ව්‍යාපාරිකයෙක් වුණේ හිතුවක්කාරකමට

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ව්‍යාපාරිකයෙක් වුණේ හිතුවක්කාරකමට

    ව්‍යාපාරිකයෙක් වුණේ හිතුවක්කාරකමට

    ප්‍රේම් දිසානායක/ සභාපති - Fast Ads



    fast-ads-1.jpg


    * Fast Ads හදපු ඔබ කවුද...

    සරල මනුස්සයෙක්. අභියෝගවලට කැමැති සහ ඒවා බොහොම කැමැත්තෙන් බාර ගන්නා කෙනෙක්. වැඩ කිරීමෙන් සතුට ලබන කෙනෙක්.

    * ඒ නිසාම ද වෘත්තීය ව්‍යාපාරිකයෙක් වුණේ...

    සාහිත්‍යයට කලාවට නිර්මාණකරණයට ළැදි මනුස්සයෙක්, එහි අත්දැකීම් කැපකිරීම් හා වැඩකිරී‍ෙම් උපරිමයට ඇවිත් දවසක ව්‍යාපාරිකයෙක් බවට පත්වෙනවා. නමුත් වෘත්තීය ව්‍යාපාරිකයෙක් වන අරමුණ නෙවෙයි මට තිබුණේ. හොඳ නිර්මාණකරුවෙක් වීම. ව්‍යාපාරික මට්ටමට ආවත් මං තවමත් විඳින්නෙ නිර්මාණකරුවකු විඳින සතුට. මොකද මගේ සියලු ව්‍යාපාර බැඳී පවතින්නේ නිර්මාණකරණයත් එක්ක නිසා.

    * මොනවද ඔබට තිබෙන ව්‍යාපාර...

    Fast ads, Fast printery, Fast publishing, Fast Promotions සහ සුරස පොත් සාප්පු.

    * මේ ව්‍යාපාරවලින් වැඩි ම ලාභය එන්නෙ කොතැනින් ද...

    මේ හැම ව්‍යාපාරයකින් ම එළියට එන්නෙ නිර්මාණයක්... පොතක්... වෙළෙඳ දැන්වීමක්... නාම පුවරුවක්. ඔය කොයි දේ වුණත් සියල්ලන්ට පළමුව රස විඳින්නෙ මම. ඒක බොහොම නැවුම් ආස්වාදයක්. ඒ සතුට තමයි මට ලැබෙන ලොකු ම ලාභය. ඒ අතින් ඔය එක ව්‍යාපාරයක්වත් පාඩු ලබන ඒවා නෙවෙයි. හොඳින් ලාභ ලබනවා.

    * මොකක්ද ඔබේ Management Style එක...

    මමත් ඔවුන් සමඟ වැඩ කරනවා. ඕන සේවකයකුට පුළුවන් මාව මුණගැහෙන්න. මට කියලා ලේකම්වරියක් හෝ පියන් කෙනෙක් වෙනම නැහැ. මොකද මං මේසෙට පුටුවට සීමා නොවුණ නිසා. හැබැයි මේ ආයතනය තුළ විනය මං අංක එකෙහිලා සලකනවා. ක්‍රියාත්මක කරනවා.

    * අධිෂ්ඨානය සහ ඉලක්ක... අරමුණු කරා යෑම ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...

    මූලික සැලසුම් - උපදේශකවරු මට ඇත්තේ ම නැති තරම්. හැබැයි මං වැඩකට බැස්සොත් ප්‍රතිඵල ලැබෙන තුරු මහන්සි වෙනවා. අත්හැර දමන්නෑ. ඒ නිසා ඔය කියන කාරණා තුන ම මගේ වැඩ කිරීමේ ගුණයෙන්මයි මං සාර්ථක කරගෙන තිබෙන්නේ.

    * ඔබේ පුවත්පතක් කලෙක මේ රටේ ‘ජෝතිපාල හා ඔහු බිහි කළ ජනප්‍රිය සංස්කෘතිය’ පිළිබඳ මහා ආන්දෝලනයක් ඇති කළා නේද...

    ලංකාවේ පත්තර කලාවේ layout කලාවේ වෙනසක් ඇති කරමින් මං සිනමා කලා පුවත්පතක් ඇරැඹුවා. නම රසඳුන. මේ පත්තරේ දැකපු, ඒ වෙලාවේ ප්‍රංශෙ හිටපු ඩොක්ට සරත් අමුණුගම මට පත්තරයක් කරන්න ආරාධනා කළා. රසඳුනට වඩා ඉදිරියෙන් ‘විචිත්‍ර’ පත්තරේ ඇරැඹුවේ ඒ විදිහට. සමහර ජාතික පුවත්පත්වල හිටපු කතුවරු පවා ඒ වෙලාවේ මේ පත්තරේට එන්න කැමැති වුණා. ජෝතිපාලයන්ගේ මරණයත් එක්ක ඩොක්ටර අමුණුගම ලියපු ලිපියත් නිසා ජනප්‍රිය සංස්කෘතිය කියන මතවාදය රටේ ඇති කළේ මේ පුවත්පත හරහා. මහාචාර්ය සරච්චන්ද්‍ර, රෙජී සිරිවර්ධන, සයිමන් නවගත්තේගම, අජිත් සමරනායක වගේ දැවැන්තයින් පවා මේ ගැන ජාතික පුවත්පත් හරහා සංවාදාත්මකව ලියුවා. ඒක ටැබ්ලොයිඩ් පත්තරේකින් කළ විප්ලවයක්.

    * එතකොට Fast ads බිහි වන්නේ කොතැනින් ද...

    1991 මං තව එක සාමාජිකයකුත් අරගෙන Fast ads අරඹනවා. වෙළෙඳ දැන්වීම් නිර්මාණය පමණයි. ඉක්මන් - ‍ෙව්ගවත් යන අර්ථය ඇතිවයි Fast නම යෙදුවේ. නොහිතපු තරමට මට වැඩ එනවා. සමාජ වටිනාකමක් වගේ ම වෘත්තීය ස්ථාවරත්වයක් ලැබෙනවා. ව්‍යාපාරය අතු ඉති දමනවා.

    * බොහෝ ප්‍රකාශකයින් කතා කරන‍්නෙ තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන්. ඔබත් එහෙමද...

    මාත් කලෙක පත්තරකාරයෙක්. ලේඛකයෙක්. ඒ නිසා මට මුදලාලි කෙනෙක් වගේ හිතන්න බැහැ. ලේඛකයෙක් පොතක් වෙනුවෙන් වෙන මහන්සිය මං දන්නවා. සියලු ප්‍රකාශකයින් ලේඛකයින් දෙස සාධාරණව බලනවා නම් හොඳයි. ඒත් මට කාටවත් බලකරන්න බැහැ. මොකද මේක ව්‍යාපාරික ක්ෂේත්‍රයක් නිසා. මං මට පුළුවන් උපරිමය කරනවා.

    * ඔබ කොයිතරම් ප්‍රමාණයක් කර්තෘභාගය ලෙස ලේඛකයාට ගෙවනවද...

    සම්මත සියයට දහයේ සිට, කෘතියේ වටිනාකම අනුව සියයට දොළහ - පහළොව දක්වා.

    * ඔබ සංවේදි මනුෂ්‍යයෙක් ද... දැඩි හදවතක් ඇති කෙනෙක් ද...

    සංවේදි වගේ ම මං බොහොම දරුණු මනුෂ්‍යයෙක්. මං මෙතැනට ආවේ හොඳ කට්ටක් කාලා. මේ හැම බිස්නස් එකක් එක්කම බැඳී තිබෙන්නේ මගේ ස්වෝත්සාහයෙන් ඉගෙනගත් ශිල්පයත්. කලාවත්. ඒ නිසා ඒ විෂය ගැන මං බිංදුවේ ඉඳන් දන්නවා. මාව අන්දන්න රවටන්න ආවොත් විෂයට - රස්සාවට වංචා කළොත් මං එතැනදි දරුණු මිනිහෙක්. ඒත් යහපත් සේවකයන් අරභයා මං බොහොම සංවේදී නායකයෙක්.

    * ඔබ හොඳ Boss කෙනෙක් ද... නැතිනම් හොඳ Leader කෙනෙක් ද...

    මං වැඩකරන කණ්ඩායමක සාමාජිකයෙක්. වෙලාවකට ඒ කණ්ඩායමේ නායකයා බව ඇත්ත. ඒත් මං සීත කාමරේකට වෙලා ඒක කරන්නෑ. මං ඉන්නෙ ඔවුන් එක්ක. එක්කො ප්‍රෙස් එකේ. එක්කො මැෂිමක් ළඟ. නැතිනම් ඔවුන් කරන නිර්මාණයක් ළඟ.

    * මොකක්ද ‍ඔබේ Business style එක...

