ලෝකයෙන් සැඟවී ගිය රත්තරන් නගරය

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    ලෝකයෙන් සැඟවී ගිය රත්තරන් නගරය

    ලෝකයෙන් සැඟවී ගිය රත්තරන් නගරය
    එල් ඩොරාඩෝ - El Dorado, the City of Gold

    මිනිසා රත්රන්වලට බොහෝ ඇලුම් කරයි. ඒවා දිනෙන් දින මෙතරම් මිලෙන් ඉහළ යන්නේ එබැවිනි. මිනිස් ඉතිහාසය පුරා රත්රන් සොයන්නට කළ විවිධ උත්සාහයන් බොහොමයක් අසන්නට ලැබේ. මේ අතුරින් අද්භූතම, අපූර්වතම කතන්දරය අසන්නට ලැබෙන්නේ‛රත්රන් දේශය’ හෙවත් ‛එල් ඩොරාඩෝව’ පිළිබඳවය. එල් ඩොරාඩෝව සොයන්නට මිනිසා සියවස් ගණනාවත් තිස්සේ උත්සාහ දැරුවේය. ඇතැමුන් මෙම උත්සාහයේදී ජීවිතයෙන් පවා වන්දි ගෙව්වේය. නමුත් තවමත් එවැන්නක් සොයාගන්නට කිසිවකුට හෝ හැකි වූයේ නැත. ඉදිරියේදීද හමුවේ යැයි සිතිය නොහැකිය.

    ඒ 1969 වසරයි. කම්කරුවෝ කිහිපදෙනෙක් දකුණු ඇමරිකාවේ බොගොටා ලෙනෙහි කැනීම් කරමින් සිටියහ. එකවරම ඔවුනගේ අතෙහි යමක් ගැටිණි. එය යම්කිසි යාත්‍රාවක අනුරුවක් විය. එය ගොඩට ගෙන වඩාත් පැහැදිලි ලෙස පිරික්සා කරන්නට විය. ඔවුනගේ දෑස් විශ්මයෙන් ඇළලී යනු පෙනුණි.

    “එල් ඩොරාඩෝ! එල් ඩොරාඩෝ!”

    ඔවුනගේ මුවින් පිටවිණි. එහි අදහස වූයේ රත්රත් මිනිසා හෝ රත්රන් දේශය වැන්නකි. මෙම අනුරුවින් පෙන්නුම් කළේ රජකු සිය ආරක්ෂකයින් සමඟ යාත්‍රාවක් මත සිටිනා නිර්මාණයකි. මෙය සම්පූර්ණයෙන් පිරිසිදු රනින් නිම කරන ලද්දක් විය. මෙම අනුරුවෙහි ඇති සුවිශේෂී බව වූයේ එය පමණක් නොවේ.19 වැනි සියවසේදී ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය කණ්ඩායමක් මෙම රන් දේශය සොයාගිය ගමනේදී හමුවූ රත්රත් අනුරුවත් මෙම අනුරුවත් අතර කිසිදු වෙනසක් නොතිබීමය. මිනිසුට මෙම කතාව එතරම් කාලයක් මතකයේ තිබුණේ නැත. නමුත් 1969 වසරේදී මෙම රත්රන් අනුරුව නැවත සොයාගැනීමත් සමඟ රත්රන් දේශය සොයාගන්නට මිනිසුන් තුළ තැබූ කැමැත්ත යළිත් අවදිවන්නට විය.

    දිවි පරදුවට තබමින් රත්රන් සොයා යන්නට මිනිසා පටන්ගත්තේ 1530 දී පමණ වන්නට ඇත ඒ ස්පාඤ්ඤ ජාතික ෆ්‍රුන්සිස්කෝ පිසාරෝ පේරු හි ඉන්කා අධිරාජ්‍යයේ ධන නිධාන සොයමින් පැනමා ඇල ඔස්සේ කළ චාරිකාවය. ඉන්කාවරුනගේ ධන නිධාන පිළිබඳ විශේෂඥයකු මෙන්ම ඉක්වදෝරයේ අගනගරය වන කිටෝ හි නිර්මාතෘවරයා ද වන සෙබස්තියන් ඩි බෙලාල්කසාර් 1535 දී රතු ඉන්දියානුවකු මුණගැසුණේය. සිරුර පුරා රත්රන් කුඩු තවරා කඳුකරයේ වූ පූජනීය විලකින් දිය ස්නානය කළ ගෝත්‍රික නායකයකු පිළිබඳ පුවතක් ඔහු එහිදී පැවසූයේය. මෙම පුවත ඇසීමෙන් පසු බෙලාල්කසාර් මේ ගෝත්‍රික නායකයාට‛එල්ඩොරාඩෝ’ ලෙස නමක් තැබුවේය.‛රත්රන් මිනිසා’ යන්න එහි අරුත විය. වීර වික්‍රමයන් ප්‍රිය කරන්නන් අතර ඉන් පසුව මෙම නම ඉතා ජනප්‍රිය වන්නට පටන්ගත්තේය. ඇතැම් පුද්ගලයන් මෙය‛රත්රන් මිනිසා’ ලෙස අර්ථ දක්වන්නටත්, ඇතැම් පුද්ගලයන්‛රත්රන් දේශය’ වශයෙන් අර්ථ දක්වන්නටත් පටන්ගත්තේය. කෙසේමුත් එල්ඩොරාඩෝ යනු බොහෝ පුද්ගලයන්ගේ සිහින දේශයක් බවට අවසානයේ පත් වූ අතර, සිදුවූයේ මෙම දේශය සොයායන්නට කළ උත්සාහයන් හිදී ඔවුනට සිය වාසනාව, කීර්තිය,ධනය පමණක් නොව ජීවිතය ද අහිමිව යාමය.

