ලයිමේ_කඳුළු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලයිමේ කඳුළු මකා ඉඳිවුනු සිහින මාලිගා

Nisansala.jpg



ලංකාවේ සමහර මිනිස්සු ප්‍රශ්න කරන්නේ දෙමල මිනිස්සුන්ට තියන ප්‍රශ්න මොනවද කියලා. ඔවුන් කියන්නේ දමිළයන්ට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් බලන්න මේවයි ප්‍රශ්න .තේ දල්ලට මුළු ජීවිතයම යට කළ ඔවුන්ගේ සිත් පතුලේ ද සිහින මාළිඟා තැනෙන්නට ඇත. එහෙත් ඒවා කඳුකරයේ සීතල අතරින් ගලා යන මීදුම සමග එක්‌ව ඉහළ වාතලයට මුසු වූවා මිස කිසි දිනෙකත් සැබෑ වූයේ නැත. තැනින් තැන සිදුරුවී වැහි වතුර කාන්දු වන ටකරන් වහළයට යටින් යන්තමට දිග ඇදෙන්නට අඩි අටේ හතරේ කාමර කෑල්ල ඔවුන්ගේ රජ මාළිගාව විය. ඔවුන් නිදා ගත්තේත්, අඹුසැමියන් ලෙස එකී අවශ්‍යතා ඉටු කර ගත්තේත්, දරුවන් පොත පත වැඩ කටයුතු කළේත්, පුංචි පැටවුන් මළ මුත්‍ර පහ කළේත්, සියල්ලෝ එක්‌ව දින දෙක තුනකට වරක්‌වත් බඩ ගින්නට කුස පුරවා ගත්තේ ද මේ පුංචි කාමරයේ ය. මේවා සමාජගතව ඇත්තේ ලැයින් කාමර යනුවෙනි. එහෙත් ඒ ඔවුන්ගේ නිවහන ය. නිවසින් පිටත ඉටිරෙදිවලින් ආවරණය කර පුංචි කුස්‌සි කෑල්ලක්‌ ද ඔවුන්ට ඇති නමුත් එහි බතක්‌ මාළුවක්‌ පිසෙන්නේ ඉතා කලාතුරකිනි. තේ දලු නෙළමින් ජීවිකාව ගෙවන එම නිවෙස්‌වල කාන්තාවන්ට දවස අහවර වෙද්දී සොච්චම් මුදලක්‌ ලැබුණ ද එය ඔවුන්ට කුස පුරවාගන්නට ද ප්‍රමාණවත් නැත. හවසට කඩෙන් ගෙනෙන පාන් ගෙඩියක්‌ හෝ බාගයක්‌ කෑලි හත අටකට කඩා කහට කෝප්පයක පොඟවා දරු පැටවුන් සමග කටක්‌ දෙකක්‌ ගිල දැමීම ඔවුන්ගේ කුසට දිව බොජුනකි. මෙවැනි පවුල්වල බොහෝ විට ස්‌වාමි පුරුෂයා බේබදු තැනැත්තෙකි. ඊට බලපාන්නා වූ හේතු කාරණා රැසකි. ඔවුන්ගේ මූලික අවශ්‍යතා අවම ප්‍රමාණයකින්වත් ඉටු නොවීම නිසා හටගැනෙන මානසික පීඩනයෙන් මිදෙන්නට මත්පැන් භාවිතය සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව ඇත.

ඉර ගල වැටෙද්දී කට ගොන්නක්‌ බීගෙන, කුණුහරුප කියාගෙන, හතරගාතෙන් ගෙදරට පැමිණෙන එවැනි ස්‌වාමි පුරුෂයන් තම බිරිඳට ගුටි බැට දී ඇයට වද හිංසා පැමිණවීම එම සමාජයේ සාමාන්‍ය දෙයකි. මවුපියන්ගේ හබය බේරන්නට මැදට පනින දරුවන්ට ද ගුටි කන්නට සිදුවේ. බොහෝ දරුවන් තම පියාගෙන්ම අපයෝජනයට පත්වන අතිශය ෙ€දනීය තත්ත්වයන් මෙම සමාජ වටපිටාවේ සුලභ ය. ළමා මවුවරුන්, ළමා ගැබිනියන් ද මෙහි වෙති. මෙවැනි පසුබිමක දරුවන්ගේ පෞර්ෂ වර්ධනය හා අධ්‍යාපනය මුළුමනින් ම පාහේ අඩාලව ඇත. එවැනි දරුවන් පසුකාලීනව සමාජගත වීමේදී එක්‌කෝ තම දෙමවුපියන් ලෙසම හැසිරෙමින් එවැනිම ජීවිත ගත කරන අතර ඇතැම් දරුවන් සමාජය කෙරෙහි දැඩි වෛරයකින් පසුවන පිරිසක්‌ බවට පත්වීමේ වැඩි ඉඩකඩක්‌ තිබේ.