    දැන්වීම් ප්‍රචාරණය වුවත් මුද්‍රණය වුවත් පොත් ප්‍රකාශනය වුණත් මං හොයන්නේ, වෙහෙසෙන්නේ ඉස්තරම් ම සහ කලාත්මකම දේ වෙනුවෙන්. මේක කීයකට විකුණගන්න පුළුවන්ද කියනවට වඩා මං හොයන්නෙ ඒ නිර්මාණයේ හෝ කෘතියේ හෝ මිනිසුන්ට විඳින්න - ගන්න තිබෙන දේ. ඒවා ඉබේ විකිණෙනවා. මට වෙළෙඳපොළ හැදෙනවා. ඒ නිසා මහා තියරි දාලා මාකට් එකක් හදාගන්න මං කවදාවත් වෙහෙසිලා නැහැ.

    * පාඩු ලබන - වැටෙන අවස්ථාවල ඔබ හිතන්නෙ මොනවද...

    මගේ ජීවිතේ පැරැදුණු - වැරැදුණු තැන් අනන්තයි. අප්‍රමාණයි. ඒ එකම අවස්ථාවකටත් මං ඒ මත්තෙ හැපුණෙ නැහැ. පීඩනයක් නැතුවා නෙවෙයි. නමුත් හැකි ඉක්මනින් ඒ තත්වෙන් ගොඩ එන විදිය බලනවා. ඊට වඩා වේගයෙන් වැඩ කරනවා හැර ඒ මත්තෙ හැපි හැපී ඉන්න සිරිත මගේ නැහැ. බැරිම නම් අතෑරලා දාලා හිත නිදහස් කර ගන්නවා. ඒක මට විශාල පහසුවක්. සැනසීමක්.

    * තීන්දු තීරණ ගනිද්දි ඔබ කොහොම කෙනෙක් ද...

    කාට වැරදුණත් කාට හරිගියත් කවුරු තරහ වුණත් මං ගන්නෙ මට ඕනෙ තීරණය. කාගෙවත් මූණු හොඳ කරන්න තීරණ ගන්න කෙනෙක් නෙවෙයි මම. මගේ හිතට සාධාරණව විතරයි මං වැඩ කරන්නේ.

    * කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

    මුලින් ම ගමේ ඉස්කෝලේ. තලංගම තලාහේන මහා විද්‍යාලයේ. ඊළඟට කොළඹ තර්ස්ටන් විදුහලේ. ගමේ ඉස්කෝලෙට යන ක‍ාලේ දැම්මෙ සෙරෙප්පු. නමුත් තර්ස්ටන් ආවට පස්සෙ ජීවිතේ පිළිවෙළ ඉගෙන ගත්තා. සාහිත්‍යය - කලාව විඳින්න ගත්තා. ඒක වෙනස් ම ලෝකයක්.

    * පුංචි කාලෙ ඔබ වඩා දක්ෂ වුණේ මොනවටද...

    හැම විෂයකට ම. අපේ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ම තමයි තාත්තට කිව්වෙ ‘මේ ළමයව හොඳ ඉස්කෝලෙකට දාන්න... අපරාදේ ගමේ තියන්න එපා!’ කියලා. එතුමා තමයි මං තුළ මොකක් හෝ හැකියාවක් මුලින් ම දැකපු කෙනා.

    * මොනවද ඔබට ඒ ළමා කාලයේ තිබුණු හීන...

    අම්මලා මාව තර්ස්ටන් දැම්මෙ හුඟක් බලාපො‍රොත්තු ඇතිව. මට තිබුණෙ ඒ ආසාවන් ඉෂ්ඨ කරන්න ඕනෙ කියන උවමනාව විතරයි. ඒත් වෙලාවකට මගේ හිතුවක්කාරකම සියල්ල පරදා නැඟී හිටිනවා. මං මට හිතුණු දේ කරනවා.

    * දෙමවුපියන්ගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...

    යුක්තිය ඉදිරියේ හිස නමන්නත් අයුක්තිය ඉදිරියේ නැඟී හිඳින්නත් මං ඉගෙන ගත්තෙ තාත්තගෙන්. සාහිත්‍යයට - චිත්‍රයට මං කුලුඳුලේ ආසා කළේ අම්මා නිසා. අම්මා හරි ලස්සනට චිත්‍ර ඇන්ඳා. කවි - කතා කිවුවා. ඇ‍ය ළඟට වෙලා මං ඒවා අනන්තවත් රස වින්ඳා. දරුවො හය දෙනාගෙන් ම මම තමයි අම්මගෙ හොඳම රසවතා වුණේ. ඒත් ලොකු පුතා විදියට අම්මා තාත්තා දෙන්න ම මගෙන් බලාපොරොත්තු වුණේ අනාගත වෛද්‍යවරයෙක්.

    * ඔබ, ඒ බලාපොරොත්තු ඉටු නොකළ පුතෙක්...

    විශ්ව විද්‍යාලෙ යන්න ලකුණු මදි වුණා ම දෙමවුපියන්ට අනුව මං ආපසු විභාගෙ කළ යුතු ම වුණා. ඒ වෙන‍කොට මං පත්තරවලට ලියලා නමක් හදාගෙන. ගෙදර දැඩි විරෝධය මැද්දෙ 1967, මං ‘ඇත්ත’ පත්තරේ වැඩට ගියා. ඊළඟට නවයුගය, මිහිර, තරුණි පත්තරවලත් වැඩ කළා. වෛද්‍යවරයෙක් නොවුණට මං පත්තරකාරයෙක් වුණේ සතුටින්. අන්තිමේ මගේ හිතුවක්කාරකමට අම්මලා නිහඬ වුණා.

    * තාත්තටත් ව්‍යාපාරයක් තිබුණා. ඒ ළමා කාලයේත් හිතේ හැටියට මුදල් ලැබුණ ද...

    පැන්සල දෙකට කඩලා ඒ කෑල්ලට පෑන් ක්ලිප් එකක් ගහපුවම ටිකක් ‍දිග වෙනවා. ඒකෙන් ලියලා කොට වුණාමයි අලුත් එකක් ලැබෙන්නේ. මම වගේ ම පවුලේ හැම ළමයෙකුට ම එහෙම පුරුදු කළේ නැතිකමටවත් ලෝබකමටවත් නෙවෙයි. අරපිරිමැස්ම උගන්වන්න. යමක වටිනාකම දැනෙන්න.

    * ‘හොඳ වැඩිහිටියො බිහිවෙන්නෙ ළමා කාලයේ වැටෙන පදනමින්...’ මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න.

    ගමේ ඉස්කෝලෙන් තර්ස්ටන් ආවම ඒ කොළඹ ළමයි එක්ක පෑහීමේ පොඩි මානසික ගැටලුවක් මට තිබුණා. මං Highlight වෙන්න උත්සාහ කළා. මං මගේ කලා හැකියාව පාවිච්චි කළා. මාව පන්තියට ම අත්‍යවශ්‍ය කෙනෙක් වුණා. චිත්‍ර අන්දවා ගන්න - ලස්සනට අකුරු ලියවා ගන්න... පෝස්ටර් අඳින්න හැමදේටම මාව ඕනෙ වුණා. කොටින්ම මං ‘වැඩකාරයෙක්’ වුණා. ජීවිතේට එන අභියෝග මං වින්දනයක් බවට හරවා ගන්න පුරුදු වුණේ එහෙමයි. අදත් මම අභියෝගවලට ප්‍රිය මේ නිසා.

    * ඒත් පත්තර ජීවිතෙත් ඔබ දිගට රැ‍‍ඳෙන්නෙ නැහැ...

    මං ඒ ජීවිතෙත් අතෑරලා ගුරු පත්වීමක් අරන් රත්නපුර සුමන බාලිකාවට ගියා. පීරියඩ් තුනකුත් ඉගැන්නුවා. ඈත කඳු මුඳුනක හුදෙකලා පාසලක්. හැන්දෑවෙද්දි ගුරුකමත් මට ඇතියි කියලා හිතුණා. ඒ හවස් යාමෙ ම බස් එකේ නැගලා ගෙදර ආවා. ගුරුකම එතැනින් හමාරයි. ගුරුකම නිසා යන්තම් හිත හදාගෙන හිටපු තාත්තා, මං ගැන දෙවැනි වතාවටත් කලකිරුණා.

    * ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් ද...

