ෂේක්‌ස්‌පියර්

tharindu455

Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ෂේක්‌ස්‌පියර්

    ෂේක්‌ස්‌පියර් කවියා වෛද්‍යවරයෙකි

    shekspiyar.jpg


    විලියම් ෂේක්‌ස්‌පියර් (ක්‍රි.ව. 1564-1616) පිළිබඳව නො දන්නා කුඩා දරුවකු හෝ අද ලෝකයේ වෙසෙන්නේ යෑයි අනුමාන කළ නොහැකි බව අපි සියල්ලෝ ම දනිමු. ඔහු ගේ සාහිත්‍ය දැනුම අද ලෝකයේ සාහිත්‍යයකරුවන් අතර ද ඉමහත් වර්ණනාවට මෙන්ම පිළිගැනීමට ද ලක්‌ වෙයි. කෙසේ නමුත් ෂේක්‌ස්‌පියර් කවියා සතු ව අසමසම වෛද්‍ය දැනුමක්‌ තිබූ බවත්, එය අයත් වූයේ තවත් ශතවර්ෂ 5කට පසූ එළඹෙන අද කාලයට බවත් මෙහි දී සඳහන් කිරීම වටී.

    මෙහි දී එක්‌ කරුණක්‌ අවධාරණය කළ යුතු ය. එනම් 18 සියවස වනතුරු ම එංගලන්තයේ වූ වෛද්‍ය දැනුම අතිශය ප්‍රාථමික මට්‌ටමේ වූ බව ය. ඉතාලියේ පාදුවා විශ්වවිද්‍යාලය නව දැනුමේ බිජුවට වපුරමින් නව විද්වතුන් ප්‍රතිනිර්මාණය කරමින් හා පෝෂණය කරමින් දැනුමෙහි කේන්ද්‍රස්‌ථානය බවට පත් වෙමින් තිබූ මේ වකවානුවේ දී එංගලන්තයේ වෛද්‍ය දැනුම ක්‍රි.පූ. 4හි හිපොක්‍රටිස්‌ ප්‍රාඥයා ගේ මතවාදයන් මෙන්ම ක්‍රි.ව. 2හි ගැලන් ප්‍රාඥයා ගේ මතවාදයන් අතර දෝලනය වෙමින් තිබිණි.

    William-Shakespeare-Marijuana-Scientist-finds-cannabis-residue-in-playwrights-pipes.jpg


    නූතන වෛද්‍ය විද්‍යාවේ පාදම සකස්‌ කළ පාදුවා විශ්වවිද්‍යාලයීය විද්වතුන් අතුරින්, ඉතාලි ජාතික Gabriel Fallopius (1523-1562), බෙල්ජියම් ජාතික Andreas Vesalius (1514-1564), ඉතාලි ජාතික Bartolomeo Eustacius (1500-1574)ල ඉතාලි ජාතික Hieronymus Fabricius (1537-1619) ආදීන් එංගලන්තයේ විලියම් ෂේක්‌ස්‌පියර් කවියාට සමකාලීන ඉතාලි විද්වතුන් බව සැබෑ ය. එහෙත් ඔවුන් ගේ දේශන, පතපොත හෝ දැනුම ෂේක්‌ස්‌පියර්ට තබා එංගලන්තය වෙතට හෝ ගලා ආ බවට කිසිදු සාක්‍ෂියක්‌ හෝ සඳහනක්‌ හෝ නොමැත. ග්‍රීක හා අරාබි ප්‍රාථමික වෛද්‍ය දැනුම ප්‍රංශ භාෂාවෙන් ලේඛනය වූ වෛද්‍ය ග්‍රන්ථයක්‌ වූ "L'Histoire de la Physique of Le Clerc" එංගලන්තයේ දී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වන්නේ ද ක්‍රි.ව. 1699 දී Dr. Baden හා Dr. Drake විද්වතුන් අතිනි. එය එංගලන්තයට ගැලන් (ක්‍රි.ව. 2) දැනුමෙන් පසු ලබාගත් පළමු පසු කාලීන වෛද්‍ය දැනුම ය. මෙහි සඳහන් කරුණු බොහොමයක්‌ අතීත අරාබි සහ ග්‍රීක වෛද්‍ය දැනුමෙහි ම නව දිගුවන් වූ අතර පාදුවා විශ්විවද්‍යාලයීය නව්‍ය වෛද්‍ය දැනුම එමඟින් ද එංගලන්තයට ලැබුණේ නැත. එසේ ම එම දැනුම නූතන වෛද්‍ය දැනුම හා සමපාත වන්නේ ද නැත. කෙසේ නමුත් ඒ වන විට විලියම් ෂේක්‌ස්‌පියර් කිවිඳා අභාවප්‍රාප්ත ව වසර 83ක්‌ ගෙවී අවසන් ය. ඒ අනුව ඔහුට විධිමත් ව හෝ අවිධිමත් ව හෝ නූතන වෛද්‍ය විද්‍යා දැනුම අවබෝධ කරගැනීමට හෝ එමඟින් පෝෂණය වන්නට හෝ අවස්‌ථාවක්‌ ලැබී නොමැති බව සක්‌ සුදක්‌ සේ පැහැදිලි ය. අනෙක්‌ අතට එවකට කතෝලික පල්ලිය නව දැනුමට එරෙහි දැවැන්ත තිරිංගයක්‌ සේ ක්‍රියා කිරීම ද දේශයෙන් දේශයකට පමණක්‌ නො ව සමාජය තුළ පවා දැනුම ගලා යැමට සුවිශාල බාධාවක්‌ විය. නව චින්තකයන්

