංහ මහතා මහජන බැංකුවේ මුල්ම සභාපතිවරයා විය.
60 දශකය තුළ සමූපකාර ව්‍යාපාරය ඉතාමත් සීඝ්‍ර දියුණුවක් අත්කරගන්නා ලදී. ඉන් අනතුරුව 1970 වසරේ දී බලයට පත්වුණු සමගි පෙරමුණු රජය සමූපකාර සමිති ප්‍රතිසංවිධානය කළේ එම අවධියේ තිබුණු ආර්ථික සහ ව්‍යාපාරික රටාවට ගැළපෙන ආකාරයට විය. ඒ යටතේ සමිති බල ප්‍රදේශය ව්‍යාප්ත කිරීමත්, ශක්තිමත් ආර්ථික ඒකකයක් ලෙසින් ස්ථාපනය කිරීමත් සිදු විය. විශේෂයෙන්ම එම අවධියේ තිබුණු භාණ්ඩ හිඟය නිසා සමහර භාණ්ඩ බෙදාහැරීම සිදුකරනු ලැබුවේ සමූපකාර හරහා යි. එම නිසාම 70 දශකයේ මැද භාගය වන විට සමූපකාර සමිති ජනතාවට වඩාත් සමීප වී තිබුනි.