ලක්ෂයක කකුළු රංචුවක් හැව අරින්න ගොඩබිමට &#3473

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ලක්ෂයක කකුළු රංචුවක් හැව අරින්න ගොඩබිමට &#3473

    ලක්ෂයක කකුළු රංචුවක් හැව අරින්න ගොඩබිමට එන ගමන


    image_7f1ec63d11.jpg


    සමුදුරු සුවිසැරිය ලිපි පෙළට පාදක වන්නේ, බී.බී.සී. නාළිකාව විසින් නිර්මාණය කරනු ලැබූ සාගරය පාදක කොට ගත්, ‘බ්ලූ ප්ලැනට්’ දෙවැනි කතා මාලාවේ විස්මිත තොරතුරුය. බ්ලූ ප්ලැනට් සාගරයේ අරුමය කියා දෙන ඉතා විශිෂ්ට ගණයේ වාර්තා වැඩසටහනකි. එය සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත. බ්ලූ ප්ලැනට් වැඩසටහන් පෙළ ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍යයේ අභිමානය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝය. රූපවාහිනී නිවේදකයකු පමණක් නොව, 92 හැවිරිදි වියෙහි පසුවන ශ්‍රීමත් ඇටන්බරෝ ස්වභාවවේදියෙකි. අප අවට වටපිටාව ගැනත් මිහිතලයේ සතුන් ගැනත් අප නොදන්නා විස්මිත තොරතුරු ඔහු අපට කියා දෙයි.

    මුහුදු තණ

    හිරු රැස් පතිත වී සාගරය උණුසුම් වෙද්දී, සාගරයේ පෙරැළි රැසක් සිදුවෙයි. මුහුදු ගස් යනුවෙන් ද හැඳින්වෙන කෙල්ප් ඇල්ගේ ජීවීන්ගෙන් උණුසුම් සාර කලාප පිරී යයි. දහස් ගණනින් කෙල්ප් සාගර පතුළේ වැඩෙද්දී, සාගරය වනාන්තර නිර්මාණය වෙයි. සාගර වනාන්තර කොළ පැහැයෙන් දිදුළද්දී, නොයෙක් ජීවීන්ගෙන් ඒවා පිරී ඉතිරෙයි. මත්ස්‍ය වර්ග පමණක් නොව, බෙල්ලන්, කකුළුවන්, දැල්ලන්, බූවල්ලන් ආදියත්, ක්ෂීරපායීන් වන දියබල්ලන් සහ සීල් සතුන් මෙම වනාන්තරවල පදිංචිකරුවන්ය. කෙල්ප්වලින් ගහන මෙවැනි සාගර කලාප හැඳින්වෙන්නේ ‘හරිත සාගර’ කියාය. කෙල්ප් ඇල්ගේවලින් පිරුණු වනාන්තර සේම, සාගරයේ ‘තණ පිට්ටනි’ ද ඇත. හිරු රැසින් උණුසුම් වන ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් නොගැඹුරු සාගර කලාපයේ කෙල්ප් ඇල්ගේ වර්ධනයක් දකින්න ලැබෙන්නේ නැත. කෙල්ප් වෙනුවට, සාගරයේ හටගන්නා එකම සපුෂ්ප ශාක මෙහි දකින්න ලැබේ. මේවා හැඳින්වෙන්නේ ‘මුහුදු තණ කොළ’ (ඉංග්‍රීසියෙන් සී ග්‍රාස්) යන නමිනි.
    ව්‍යාඝ්‍ර මෝරා

    ගොඩබිම දකින්න ලැබෙන තණබිම් ආකාරයටම, මුහුදු තණ කොළවලින් සමන්විත තණ බිම් මූදු පතුළේ සැතපුම් දස දහස් ගණනක් ඈතට විසිරී පැතිරී පවතී. නිවර්තන කලාපීය සාගරයේ දකින්න ලැබෙන මෙම තණබිම්වල වෙසෙන හුදෙකලා දඩයක්කරුවන් බොහොමය. ඒ අතරින් ටයිගර් ෂාක් හෙවත් ව්‍යාඝ්‍ර මෝරුන් කැපී පෙනෙයි. සිරුරේ ව්‍යාඝ්‍රයකුගේ මෙන් වයිරම් ඇති බැවින් මේ මෝරා ව්‍යාඝ්‍ර මෝරා ලෙස හැඳින්වෙයි. හොඳින් වැඩුණු මෝරකු මීටර් පහක් පමණ දිගින් යුක්තය.

    ඕනෑම දෙයක් පොඩි පට්ටම් කළ හැකි විදියේ ඉතා ශක්තිමත් හකුපාඩා ව්‍යාඝ්‍ර මෝරාට ඇත. මෝරා ගොදුරු ලෙම සොයන්නේ කොළ කැස්බෑවන් ය. කොළ කැස්බෑවන් ජීවත් වන්නේ මුහුණු තණ ආහාරයට ගනිමිනි. මෙම තණ පිට්ටනි කේන්ද්‍රකොට ගනිමිනි. කොළ කැස්බෑවන්ගේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන්නේ මුහුදු තණ ය.
    කැස්බෑවා

    එක් කොළ කැස්බෑවෙක්, දිනකට කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් තණ කොළ ආහාරයට ගනී. කොළ කැස්බෑවාට කවදාවත්, සැනසිල්ලේ ආහාර ගැනීම කළ නොහැකිය. ඒ, තමන් ගොදුරු කර ගැනීමට පැමිණෙන දඩයක්කරුවන් ගැන සෙවිල්ලෙන් සිටීමට කැස්බෑවාට සිදුවන බැවිනි. හොඳින් වැඩුණු කැස්බෑවුන්, ව්‍යාඝ්‍ර මෝරකු පිහිනා එනු දුටුවොත්, මෝරා මඟ හැර යයි. මෝරා එවැනි කැස්බෑවුන්ට පහර දෙන්නේ ද නැත. මෝරුන් පැමිණෙද්දී, කැස්බෑවුන්ට එහෙ මෙහෙ යන බැවින්, ආහාර ගැනීමට උන් එක තැන වැඩි වෙලා රැදෙන්නේ ද නැත. එක තැනකට පමණක් සීමා වන්නේ ද නැත. එය කාට කාටත් හොඳ දෙයකි. එවිට මුහුදු තණ පිට්ටනිවල එක තැනක තණ කොළ අඩු වෙමින්, හිඟයක් ඇති වන්නේ නැත. එය, අප සැමට ලොකු වාසියකි. හේතුව, මේ සාගර තණ කොළවලින් සාගරයට, සාගර ජීවීන්ට පමණක් නොව, සමස්ත පෘථිවි වාසීන්ට සිදුවන මෙහෙවර අති විශාලය.

    පෘථිවියේ වැසි වනාන්තරයකට වඩා, 35 ගුණයකින් කාබන්ඩයොක්සයිඞ් උරා ගැනීමට මේ සාගර තණ කොළවලට හැකියාව ඇත. අවාසනාවට, ගෝලීය උණුසුම ඉහළ යෑමත්, සාගර දූෂණය වී විස වීමත් හේතුවෙන්, මෙම තණ පිට්ටනි අද කෙමෙන් අතුරුදන් වෙමින් පවතී. එපමණක් නොව, ගොඩබිම ඇති මහා වැසි වනාන්තර ද කපා දැමෙයි. විස වායු වැඩි වැඩියෙන් එක් රොක් වී, වාතය දූෂණය වෙයි. ඉන්දියවේ නවදිල්ලි, චීනයේ බීජීං වැනි මහ නගර වායු මේ වනවිටත්, දූෂණයට ලක් වී අවසන්ය.

    image_7d8d73d290.jpg

    image_5fd8371613.jpg

    image_5d176c923e.jpg

    image_a6faa7f512.jpg


    මකුළු කකුළුවෝ

    හරිත සාගරයේ ජීවිතය අසීරුය. හරිත සාගර කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන ජීවීන්, ජීවත් වීමට ගෙන යන්නේ මහ සටනකි. සෑම වසරකටම වරක්, ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් සාගර පතුළේ එක් සුවිශේෂී තණ පිට්ටනියක් විස්මිත පරිවර්තනයකට ලක් වෙයි. සීත සෘතුවේ පළමු පෝය දින දා, මහ හමුදාවක් මෙතැනට පැමිණෙයි. විශාල සිරුරුවලින් සමන්විත, දිගු අඬු ඇති මේ හමුදාව මකුළු කකුළු හමුදාවකි. සාමාන්‍යයෙන් මකුළු කකුළුවන් ජීවත් වන්නේ අන්ධකාරය රජ යන ගැඹුරු මුහුදු පතුළේය. උන් ආහාර සොයා සැරිසරන්නේ ද ගැඹුරු සාගරයේය. කෙසේ නමුත්, පසුගිය වසර කිහිපයේ සිට දැන් මේ මකුළු කකුළුවෝ තණ පිට්ටනිය පැණීමට පුරුදු වී සිටිති. එසේ පැමිණෙන මකුළු කකුළුවන් ගණන ලක්ෂය ඉක්මවයි. ඔවුන් පැමිණෙන්නේ එකිනෙකා පා ගාගෙන, පෙරළා දමමිනි. තණ පිට්ටනියේ මකුළු කකුළුවෝ එක රොත්තට පොදි ගැසෙති. මීටර් 100 ක් පමණ දිග, අති දැවැන්ත මකුළු කකුළු පොදියක් නිර්මාණය වෙයි. මකුළු කකුළුවන් ඔවුන්ගේ අඳුරු නවාතැන්වලින් පිටතට පැමිණ මෙසේ එක් රොක් වී පොදි ගැසෙන්නේ සුවිශේෂී හේතුවක් ඇතිවය. එක් රොක් වන මෙම මකුළු කකුළුවන්, වර්ගයා බෝ කිරීමට සහකරුවන් හෝ සහකාරියන් හෝ සොයන්නේ නැත. මොවුන් බිත්තර දමන්නේ ද නැත. මකුළු කකුළුවන් මෙසේ එක් රොක් වී සිටින්නේ, අලුත් ජීවිතයක් ඇරැඹීමටය.
    අලුත් සතෙක්

    මකුළු කකුළුවන් ලෙස හැඳින්වුවත්, මේ සතා ඇත්තටම මකුළුවකු නොව කරදිය කකුළු විශේෂයකි. මොවුන්ට මකුළු කකුළුවන් යැයි කියන්නේ කාරණා දෙකක් හේතුවෙනි. එක් කාරණායක් නම් බිහිසුණු පෙනුම නිසා මේ සත්වයා පෙනුමින් කකුළුවකු මෙන්ම මකුළුවකු ද සිහිගැන්වීමය. දෙවැනි කාරණාව, ඇතැම් මකුළුවන් මෙන් මේ කකුළු මකුළුවා හැව ඇරීම සිදු කරයි. එක පොදියට ගොඩ ගැසෙන මකුළු කකුළුවන්, අලුත් වෙයි. උන් අලුත් වෙන්නේත්, අලුත් ජීවිතයක් අරඹන්නේත් හැව අරිමිනි. මකුළු කකුළුවන්ගේ පිට පොත්ත, එසේත් නැතිනම් බහිර සැකිල්ල ඉතා ශක්තිමත්ය.

    එසේ වුවත් එය ගලවා දැමිය හැකිය. මකුළු කකුළුවාගේ සිරුර පලාගෙන ඇතුළෙන් අලුත් මකුළු කකුළුවා එළියට පැමිණෙන්නේ ඇඳුමක් ගලවා දමන ආකාරයටය. එය පහසු කටයුත්තක් නොව්. සවිමත් කටුව සහ සැකිල්ල තුළ අලුතින් හැදී වැඩී පිටතට පැමිණෙන මකුළු කකුළුවාට ඇත්තේ මෘදු සැකිල්ලකි. මෘදු කටුවකි. එය පෙර මෙන් ශක්තිමත් වීමට නම් දින කිහිපයක් ගතවෙයි. එම දින කිහිපය ඉතා අවදානම්ය. සවිමත් කටුව නොමැති හෙයින්, මකුළු කකුළුවා අනාරක්ෂිතය. එපමණක් නොව, අලුත් පාද තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවෙයි. ඇතැම් පාද නිසි අයුරින් දිග හැරී ශක්තිමත් වීමට ද දින කිහිපයක් ගත වෙයි. එහෙයින් ජීවිත අවදානම තවත් වැඩිය.
    සතුරු ප්‍රහාරය