උපන් දා පටන් මෙවැනි සමාජ පසුබිමක හැදුණු වැඩුණු පුද්ගලයන්ට නිදන කාමර, ආලින්දය, මුළුතැන්ගෙය, වැසිකිළි පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවසක්‌ ලබාදුනහොත් කුමක්‌ වේවිද?... ඔවුන් ඒවා නැති නාස්‌ති කර යළිත් සුපුරුදු ජරාජීර්ණ ජීවිතයටම අවතීර්ණ වේවි යෑයි කෙනෙකුට තර්ක කළ හැක. එහෙත් එසේ සිදුවී නැති බව පසුගිය දිනක ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ නවතම තත්ත්වය නිරීක්‍ෂණය කිරීම සඳහා එහි ගිය අපට දැක ගත හැකි විය. ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව සංවිධානය (ජයිකා) හා ලංකා විදුලි බල මණ්‌ඩලය එක්‌ව ජපන් ආධාර මත රුපියල් මිලියන 65 ක වියදමින් ඉදි කළ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය මගින් එම ව්‍යාපෘතියට යටවූ ප්‍රදෙAශවලින් ඉවත් කෙරුණු පවුල් 495 කට වර්ග තුනකට යටත්ව නව නිවාස ද වෙළෙඳ ව්‍යාපාරික ස්‌ථාන 50 ක්‌ ද, පල්ලියක්‌, කෝවිලක්‌, පාසලකට ගොඩනැඟිලි දෙකක්‌ ඇතුළුව ප්‍රදේශයේ අනෙකුත් යටිතල පහසුකම් රැසක්‌ ද අලුතින් ස්‌ථාපිත කර තිබේ. කඳුකරයේ, නායයැම්වලට ගොදුරුවිය හැකි අනාරක්‍ෂිත ප්‍රදේශවල, දිරාගිය, ටකරන්, ලෑලි පොලිතින් ආදියෙන් යන්තම් අටවාගත් ලැයින් කාමර වෙනුවට ආරක්‍ෂිත බිමක, අලංකාර සාලයක්‌, වෙන් වෙන්වූ කාමර, දුම්කවුලු දැමූ මුළුතැන් ගෙයක්‌, සෞඛ්‍යාරක්‍ෂිත වැසිකිළියක්‌, පරිසර හිතකාමී ලෙස කසළ බැහැර කිරීමේ පහසුකම්, අලංකාර ගෙමිදුලක්‌ සහිත අංග සම්පූර්ණ නිවාසවල අද ඔවුන් ජීවත් වන අයුරු අපි දුටිමු.

ලැයින් කාමර වුවත් මුල් බිම්වලින් ඉවත් කරන්නට යෙදුණු අවස්‌ථාවේදී ඔවුන් ඊට එරෙහි වී ඇත්තේ තමන්ට උන්හිටිතැන් අහිමි වේ යෑයි බියෙනි. එහෙත් අද වනවිට ඔවුන්ගේ දෛනික ක්‍රියාවලිය මුළුමනින්ම වෙනස්‌වී තිබේ. අතීතියේ ලැයින් කාමරවල පොතක්‌ පාඩම් කරන්නට නොහැකිව ඔවුන් දුක්‌ වින්ද අයුරු අපට නොවලහා හෙළි කළේ අද ඔවුන් එකී පීඩාවෙන් මිදී සිටින බැවිනි.

