වේයන්ගොඩ පැත්තෙ ඉදල කොළඹ වැඩට එන හාදයෙක් සීසන් ගන්න පරක්කු වෙන හින්ද එදාට විතරක් යන්න ටිකට් එකක් ගන්න පෝලිමේ හිටියා. පෝලිමේ වැඩිය හිටියෙ නැහැ සීයක් නැත්නම් ඊට ටිකක් වැඩියෙන් ඉන්න ඇති. මේ අතරෙ ඒ ගැන් එකේ තවත් හාදයෙක් ආවා. යාලුවා ඈතින් පෝලිමේ ටිකක් ඉස්සරහට වෙන්න ඉන්නවා. තමන්ට පෝලිමේ ඉදල ටිකට් ගන්න ගියොත් නම් කෝච්චිය මිස් වෙනවා. තවත් අය පෝලිමේ ඉන්න නිසා යාලුවා ළගට ගිහින් සල්ලි දෙන්නත් බෑ. කෑගහල කියන්නත් බෑ. මිනිහ මොකද කරේ ඇගට පතට නොදැනී වගේ පොඩි ‘ ..ෂූ ෂූ..පාරක් ‘දැම්මා. යාලුවා හැරිලා බැලුවා. ඇඟිල්ලක් උස්සලා තමන්ටත් ටිකට් එකක් ගන්න කියලා තමන්වත් පෙන්වලා පොඩි සිග්නල් එකක් දීල ස්ටේෂන් එක ඇතුළට යන බවත් සිග්නල් එකෙන්ම කිව්වා. කෝච්චිය එන්න ඔන්න මෙන්න දෙන්නම ඇවිත් වෙනද යන පෙට්ටියට නැංගා. සෙට් එකම ඉන්නවා ගෑනු පිරිමි බේදයක් නැහැ කයිය ගහ ගහ ගෙනාපු කෑම බීමත් බෙදා ගෙන කාලා කට්ටියෙ කොළඹ බලා ගියා. රාගමදි කෝච්චියට චෙකර්ලා පැන්නා.
‘උඹ මටත් ටිකට් එකක් ගත්ත නේද?‘ සිග්නල් දීපු යාලුවට දැනුයි ටිකට් මතක් වුණේ.
‘නැ මං ගත්තෙ මට විතරයි‘
‘ඇයි මං උඹට කිව්වෙ මටත් එකක් ගන්න කියල‘
‘මම කොහොමද දන්නෙ උඹ ඔළුව වනල ඇඟිල්ලක් දික් කරලා ඇතුළට ගියා. මම හිතුවෙ ටිකට් එකක් අරගෙන ඇතුළට එන්න කියල මට කිව්වයි කියලා‘
කට්ටියම කලබල වුණා. දැන් කොහොමද මේ හාදයව බේර ගන්නෙ. වෙන කරන්න දෙයක් නෑ. දෙපැත්තෙන්ම චෙකර්ල එන නිසා සීට් එක යටටවත් රිංගවමු. ඒත් මේ මකුළු දැල් ජරාව අස්සෙ. කරන්න දෙයක් නෑ. දඩ කන්න වුණොත් ඒ වගේද?
ලේඩීස්ලගෙ කෑම පාර්සල්වල තිබුණු බ්‍රව්‍රන් පේපර් උරයි අන මනං එකතු කරල මැන්ව සීට් එක යටට දැම්මා. ඒත් පස්ස පැත්ත එළියෙ ලේඩීස්ල දෙන්නෙකුගෙ සාරිවල පිහිටෙන් යාන්තං වැඩේ ෂේප් කර ගත්තා.
‘ටිකට් ප්ලීස්, ටිකට් ප්ලීස්‘
හැමෝම ටිකට් පෙන්නුවා. අර පෝලිමේ හිටපු හාදය ටිකට් දෙකක් දුන්නා.
‘දෙකක්.. අනික කාගෙද?
‘ ආ.. ඒක මගේ යාලුවගේ‘
‘කෝ එයා‘
‘අර ඉන්නෙ සීට් එක යට‘
‘හ්ඈ...ඒ මොකද එහෙම යන්නෙ‘ ටිකට් පරීක්ෂකවරයා කට ඇරගෙන ඇහුවා.
‘ආ.. එයා එහෙම තමයි කෝච්චියෙ යන්න කැමැති‘
සීට් එක යටින් එළියට ආපු හාදය ගෑනු ඉන්නව කියල බැලුවෙ නෑ දන්න පාලි සංස්කෘත භාෂාව සේරම පාවිච්චි කරා. ඒකත් අමතක නොවෙන කෝච්චි කතාවක් තමයි.