    අලුතින් එළියට ආ මකුළු කකුළුවන්ට සතුරා වන්නේ, මරු මඩුවන්ය. ඉංග්‍රීසියෙන් ස්ටිංග් රේ යන නමින් හැඳින්වෙන මරු මඩුවාගේ වලිගයේ විස කටු එකක් හෝ කිහිපයක් ඇත. සතුරු තර්ජනවලදී මඩුවා, වලිගයෙන් පහර දෙයි. මිනිසුන්ට පවා එය මාරක විසය. පියාපත් සලමින් පියාඹා යනවා සේ, මරු මඩුවා දස දහස් ගණනක් වන මකුළු කකුළුවන් ඉහළින් ඇදෙයි. මඩුවා සොයමින් යන්නේ මෘදු මොළොක් කකුළුවෙකි. ඌ මොළොක් මකුළු කකුළුවන් එකිනෙක අල්ලා ආහාරයට ගනී. මකුළු කකුළුවන් ආහාරයට ගැනීමට පැමිණෙන මඩුවා දැවැන්තයෙකි. මීටර් හතරක් පමණ දිගය. මඩුව පැමිණෙද්දී, මකුළු කකුළු රංචුව පණ බේරා ගනිමින්, තණ බිමේ වැලිමත එහෙ මෙහෙ දුවන්න පටන් ගනී. මකුළු කකුළුවන් උත්සාහ ගන්නේ පොදියක් ලෙස එකට සිටීමටය. එහෙත්, මඩුවා කරන්නේ උන් රංචුව විසුරුවා හැරීමය. මඩුවාට මකුළු කකුළුවන් අල්ලා ගැනීම කළ හැකි වන්නේ එලෙස මකුළු කකුළුන් එකිනෙකා හුදෙකලා කරගත් විට පමණය. කටුව පලාගෙන අලුතින් එළියට ආ මකුළු කකුළුවන්ට හරිහැටි දිව යන්න හැකියාව නැත. එහෙයින්, උන්ට රංචුවේ සෙසු සාමාජිකයන් මඟ හැරෙයි. ඇතැමුන් පහසුවෙන් මඩුවාට ගොදුරු වෙයි. මඩුවාගෙන් බේරීමට නම්, ආරක්ෂිත ස්ථානය වන්නේ රංචුවේ හරි මැදය. මහා ප්‍රමාණයෙන් එක පොදියට සිටිද්දී, මඩුවා පහර දෙන්නේ නැත. මඩුවාගේ ප්‍රහාරයට ලක් වුවත්, මකුළු කකුළුවන් දහස අතරින් වැඩි දෙනෙක් දිවි බේරා ගනිති. දින කිහිපයක ඇවෑමෙන් බාහිර සැකිල්ල සවිමත් වෙද්දී, මකුළු කකුළුවෝ යළි අඳුරු මුහුදු පතුළ බලා සෙමින් ගමන් අරඹති. සුපුරුදු ජීවිතය යළි අරඹති. අවසානයේ දී තණ බිම මත මකුළු කකුළු සිරුරු ලක්ෂයක් පමණ ඉතිරි වෙයි. ඒ, හැව ඇරීමට ලක් වුණු සිරුරුය. බේරී ඉතිරි වුණු අලුත් කකුළුවන් සුපුරුදු ජීවිතය අරඹා අවසන්ය. උන් යළි පරිවර්තනයකට ලක් වෙන්නේ තවත් වසරක කාලයකිනි. එදාට උන් යළි තණ පිට්ටනිය බලා පැමිණෙනු ඇත.

    image_ab019c2113.jpg

    image_77d43443b2.jpg

    image_c26165d246.jpg

    image_ca83a2f12e.jpg








    ලුසිත ජයමාන්න
    බ්ලූ ප්ලැනට් 2 ඇසුරිනි
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Tfs..oka mama baluwa...Rep+(Denna baalu
    You must spread some Reputation around before giving it to araki again)
     
    Last edited: