වරක් බුදුරජාණන් වහන්සේ උදරාබාධයකින් පෙලුනු අසරණ භික්ෂුවකට උපස්ථාන කළ කථා පුවතක් මහාවග්ග පාලිය සඳහන් කරයි. උදරාබාධයකින් පීඩා විඳි එක් භික්ෂුවක් මලමුත්‍ර ගොඩෙහි වැතිර පිටත යා නොහැකිව මහත් පීඩාවට පත්ව සිටින ආකාරය දුටු විහාර චාරිකාවේ වැඩම කළ බුදුරජාණන් වහන්සේ “මහණ ඔබ බලවත් රෝගයකින් පෙළෙනවා නොවේ ද? ඔබේ අසනීපය කුමක්දැයි කාරුණිකව විමසූහ. “ස්වාමිනි තදබල උදරාබාධයකින් පීඩා විදිමියි උන්වහන්සේ ප්‍රකාශ කළ විට “ඇයි ඔබට උපස්ථාන කිරීමට කිසිවකු නැද්දැයි විමසා” මේ ගැන එම විහාරයේ අනෙකුත් භික්ෂු පිරිසගෙන් කරුණු විමසා භික්ෂු ශාසනයේ පැවිදි වන සියලු දෙනා ඔවුනොවුන්ට උපකාර වී සහයෝගයෙන් ක්‍රියා කරනු දැකීමට තමා කැමති බව ද, මාගේ අවවාද පිළිපැද ගිලනුන්ට උපස්ථාන කරන්නා මට සැලකුවා වන්නේ යැයි අවවාදයක් ද කළහ.
මහාපන්ථක හා චුල්ලපන්ථක යනු බුදුසසුනෙහි පැවිදිව සිටි සොහොයුරන් දෙදෙනෙකි. ළදරු චුල්ල පන්ථකට සිව්මසක් තුළත් ගාථාවක් කටපාඩම් කිරීමට නොහැකිවීම නිසා මහාපන්ථක හිමියෝ ළදරු චුල්ලපන්ථක විහාරයෙන් නෙරපූහ. පැවිද්දෙහි කැමැත්ත ඇති චුල්ලපන්ථක හිමියෝ විහාර දොරටුව ළඟ හඬමින් සිටියහ. මේ බව දුටු බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හිමිගෙන් කරුණු විමසා ඔබ පැවිදිව සිටින්නේ මා ළඟයි. නෙරපා හැරිය විට ඇයි මා වෙත නො පැමිණියේ. ගිහිවීමෙන් ඔබට වැඩක් තිබෙනවා ද? මා සමීපයෙහි සිටින්න යැයි පවසමින් හිස පිරිමැද අතින් අල්ලාගෙන විහාරයට පිවිසූහ.
තථාගතයන් වහන්සේ විසින් දක්වන ලද කරුණාව ළදරු චුල්ලපන්ථක හිමියන් කෙරෙහි කොතරම් බලපෑවා දැයි කිවහොත් අර්හත්භාවයට පත්වීමෙන් අනතුරුවත් ඒ කරුණ උදානයක් ලෙස සිහිපත් කළේ මෙසේ ය.
භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩියහ. මාගේ හිස පිරිමැද්දහ. මා අතින් ගෙන සංඝාරාමයට පිවිසුණහ.
සමානාත්මතාව යන අර්ථයෙන් සලකන විට තම ශ්‍රාවකයන් වෙසෙන සෙනසුන්වලට වැඩ සුවදුක් විචාරීම බුදුරජාණන් වහන්සේගේ විශේෂ ගුණාංගයක් බව සැලකිය යුතු ය. වරක් අනුරුද්ධ, භද්දිය, කිම්බිල යන ස්වාමීන් වහන්සේ වෙසෙන ගෝසිංහ සාලවනයට වැඩම කොට අනුරුද්ධයෙනි කෙසේද? ඉවසිය හැකි ද? යැපිය හැකි ද? පිණ්ඩපාතයෙන් අඩුවක් තිබේදැයි යනුවෙන් සුවදුක් විමසති. චාරිකාවේ වඩින බුදුරජාණන් වහන්සේ තම ගමන් මඟ තම ශ්‍රාවකයින් වෙසෙන සෙනසුනක් වුවහොත් එහි වැඩ සුවදුක් විචාරා ධර්මයෙන් දිරිමත් කොට පෙරළා වැඩීම උන්වහන්සේගේ හදවතේ සෞම්‍යකම පෙන්වයි.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිගු කලක් ආරණ්‍යයෙහිම වෙසෙන හිමි නමකි. වියපත් අවස්ථාවෙහි වරක් උන්වහන්සේ බුදුහිමි බැහැ දැකීමට වේළුවනාරාමයට වැඩම කළහ. “කාශ්‍යප දැන් ඔබ හුඟක් මහලුයිනේ. හන පිළියෙන් කළ හැම තැනම මැහුම් දැමූ පාංශුකූල සිවුරු දැරීම ඔබට බරක්, ඕක අතහැරලා ගිහියන්ගෙන් ලැබෙන සිවුරු පාවිච්චි කරන්න. ආරාධනයෙන් ලැබෙන සිවුරු පාවිච්චි කරන්න” යනුවෙන් අනෙකාගේ සුව පහසුව වෙනුවෙන් තමාගේ හදවත තුළ ඇතිවන අවංක අවදිකම පෙන්නුම් කරන කදිම අවස්ථාවකි.
භික්ෂූන් වහන්සේට වුවමනාවට වඩා පීඩා ඇති කරවන සුළු නීති පහක් සම්මත කරවා ගන්නට දෙව්දත් හිමියන් වෑයම් කළ ද කාරුණික වූ බුදුහිමියන් වෙතින් එය ඉටුකරවා ගැනීමට ඔහුට බැරි විය.
යමෙකුගේ දක්ෂතාව දැක සතුටුවන මිනිසුන් ඉතා අල්ප ය. මේ උතුම් මිනිස් ගුණ ද බුදුරජාණන් වහන්සේ තුළ නො අඩුව පැවතියේ ය. වංශය, කුලය, තමන්ගේකම ආදිය නො සලකා දක්ෂතා ඇති ශ්‍රාවකයින් වහන්සේ බුදුහිමිගේ ප්‍රශංසාවට ලක් වූහ. වරක් නන්දක තෙරුන්ගේ ධර්ම දේශනයක් අසා සිටි බුදුරජාණන් වහන්සේ නන්දක ඔබ ඉතා මැනවින් ධර්ම දේශනා කළා යනුවෙන් ප්‍රශංසා කළහ.
අංගුලිමාල මීනිවරුවෙකැයි ඔහු දුරින්ම දුරු නොකොට ඔහු කරා ගොස් ඔහු තුළ සැඟ වී තිබුණා වූ හොඳ ගතිගුණ ඉස්මතු කොට සදහට ම හොඳ මිනිසෙකු වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා බල මහිමය නිසා ය.
පුත්‍ර ශෝකයෙන් පීඩිත වූ මවක් වික්ෂිප්ත වූ විසංඥ වූ සිතින් නග්නව, විසුරුවන ලද කෙස් ඇතිව ඒ ඒ තන්හි හැසරුණා ය. කසල ගොඩෙහි ද, සොහොන් බිමෙහි ද, සා පිපාසා දෙකින් පෙළෙමින් වසර තුනක් ම ඇවිද්දා ය. අනතුරුව මිථිලා නගරය බලා වැඩි බුදු හිමිගෙන් බණ අසා අනගාරික වී පැවිදි බිමට පැමිණියාය. තැනින් තැන ඇවිදිමින් සිටි ඇයට රහත් මෙහෙණියක් වීමට බුදුහිමිගේ කරුණාව යොමු වූ ආකාරය සැබැවින්ම අති උදාර ය.
උන්වහන්සේ පි‍්‍රයශීලි ප්‍රසන්න කතා ඇති හෙයින් ඇතැම් බ්‍රාහ්මණයෝ හා පරිබ්‍රාජකයෝ පවා උන්වහන්සේ හමු වී කතා බහ කිරීම පිණිස පැමිණියහ. එහෙත් තම අගුණ කියමින් තමා පසුපස හඹා ආ විරුද්ධවාදීන් කෙරෙහි පවා හිත රිදෙන වචනයක් හෝ නො පවසා සිටින්නට තරම් උන් වහන්සේ උදාරතර වූ සේක. වරක් ශක්‍රයාගේ ගාන්ධර්වයා වූ පඤ්ච සිඛ උන්වහන්සේ හමුවට පැමිණ තම පෙම්වතිය සඳහා ප්‍රබන්ධ කළ ගීතයක් වීණාව වාදනය කරමින් ගායනා කළේ ය. එය ඉවසිල්ලෙන් අසා සිට බුදුන්වහන්සෛ් ප්‍රශංසාවක් ද කළහ. (දීඝ නිකාය 11 -267)
එකල දඹදිව විසූ මිනිස් සමාජයේ නොයෙක් තරාතිරමේ විවිධ මට්ටමේ ස්ත්‍රී පුරුෂයෝ උන්වහන්සේගේ කරුණා දැලට හසුවූහ. ඒ සියලුම දෙනාට ම යහපතක් ම සිදු විය. සේනානි බිම්බිසාර, පසේනදි කොසොල්, පොක්ඛරසාති රජවරු බිසෝවරු කුමරියෝ මහ සිටුවරු, මහ ඇමැතියෝ, සේනාධිපතිවරු, ත්‍රිවේද ප්‍රාප්ත බමුණෝ, බැමිණියෝ , ගෘහපතියෝ, ගොවියෝ, කම්කරුවෝ, කසල ශෝධකයෝ, වහල්ලු, සැඩෙල් හා නොයෙක් ආගම් දෘෂ්ටි ගත්තෝ ඒ අය අතර වූහ. මිනීමරුවන්, හොරුන්, ගණිකාවන්, සල්ලාලයන් හා යක්ෂයන් (ආලවක වැනි) අය ද වූහ. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ තරාතිරම් නො බලන, දරුණුකම්, මැරවරකම් හා විෂමාචාරකම් ගැන කිසිදු තැකීමක් නොකොට හැම දෙනාට ම එක සේ සම සේ, කරුණා, භරිත හදවත් පෑ සේක.
අලව් නුවරවාසි එක් දුප්පත් මිනිසකු බුදුහිමියන්ගෙන් බණ අසන්නට ඉතා කැමැත්තෙන් සිටියත් තම ගොනකු නැතිවීම නිසා බණ අසන්නට නොගොස් ගොනා සොයන්නට ගියේ ය. බොහෝ වේලාවකට පසු ගොනා සොයාගෙන අවුත් ගෙවත්තේ ගහක බැඳ ප්‍රමාද වී අවුත් බණ අසන්නට යමි’යි පිටත් විය. බුදුහු දන් වළඳා අවසානයෙහි “අර දුප්පත් මිනිසා එනතුරු දහම් නො දෙසා වැඩ සිටියහ.
කුසගින්නේ සිටි ඒ මිනිසාට දන් වළඳා ඉතුරු වී ඇති දෙයක් කෑමට දෙන ලෙස දන් දුන් දායකයින්ගෙන් කෙනකුට කීහ. එම දායකයා කෑම ටිකක් දුන්නේ ය. දුප්පතා ආහාර අනුභව කොට බුදුරදුන් වෙත පැමිණි විට බුදුහු බණ වදාළහ. මේ ක්‍රියාව දැක පුදුමයට පත් ශ්‍රාවකයන්ට කුසගින්නේ සිටියකුට ඒ කුසගින්න නො නිවා බණ කීමෙන් ප්‍රයෝජනයක් නැති නිසා එසේ කළ බව බුදුහු වදාළහ. බුදුරජාණන් වහන්සේ මිනිසාගේ බුද්ධියට මෙන්ම හදවතට ඇමතීම ජීවිතය පුරාම දැකිය හැකි ය.
දාසියක වූ රජ්ජුමාලාට තම ස්වාමි දුවගෙන් විඳින්නට සිදු වූ අනේකවිධ හිරිහැර පීඩාවලින් මිදීමට වනයට ගොස් ගෙල වැළලාගෙන මැරෙන්නට සූදානම් ව සිටිය දී ඇය මරණයෙන් ගලවා ගනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ විසිනි. අසරණ බවේ උපරිම අවස්ථාවට පත්ව සිටි පටාචාරා බුදුරජාණන් වහන්සේගේ කාරුණික වදනින් දෙලොවින් ම සැනසීම ලැබුවා ය. නැඟණිය කියා බුදුහිමි තමාට ඇමතීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.
තම එකම දරුවාගේ වියෝව නිසා ශෝකයෙන් උමතු වූ කිසාගෝතමිය බුදුහිමිගේ කාරුණික වදනින් පුත්‍ර ශෝකය නිවාගෙන සැනසීම ලද කාන්තාවකි. විශාලා මහ නුවරවාසී වාසෙට්ඨ නම් කාන්තාවකගේ එකම සුරතල් පුත්‍රයා දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරන අවදියේ ම මරණයට පත් විය. එම ශෝකයෙන් හිස හැරුණු අත ඇවිදිමින් ඇය මියුලු නුවර වීදියක දී බුදුරජාණන් වහන්සේ මුණ ගැසී දුටු කෙනෙහිම වාසෙට්ඨිගේ සිතේ සැනසීමක් ඇති විය. උමතු බව නැති විය.
වරක් කිඹුල්වත්නුවර රෝහිණී ගඟේ ජලය බෙදා ගැනීමට නොහැකිව ශාක්‍ය හා කෝලිය යන දෙපිරිස මහ සටනකට සූදානම් වූ අවස්ථාවේ සටන සමාදානය කොට මිනිස් ඝාතනයක් වළකා ලූ සේක.
අම්බපාලි නගර සෝභනිය සිය නිවසේ දානයට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ය. එම ආරාධනය පිළිගෙන තිබිය දී විශාලා මහනුවර ලිච්ඡවී රජවරු ද බුදුරජාණන් වහන්සේට දානය සඳහා ආරාධනා කළහ. එහෙත් ලිච්ඡවීන්ගේ ආරාධනය භාර නොගෙන බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ දානයට වැඩම කළහ.
වරක් ගෝසිංහ වනය අසලින් වඩින බුදුරජාණන් වහන්සේට එම උයනට පිවිසීමට සිත් විය. උයනේ දොරටුව අසලටම වැඩම කළේ බුදුරජාණන් වහන්සේ බව හඳුනා නොගත් උද්‍යාන පාලකයා ඒ සඳහ බුදුහිමියන්ට අවසර නොදුන්නේ ය. තමන් බුදුන් යැයි පවසා උයනට ඇතුළුවීමට උත්සාහ නොකළ උන්වහන්සේ නිසි අවසරය ලැබෙන තුරු නිහතමානීව දොරටුව අසලට වී ඉවසා සිටියහ.
බුදුරජාණන් වහන්සේගේ කරුණාව මිනිසුන්ට පමණක් නොව සතුන් කෙරෙහි ද යොමු කොට ඇත. වරක් ගැරඬියෙකුට ගල් ගසමින් හිරිහැර කරමින් උන් ළමයින් කණ්ඩායමකට අවවාද කොට උන්වහන්සේ එම ගැරඬියා මුදා හළ සේක.
කොසොල් රජුගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නො තකා අසරණ කොට අත්හැර දමන ලදී. එම ඇතින්න තැන තැන යමින් දුක සේ කල් යැවුවා ය. ඕ ශක්තිමත් සමයෙහි එ රජු ගේ මඟුල් ඇතින්නව සිට මහත් සත්කාර ලැබුවා ය. යුද්ධවල දී ද රජුට ජය ලබන්නට සහාය වූවා ය. එහෙත් ඇය මහලු වැ දුර්වල වැ කිසිත් කරන්නට නොහැකි වූ විට රජු අන් ඇතකු මඟුල් ඇතු තනතුරට පත්කොට ඇය නො සලකා හැරියේ ය. එතැන් සිට ඕ සුදුසු පමණ අහරක් හෝ, ඉන්නට නිසි තැනක් හෝ නොලැබී දුක සේ කල්ගෙවුවා ය.
දිනක් භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩිනවා දැක ඕ උන්වහන්සේ වෙත අවුත් පා මුල වැටී තමා විඳිනා දුක අඟවන්න ශබ්ද නඟා හැඬුවා ය. ඉක්බිති බුදුහිමි උදේන රජුගේ මාලිගාවට වැඩම කොට ඇතින්නට අනාථ වන්නට ඉඩහැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්න යැයි වදාළ සේක.