විවාහ පොරොන්දු දී කාන්තාවන් රැවටූ නැට්ටුවා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පුවත්පත් දැන්වීමක් හරහා මංගල යෝජනාවක් පළ කොට, ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යමින්, කාන්තාවන් රවටා, ඉතා සූක්ෂමව ඔවුන් සතු රන් ආභරණ, මුදල් හා දේපළ ලබාගෙන, පලාගොස්, සැඟව සිටීමට පුරුදුව සිටි නර්තන ශිල්පියකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.කාන්තාවන් රවටා ලබාගෙන, උකස් කර තිබූ රුපියල් එක්ලක්ෂ දසදහසක් වටිනා රන් භාණ්ඩ තොගයක් හා යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. හෝමාගම පොලිස් වසමේ කාන්තාවන් දෙදෙනකු විවාහ කරගන්නා බවට පොරොන්දු වී, ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ හයකට ආසන්න රන් භාණ්ඩ, මුදල් හා දේපළ ලබාගෙන, යළි නොපැමිණි තැනැත්තකු පිළිබඳ පැමිණිලි දෙකක් හෝමාගම පොලීසියට පසුගියදා ලැබී තිබුණි.



    සිද්ධියට සම්බන්ධ බවට සැක කරන තැනැත්තා මොරගහහේන බස් නැවැතුම්පොළ අසල රැඳී සිටින බවට හෝමාගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකරන් මහතාට තොරතුරක් ලැබී තිබුණි. හෝමාගම හා මොරගහහේන පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී යතුරු පැදියක යමින් සිටි තැනැත්තකු අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කිරීමේදී ඔහු හොරණ, මහරගම හා හෝමාගම පොලිස් වසමේ ස්ථාන දෙකක් ඇතුළු ස්ථාන හතරක කාන්තාවන් විවාහ කරගන්නා බවට බොරු පොරොන්දු දී, ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ පහළොවකට අධික රන් භාණ්ඩ, මුදල් හා දේපළ ලබාගෙන, පලා ගොස්, සැගව සිටි බවට තොරතුරු අනාවරණය වී තිබුණි.



    පැල්මඩුල්ල ප්‍රදේශයේ කාන්තාවක විදේශගතව සිට පැමිණි අවස්ථාවේදී ඇයව හොරණ ප්‍රදේශයට කැඳවාගෙනවිත්, ඇය සන්තකයේ තිබූ රූපලාවණ්‍ය කට්ටලයක්, දුම්වැටි පැකට් 120ක්, ඩිනාර් 200ක් හා ටොෆී චොකලට් තොගයක් ද, මොරටුව ප්‍රදේශයේ කාන්තාවකගෙන් රන් මාලයක් හා පෙන්ඩනයක් ද, හෝමාගම ප්‍රදේශයේ එක් කාන්තාවකගෙන් රන් මාලයක්, අත් පලඳනාවක්, පෙන්ඩනයක්, කරාබු යුගලක් ද, අනිත් කාන්තාවගෙන් රන් මාල දෙකක් හා අත් පලඳනාවක් ද ලබා ගෙන මෙසේ පලා ගොස් තිබුණි.

    සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි, දෙදරු පියකු වන අතර, ඔහු හෝමාගම කජුගහදෙණිය ප්‍රදේශයට මීට මාස 9කට පමණ පෙර පැමිණ, කුලී නිවෙසක හිඳිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සැකකරු මෙම ජාවාරම 2021 වසරේ සිට සිදු කරගෙන ගොස් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රැවැටීමට ලක් වූ කාන්තාවන් වෙතොත් ඉදිරි විමර්ශන සඳහා දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම පොලිස් නිවේදන යවා ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
     
    • Haha
    Reactions: Smartm