විදුලි පුටුව.......

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    electric-chair.jpg

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත දේශපාලනයට අතිශයින් ම වැදගත් තීරණාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ. එනම්; ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට කිසිසේත් ම ඉඩ නො දෙන බව ය. වික්‍රමසිංහ මහතා මේ ප්‍රකාශය සිදු කරන්නේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ තවත් සැසියක් අත ළඟ තබාගෙන ය. ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද, එහි වරදකරුවන් අන්තර්ජාතික යුද අධිකරණයක් වෙත කැඳවිය යුතු යැයි ද කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ය. මේ ක්‍රියාවලිය සඳහා බරපතළ බලපෑමක් සිදු කළේ අමෙරිකාව ය.

    අන්තර්ජාතික යුද අධිකරණය, අන්තර්ජාතික පරීක්ෂණ හා විදුලි පුටුව ගැන විවිධ ප්‍රබන්ධ අසන්නට ලැබුණේ ගිය ආණ්ඩුව සමයේ ය. එම ආයතන එකල දේශපාලන වශයෙන් අලෙවි වූ බවක් පෙනෙන්නට තිබිණි. එම සිදුවීම්වල හා ප්‍රබන්ධවල යටි අර්ථය වූයේ ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළ යුද වීරයා වූ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ආකර්ෂණයක් හා අනුකම්පාවක් දිනාගැනීම යැයි සිතිය හැකි ය.

    එහෙත් ඇත්ත කතාව ඊට වඩා වෙනස් ය. යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවසරය ලබා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ය. එම අවසරය හා එකඟතාව ලබාදී ඇත්තේ 2009 දී ය.

    කිසියම් රාජ්‍යයක සිදුවන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි මානව හිමිකම් කොමිසම කියා සිටි‍න්නේ එම රාජ්‍යයෙහි අධිකරණය පිළිබඳ විශ්වාසය කඩ වී නීතියේ ආධිපත්‍යය ගිලිහී ගිය අවස්ථාවක ය. මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ අධිකරණයේ ස්වාධීනතාව පිරිහුණු බව ද, නීතියේ ආධිපත්‍යය ගිලිහී ගිය බව ද පිළිගත් පොදු සාධකයක් බවට පත්ව තිබේ. ඒ අනුව මානව හිමිකම් කොමිසමේ නිර්දේශය නිවැරැදි යැයි සිතිය හැකි ය. එහෙත් මේ තීරණය නිවැරැදි කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තිබිණි. එය නිවැරැදි කරනු වෙනුවට මානව හිමිකම් කොමිසම සමඟ ගැටුම් ඇති කරගන්නා තැනකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තල්ලු විය.

    අන්තර්ජාතික පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කළ හැකි නෛතික ප්‍රතිපාදනයක් ද ශ්‍රී ලංකාව සතුවේ. එනම්; රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව එකඟතාවක් දක්වා නැතිවීම ය. රෝම ප්‍රඥප්තිය 1998 දී ඉතාලියේදී අස්සන් තබන ලද අතර එම සමුළුවට රටවල් 160ක් සහභාගී වූහ. සමුළුවේ අරමුණ වූයේ එකිනෙක රටවල සිදුවන බරපතළ යුද අපරාධ ගැන සාකච්ඡා කිරීම ය. මේ අනුව ප්‍රඥප්තිය සකස් වූ අතර සිදුවන බරපතළ යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණ පැවැත්වීමට එකඟතාව පළ කැරිණි. එහෙත් ශ්‍රී ලංකාව, අමෙරිකාව හා ඊශ්‍රායලය මේ සම්මුතියට අස්සන් තැබුවේ නැත. ඒ අනුව අන්තර්ජාතික පරීක්ෂණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කළ හැකි බලපෑම අවම වේ.

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එක්කෝ මේ තත්ත්වය නිවැරැදිව වටහාගත්තේ නැත. නැතහොත් එම නෛතික ප්‍රතිපාදනය මුළුමනින් ම නොසලකා හැර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා “ද හින්දු” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදාළ පසුබිම නිවැරැදි ලෙස විග්‍රහ කරයි. සිදුවූවා යැයි කියන ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නොවන්නේ මන්දැ’යි තාර්කික ලෙස පෙන්වාදීමට අගමැතිවරයා උත්සුක වෙයි. පළමු තර්කය වන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය පිහිට වූ හා අධිකරණයේ ස්වාධීනතාව තහවුරු කළ රාජ්‍යයක් බවට පත්ව තිබීම ය. දෙවන තර්කය වන්නේ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවේ එකඟතාවක් නොමැති වීම ය.

    ලෝකයේ කිසිඳු රාජ්‍යයකට හුදෙකලා දූපතක් ලෙස පැවැතීමේ හැකියාවක් දැන් නැත. අන්තර්ජාතික සංවිධාන අතිශයින් ම බලවත් ය. ඒවා ලෝකයේ සෑම මුල්ලක ම සිදුවන ක්‍රියාකාරකම් දෙස අවදියෙන් බලා සිටී. මේ හැරෙන්නට බලවත් රාජ්‍යයෝ දේශපාලනික හා ආර්ථික වශයෙන් සෑම රටකට ම බලපෑම් කරති. මේ දේශපාලන යථාර්ථයෙන් පිට පැන කටයුතු කිරීම යනු විනාශයට අත වැනීමකි. ඉරාකය, ලිබියාව, සිරියාව වැනි රටවල් දෙස බලනවිට ඉහත තත්ත්වය හොඳින් වටහාගත හැකි ය. දූපත් මානසිකත්වයකින් යුතුව රාජ්‍ය පාලනයෙහි නිරත වන නායකයෝ ඉතා ඉක්මනින් ම තමන්ගේ රටවල් විනාශ කර ගනිති. රාජ්‍ය පාලනය යුද්ධ කිරීමටත් වඩා දුෂ්කර බව මෙයින් පෙනී යනු ඇත.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පසුගිය කාලය පුරාවට ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇත්තේ සතුරු ආකල්පයකින් යැයි කීම යුක්තිසහගත ය. ඊට හේතු ගණනාවක් තිබේ. එක; එදා ශ්‍රී ලංකාවේ පැවැති පාලන තන්ත්‍රය කෙරෙහි කිසිදු විශ්වාසයක් ජාත්‍යන්තර ප්‍රජාව තුළ නො තිබිණි. දෙක; පසුගිය කාලය තුළ දිගින්-දිගට ම ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය විය. යුද ජයග්‍රහණයෙන් පසුව ද මනුෂ්‍ය ඝාතන හා අතුරුදහන්වීම් සිදුවිය. තුන; ශ්‍රී ලංකාවේ අධිකරණය කෙරෙහි පූර්ණ විශ්වාසයක් ජගත් ආයතනවලට හා බලවත් රටවලට නො තිබිණි. හතර; එවක ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ මෙන් ම බලයලත් පුද්ගලයන්ගේ ද දේශපාලන හැසිරීම අතිශය හිතුවක්කාරී එකක් බවට පත්ව තිබිණි. කොටින්ම එදා ශ්‍රී ලංකාව තුළ පැවැතියේ ඒකාධිපති හා ප්‍රචණ්ඩ පාලන විලාසයකි.

    ශ්‍රී ලංකාව මේ පසුගාමී තත්ත්වයෙන් ගොඩනැගීමට නම්; පළමුව නායකයන් නිවැරැදි විය යුතු ය. ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන අවංක නායකයන් බවට පත්විය යුතු ය. වර්ගවාදය හා ආගම්වාදය සිය දේශපාලන අවිය ලෙස යොදාගන්නා කිසිවකුට මේ රටේ ප්‍රධාන ගැටලු විසැඳිය නො හැකි ය. අපේ ප්‍රධාන ගැටලුව වන්නේ වාර්ගික අර්බුදය යි. එය විසැඳීමකින් තොරව රට අඟලකින් හෝ ඉදිරියට ගෙන යා නො හැකි ය. මේ ගැටලුවෙහි යථාර්ථය හොඳින් වටහාගත් නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැඳින්විය හැකි ය. මේ වනවිටත් කාලය නාස්ති වී ඇතැ’යි කියන වික්‍රමසිංහ මහතා වැඩිකල් නොයාම පිළිගත හැකි දේශපාලන විසැඳුමක් කරා යනු ඇත. එවිට මහින්ද රාජපක්ෂ වැනි අයට විදුලි පුටුව විකිණීමට අවස්ථාවක් නො ලැබෙනු ඇත.
     

    Similar threads