ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ගසයි 💣💣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය
    මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම දිවිදුන් ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබූ...රණසිංහ ප්‍රේමදාස තුවාල ලැබූ 1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය

    පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනව නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දිත් තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරල තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෑ ඕන දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ.

    ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීප දෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා.

    බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුණා. මේ පරික්ෂණවලින් අවසානයේ හෙළිදරවු කර ගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා අජිත් කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා.

    අජිත් කුමාර ගැන පරික්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳල අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා.

    මේ භීෂණකාරි තත්ත්වය තුළ වුණත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ.
    -----------------------------------------
    කැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම



    සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු ශ්‍රී ලංකාව වෙනුවට, 1987 වසර වනවිට ඉන්දියානු හා ජේ.ආර්. ජයවර්ධන විරෝධයෙන් ගිනියම් වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. 1987 ජූලි මස 29 දා එවකට ශ්‍රී ලංකා ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේය. ජේ.ආර්. ජයවර්ධනට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට සිදු වූයේද දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජයවර්ධන පාලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය ලවා වෙඩි තැබීමෙනි. මෙම ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් ලෙසත්, ජයවර්ධන ජනාධිපතිවරයා මවුබිමට ද්‍රෝහී වූවකු ලෙසත්, ඉන්දියානු හමුදාව ආක්‍රමණික හමුදාවක් ලෙසත්, හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය.

    ඉන්දු - ලංකා ගිවිසුම මඟින් ජයවර්ධන ආණ්ඩුව 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ව්‍යුහය එක් කරන ලදි. ගිවිසුම අත්සන් කරන දින ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද එය නොසලකා දස දහස් ගණනින් ජනතාව රට පුරා පෙළපාලි පවත්වමින්, මහාමාර්ග වසා දමමින් විරෝධතාවය පළ කළහ. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මවුබිමේ ස්වාධීනත්වය ආරක්‍ෂා කොට තහවුරු කිරීම අරමුණු කර සිය අරගලය පෙරට ගෙන යන ලදි. ගුරුවරුන්, ශිෂ්‍යයන්, ලිපිකරුවන්, වෙළඳුන් හා භික්ෂූන් වහන්සේලා එකතුකොටගෙන සිය අරගලය දියත් කරන ලදි. රට පුරා කැරලි කෝලාහල ඇතිවු අතර ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. තවද රට පුරා ඈත ගම් නගර සෑම එකකම පාහේ මිනිසුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ඒ අයුරින් මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතවම කීමට නොහැකි නමුත් ඒවා පිළිබඳව විවිධ සත්‍ය වාර්තා ප්‍රකාශයට පත් වූයේය. මේ අතර ඉන්දු ලංකා ගිවිසුමෙන් කෝපයට පත්වු පිරිසක් එවකට එක්සත් ජාතික පක්‍ෂයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතාට 1987 ජූලි මස විසිවනදාට නුදුරු දිනකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. තත්ත්වය මෙසේ තිබියදී පාර්ලිමේන්තුව 1987 අගෝස්තු මස 18 වැනිදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩු පක්‍ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක් ජූලි මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    උද්ඝෝෂණ ක්ෂේත්‍රයේ ද බහු ජන ක්ෂේත්‍රයේ ද සහ සන්නද්ධ ක්ෂේත්‍රයේ ද ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්‍රබලතම සිදුවීම වූයේ 1987 අගෝස්තු 18 දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාරක සභා ශාලාවක පැවති ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ ප්‍රහාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළත් ඔහු ගැලවී ලලිත් ඇතුලත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය.

    එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40 ට ඇරඹි අතර, සහභාගි වූයේ 120 දෙනෙකු පමණි. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබුණි. ඝාතතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස විරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණි. මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් කතාබහ කිරීමට නියමිතව තිබුණේ ජේ.ආර්. ජයවර්ධන හා රජිව් ගාන්ධි අත්සන් තැබු ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව රටේ උද්ගතව ඇති තත්වයන් සමාලෝචනය කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි අතර, මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම යන මහත්වරු රැඳී සිටියහ.

    ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසල වැටී ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර, ඒ සමඟම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමති කීර්ති අබේවික්‍රම මහතා අසලදී පුපුරා ගියේය. එම අවස්ථාවේදී “අපි ඉවරයි හැම තැනම බෝම්බ බිම දිගාවෙයල්ලා” මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රීවරුන් එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දරන ලදි. ඒ වන විට මූලාසනයේ සිටි ජනාධිපතිවරයාත්, ඒ සමඟ සිටි අගමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ක්‍රීඩා ඇමති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි. ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස මහතාය. පිපිරීම් හඬ නැවතුණ අතර, සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරවමින් සියල්ල සුනු විසුනු කරමින් ශාලාව දුම්වළාවක් බවට පත්ව තිබුණි. කළු දුමාරයෙන් වැසීගොස් තිබුණු ශාලාව තුළ පැවති අඳුරු පැහැය ක්‍රමයෙන් ඉවත් වුණ අතර, මේසය යටට රිංගාගෙන සිටි මැති ඇමතිවරු බිම දිගේ බඩගාගෙන ශාලාවෙන් පිටතට පැමිණියහ.
     
