විවිධ වෙසින් ආ ආදරය

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    විවිධ වෙසින් ආ ආදරය

    1985 ජනවාරි මාසය තුළ පමණක් ලද විවිධ අත්දැකීම් ආදරයේ විවිධාකාර ප‍්‍රකාශයට පත්වීම් ලෙස හැෙඟ්. මනුෂ්‍යයන් තුළ ස්වභාවයෙන් ම දසාව ආදරය නොමඳව තිබේ. අවස්ථාව ලද සැණින් එය ප‍්‍රකාශයට පත් වෙයි. 1985 ජනවාරි 05 වන සෙනසුරාදා මා ගිය බස්රියට කුඩා දැරියක වඩා ගත් පියෙක් ගොඩ විය. බස්රිය සෙනඟින් පිරී තිබූ අතර කෙනෙකෙුට නැගිට ඉඩ දෙන්නටවත් හැකියාවක් නොවීය. සිටගෙන සිටි මම, දැරිය වඩාගෙන මට සමීප අසුනක හිඳ හුන් තරුණ කාන්තාවකගේ අතට ඇය දුනිමි. ඈ ඒ සිඟිති දැරිය දෝතින් ම උකුලට ගත්තේ ඉමහත් ආදරයෙනි. ආදරය යනු සැඟවිය හැකි දෙයක් නොවේ. බොහෝ විට හදවතේ ඇති එම හැඟීම මුහුණින් පවා ප‍්‍රකාශයට පත්වන බැවිණි.
    ”ආදරය” යන වචනය සැදෙන්නේ ”වෙතට”, ”පෙරළා” ”තෙක්” යන අර්ථ දෙන ”ආ” යන අව්‍ය පදය මුලින් යෙදී තැකීම, සැලකීම, ගෞරව කිරීම යන අර්ත දෙන ”දෘ” ධාතුවෙනි. මේ අනුව ”ආදරය” යනු යම් කෙනෙකු හෝ දෙයක් භෞතික වශයෙන් වේවා මානසික වශයෙන් වේවා තමා වෙත සමීප කොට ගෙන තැකීමයි, සැලකීමයි, ගෞරව කිරීමයි. ඒ ආදරය අප අසහනයට අපහසුවට පත් නොකරයි. එහෙත් ආදරය යැයි අප සිතා සිටින දෙය නම් වරෙක බන්ධනයක් ද විය හැකිය.
    1985 ජනවාරි 15 වන දින විදුදය සරසවි බිමේදී එවක සමකාලීන සරසවි මිතුරන් ව සිටි පූජ්‍ය යතිරතන හිමි, පූජ්‍ය මහින්ද හිමි, වෙලගේ, ඔලිවර්, සුදර්ශී, බිම්බා සමඟ ”ආදරය’ ගැන කතා කළෙමි. ඒ අවස්ථාවේ සුදර්ශී සොයුරිය මෙසේ පැසුවා ය.
    ”වඩාත් සමීප ව කෙනෙක් ඇසුරු කරන එක වෙලාවකට හරි හිරිහැරයක්. එතකොට නිතරම ඔලූවට එන්නෙ ඒක. කිසිම දෙයකට වැඩි බැඳීමක් නැතිව හිටියම කිසි කරදරයක් නැහැ.”
    සුදර්ශීගේ මේ ප‍්‍රකාශය බැඳීමෙන් තොර පිරිසිදු ආදරයක් පිළිබඳ ව වන පාඩමකි.
    1985 ජනවාරි 18 වන සිකුරාදා රුවන්, සිරිල් හා බිම්බා යන මිතුරු මිතුරියන් සමඟ පිළිසඳරෙහි යෙදෙමින් දවස ගත කළෙමි. එදින රුවන් මෙසේ පැවසීය.
    ”අපි ජීවත් ව සිටින තුරු සුහද ව ඇසුරු කරමු.”
    එහෙත් ඔහුගේ මේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන් ම සත්‍යයක් වූයේ නැත. ඇතැම් සුහදතා අතරමඟ බිඳ වැටිණි. රුවන්ගේ ප‍්‍රකාශයෙන් මා උගත් පාඩම වන්නේ ජීවිතයේ එක් අවස්ථාවක ඉමහත් හැඟීමකින් කරන ප‍්‍රකාශය වුව යථාර්ථයක් නොවීමට ඉඩ ඇති බවයි.
    ඒ කෙසේ වෙතත් ”විවිධ වෙසින් ආ ආදරය” ගැන ලියැවෙන මෙම සටහන අවසන් කිරීමට මවිසින් තෝරා ගනු ලබන්නේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමන් විසින් 1985 ජනවාරි 30 වන දින කරන ලද ප‍්‍රකාශයකි. ඒ වූ කලී ආදරය පිළිබඳ සුවිශිෂ්ඨ පාඩමකි.
    ”කෙනෙක් සමඟ අමනාප වෙනව යි කියන්නේ ඒ තැනැත්තා ව හිස මත තබා ගැනීමක්. ඇලීම මෙහි තවත් මුහුණුවරක්. එහෙත් කෙනෙක් ගැන ඇති වන දැඩි ආදරය මින් වෙනස් විය හැකියි. ඒ තැනත්තා හෝ තැනැත්තිය ආරක්‍ෂා කිරීමේ හැඟීම කෙනෙකු තුළ ඇතිවිය හැකි දෙයක්. එතැන ඇත්තේ ආත්මාර්ථය නොවේ. ආදරයයි.”
    ආචාර්ය සමන් චන්ද්‍ර රනසිංහ සිය දින සටහන් ඇසුරින් ලියන ලද ‘පාඩම් පොත’ කෘතියෙන් උපුටා ගන්න ලදී. එය 2010 දී ප‍්‍රකාශයට පත් වූවකි.

    http://www.idakada.org/2009-11-11-06-32-34/135-2011-01-18-05-40-01.html