    එල්ඩොරාඩෝ සොයා ගිය මුල්ම පුද්ගලයා වූයේ ගොන්සාලෝ ජිමෙන්ස් ඩි ක්වෙසාඩා ය. ඔහු සිය චාරිකාව වර්ෂ1536 දී ආරම්භ කළ අතර ඊට කොලොම්බියාවේ උතුරු වෙරළේ පිහිටි සැන්ටා මාර්තා වෙන් 900 ක පමණ පිරිසක් ද එකතු විය.

    ක්වෙසාඩාගේ චාරිකාව ව්‍යසනයන්ගෙන් පිරීගිය එකක් විය. ඔහුට සහ ඔහුගේ පිරිසට විවිධ සතුනගේ ගැහැටවලට මුහුණ දෙන්නට සිදුවූ අතර විවිධ ලෙඩරෝග සමඟ සටන් කරන්නට සිදුවිය. චිබෙහාස් ප්‍රදේශයට ළගාවන්නට පෙර ගෝත්‍රික ප්‍රහාරවලටද ලක්වූහ. චිබෙහාස්වලදී ඔවුනට රත්රන් මිනිසා පිළිබඳ තවත් තොරතුරු අසන්නට ලැබිණි. එම කතාන්දරවලට අනුව රතු ඉන්දියානු මගපෙන්වන්නකු ද සමග ක්වෙසාඩා,‛ගුටාවිටා’ විල කර ළඟාවූයේය. ඉතා ගැඹුරු වූ එම විල සෑදී තිබුණේ අක්‍රිය යමහලක ආවාටයේය. එය මුහුදු මට්මේ සිට අඩි 9000ක පමණ උසකින් පිහිටා තිබිණි. පැල්පත් කිහිපයක් එහි තිබූ මුත්, ක්වෙසාඩා හෝ ඔහුගේ පිරිසෙන් ඒ වන විට ඉතිරිව සිටි 200 දෙනාට හෝ රත්රන් මිනිසෙක්වත් රත්රන් දේශයක්වත් දැකගන්නට ලැබුණේ නැත.

    ක්වෙසාඩා ආපසු පැමිණයේය. නමුත් ඔහු පැමිණියේ ටික කලකින් නැවත යාමේ බලාපොරොත්තුවෙනි. එය 1568වර්ෂය විය. ඒ වනවිට ක්වෙසාඩා මහලුවියෙහි පසුවිය. ගුටාවිටා විල අවට හෝ පතුලේ හෝ නිධානයක් ඇතැයි යන විශ්වාසයෙන් ඔහු එහි වසර තුනක පමණ කාලයක් ගත කළේය. එහෙත් කිසිවක් සොයා ගන්නට හැකි වූයේ නැත. ඔහු උත්සාහය අතහැර දැමුවේය.

    දශක 40 ක පමණ කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් උත්සහ කළ ද කිසිවකුට හෝ රත්රන් මිනිසා හෝ රත්රන් දේශය හෝ සොයාගන්නට නොහැකි විය. අනෙක් අතට මේ ගවේෂණයන් සඳහා අධික ධනස්කන්ධයක් ද වැය වී තිබිණි. ඒ කෙසේ වෙතත් මෙහි රත්රන් නිධානයක් ඇතැයි යන විශ්වාසය නිසා එය සොයාගැන්මේ තණ්හාව මිනිසුන්ගෙන් දුරස්කරන්නට මේ කිසිවකට හෝ නොහැකි විය. නමුත් 16 වැනි සියවසෙහි අගභාගය වනවිට මිනිසුන්ගේ අවධානය කොලොම්බියාවේ සිට ගයනාව දක්වා මාරු විය. එනම් එල් ඩොරාඩෝ පිහිටියේ ගයනාවේ යනුවෙන් කටකතාවක් පැතිර ගියේය.

    වර්ෂ 1584 දී ඇමේසන් සහ ඔරිනාකෝ ගංගා අතර තිබූ භූමියේ ආණ්ඩුකාරවරයා වූ ඇන්ටෝනියෝ ඩි බෙරියෝ මධ්‍යම කොලොම්බියාවේ ටුන්ජා නගරයේ සිට ගයනාවේ මධ්‍යම ප්‍රදේශය දක්වා ගවේෂණයක් දියත් කළේය. කඳුවලින් වට වී ඇති විලක රත්රන් මිනිසා ඇතැයි ඔහු විශ්වාස කළේය. නමුත් ඔහුගේ චාරිකාව ද සාර්ථක වූයේ නැත. ඔහු වර්ෂ 1585 සිට1588 දක්වා තවත් ගවේෂණ චාරිකාවක් ගිය අතර එහි ද ප්‍රතිඵලයක් නොවීය.

    වර්ෂ 1591 දී බෙරියෝ සිය තෙවැනි ගවේෂණ චාරිකාව දියත් කළ අතර මෙවර ඔහුගේ ගමන් මග වැටී තිබුණේ ඔරිනාකෝ ගංගාවේ පහළ දෙසටය. ඔහු ට්‍රිනිඩෑඩ් දූපත් කරා යාත්‍රා කොට එල් ඩොරාඩෝව පිළිබඳ අනාගතයේ කෙරෙන ගවේෂණයන් සඳහා ප්‍රයෝජන ගැනීම සඳහා එහි කඳවුරක් පිහිටුවූයේය. ඔහුට එහිදී වෝල්ටර් රැලේ හමුවිය. වෝල්ටර් පළමු එලිසබෙත් රැජින වෙනුවෙන් නව ධන නිධාන සොයමිනි. බෙරියෝ තමා දන්නා සියලු දේ වෝල්ටර් සමඟ පැවසූ අතර රැලේ මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් The Discovery of the Empire of Guyana නමින් පුවත් පතක ලිපියක් පළ කළේය. ඔහු එම ලිපියෙන් රත්රන් දේශය පිළිබඳ තොරතුරු සම්භාරයක් ඉදිරිපත් කළේය. එහි ‛පරීමා’ නම් විලක් පිළිබඳව ද සඳහන් විය. නමුත් එහි අඩංගු තොරතුරු සියල්ලක්ම සත්‍ය වූයේ නැත.

    එලිසබෙත් රැජින වර්ෂ 1603 දී මිය ගියාය. රාජද්‍රෝහීත්වය හා විශ්වාස කඩකිරීම නිසා වෝල්ටර් රැලේ ට මරණ දඬුවම නියම කෙරණි. කෙසේ මුත් දඬුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රැලේ දෙවැනි ගවේෂණ චාරිකාව ද ආරම්භ කළේය. නමුත් එයද අසාර්ථක වූ අතර නැවත සිය රටට පැමිණි වහාම,වර්ෂ 1618 දී ඔහුගේ හිස ගසා දැමිණි.

    ඔහු මරණ දඬුවම ලැබුණ ද රත්රන් දේශය සොයායෑමට අනෙක් මිනිසුන්ට ඇති කැමැත්ත නතර කරදමන්නට එය හේතුවක් වූයේ නැත. 18 වැනි සියවස අවසන් වන තුරුම පරීමා විල සොයන්නට බොහෝ දෙනෙක් නිරන්තර උත්සාහයක යෙදිණි. රැලේ සිය ලිපියේ සඳහන් කොට තිබූ පරිදි රත්රන් දේශයේ රාජකීය ‛මනෝවා’ නගරය පිහිටියේ මෙම විලෙහි ඉවුරෙහිය. නමුත් කිසිවකුට හෝ එවැනි විලක් සොයා ගන්නා නොහැකි විය.

    එල් ඩොරාඩෝ සොයමින් ගිය අවසන් පෘතුගීසි ජාතිකයා වූයේ ඩියෙස් ඩි ලා ෆුවෙන්ටේ ය. ඔහු සිය චාරිකාව ආරම්භ කළේ ගිනිකොණදිග වෙනිසියුලාවේ කැරෝනි ගංගා ප්‍රදේශයෙනි. ඔහු සිය චාරිකාව කොටස් තුනකට වෙන් කළේය. චාරිකාව මෙහෙය වූයේ ගොන්සාලෝ සුවාරෙස් රොන්ඩොන් විසිනි. ඔවුන් සිතුවේ තමා පරීමා විල අසළට පැමිණි බවය. නමුත් රතු ඉන්දියානුවන්ගේ ක්ෂණික පහරදීමක් නිසා ස්පාඤ්ඤ ජාතිකයන්ට ආපසු හැරෙන්නට සිදුවිය. අවසානයේ ඔවුනට මෙම ගවේෂණය අතහැර දමා ගයනාවෙන් පිටවන්නට සිදුවිය.

    මෙවැනි විවිධ සිදුවීමවලින් පසුව බොහෝ දෙනෙක් එල් ඩොරාඩෝ යනුවෙන් භූමි ප්‍රදේශයක් තිබුණේදැයි සිතන්නට පටන්ගත්තේය. නමුත් මිනිසුන්ගේ තණ්හාව හා මිථ්‍යා විශ්වාසයන් පහසුවෙන් මරාදමන්නට හැකියාවක නැත. 19 වැනි සියවසෙහි ආරම්භයත් සමඟ එල් ඩොරාඩෝ සොයා යන්නට නව ගවේෂක කණ්ඩායම් බිහිවන්නට පටන්ගත්තේය. මේ අතුරින් හම්බෝල්ඩ්ට් යනු එක් අයෙකි. බොන්ප්ලාන්ඩ් තවත් පුද්ගලයෙකි. ඔවුහු ඉතා පුළුල් ලෙස එල් ඩොරාඩෝ සොයන්නට පටන්ගත් අතර එල් ඩොරාඩෝ සොයායාම නිරර්ථක ව්‍යයාමයක් බැව් දෙදෙනාම අවසානයේදී් නිගමනය කළහ. පරීමා යනුවෙන් විලක් නොමැති බැව් ද ඔවුහු පැවසූහ. කෙසේමුත් හම්බෝල්ඩ්ට් සිය වාර්තාවේ එක තැනෙක යමහලක ආවාටයක් තුළ තැනුණු විලක් පිළිබඳව සඳහන් කොට තිබිණි. මේ නිසා ගුවාටාවිටා විල පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නට පටන් ගත්තේය. හම්බෝල්ඩ්ට් හට මෙහි ඇතැයි පැවසුණු නිධානයක් පිළිබඳව විශ්වාසයක් නොතිබුණ ද අනෙක් අයට එසේ නොවීය. මේ නිසා වර්ෂ 1920 දී ‛කන්ට්‍රුක්ටර්ස් ලිමිටඩ්’නම් බ්‍රිතාන්‍ය සමාගම ඇමරිකන් ඩොලර්150,000ක් වටිනා උපකරණ ද රැගෙන කොලොම්බියාව කරා පැමිණියේය. ඔවුනගේ අරමුණ වූයේ ගුවාටාවිටා විලෙහි ජලය සිඳ නිධානය සොයාගැනීමය. ඔවුනට විලෙහි ජලය හිස්කරන්නට හැකි විය. නමුත් ඔවුනට සොයාගන්නට හැකි වූයේ කිසිදු වටිනාකමක් ඇති දෙයක් නොවේ. පතුළ මඩවලින් වැසී තිබුණු අතර රත්රන් ස්වල්පයක් තිබිණි. ඔවුනට වැය වූ ධනස්කත්ධයෙන් අල්පයක් හෝ පියවන්නට එය ප්‍රමාණවත් වූයේ නැත.

    මේ ආකාරයට එල් ඩොරාඩෝ සෙවීමේ උත්සාහයන් කෙළවරකට පැමිණියේය. රත්රන් දේශය සොයාගන්නට කිසිවකුට හෝ හැකි වූයේ නැත. කෙසේමුත් රත්රන් දේශය වෙනුවට මෙම ගවේෂණයන් සිදුකළ කණ්ඩායම්වලට එතෙක් සොයාගන්නට නොහැකි වුණු ගෝත්‍ර, ප්ලැටිනම්, රිදී, බෝක්සයිට් සහ මැංගනීස් වැනි ලෝහ සොයාගන්නට හැකි විය. මේ සියල්ලටම වඩා වටිනා දෙය වූයේ වෙනිසුයිලාවේ මැරකයිබෝ විල පිහිටි සානුවේ වූ තෙල් සංචිතයයි. කෙසේ මුත් රත්රන් පහුරේ සිටිනා රත්රන් මිනිසා තවමත් අසන්නේ‛පුලුවන්නම් මගේ රහස හෙළිකරගන්න’යන්නයි.

    උපුටා ගැනීමකි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    22.gif


    පට්ට...!!.
    Rep ++ from
    imageedit-9-7301827747.png
     
    Last edited: