විකට ලොවේ රජ්ජුරුවෝ

විකට ලොවේ රජ්ජුරුවෝ

මන් හිතුව චරිත කථා ටික වෙන වෙනම දාන්න කියලා...ලොව දිනු ඔහු කියන ත්‍රෙඩ් එකම වෙන වෙනම දානවා


විශාල බුරුල් කලිසම, දිග කබාය, කළුපැහැති ඩර්බි තොප්පිය, බස්තම, කෙටි උඩුරැවුල, වම දකුණ මාරුකර දෙපයේ ලා ගත් අති විශාල පාවහන් යුවළ මේ සියල්ලෙන් සමන්විත වූ එක්තරා මිනිසෙක් විසුළු ගමනකින් දෙපසට අඩි තබමින් වේගයෙන් ඇවිද යනු සිනමා පට තුළින් හෝ රූපවාහිනී තිරය තුළින් හෝ පුංචි ඔබ දැක ඇති. ඔහු කවුද? විකට ලොවේ රජ්ජුරුවෝ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනු ලබන ඔහුගේ නම ඇසූ විගස ඔබගේ මුවගට සිනාවක් නැගේවි අනිවාර්යයෙන්ම. ඔහු තමයි ලෝ ප‍්‍රකට විකට නළු චාලි චැප්ලින්. ඔහු ඔහුගේ විකට රංගනවලින් මුළු ලෝකයම සිනාගැන්වූවත් ඔහු ගේ ළමා විය ගෙවී ගියේ බොහෝ දුක්බර සිදුවීම් මැද බව පුංචි ඔබ දන්නවා ද? අද අපි ඔහුගේ ළමාවියට ළංවී බලමු.
චාල්ස් ස්පෙන්සර් චැප්ලින් උපන්නේ 1889 අප්‍රේල් 16 දින රාතී‍්‍ර අටට එංගලන්තයේ වැල්වර්ත්හි දීය. ඔහුගේ මව හැනා චැප්ලින් වූ අතර පියා චාල්ස් ස්පෙන්සර් චැප්ලින් විය. කුඩා චාල්ස්ට සිඩ්නි නමින් වැඩිමහල් සොහොයුරෙක් ද විය.චාලි ඉපදී ටික කලකින් චැප්ලින් පවුල වැල්වර්ත් අත්හැර ලැම්බෙත් නගරයේ ශාන්ත ජෝර්ජ් පාරේ බටහිර චතුරස‍්‍රයේ පදිංචි වීමට ගියහ. චාලි ගේ මව හා පියා ගේ රැකියාව වූයේ වේදිකාවේ ගී ගැයීමයි.චාලි ට වයස අවුරුදු තුන හමාරේදී ඔහුට වඩා වසර හතරකින් වැඩිමහල් වූ සොයුරු සිඩ්නි කාසියක් මුවින් ගිලදමා හිසෙන් එය මතුකර ගන්නා ආකාරයෙ මැජික් සංදර්ශනයක් චාලිට රඟදක්වා පෙන්වූයේය. මෙයට ඇලුම් කළ කුඩා චාලි පැන්ස භාගයේ කාසියක් ගිල දැම්මේය. ඔහුගේ මව හනිකට වෛද්‍යවරයකු වෙත චාලිව ගෙන ගොස් කාසිය ඉවතට ගත්තාය. ඊට ටික දිනකට පසු මවගේ දිග සායෙන් වැසී තිබුණු පාදවල වළලුකර දැක චාලි ඇයගෙන් ඇසුවේ “අම්මා මට වඩා විශාල කාසියක් ගිල්ලා ද?” යන්නයි.වේදිකාවේ ගී ගයා පැමිණි සෑම රාති‍්‍රයකම මව සිඩ්නි සහ චාලි වෙනුවෙන් ප‍්‍රණීත රසකැවිලි මොනවා හෝ මේසය මත තැබීමට අමතක නොකළාය. ඒ නිසා සෑම උදයකම සිඩ්නිට සහ චාලිට කේක් හෝ සූකිරි දැක ගත හැකි විය. මව සතු වූ පැහැපත් සම, දම් පැහැයට හුරු නිල් පැහැති ඇස්, දුඹුරු පැහැති සැහැල්ලු දිගු කෙස් වැටිය නිසා සිඩ්නිට සහ චාලිට ඇය පෙනුණේ සුරංගනාවක මෙනි. බොහෝ ඉරිදා දිනවලදී සිඩ්නි සහ චාලිව අලංකාර ඇඳුම්වලින් සරසා ගෙන මව කෙනිංටන් පාර දිගේ විනෝද චාරිකා කැඳවාගෙන ගියාය.ලැම්බෙත්හි වාසය කරද්දී ඔවුහු අශ්ව රථවල නැගී ලිලැක් ගස්වලින් යුතු වීදිවල ගමන් කළහ. මේ රථවලදී දුන් රෝස, තැඹිලි, කොළ සහ නිල් පැහැති ටිකට්පත් කුඩා චාලිගේ සිත ගත්තේය.වික්ටෝරියා වීදියේ තිබූ රාජකීය විනෝද ශාලාවට ද මව චාලිව ගෙන ගියාය. ඔවුහු පියාගේ ගායනා සංදර්ශන නැරඹීම සඳහා කැන්ටබරි සංගීත ශාලාවට ද ගියහ.
පී‍්‍රතියෙන් සිනාවෙන් පිරී තිබුණු චාලිගේ ජීවිතය අඳුරු වූයේ මව හා පියා නීතියෙන් වෙන් වූ පසුවය. ඉන්පසු මවට තනිවම චාලි සහ සිඩ්නි රැකබලා ගැනීමට සිදුවිය. මව ගී ගයා සෙවූ මුදල් ඔවුන්ගේ ජිවිත ගැටගසා ගැනීමට ප‍්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා කුඩා චාලිට දුක්බර ළමා වියක් ගෙවන්නට සිදුවිය. කුඩා චාලි පළමු වරට වේදිකාවට ගොඩ වූයේ මවට උදව් කිරීම සඳහාය. දිනක වේදිකාවේ ගී ගයමින් සිටි මවගේ උගුරේ ආබාධයක් හටගෙන කටහඬ දුර්වල විය. හනිකට වේදිකාවට ගොඩවූ චාලි එවකට ඉතා ජනපි‍්‍රය ගීයක් ගායනා කළේය.විවිධ ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවූ නිසා මව ශාරීරිකව සහ මානසිකව රෝගී වූවාය. ඇය මානසික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නට වූ නිසා කුඩා චාලි සහ සිඩ්නි අසරණ වූහ. ඔවුන්ට අනාථ නිවාස වල වාසය කරන්නට සිදු විය. පස් හැවිදිරි චාලි හරිහැටි ආවරණයක් නොමැති එළිමහන් අනාථ කඳවුරක ඇතැම් ශීතල රාතී‍්‍රන් ගත කළේ ඉතා දුක්බර ලෙසිනි. ඔවුහු ලැම්බෙත්හි අනාථ මඩමක ද විසූහ. පසුව ඔවුහු හයිගේට් හි අනාථ මඩමක පාසලක අධ්‍යාපනය ද ලැබූහ. එහිදී එක් නත්තලකට චාලිට තෑගි ලෙස ලැබුණු දොඩම් ගෙඩි දෙකක් සහ රසකැවිලි මල්ලක් ඔහු එහි සිටි යහළුවන් සමඟ බෙදා ගත්තේය. නමුත් යහළුවන් ඔහුට ඔවුන්ගේ රසකැවිලි බෙදා දුන්නේ නැත. කුඩා චාලිගේ කුඩා සිත එයින් බෙහෙවින් රිදුණේය. පසු කලෙක විකට නළුවෙකු ලෙස ජනපි‍්‍රය වූ පසු ඔහු එම අනාථ මඩමට චලන චිත‍්‍රපට නැරඹිය හැකි යන්ත‍්‍රයක සහ පලතුරු ද රස කැවිලි ද පරිත්‍යාග කළේය.
මව අසනීප වී සිටි කාලයේදී චාලිට සහ සිඩ්නිට ලන්ඩන් නගරයේ වීදිවල නිදාගැනීමට ද කුණු බක්කි අවුස්සා ආහාර සොයා ගැනීමට ද සිදු විය.අනාථ මඩම් කිහිපයකම ජීවත් වූ චාලි සහ සිඩ්නි ඒවායේ තිබූ පාසල්වල ද අධ්‍යාපනය ලැබූහ. පසුව ඔවුහු අනාථ ළමයින් සඳහා පිහිටුවා තිබූ හැන්වෙල් පාසලේ අධ්‍යාපනය ලැබූහ. ඔහු කෙනිංටන් හි පාසලක ද අධ්‍යාපනය ලැබුවේය.කුඩා චාලිට පියා පිළිබඳව ඇත්තේ සුළු මතකයකි. ඒ ඔහුට පියා සමඟ ජීවත්වීමට ඉඩ ලැබුණේ ඉතා කෙටි කාලයක් බැවිනි. චාලි කුඩා වියේදීම ඔහුගේ පියා අකාලේ මිය ගියේය.චාලි අවුරුදු 8 දී ලී සෙරෙප්පු දමා කරන නැටුමක් (CLOG DANCING) පළමු වරට වේදිකාවේ ඉදිරිපත් කළේය.ඉතා දුෂ්කර ළමා වියක් ගෙවමින් ජීවිතය පවත්වාගෙන ආ චාලි සහ සිඩ්නි ගේ ජීවිතවලට නැවත ආලෝකය උදා වූයේ සිඩ්නි නැවක සේවය කිරීම සඳහා පිටත් වූ පසුවයි. සොයුරා ගේ මඟ පෙන්වීම යටතේ චාලිට වයස අවුරුදු 24 දී නළුවෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කිරීමට හැකි විය. ඇමරිකා එක්සත් ජනපදයට ගිය ඔහු හොලිවුඩ් සිනමාවට එක්වී හාස්‍යෝත්පාදක රංගනයේ මුදුන් පෙත්තටම යාමට සමත් විය. සිය ජීවිතයේ කඳුළු පිස දමා සිනාසීමට ඔහු උගත්තේය. ඔහු සිනාව ගැන අපූරු කියමනක් ද පවසා තිබේ. “සිනහව වූ කලී වේදනාව නිවාලමින් සහනය ගෙන දෙන මහඟු ඖෂධයකි”


කතෘ අයිතිය --- හර්ෂණී ගමගේ

උපුටගැනීම--http://www.danuma.lk

:):)
අනාථයෙකුව ඉපදුණු කුඩා දරුවෙක් හිටියා. ඔහු ඔහුගේ ළමා කාලය ගතකළේ මහ මග. අනුන්ගේ කඩපිල්වල. තරුණ වියට පත්වෙද්දී ඔහු ‍රැකියාව විදිහට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුවා. ඒ දවසට පවුම් 2 හොයාගන්න. එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයම ඔහු වෙනුවෙන් හැඩුවා. ඔහුගේ නම චාලි චැප්ලීන්
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    GaPuTLx.gif