    රැසක්‌ කතෝලික පල්ලියේ උදහසට පාත්‍ර වී විනාශ වීම සිහිපත් කරන විට ඒ පිළිබඳ වූ සමාජ භීතිකාව අපට වටහාගත හැකි ය. ඒ අනුව විද්‍යාත්මක චින්තනය මොට වී ගිය බව මෙන්ම නව චින්තකයන් රැසක්‌ නිහඬ මුවින් තම නව මත තමා තුළ ම ගිලගත් බව ද පිළිගත හැකි ය. එවන් දුෂ්පෝෂිත චින්තන යුගයක විලියම් ෂේක්‌ස්‌පියර් නවීන වෛද්‍ය විද්‍යාත්මක අදහස්‌ රැසක්‌ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළේ කවර නම් චින්තන ප්‍රබෝධයකින් ද?

    විලියම් ෂේක්‌ස්‌පියර් කවියා නිර්මාණ 42ක්‌ ලේඛනගත කර ඇති අතර ඉන් 17ක්‌ ප්‍රහසනයන් ය. ඓතිහාසික කථා පුවත් ඇසුරෙන් කරන ලද නිර්මාණ 10කි. ශෝකාන්ත 10ක්‌ වන විට කාව්‍ය 5කි. මේ සැම නිර්මාණයක්‌ තුළ ම අඩු වැඩි වශයෙන් නූතන වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයන් ඇතුළත් වෙයි. එයින් ප්‍රධාන වෛද්‍ය සිද්ධාන්ත ඇසුරෙන් කෙරෙන විශ්ලේෂණයන් 455ක්‌ වන විට සාමාන්‍ය නිර්දේශයන් 257කි. මේ නයින් බලන කල ඔහු ගේ එක්‌ නිර්මාණයක දළ වශයෙන් වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණයන් 15-16 අතර සංඛ්‍යාවක්‌ සටහන් වී තිබේ. ඒ අනුව ෂේක්‌ස්‌පියර් කවියා තම නිර්මාණ මගින් නූතන වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහයන් 712ක්‌ ඉතා නිවැරැදිව සටහන් කර තිබෙයි.

    ෂේක්‌ස්‌පියර් කිවිඳා, ක්‍රි.ව. 1413 සිට 1422 දක්‌වා එංගලන්තය පාලනය කළ හෙන්රි V රජු ගේ ජීවිතය ඇසුරෙන් නිර්මාණය කරන ලද Henry V නාට්‍ය ලේඛනගත කරන්නේ ක්‍රි.ව. 1590 ගණන්වල මුල් භාගයේ දී ය. එහි ඝාතනය වූ Gloucester ගේ මෘත දේහය ඉදිරියේ Warwick විසින් ප්‍රකාශිත මේ අදහස්‌ විමසා බලන්න.