    ගුරුකමත් අතෑරලා ආවට පස්සෙ මට තාත්තගෙ බලාපොරොත්තු ගැන පළමු වතාවට මහ දුකක් ඇතිවුණා. දැන් නම් මොනවා ම හරි කරලා ජීවිතේ ගොඩදාගන්නවා කියලා හිතුවා. මට ලැබුණා සතොස ඇඩ්වර්ටයිසින් ආයතනයේ විශාල දැන්වීම් පුවරුවක් අඳින්න. ඒ තරම් ලොකු දැන්වීම් පුවරුවක් මං කවදාවත් ඇඳලා තිබුණෙ නැහැ. විශාල බිත්තියක් තරමෙ බෝඩ් එකත් ලොරියක පටවාගෙන මං යනවා, මේක තියන්නෙ කොහොද... කොහොමද වැඩේ පටන් ගන්නෙ කිසිම අදහසක් ඔළුවෙ නැහැ. වැල්ලම්පිටියෙ වෙලක් අද්දර මං බෝඩ් එක බා ගන්නවා. නොදන්නා පැත්තක්. මං අහල පහළ අය එක්ක හිතවත් වෙලා පලංචිත් ගහගෙන ඉටිකොළ කෑල්ලකින් වහල ආවරණය කරගෙන වැඩේට බහිනවා. තේ බෝතලෙයි - බනිස් ගෙඩි දෙක තුනකුයි අරන් පලංචියට නැග්ගම ඉර මුදුන් වෙනකල් මං ඒකෙ චිත්‍ර අඳිනවා. ආයෙ බහින්නෙ දවල්ට කන්න විතරයි. මාසයක් තිස්සෙ ඇඳපු මේ දැවැන්ත නාමපුවරුවට හොඳ ප්‍රතිචාර ලැබුණා. තව ඕඩර්ස් ලැබුණා. ඒ තමයි ලොකු මුදලක් අතට ආපු පළමුවැනි වැඩේ.

    * කැසට් කවර නිර්මාණ ඉතිහාසයේත් ඔබේ නම කියැවෙනවා...

    ලංකාවේ පළමු කැසට් පටය තමයි මිල්ටන් මල්ලවාරච්චිගේ ‘ස‍ඳෙන් එහා’. 1978 පළමු වතාවට මේ කැසට් එකට කවරයක් නිර්මාණය කළේ මම. ප්‍රින්ට් කළේ සිංගප්පූරුවේ. මොකද Colour Printing ලංකාවේ නොතිබුණු නිසා. එතැන් සිට තරංගා රෙකෝඩ් බාර් හරහා මගේ නම කැසට් කවරවල ලියැවෙනවා. මගේ නමට විශාල වාණිජ වටිනාකමක් එක් වෙනවා. බෝඩ් ඇඳපු, තොරණ් ඇඳපු අහුවෙන හැම දේම කරපු මං, කැසට් සහ චිත්‍රපට නාමාවලි ලෝකෙ කාර්ය බහුල ම පුද්ගලයෙක් වෙනවා.

    * දැන් ඔබේ වයස කීයද...

    67 යි. වැඩ කිරීමේදි සතුට මිස මට මහන්සියක් නැහැ. අනික මට වැඩ නොකර ටන්න බැහැ. මගේ ව්‍යාපාරය හා බැඳුණු සේවක සමූහයක් සිටිනවා. ඔවුන්ගේ ජීවිත බැඳී තිබෙන්නේ මා වටා. ඒ නිසා දැන් හම්බ කළා ඇතියි කියලා පැත්තට වෙලා ඉන්න මට බැහැ. මං දැන් මගේ සුඛවිහරණය සඳහා හම්බ කරන්නෙ නැහැ. ඒ යුගය මං පහුකරලා, මගේ ජීවත්වීමට වඩා, සේවක පිරිසගේ වගකීම කියන කාරණයයි මං දැන් හිතන්නේ.

    * ඔබට වැඩක් නොකරන - ඔබේ සේවකයන් නොවන පිරිසක් ඔබෙන් වැටුප් ලබන බව අසා තිබෙනවා...

    කලෙක මේ ක්ෂේත්‍රයේ විශාල පරාසයන්හි විහිදුණු පුද්ගලයෝ ඉන්නවා, අද බොහොම අසරණව. ඒ අයගේ ජීවිත කළමනාකරණය පිළිබඳව මං විමසන්න - හොයන්න යන්නෙ නැහැ. පුළුවන් තරමින් උදව්වක් - පදව්වක් කරනවා. එහෙම පුවත්පත් කලාවේදියෝ - කලාකරුවො පිරිසක් මං වටා ඉන්නවා.

    * ඔබ පසුකළ දුෂ්කරම කාලය මතකද...

    89 භීෂණ සමය. මගේ සියලු ව්‍යාපාර කඩා වැටිලා ගේ දොර විකුණලා මං හිටියේ කුලී ගේක. දරු දෙන්නෙක් ඉන්න තාත්තෙක්, ඒ වෙල‍ාවේ මරණය දොරකඩ. මං ජේවීපී උදව්කාරයෙක් විදියට හංවඩු ගහලා. මට හමුදාවෙන් වෙඩි තියන්න යනවා. රෝහණ විජේවීර ගෙනියපු තැන මාව තියලා ප්‍රශ්න කරනවා. මට බිරිය, දරුවො මතක් වෙනවා. මරණ බිය කොයිතරම්ද කියලා මට දැනෙනවා. කොකා ගස්සන්න ඔන්න මෙන්න තිබියදී මට යළි ජීවිතය ලැබෙනවා. ඒ තමයි මගේ ජීවිතේ ගෙවා දමපු අඳුරු ම යුගය.

    * ඔබ මේ රටට යමක් කළාය කියන්න පුළුවන් ද...

    මගේ දෙමවුපියන් අපේක්ෂා කළ දේට වඩා දුර ගිහින් මේ රටට රස්සා හදලා, මනුෂ්‍ය සන්තානය සතුටට පත්කරවන දැනුම හා වින්දනය ලබා දෙන ව්‍යාපාරයක් දක්වා මං මේ ගමන ඇවිත්. තනි පුද්ගලයෙක් විදියට මං සමාජෙට යම් බලපෑමක් - වටිනාකමක් එක්කළා කියලා හිතනවා.

    * මේ ව්‍යාපාරයේ අයිතිකරුවො කවුද...

    මාත් මගේ බිරියත් පමණයි. මගේ ලොකු දූ සරණි, වෛද්‍යවරියක්. ඈ මට යන්න බැරිවූ තැනට ගියා. පුතා අධ්‍යක්ෂවරයෙක් විදියට ව්‍යාපාරයට සම්බන්ධයි. බාලම දූ ඕස්ට්‍රේලියාවේ Deakin සරසවියේ අධිකරණ වෛද්‍ය විද්‍යාව හදාරනවා.

    * එතකෙට මේ Fast ads අනාගතය...

    මං අදින මේ බර අදින්න මගේ දරුවොවත් මහන්සි වෙන එකක් නැහැ. මගේ කාලපරිච්ඡේදය තුළ මං උපරිමය කරනවා. නමුත් අනාගතය පිළිබඳ මට ගැටලුවක් තිබෙනවා. ඒ සඳහා විකල්පයක් මං සොයමින් ඉන්නවා.

    * මොකක් ද ඔබේ Life Style එක...

    මං පාන්දර හතරට නැඟිටනවා. හය වෙද්දි ඔෆිස් එකේ. රෑ හය හත අට නෙවෙයි අවශ්‍ය වුණොත් දොළහ වෙනකල් වුණත් මං වැඩ කරනවා. මේ ආයතනයට මුලින් ම එන සේවකයත් මං. අන්තිමට යන සේවකයත් මං. අනික් සියලු දේ කරන්නෙ රස්සාවට ප්‍රමුඛත්වය දීලා.

    * ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම ආදර්ශය කුමක් ද...

    මං කියන්නෑ කාටවත් මාව ආදර්ශයට ගන්න කියලා. මොකද මං මුහුණ දීපු දුෂ්කරතා එක්ක කෙනෙක් ඒවට මුහුණ දෙයිද කියලත් හිතෙනවා. නමුත් ඔබ යම් අරමුණකට කැප වෙනවද අවංකව ම ඒ දේ කරන්න. ප්‍රතිඵල දකින තුරු අත් නොහරින්න.

    * ආගමත් එක්ක ඔබට තිබෙන බැඳීම කොහොම එකක් ද...

    මං පන්සල් බෞද්ධයෙක් නෙවෙයි. හැබැයි බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා.

    * ඔබ සාර්ථක සැමියෙක්... තාත්තෙක් කියලා හිතනවද...

    දරු තුන්දෙනෙක් හොඳින් සමාජගත කළ සතුට, තාත්තෙකුට විශාල ජයග්‍රහණයක්. ඒ අය බොහොම ආදරණීය දරුවෝ. ඒ වගේ ම මගේ රස්සාවේ මේ තරම් දුරක් මට එන්න ලැබෙන්නෙ නැහැ, සැනසිලිදායක බිරියක් මට නොහිටියා නම්. ඇය දුන් මානසික නිදහස නොවෙන්න මේ තරම් අතු ඉති දමපු ව්‍යාපාර මා අතින් බිහිවෙයිද... නර්මාණකරුවකුට ඉදිරියට යන්න සැහැල්ලු මනසක් තිබිය යුතුමයි. ඒ අතින් මං වාසනාවන්ත සැමියෙක්.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර