වසන්තයට මල් බලන්න

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    වසන්තයට මල් බලන්න

    වසන්තයට මල් බලන්න සීතාවක ගිහින් එන්න

    f-10.jpg
    තුම්මෝදර කඳු වැටියට මුවා වෙලා හිරු අවරට යන්නයි සූදානම. දුරින් දිස්වන ලබුගම ජලාශයට ඉහළ අහසින් පොළවට පතිතවන මිහිඳුම් සේලය පරිසරය සෙමෙන් වෙලා ගන්නවා. නිල්ල නිලන තේයාය මැදින් නිසලව ගලා බසින දිය දහර මනරම්.
    උඩරට කඳුකරයේ අසිරිය මැව්වත් අතරින් පතර සරුවට වගා කෙරුණු රබර් කට්ටියත් පරිසරයේ උණුසුමත් සැබැවින්ම අප ඉන්නේ නුවරඑළියේ නැත්නම් හග්ගල මල්වත්තේ නෙවෙයි කියලා සිතට මතක් කර දෙනවා.
    දැන් මල් බලන්න, සොබා සිරි නරඹන්න නුවරඑළියට හග්ගල‍ට නැත්නම් පේරාදෙණියට ම යන්න ඕනෑ නෑ. අගනුවරට නුදුරින් පැය එක හමාරක දෙකක කෙටි කාලයකින් ළඟා විය හැකි සොඳුරු මල් උයනක් අවිස්සාවේල්ලෙ සීතාවක ඉලුක්ඕවිටත් තිබෙනවා.
    garden%20(3).jpg
    නුවරඑළියේ වගේ සීතල නැති වුණත් ඒ තරම්ම අලංකාර මලින් බර සුන්දර උද්‍යානයක අසිරි සිරිය විඳගන්න ඔබට එහිදී පිළිවන්. සීත කඳුකරේ වගේම මිහිදුම් සළුපොරවාගත් සරුසාර තේ යාය, ඒ තරමටම සරුවට වැවුණු රබර් යාය.
    ඒ මැදින් දිවෙන සුව පහසු මං තීරු දෙපස පිපී සැලෙන නෙක පැහැගත් විසිතුරු මල්යාය. රෝස, ඩේලියා, සීනියා, කැනාස්, උඩවැඩියා, ඇන්තූරියම් වගේ ම ඉද්ද, සමන්පිච්ච, අරලිය මලින් බරවුණු රමණීය උයන්තෙර නිසලව ගලා බසින සොඳුරු දිය දහර සැබැවින්ම ඔබ කැඳවාගෙන පිය ඔසොවන්නේ මනරංජනීය ඉසව්වකට.
    සොබා දහමට ඇලුම් කරන, පරිසරය සුරකින අපේ අනාගත පරපුරට පරිසරය දායාදයක් ලෙස පුදන්නට වෙහෙසෙන සද්ගුණවත් පිරිසක් එක්ව නිමැවූ අපූරු නිමැවුමක් ලෙස සීතාවක ඉලුක්ඕවිට උද්භිද උද්‍යානය හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ ඉදිකැරුණු ප්‍රථම පහතරට තෙත් කලාපීය උද්‍යානය මෙයයි.
    තෙත් කලාපීය ශාක සංරක්ෂණය කිරීමේ අරමුණෙන් යුතුව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඉලුක්ඕවිට උද්‍යානයේ ඉදිකිරීම් ඇරැඹුවේ 2008 වසරේ මාර්තු මාසේ 14 වැනිදා. ලබුගම ජලාශයට ජලය සපයන ජල ‍පෝෂක කලාපයට යාබදව පිහිටි හරිත වනයෙන් අක්කර 106 ක බිම් කඩක් මෙම උද්‍යානය සඳහා වෙන් වී තිබෙනවා.
    අපේ රටේ දැවෙන ප්‍රශ්න අතරින් වන සංහාරයටත් පරිසර දූෂණයටත් හිමි වෙන්නේ මුල් තැනක්. මිනිස්සු ගස් කැපුවට ගස් හිටවන්නේ නෑ. තෙරක් නොමැති ගස් කැපිල්ලෙන්, වනාන්තර හෙළි කිරීමෙන් අද අපට විඳින්නට සිදුව ඇති අනිසි ප්‍රතිඵල විපාක ගැන අමුතුවෙන් කිව යුතු නෑ. වෙන කවරදාකවත් නොවූ විරූ තරම් වූ ස්වභාවික විපත් හා පාරිසරික වෙනස්කම්වලට මූලිකම හේතුව වන විනාශය. අනාගත පරපුරට බොන්න පිරිසිදු ජල බිඳක් අහිමි වන තැනට කටයුතු යෙදීම වළක්වා ගන්නට අද අපිට දැඩිව වෙහෙසෙන්නට වෙලා.
    gt-nature0-300x225.jpg
    තිබෙන ගහ කොළ රැක ගන්නට වගේම අලුතින් ගහකොළ සිටුවන්නත් අද විශාල උත්සාහයක් දරන්නට සිදු වෙලා. පහතරට තෙත් කලාපයේ අභියෝගයට ලක්ව තිබෙන තෙත් කලාපීය වනාන්තරවල තුරු ලතා රැකගෙන අනාගත පරපුරට සුරැකුම් මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමයි මෙම උද්‍යානයේ පිහිටුවීමේ මූලික අරමුණ. පහතරට සදාහරිත වැසි වනාන්තර කලාපයට අයත් ලබුගම කලටුවාව ජලාශවලට නුදුරින් පිහිටි මේ සොඳුරු උද්‍යානයේ ඇති පහතරට තෙත් බිම්වලට ආවේණික තුරුලතා ආරක්ෂා කිරීම, අලුතින් සිටුවා සංරක්ෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට එහි පැමිණ තුරු ලතා අධ්‍යයනය කරන්නට, පර්යේෂණ කරන්නට හා තුරු ලතා සෙවණෙහි පහස ලබන්නටත් එහි ඉඩ සලසා තිබෙනවා.

    උඩරට කඳුකරයේ පරිසරය ස්වභාවිකවම වඩාත් සොඳුරු හැඩයක් මවනවා. ඒත් පහතරට තෙත් කලාපීය වනයක අසිරිය ඒ හැටියෙන් ම විඳ ගැනීමේ අවස්ථාව මෙතෙක් සංචාරකයන්ට හෝ පරිසර ලෝලීනට ලැබුණේ නෑ. ඒ අඩුව පිරිමසමින් දිවයිනේ නිරිතදිග පහතරට තෙත්බිම්වල සෞන්දර්යය වඩාත් ඉස්මතුවන ලෙස උද්‍යානය සංවර්ධනය කර ඇතැයි එහි ඉදිකිරීම් භාරව කටයුතු කළ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එච්.පී. පෙරමුණුගම මහතා පවසනවා.
    පේරාදෙණිය නුවරඑළිය හෝ හග්ගල වැනි දුර බැහැර ප්‍රදේශවල හැර අගනුවරට නුදුරු පෙදෙසක මෙවැනි උයනක් පිහිටා නොතිබීම පරිසර ලෝලී සංචාරකයන් දුටු අඩුවක්. දිනක් දෙකක් වැනි කෙටි කාලීන සංචාරවල නියැළෙන විදේශීය සංචාරකයන්ට මෙන්ම දේශීය සංචාරකයන්ටත් පහසුවෙන් ළඟා විය හැකි දුරක පිහිටීමත් උද්‍යානයේ අගය වැඩි කරන කරුණක්.
    වග තුම්මෝදර ඉලුක්ඕවිට, හේවාඉන්න, ලබුගම කලටුවාව වැනි යාබද ගම්මානවල වෙසෙන වැඩි දෙනෙක් තේ වතුවල රබර් වතුවල වැඩකරන කම්කරුවෝ. නැත්නම් ගොවිතැනක් බතක් කරගෙන එදා වේල සපුරා ගන්නා අහිංසක ගැමියෝ. මේ ජනතාවගේ ආර්ථිකය නංවාලන්නට උද්‍යානය හා එයින් ජනිතවන රැකියා අවස්ථා ඉවහල් වෙනු ඇතැයි උද්‍යානය ජනතා අයිතියට පවරමින් එය විවෘත කළ සංචාරක, ක්‍රීඩා සහ පොදු විනෝද කටයුතු පිළිබඳ ඇමැති නවීන් දිසානායක මහතා පවසනවා.
    මෙම උද්‍යානය හුදු විවේකය සහ විනෝදය සපයන මල් වත්තක් පමණක් නොවන්නේ මේ එහි ඖෂධීය ශාක හා විසිතුරු මල් හා උද්භිද විද්‍යානුකූල පැළැටි බෝ කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ කිරීමට අධ්‍යයනය කිරීමට මෙන්ම අලෙවි කිරීමට පහසුකම් එහි සපයා තිබීමෙන්.
    මල් වැවීම ගෘහණියන්ට වාසිදායක ස්වයං රැකියාවක්. මල් වැවීමට හා ඒවා අලෙවි කිරීමටත් මෙරට මෙන්ම වි‍දේශ රටවල ප්‍රදර්ශන හා තරගවලට ඉදිරිපත් වෙන්නටත් මෙම උද්‍යානය හා සම්බන්ධවන ගම්වාසීන්ට අවස්ථාව හිමිවන බවත් ඇමැතිවරයා පවසනවා. ගමේ අලංකාරය ඔප් නංවන උයනෙන් ඒ අවට ජනතාවට රැකියා අවස්ථා රැසක් බිහිවෙනවා. ඒ මෑතක් වනතුරුම විදුලිබලය අහිමිව තිබූ ඉලුක්ඕවිට හා අවට ගම් රැසකට දැන් විදුලි බලය තිබෙනවා. ඉඳහිට ගමන් කළ බස් රථයක් දෙකක් වෙනුවට නිරන්තරයෙන් ගමට යන එන වාහන පහසුකම් ඉදිරියේදී වැඩි දියුණු කරන බව ඇමැතිවරයා පවසනවා.
    ගමට ඇදී එන සංචාරකයන් ට යන්න එන්න හොඳ පාරවල් හැදෙනවා. කඩ පිල් ඉදි කෙරෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන්ට, ගමේ නිපැයුම් අලෙවිකරුවන්ට හොඳ වෙළෙඳපොළක් බිහි වෙනවා. පහසුකම් අඩු පුංචි පාසලක් වන ඉලුක්ඕවිට ගමේ පාසලට ක්‍රීඩා භාණ්ඩ ලබා දෙන්නට ඇමැතිතුමා ඉදිරිපත් වුණේ පළාතේ මන්ත්‍රි ගීතාංජන ගුණවර්ධන මහත්මයාගේ ඉල්ලීමක් ඉටු කරමින්.
    140320090343Udhagamandalam_Botanical_Gardens.jpg
    garden%20(1).jpg
    පේරාදෙනිය, හග්ගල ගම්පහ සහ හම්බන්තොට උද්භිද උද්‍යාන අතරට එක්වූ අලුත්ම සාමාජිකයා සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයයි. එවකට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථා නායකවරයා ලෙස කටයුතු කළ ගීතාංජන ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව එවකට සිටි ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සංවර්ධන කටයුතු ඇරැඹුණු මෙම උද්‍යානය නිසා ප්‍රදේශවාසී ජනතාවට ඍජු රැකියා අවස්ථා සීයක් සහ වක්‍ර රැකියා අවස්ථා දහසක් උදාවී තිබෙනවා.
    මල් වගාව, කාබනික වගාව, ඔසු වගාව හා මල් හා පැළ අපනයනය සඳහා මෙහි පහසුකම් සැලසෙනවා. උද්භිද විද්‍යාව හා පරිසර විද්‍යා සිසුනට පර්යේෂණගාර පහසුකම් සැලසීම, ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වන පාරිසරික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම මෙන්ම සත්ත්ව හා ශාඛ පිළිබඳ පර්යේෂණායතනයක් ලෙස කටයුතු කිරීමත් මෙයින් ඉටුවෙන අනෙකුත් සේවාවන්.
    උයන මැද පිහිටි වැව හා ජල උද්‍යානය නරඹන්නන් සඳහා වන බෝට්ටු සේවය එහි යනෙන සංචාරකයන් වඩාත් ආකර්ෂණය කරගනු නිසැකයි. පහතරට තෙත් කලාපයට ආවේණික දුලභ ශාක විශේෂ 100 කට අධිකව ඇති මෙහි වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වල්ලාපට්ටා, බිම් පොල් ඇතුළු තාලවර්ග‍යේ දෙබඩි පොල්, මීමනවර්ග හා ඖෂධීය ශාක සමූහයකින් යුත් ප්‍රාදේශීය ශඛාගාරයකින් ද යුතු වීම එහි ඇති විශේෂත්වයයි.
    අලුතින් ම ඉදිකැරුණු උද්‍යානයේ නරඹන්නන්ට අවශ්‍ය පොදු පහසුකම් බොහොමයක් සපුරා තිබෙනවා. දුර බැහැර සිට එහි යන සංචාරකයන් සඳහා තවමත් අවට නවාතැන් පහසුකම් ඉදිවෙලා නෑ. අගනුවර සිට කෙටි කාලයක් තුළ ළඟා වී විවේකය විනෝදය මෙන් ම දැනුම ලබා ගන්නට හැකි සොඳුරු තෝතැන්නක් ලෙස සීතාවක උද්භිද උද්‍යානය හඳුන්වන්නට පිළිවන්.
    මෙම ‍උද්භිද උද්‍යානය කළුඅග්ගල මංසන්ධියෙන් දකුණට හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් හෝ පුවක්පිටිය දුම්රිය ස්ථානයෙන් දකුණට හැරී කි.මී. 03ක් ගමන් කිරීමෙන් නැරඹීමට හැකිය.
    උපුටා ගැනිම
    සිළුමිණ

    ස්තුතිය
    සාගරිකා දිසානායක ජයසිංහ
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    නියමෙට විස්තර කරලා තියනවා.....බම්ප් කිව්වාලු....:)4+

    අපේ පවුලේ කෙනෙක් ද ඔහේ ඈ? සිංහබා:eek: