ලාස් වේගාස් සිට කොළඹට...

waligamaya

Well-known member
  • ලාස් වේගාස් සිට කොළඹට...

    1950 දශකයේ කියුබාවේ හවානා නගරය හැඳින්වූයේ 'ලතින් ලාස් වේගාස්' යනුවෙනි. ඊට හේතු වූ පසුබිමක් පැවතුණි. 1952 කියුබාවේ පැවැත්වීමට නියමිත වූ ජනාධිපතිවරණය අවලංගු කොට හමුදා කුමන්ත‍්‍රණයකින් බැටිස්ටා නම් පුද්ගලයාට කියුබාවේ බලය හිමිකර ගත්තේය. 1933 පටන් 1944 දක්වා කාලයේද නියමින් හා අනියමින් කියුබාවේ පාලකයා වුයේ ද මොහුමය. 1952 බලය අත්පත් කර ගැනීමෙන් පසු රට පුරා සූදු මධ්‍යස්ථාන ඇති කරන ලදී.ඩොලර් මිලියනයකට වඩා ආයෝජනය කරන හෝටල් සඳහා කැසිනෝ බලපත‍්‍ර ලබාදෙන ලදී. එසේම ඇමරිකානු සමාගම්වලට කියුබානු භූමි වාසිදායක ලෙස ලබාදෙන ලදී. රටපුරා සංවිධානාත්මක අපරාධ බහුල වන්නට විය. හවානාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්විය. සූදු ව්‍යාපාර වල ලාභයෙන් 10%ක් බැටිස්ටාගේ බිරිඳට ද, 30%ක් බැටිස්ටාට ද අත්වූ බව කියවේ. 1959 වන විට බැටිස්ටා පෙසෝ මිලියන 43 ක දේශීය, විදේශීය ආයෝජන කරතිබූ ධන කුවේරයෙක් විය. (එකල පෙසෝවු ඇමරිකන් ඩොලර් 1) ඔහුගේ පුතුන් තිදෙනාද එවැනිම ධනවතුන් බවට වේගයෙන් පත්වූහ.

    එම කාලයේ කියුබාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලා දැමුණු අතර උද්ඝෝෂණය කළ ගොවීන්, කම්කරුවන්, සිසුන් විශාල මර්දනයකට ලක්කරන ලදී. සුප‍්‍රකට මොන්කාඩා ප‍්‍රහාරය ම්ලේච්ඡ ලෙස මර්දනය කරන ලදී.

    එහෙත් ෆිදෙල්, චේ ඇතුලු විප්ලවවාදීන් බැටිස්ටාගේ පාලනයට එරෙහිව සටන්කර ජනතා විරෝධයට නායකත්වය ලබාදුන්හ. 1959 දී බැටිස්ටා රට අතහැර පලා ගියේය. ඔහුගේ පුතුන් තිදෙනා එරට අර්ථසාධක අරමුදලින් ඩොලර් 3,300,000 (තිස්තුන් ලක්‍ෂයක්) හවානා සිට නිව්යෝර්ක් වෙත මාරුකර තිබුනේද මේ දිනවලය.

    හවානා ලාස් වේගාස් වූ පරිදිම අපේ කොළඹද දකුණු ආසියාවේ ලාස් වේගාස් වෙමින් පවතී. පවතින සූදුවලට අමතරව මහා පරිමාණ කැසිනෝ බලපත‍්‍රද, ඒ සඳහා වන හෝටල් ව්‍යාපෘතිද අරඹමින් තිබේ. සංචාරක ව්‍යාපෘතිවල නාමයට මුවා වී නිරුවත් වෙරළ තීර ඇති කරමින් තිබේ. දැනටමත් 'කොළඹ' යනු දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය තිප්පොළදැයි සිතෙන මට්ටමකට මත්කුඩු, එතනෝල් කන්ටේනර් පිටින් හුවමාරු වෙයි. මහදවාලේ සිදුවන මංකොල්ල කෑම්, මිනී මැරීම්, දූෂණ වලින් නම් දැන් 'ලාස් වේගාස්' පැරදවීමට කිට්ටුය.

    පොළොන්නරුවේ සෝමාවතී රක්‍ෂිතයේ අක්කර 5000ක් ‘ඩෝල්’ නම් ඇමරිකානු සමාගමට පවරා අවසන්ය. මන්නාරමින් දූපත් ද, සාම්පුර් භූමිය ද, ඉන්දියාව ඇතුලු විදේශයන්ට පවරා අවසන්ය. දකුණේ වෙරළ තීරයේත්, රට අභ්‍යන්තරයේ රක්‍ෂිත කැලෑ ඇතුලු සරුසාර බිම් අක්කර දහස් ගණනකින්ද බහුජාතික සමාගම් වෙත පවරමින් තිබේ.

    ඊට පුරා ජනතා උද්ඝෝෂණ වෙඩි උන්ඩවලින් මර්දනය කරමින් පවතී. මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යාම, පහරදීම අඩුවක් නැත. පසුගියදා ලක්බිම කතුවරයා මේ ත‍්‍රස්තවාදයේ පැතිකඩක් හෙළිකරමින් තනතුරෙන්ද ඉල්ලා අස්විය.

    රාජ්‍ය යාන්ත‍්‍රණයේ ඉහල සිට පහල දක්වාම දූෂණ ඉහවහා ගොස්ය. ජනාධිපති පුතුන් මාධ්‍ය නාලිකාවලත්, සුපිරි මෝටර් රථ වලත්, බොහෝ සංගම් වලත් හිමිකරුවෝය. කොළඹ නගරය වසා දමා මෝටර් රේස් පැවැත්වීමට තරම් ඔවුන් හපන්නුය. තවත් කිව හැකි බොහෝ දේ තිබේ.

    ඒ මොනවා වුවද ලංකාව 50 දශකයේ බැටිස්ටා ගේ කියුබාවට සමාන කිරීම නිවැරදි නොවේ. ඒ ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු පවුලේ අය ආගමට දහමට බර නිසාය. ඔහු සිංහල හින්දු අවුරුද්දට ගෙදර කිරි උතුරවයි. පෝයට පන්සල් යයි. මේ වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් කලාප විවෘත කරයි. සර්වඥ ධාතු වැඳපුදා ගනී. සෑම පැත්තකම ඇසෙන්නේ බණ පදය, පිරිත් දේශනාය. බොදු බැති ගීතයන්ය.

    එපමණක් නොවේ රටේ ප‍්‍රසිද්ධ සිංහල බෞද්ධ පක්‍ෂ, සංවිධාන හා පුද්ගලයන්ද, අධිරාජ්‍යවිරෝධී මාරාන්තික උපවාස කරන ඇමතිවරු ඇතුලු දේශප්‍රේමී ලේබල් සහිත අයද සිටින්නේ මේ රාජපක්‍ෂ ආණ්ඩුවේය. අනික ජනාධිපතිතුමා දරුවන්ට ආදරේය, දරුවන් වඩා ගන්නේය, පාසල්වලට ගොස් ගුරුහරුකම් කියා දෙන්නේය.

    ඒ නිසා එවැනි ජනාධිපතිවරයෙක්, එවැනි ආණ්ඩුවක් කියුබාවේ බැටිස්ටාගේ පාලනයට සමාන කිරීම ගැලපෙන්නේ නැත. එහෙත් ඒ මතුපිට තත්වයයි. වර්තමාන රාජපක්‍ෂ ආණ්ඩුව මුහුණ දී සිටින උභතෝකෝටික අර්බුදය තේරුම් ගැනීමට මේ තත්වයම ප‍්‍රමාණවත්ය.

    එක් පැත්තකින් ආණ්ඩුවට තම ආර්ථික උපාය මාර්ගය ලෙස තෝරාගෙන තිබෙන (සංචාරක ව්‍යාපාර ප‍්‍රවර්ධනය ලෙස හඳුන්වන) නව ලිබරල් මාවතේ ගමන් කිරීමට අවශ්‍යය. එය වත්මන් ලෝක ධනවාදයේ අප වැනි රටක අනිවාර්ය වූ ඉරණම වන අතර මහින්ද රාජපක්‍ෂට ඒ හැර අන් මාවතක් නොමැත. ජේ. ආර්. ජයවර්ධන 1977 ආරම්භ කළ විවෘත ආර්ථිකයේ දෙවන ඉනිම වර්තමාන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සෙල්ලම් කිරීමට සිදුවී තිබේ. එය අධිරාජ්‍යවාදීන් අපට බලකරන ආර්ථික මාවතයි. ලෝක කැසිනෝ රජා වූ ජේම්ස් පැකර් චෝගම් ව්‍යාපාරික සමුළුවේ ප‍්‍රධාන දේශනයට ලංකාවට ආවේ අහම්බයක් ලෙස නොවන බව අප මීට පෙරද ලියා ඇත්තෙමු.

    ආණ්ඩුවට අනික් පැත්තෙන් බැලු විට මේ ගමන යාමට සිදුවී ඇත්තේ කවර බලවේග සමගද? එනම් ජාතිවාදී, ආගම්වාදී, මෙන්ම දේශපේ‍්‍රමී ලේබල් අලවාගෙන සිටින බලවේගයන් සමගය. දැන් ආණ්ඩුවට මෙන්ම ආණ්ඩුවේ වසා සිටින නිල මැස්සන් වූ මෙකී ජාතිවාදී ව්‍යාජ දේශපේ‍්‍රමීන්ට දැන් තම පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදුවී තිබේ.

    ආණ්ඩුවේ පනත්වලට විරුද්ධ වීමටත්, වෙනම මැයි දින කිරීමටත්, සමුළු කැඳවීමටත්, රතු එළි දල්වන කතා කීමටත් සිදුවී ඇත්තේ ඒ නිසාය. ආණ්ඩු විරෝධීව රටතුළ මතුවන සැබෑ ජනතා පෙළගැස්ම මර්දනයෙන් යටපත් කරනවා මෙන්ම එය තව තවත් රැවටීමද ඔවුන්ගේ අපේක්‍ෂාව බව පැහැදිලිය.

    ඒ නිසා ලාංකීය ජනතාවට ඉදිරි කාලය ඉතාම තීරණාත්මක බව පෙනෙන්නට තිබේ. ශ්‍රේෂ්ඨ කියුබානු ජනතාව 1959 දී බැටිස්ටාගෙන් රට බේරාගත් අතර ඉන්පසු සැබෑ ජනතා පාලනයක් තහවුරු කිරීමට සමත් වුනා. ලාස් වේගාවක් කර තිබූ හවානාව ඇතුලූ කියුබානු රාජ්‍යය අද ලොව ඉහලම, සෞඛ්‍ය, අධ්‍යාපනය, හිමි සමගි සම්පන්න ජනතාවගේ රටක් බවට පත්කොට ලොවටම සුපිරි ආදර්ශයක් ලබාදී තිබේ. ඒ අන්කිසිවක් නිසා නොව නිවැරදි දැක්මක් හා ධෛර්ය සම්පන්න නායකත්වයක් ද, වැඩපිළිවෙළක් ද ඔවුන්ට ලැබුණු නිසාය.

    රටක් ලෙස අප මේ මුහුණ දී සිටින තත්වයෙන් අප නිදහස් වන්නේ කෙසේද? ඒ සඳහා ඇතැමුන් යෝජනා කරන්නේ ‘විධායක ජනාධිපති ක‍්‍රමය’ ඉවත් කිරීමයි. එවිට ප‍්‍රශ්න සියල්ල විසඳෙන බවයි. මේ සියලු ප‍්‍රශ්නවලට හේතුව විධායක ක‍්‍රමය පමණක්ද? ඇතිව තිබෙන බරපතල සමාජ, ආර්ථික, දේශපාලන ගැටලුව එසේ ‘සරළ’ කිරීම සමාව දියහැකි වරදක් නොවේ.

    එම පැනය නිවැරදිව විසඳන්නේ නම් ලාංකීය ජනතාවට ලාස් වේගාස් වෙනුවට වර්තමාන හවානාවක් දිනාගත හැකි වනු ඇත.

    උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය
     
    • Like
    Reactions: stv