    "ඔහු ගේ මුහුණෙහි රුධිරය සිඳී ගොස්‌ ඇති අන්දම බලන්න. එය මා විසින් වරින් වර දකින ලද භූතයන් ගේ මුහුණ මෙන් අළු පැහැ ගැන්වී තිබේ. ඔහු ගේ හදවත සිසිල් වී අවසන් ය. ඔහු ගේ මුහුණ නැවත රත් පැහැ වීම බොරු ය. ඔහු ගේ ඇස්‌ ගෝල, ජීවත් වුණු වකවානුවේ දී මෙන් නො ව ඉදිරියට නෙරා ඇවිත් ය........." මේ වකවානුව වන විට එංගලන්ත වෛද්‍ය දැනුමෙහි හෘදය හා රුධිර සංසරණය අතර සම්බන්ධය පිළිබඳ නිශ්චිත දැනුමක්‌ නො වී ය. කෙසේ නමුත් ක්‍රි.ව. 2 දී ග්‍රීක ප්‍රාඥ ගැලන්, රුධිරය ශරීරය පුරා නළ මාර්ග දිගේ ගමන් කරන බව ද, ඒ සඳහා හෘද ක්‍රියාකාරීත්වය මඟින් යම් කිසි දායකත්වයක්‌ ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත.

    රුධිර සංසරණය පිළිබඳව සත්ත්ව නිදර්ශක මඟින් නිවැරැදිව පැහැදිලි කරනු ලබන්නේ විලියම් හාවි විද්වතා විසිනි. ඒ ක්‍රි.ව. 1616 අප්‍රේල් මාසයේ ලන්ඩනයේ College of Physicians හි දී පවත්වන ලද ප්‍රසිද්ධ දේශනයක්‌ මඟින් ය. එහෙත් ද්විත්ව සංසරණය හාවි විද්වතා විසින් ලි�ත ව ඉදිරිපත් කරනු ලබන්නේ තවත් දොළොස්‌ වසරක්‌ ඇවෑමෙන් ක්‍රි.ව. 1628 දී Exercitatio Anatomica de motu cordis et
    Sanguinis in Animalibus (De Motu Cordis) ලේඛනය මඟින් ය. මෙහි දී තවත් කරුණක්‌ පැහැදිලි කළ යුතු වෙයි. එනම් විලියම් ෂේක්‌ස්‌පියර් කවියා 1616 මැයි 03 වැනි දා අභාවප්‍රාප්ත වී ඇති බව ය. එහෙත් ෂේක්‌ස්‌පියර් ක්‍රි.ව. 1603 රචනා කරන ජුලියස්‌ සීසර් නිර්මාණයේ දී රුධිරයේ ද්විත්ව සංසරණය පිළිබඳව පෝෂියා මෙසේ සඳහන් කරයි.

    "What I Cannot view otherwise than adistinct refernce to the circulation of blood"

    පෝෂියා චක්‍රීය රුධිර සංසරණය (Circulation) පැහැදිලි ව ම ප්‍රකාශ කරන්නේ කවර නම් දැනුම් පද්ධතියක්‌ ඇසුරෙන් ද?

    ෂේක්‌ස්‌පියර් යුගය වන විට ශල්‍ය වෛද්‍ය විද්‍යාව හෝ එහි චිකිත්සක දැනුම හෝ එංගලන්තය සතු ව නො තිබිණ. කරණවෑමින් ඉතා සීමිත උපකරණ මඟින් දත් ගැලවීම හා ගඩු විවෘත කිරීම වැනි ශල්‍ය කටයුතුවල යෙදුණ අතර, එය ඇත්ත වශයෙන් ම වෛද්‍යවරුන් සතු කාර්යභාරයක්‌ වශයෙන් ද සලකා නො තිබිණි. එවන් පසුබිමක දී, Twelth Night නාට්‍යයයේ Sir Toby ශල්‍ය වෛද්‍ය Dick කැඳවීමට නියෝග කරයි.

    ෂේක්‌ස්‌පියර් ගේ "Much Ado About Nothing" ප්‍රහසනය ලේඛනගත වන්නේ ක්‍රි.ව. ව 1598-99 වකවානුවෙහි වන අතර, එය වේදිකාගත වන්නේ ක්‍රි.ව. 1623 දී ය. ඒ ෂේක්‌ස්‌පියර් ගේ මරණයෙන් අවුරුදු 7කට පසු ය. එහි Don Pedroමෙසේ අසයි. "මොකක්‌? දත් කැක්‌කුමට ද මේ සුසුම් හෙළන්නේ?" එවිට Leonato ගේ පිළිතුර මෙසේ ය. "සුසුම් හෙළන්නේ දත් පණුවෝ කාලා, එහෙම නැත්නම් හිතේ අමාරුවක්‌ හැදිලා." "දත් පණුවෝ කනවා" යන අදහස වෛද්‍ය විද්‍යාත්මක ව අද දවසේ දී ප්‍රතික්‍ෂේපිත අදහසක්‌ වුව ද එය වෛද්‍ය මතයක්‌ වශයෙන් ලේඛනගත වන්නේ ක්‍රි.ව. 1595හි දී Gatisdon හි John ප්‍රාඥයා විසින් රචිත De Corrisone Dentium ග්‍රන්ථය මඟින් ය.

    කලින් ද කී පරිදි ෂේක්‌ස්‌පියර් යුගයේ එංගලන්ත වෛද්‍ය දැනුම වූයේ ක්‍රි.පූ. 4 වැනි සියවසෙහි හිපොක්‍රටිස්‌ වෛද්‍යවරුන්ට අනුගාමී වූ අදහස්‌ මත ය. ඔවුන් සතු වූ කාය ව්‍යවච්ඡේද දැනුම අතිශයින් ම දුර්වල ය. එයට හේතුව වූයේ මනුෂ්‍ය ශරීරය දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දක්‌ හෙයින් එය විච්ඡේදනය කිරීම නුසුදුසු බව හිපොක්‍රටිස්‌ ප්‍රාඥයා ප්‍රකාශ කර තිබීම ය. එහෙත් අද දවසේ දී සංකීර්ණ මානව ඉන්ද්‍රියක්‌ වශයෙන් සලකන මොළයේ ව්‍යqහය පිළිබඳව නූතන වෛද්‍ය දැනුම හා නිවැරැදි වශයෙන් ම සමපාත වන වෛද්‍ය දැනුමක්‌ ෂේක්‌ස්‌පියර් කවියා සතු වී තිබිණ. ක්‍රි.ව. 1590-95 වකවානුවේ දී අප කවියා රචනා කරන, Love's Labours Lost නම් ප්‍රහසනයේ Holferns ප්‍රාඥයා ගේ මුවට නංවන දෙබසක්‌ මඟින් මොළයේ Pia Matter සහ Ventricle පිළිබඳ තම දැනුම ඔහු ප්‍රදර්ශනය කරයි. Piamatter යනු මොළය හා කොඳු ඇට පෙළ ආස්‌තරණය කරන පටලයක්‌ වන අතර මොළයෙහි ඇති තුන්දිකාවන් (Ventricles) පිළිබඳ නිවැරැදි අවබෝධය අයත් වන්නේ නූතන වෛද්‍ය විද්‍යාවට අයත් කායව්‍යවච්ඡේද විද්‍යාවට ය. මේ Holferns ගේ ප්‍රකාශය ය. ''These are begot the ventricle of memory, nourished in the womb of piamatter.''

    ෂේක්‌ස්‌පියර් කවියා විසින් තම නිර්මාණ තුළ අඩංගු කරන ලද සියලු ම වෛද්‍ය නිර්දේශ සාකච්ඡා කිරීමට තරම් පුවත්පතෙහි ඉඩකඩ නොමැති වීම අප කාටත් තේරුම්ගත හැකි කාරණාවක්‌ වෙයි. ඒ කෙසේ වෙතත්, මේ සැම නිර්දේශයක දී ම ඔහු සතු වූ විදග්ධ වෛද්‍ය දැනුම අපට මැනැවින් තහවුරු වෙයි. එසේ ම එය අපේ කාලයේ වෛද්‍ය දැනුම හා අපූර්ව වශයෙන් සමපාත වෙයි. එම දැනුම ෂේක්‌ස්‌පියර් කවියා අවබෝධ කරගත්තේ කවර නම් ඥාන ගවේෂණයකින් ද යන්න අප අවබෝධ කරගත යුතු වැදගත් ම කාරණාව වෙයි.


    උපුටා ගැනීම : විදුසර
     
    Last edited:
    • Like
    Reactions: Mid Night Fighter