''මමයි, නංගියි ගොඩාක්‌ ආසාවෙන් තමයි ඉගෙන ගත්තේ. ඒත් කලින් හිටපු ගෙදර අපට පාඩමක්‌වත් බලාගන්න විදිහක්‌ නැහැ. අල්ලපු ගෙවල්වල අය කතා කරන, රණ්‌ඩුවෙන සද්ද හරියට අපේ ගෙදර වගේ ඇහෙනවා. ඒ වගේම අපට පොත් මේසයක්‌ තියාගන්නවත් ඉඩක්‌ තිබුණේ නැහැ. අපි කෑවේ, නිදාගත්තේ, පාඩම් කළේ ඇඳ උඩ ඉඳගෙනයි. නංගිගේ නම කමලිනී. එයා මුල්ම අවස්‌ථාවේදී උසස්‌ පෙළ විභාගෙන් අසමත් වුණා. ඒ අතරේ තමයි අපට මේ ගේ ලැබුණේ. මෙහෙට ආවාට පස්‌සේ නංගි ආයෙමත් විභාගෙ කළා. එයා දැන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උපාධිය හදාරනවා. ඉහළ කොත්මලේ ව්‍යාපෘතියෙන් උසස්‌ පෙළ සහ විශ්වවිද්‍යාල ළමයින්ට ශිෂ්‍යත්ව දෙනවා. නංගිටත් ඒ ශිෂ්‍යත්වය ලැබෙනවා. මමත් ගුරුවරියක්‌ හැටියට පාසලක උගන්වනවා. පාසල් දරුවන්ගේ වැඩ හොඳින් කරන්න මට මේ ගෙදර තියෙන නිදහස සහ ඉඩකඩ නිසා ලොකු පහසුවක්‌ ලැබිලා තියෙනවා.'' යෑයි අපට පැවසූවේ එල්. ප්‍රභා නමැත්තිය යි.

වයස අවුරුදු හැට ඉක්‌මවූ මවක්‌ පැවසූ කතාව ඊට නොදෙවැනි ය.

''අපි ලැයින් කාමරවල දුක්‌ වින්දා. ළමයි පුංචි කාලේ හදාවඩා ගත්තේ හරිම අමාරුවෙන්. හරියකට අපි කෑවේ නෑ. අහල පහල කරදර ඊට වැඩියි. ලැයින් කාමරවල කොයිතරම් හොඳට ජීවත් වුණත් හොඳ පවුලකින් විවාහයක්‌වත් කරගන්න බැහැ. කවුරුවත් ලැයිමේ ළමයෙක්‌ව කසාද බඳින්න කැමති නෑ. හදිසියෙන්වත් එක ගෙදරක ගින්නක්‌ ඇති වුණොත් මුළු ලැයිමම ගිනි ගන්නවා. අලුත් ගෙවල් නිසා අද අපි සතුටින් ඉන්නවා. අපටත් වඩා අපේ දරුවන්ගේ අනාගතය මේ නිසා යහපත් වෙලා තියෙනවා.''

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරුණු පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා ඔවුන්ගේ යටිතල පහසුකම් නංවාලීම යටතේ මේ වන විට උසස්‌ පෙළ හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 57 දෙනකුට මුදල් ශිෂ්‍යත්ව හිමිව තිබෙන අතර ඔවුන්ගේ අතීතය පිළිබඳ විමසීමේ දී අපට දැන ගන්නට ලැබුණේ ඒ අතරින් වැඩි දෙනකු මෙම නැවත පදිංචි කිරීම්වලට පෙර පැවති තත්ත්වය යටතේ ඉතා දුර්වල අධ්‍යාපන මට්‌ටමක පැවති බවයි. සංවර්ධන ක්‍රියාවලියේදී යම් තරමකට හෝ පරිසරයට හානි සිදුවීම සාමාන්‍ය දෙයක්‌ වුව ද එවැනි තත්ත්වයක්‌ යටතේ හෝ අපේ රටේ පහළම පංතියේ පීඩිත මිනිසුන්ගේ ජීවිතවලට නව ජීවයක්‌ ලබා දෙන්නට එවැනි සංවර්ධන ව්‍යාපෘතියකට හැකි වූයේ නම් එය පැසසිය යුතු කරුණකි. එදා යන්තම් හිරු බැස යද්දී පැදුරු කඩමාලුවලට ගුලිවුණු සමාජ පසුබිමක්‌ පැවති පරිසරයක වර්තමාන තත්ත්වය හාත්පසින්ම වෙනස්‌වී තිබේ. ඔවුන්ගේ ආර්ථිකය ඉහළ මට්‌ටමකට පැමිණ තිබෙන අතර ම ඔවුන් අතීතයට සාපේක්‍ෂව ක්‍රියාකාරී පිරිසක්‌ බවට ද පත්ව ඇත. ඒ ඔවුන්ගේ නිදහසේ සහ සතුටේ ප්‍රතිඵලය පමණක්‌ නොව නොමිලේ ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සායන, පෝෂණ වැඩසටහන්, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම්, දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආදිය හේතුවෙන් ඔවුන් නිරෝගී බවට ද පත්ව ඇත. සංවර්ධනයේ පරමාර්ථ විය යුත්තේ මෙයය. මිනිසුන්ගේ ජීවිත කුඩුපට්‌ටම් කර මැවිය හැකි ආශ්චර්යයක්‌ නැත. යහපතක්‌ නැත.

තුෂාරී කලුබෝවිල