    Last edited:
    • Like
    Reactions: VASSA

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    තුවාල නොලබා සිටි මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව තුවාලකරුවන් ඔසවාගෙන මන්ත්‍රී පිවිසුම වෙත පැමිණියහ. ඒවන විට තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැති ඇමතිවරුන්ගේ වාහන මන්ත්‍රී පිවිසුම ඉදිරිපිට නවතා තිබුණි. ආරක්‍ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ. ඒ අතර ගතවූ මිනිත්තු කිහිපයේදී පොලිස්පති හේරත් හා රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා යන මහත්වරුද රහස් පොලිසියේ පොලිස් නිලධාරීන් පනස්දෙනෙකු පමණ ද පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වූහ. ඒ සමඟ කොමාන්ඩෝ පොලිස් කණ්ඩායම් හතරක්ද ප්‍රධාන පිවිසුම අබියස රැකවල්ලා ගත්හ. එකවර හතර පැත්තෙන් හෙලිකොප්ටර් හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පියාසර කරන ලද්දේද මේ අවස්ථාවේදීය.



    බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රම මහතා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතා කොළඹ ජාතික රෝහලටත්, ජාතික ආරක්‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රැගෙන යන ලදී. තුවාල ලබා සිටි සෙසු තුවාලකරුවන් ද කොළඹ සහ ජයවර්ධනපුර රෝහල් කරා රැගෙන යන ලදි. මෙම සිද්ධියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබුණි. එදින පෙරවරු 11 ට පමණ ශල්‍යාගාරය තුළදීම කීර්ති අබේවික්‍රම මහතා ජීවිතක්‍ෂයට පත් විය. එමෙන්ම පසුව නෝබට් සේනාධීර මහතා ද ජීවිතක්‍ෂයට පත්විය. තුවාල ලැබු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කලවා ප්‍රදේශයේ අවයව කිහිපයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදි. ප්‍රහාරයෙන් අගමැති ප්‍රේමදාස මහතාට ද සුළු තුවාල සිදුවී තිබුණි. “ජනතා විමුක්ති පෙරමුණු ත්‍රස්තවාදීන් මීට වගකිවයුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්” යැයි දිවි බේරා ගත් ජනාධිපති ජයවර්ධන ජනතාවට පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම සිදුවීම හැඳින්වූයේ “ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එරෙහිව දකුණේ ත්‍රස්තවාදින් දියත් කළ ප්‍රහාරයක්” බවය. ඒ හැර ඉන්දු ලංකා ගිවිසුමෙහි විරෝධතාකරුවන් දුටු එක් දුබලතාවයක් පිළිබඳවත් ඔහු වචනයකුදු කතා නොකළේය.



    ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරන ලදි. එමඟින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව තුළින් ජීවත්වීමට ආසා ඇති සියලුම මන්ත්‍රීන්ට තම ආසන වලින් ඉල්ලා අස් වී තම වැරදි පාපොච්චාරණය කළ යුතු බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටිය යුතු බවත් ප්‍රකාශ විනි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත රටපුරා කළු කොඩි ඔසවා නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධි ක්‍රියා සිදු කරන ලදි. රාජ්‍ය දේපළ විනාශ කිරිම, රාජ්‍ය විරෝධි පෝස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම ආදි ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදි. මෙම ව්‍යාපාරවලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශප්‍රේමි භික්ෂු පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන නායකත්වය ගෙන ක්‍රියා කරන ලදී.



    පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපයු බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැති අයව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ බෝම්බ සිද්ධියෙන් හඳුනාගනිමින් නොව මාතලේ නාඋල ප්‍රදේශයේදී නීතීවිරෝධි මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිව් දෙනෙකු සමඟය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 8 කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය.



    අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ ය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතීපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. අවසානයේදී අධිකරණය අජිත් කුමාරව නිදොස් කොට නිදහස් කරන ලද අතර, එය දෛවෝපගත තීන්දුවක් විය.



    එම්. තාරික්



    🌍 අතීතාවර්ජනා...

    උපුටා ගැනීමකි .

    වටිනා ප්‍රශ්නය ට නිවැරදි පිළිතුර ලබාදී ඔබ වටිනා සීනුවක් ජයග්‍රහණය කරනවා🔔🔔
    ------ Post added on Dec 28, 2025 at 9:38 AM
     
    • Haha
    Reactions: Mr Bones