LET ROBBER BARONS COME
ලෝක හොරු ආවාවේ
ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා නිදහස් වෙළෙඳ කලාප බිහිකිරීමට ගියකල එවකට විපක්ෂයෙන්, විශේෂයෙන් වාමාංශිකයන්ගෙන් බරපතල විරෝධයක් එල්ලවිය. වෙළෙඳ කලාපවල ඇති කරන කර්මාන්ත මඟින් දේශීය ජනයාගේ ශ්‍රමය කොල්ලකෑම, ඇතැම් දේශීය සම්පත් කොල්ලකෑම, රටේ ධනය පිටට ඇදීයාම, දේශීය කර්මාන්ත අඩපණවීම, පරිසරය දූෂණය සිදුවන බවට චෝදනා එල්ල විය. විදේශීය ධනපති හොරුන්ට රට විවෘත කර ඇතැයි දේශපාලන වේදිකාවේ රාව දුන්නේය. මෙයට විහිළුවෙන් පිළිතුරු දුන් ජයවර්ධන ජනාධිපතිතුමා කීවේ ‘Let Robber Barons Come’ කියාය. (ලෝක හොරු ආවාවේ) නමුත් ජේ.ආර්. ඇතිකළ ආයෝජන කලාප වලට ලෝක හොරු ආවේ නැත. කොරියා - සිලෝන් ෆුට්වෙයාර් වෙතින් ඇරඹි වැදගත් කර්මාන්ත ගණනාවක් ස්ථාපිත විය. එනමුත් සාර්ථක ලෙස දේශීයකරණය වූයේ ඇඟළුම් ක්ෂේත්රය පමණි.
චීනය සැලසුමකට අනුව විදේශීය ආයෝජන සඳහා රට විවෘත කිරීමට ඩෙන්ෂියා ඕපෙන්ගේ කණ්ඩායම (වත්මන් චීන ජනපතිගේ පියා ද එහි ප්රමුඛ සාමාජිකයෙක් විය) තීරණය කළ විට (1978) ඔවුන් විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට එවන ලදි. ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප පිළිබඳ සැලසුම චීනයේ ‘ෂෙන්ශෙන්’ වැනි බලගතු නිදහස් ආර්ථික කලාප පිහිටුවීමේදී ආදර්ශයක් විය. දැන් චීනයේ මූල්‍ය නිදහස් කලාපවල ආදර්ශය ගනිමින් ලංකාව ක්‍රියා කිරීම එක්තරා දුරකට අභාවවාචක අත්දැකීමකි.
ලංකාවේ පිහිටුවනු ලැබූ සියළුම ආයෝජන කලාප පාහේ නිෂ්පාදනය ඉලක්ක කරගත් ඒවාය. ප්‍රථම වතාවට වෙළෙඳ සේවාවක් ලබාදෙන නිදහස් වෙළෙඳ කලාපය වන්නේ වරාය නගරයයි. එහි රාජපක්ෂ තේමාවම ලෝක හොරු කැන්දාගැනීම ය. එනම්, ජයවර්ධන ජනාධිපතිතුමා කළ දේ තවත් පුළුල් කිරීමය. කලක් සී.ඒ. චන්ද්‍රපේම එක්සත් ජාතික පක්ෂයට යෝජනා කළ ‘රාත්‍රී ආර්ථිකය’ ලංකාව තුළ ස්ථාපනය කිරීමය.
ල.ස.ස.ප., ශ්‍රී ලං.කො.ප. , ජ.නි.පෙ. , ම.එ.පෙ. , මෙන්ම දේශීය ආර්ථිකයක් වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කරනා බවට ශපථ කළ ආණ්ඩුවේ ජාතිමාමකයින් ‘නව ලිබරල්වාදයේ පාරාදීසය’ වූ වරාය නගරය පුද්ගලික සමාගමකින් පාලනය කිරීම සඳහා සිය ඡන්දය දුන්හ ! මෙයින් වැඩියෙන්ම සතුටට පත්වනවා ඇත්තේ දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාය ! ඒතමන්ට කළ නොහැකි වූ දේ රතු වාමාංශිකයින් අතින් නිර්මාණය වූ නිසාය.
වරාය නගර පණත ආණ්ඩුවේ දේශප්‍රේමය, ඒකීයභාවය වෙනුවෙන් වූ කැපවීම, ජාතික ආර්ථිකය හා ජාතික සංස්කෘතියට ඇති කැපවීම ආදී වූ සටන්පාඨ නිරුවත් කළ ප්රකාශනයකි. ආණ්ඩුවේ ලැජ්ජා නැති පාවාදීම එකී පණත් කෙටුම්පත පෙන්වා දී තිබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය, පාර්ලිමේන්තුව සතු නීති තැනීමේ හා මුදල් පිළිබඳ වූ තීරක බලය, බාධක නැතිව ජනතාවට සංචරණයට තිබූ අයිතිය, රටේ මහ බැංකුව, සුරැකුම්පත් කොමිසම, රේගුව, නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය වැනි ජාතික නියාමන ආයතන වලට තිබූ බලය, ප්‍රජා නීති රැකීමේ පොලිස් බලය රැක නුදුන්නානම්, ‘විදේශීය ඊළම’ යථාර්ථයක් වීමට ඉඩ තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය කළේ, වරාය නගර පණත ව්‍යවස්ථාවට දරන අනුකූලතාවය පරීක්ෂා කිරීම පමණි. එහෙත් වැදගත් දේශපාලන කරුණු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විසින් මඟහැර තිබිණි.
එකක් නම් ‘වරාය නගර කොමිෂන් සභාව’ ජනාධිපති විසින් පත්කරනා පාලන ආයතනය රාජ්‍ය සංස්ථාපිත ආයතනයක් නොව, පුද්ගලික ආයතනයක් ලෙස පවත්වාගැනීමට ඉඩ දීමය. එහි අරමුදලේ ඇත්තේ වරාය නගර සංවර්ධන සමාගමේ (CHEC) කොටස් පමණි. එහි දේශපාලන ප්රශ්නය වන්නේ, යහපාලන ආණ්ඩුව විසින් රජයේ සංස්ථාපිත ආයතනයක (නාගරික සංවර්ධන අධිකාරිය) දේපළක් කළ වරාය නගරයේ ඉඩම්, පුද්ගලික ආයතනයකට ලබාදීම ය. එමෙන්ම වක්‍ර ආකාරයෙන් මිස සෘජුව එකී ආයතනය පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නැත. (වක්‍ර ආකාරය වන්නේ, විගණකාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලය විගණනය කරනා විට මෙකී පුද්ගලික ආයතනයේ කටයුතු ද බලපාන බැවින් හා 20 වැනි සංශෝධනය මඟින් විගණකාධිපතිට මෙකී ආයතනයේ පුද්ගලිකව විගණනය කරන ආයතනය නිරීක්ෂණය කිරීමට බලයක් තිබීම නිසාය)
දෙවැනි දේශපාලන කරුණ නම්, වරාය නගර කොමිසමේ සංයුතිය ය. එය එයට බලපාන ආයතන වන මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, ආයෝජන මණ්ඩලය ආදියේ නියෝජනයක් නැතිව තනිකරම ජනාධිපතිගේ අභිමතය පරිදි පත්වීමය. ජනාධිපතිට එරෙහිව ඔහුගේ පත්කිරීම් සඳහා මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකිය යන මතයේ සිට මෙයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දී ඇත. නමුත් ජනාධිපතිගේ අභිමතයන් අනුව පත් වූ ඇතැම් විනිසුරුවරුන් ගැන පවා සිතද්දී වරාය නගර කොමිසම කෙතරම් වෘත්තීය කුසලතාලාභීන්ගෙන්, දේශප්‍රේමීන්ගෙන්, අවංක පුද්ගලයින්ගෙන් සමන්විත වේදැයි, සැක සහිතය. යැංකි ඩීකි යැයි කියූ ජේ.ආර්. ජයවර්ධනගේ මහ කොළඹ අර්ථික කොමිසම හෝ ආයෝජන මණ්ඩලය හෝ මෙවැනි ආකාරයක ඉඩම් බලතල සහිත පුද්ගලික සමාගමක් නොවීය.
මා පාර්ලිමේන්තුවේදී ද, වෙනත් තැන්වලදී ද ප්‍රකාශ කළ පරිදි වරාය නගරය සාර්ථකවීමට ජාත්‍යන්තර විශ්වාසය අත්‍යාවශ්‍යය. විශේෂයෙන් ලෝකය පුරා මෙවැනි මූල්‍ය හා සේවා නිදහස් කලාප 100 කට අධිකව පවතින නිසාත්, එයිනුත් වැඩි හරිය ආසියාවේ පවතින නිසා තරඟය ඉතා තියුණුය. වරාය නගරය සාර්ථක වන්නේ ඉන්දීය උපමහද්වීපයේ ධනවතුන්, වෘත්තීය සේවා සපයන්නන් මෙහි පැමිණියහොත් පමණය. චීනය සමඟ දේශපාලන පටලැවිල්ලක සිටිනා ඉන්දියාව හා ඇමෙරිකාව සිය සංචාරකයින්ට හා පුරවැසියන්ට වරාය නගරයේ සංචරණයට තහංචි දැමුවහොත් හා මෙහි සිදුවන ගණුදෙනුවලට සම්බාධක පැනවුවහොත් ශ්‍රී ලංකාවට කළහැකි දෙයක් නැත. දැනටමත් වරාය නගරයේ මව් ආයෝජක සමාගමට (CCCC) එක්සත් ජනපදය ඩොලර් ගණුදෙනු සඳහා තහංචි දමා ඇත.
අනෙක් අතින් විදේශීය සංචිත සිඳී ගොස් විදේශීය ණය ගෙවීම අතින් පහළටම ශ්‍රේණිගතව ඇති, හෙට අනිද්දා බංකොළාත්වීමට නියමිත ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ මෙහි ධනය තැන්පත් කරලීමට එන විදේශීය ධන කුවේරයෙක් සිටී නම් ඔහු උමතු රෝගියෙක් විය යුතුය.
දේශපාලන, ආර්ථික, සමාජමය කොන්දේසි ඉටුකරගැනීමට වරාය නගරය හා ශ්‍රී ලංකා රජය අසමත්වුවහොත් සිදුවන්නේ, මෙය විදේශීය සූදුකරුවන්ගේ, සිරුරු විකුණන්නන්ගේ, සෙල්ලක්කාරයින්ගේ මෙන්ම ලංකාවේ ධනකුවේරයින් ආදායම් බදු ගෙවීම් පැහැරහරින හොර ගුහාවක් වීම පමණි.
ජයවර්ධන ජනාධිපතිවරයා ත්‍රීකුණාමල වරායේ කොටසක් එක්සත් ජනපදයට බදු දෙනවාය යන සැකය මත ඉන්දියාව විසින් (සෝවියට් සංගමයේ ද සහාය ඇතිව) දියත් කරනා ලද වක්‍ර යුද්ධයේ ප්‍රතිඵල වසර 30 දක්වා අපට ලේ වලින් ඔප්පු විය. ලෝක බලවතුන්ගේ යුද්ධවලට විවිධ දෘෂ්ටිකෝණවල සිට අප පාර්ශව ගැනීම අතිශය භයානක සෙල්ලමකි. අප බැලිය යුත්තේ ලෝක බලවතුන්ගේ (එක්සත් ජනපදය, චීනය ඉන්දියාව, ජපානය) ආර්ථික සමාජ උපායමාර්ග සමඟ සමඟ ගැටීමට හෝ වැළඳගැනීමට නොගොස්, රටේ ආර්ථික අභිමතාර්තයන් සදහා මේවා ස්වෛරීව, ස්වාධීනව භාවිතා කිරීමට උපාය සම්පන්න වීමය. සාර්ථක වූ මූල්‍ය නගර සියල්ලම අපට පෙන්වා දී ඇත්තේ එම ආදර්ශයයි.
දේශපාලන, ආර්ථික, සමාජමය වටපිටාව විධිමත්ව සකස් කර නොගෙන වරාය නගරය බලයෙන් උද්ධච්ච වූ, දැනුමෙන් මෝඩ වූ, තත්හාවෙන් ඇස් අන්ධ වූ පිරිසක් විසින් මෙහෙයවනු ලැබුවහොත් එය අපේ සංවර්ධනයේ ‘හැරවුම් ලක්ෂය’ වනවා ඇත්තේ සාපලත් ආර්ථික ව්‍යසනයක ලේ වැගිරුණු මාවතක් දෙසට පමණි.
පාඨලී චම්පික රණවක