සංග්‍රාම භූමිය - 13

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය - 13

    8Mt6oD2.jpg

    සිරියාව,ඇෆ්ගනිස්ථානය සහ උතුරු කොරියාව, මේ රටවල් තුනේ තිබෙන පොදු ගුණාකාරය කුමක්ද?එය සරලය.මෙම රටවල් ,යුද වැදීමේ දැඩි ආශාවෙන් පෙළෙන එක්සත් ජනපදයේ උකුසු ඇසට හසුව තිබේ.සිරියානු රජය පෙරළා දැමීමට ඇමෙරිකාව දරන වෑයමේ තවත් එක් පියවරක් ලෙස ඔවුන් අප්‍රේල් මාසයේදී සිරියානු හමුදාව ඉලක්ක කරගෙන කෲස් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන ලදි.එම මාසයේදීම ඇමෙරිකානුවන් ඔවුන් සතු විනාශකාරීම සාම්ප්‍රදායික බෝම්බය ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පිරිසක් ඉලක්ක කරගෙන හෙළන ලදි.අලුත තේරී පත් ඇමෙරිකානු ජනපතිවරයා උතුරු කොරියාවට එරෙහිව තවත් පියවරක් ඉදිරියට තබමින් කොරියානු අර්ධද්වීපය ආසන්නයට නාවුක ප්‍රහාරක කණ්ඩායමක් පිටත් කර හරින ලදි.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ කිසිවෙකුට ජයගැනීමට නොහැකි වූ ඇෆ්ගනිස්ථානයට ඇමෙරිකාව හෙළු බෝම්බය ගැනයි.


    බෝම්බය හෙළුවේ කෙසේද

    සියලු බෝම්බවල මව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බය එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයට හෙළුවා යන පුවත කණවැකුණු වහා ඔබේ සිතට එනු ඇත්තේ බී-52,බී-1 සහ බී-2 යන බෝම්බ හෙළන යානා විය හැකිය.මන්ද මෙම යානා බෝම්බ හෙළන කාර්යයේදී සිය හැකියාව යුද්ධ කිහිපයකදීම පෙන්වා තිබූ නිසාය."සියලු බෝම්බ වල මව හෙළන ලදි" යනුවෙන් ශීර්ෂපාඨ පෙළ වෙද්දී එය හෙළන්නට ඇත්තේ ස්ටෙල්ත් තාක්ෂණයෙන් අනූන බී-2 ස්පිරිට් යානය යැයි බොහෝදෙනා සිතන්නට ඇති.අවාසනාවකට ඉහත සඳහන් කල සියලුම බෝම්බ හෙළන යානාවලට සිදුවූයේ එම කාර්යය නිහතමානී අහිංසක පෙනුමක් ඇති සී-130 ප්‍රවාහන ගුවන් යානයකට පවරාදී පසෙකට වී බලා සිටින්නයි.ත්‍රස්තවාදීන්ද යානයේ ශබ්දය ඇසී වට පිට බලද්දී දකින්නට ඇත්තේ සී-130 යානයක් තම හිසට ඉහලින් පියාසර කරනවාය.බිය වන්නට කාරණයක් නැතැයි සිතූ ඔවුන් සිය දෛනික කාර්යයන්හි නිරත වන්නට ඇති.


    MOAB බෝම්බය අත්හදා බලන අවස්ථාවක්


    මිනිත්තු කිහිපයකට පසුව අහිංසක පෙනුමක් සහිත ප්‍රවාහන ගුවන් යානය සිය පසුපස දොර විවර කර ලිංගුස් හැඩැති මහත බෝම්බය මුදා හරියි.ඉන්පසු ඉන් පැරෂූටයක් දිගහැරී නිවැරදි ඉලක්කය මත පතිත වීමට සහාය වෙයි.බිම පතිත වීමට තත්පර කිහිපයකට පෙර බෝම්බය ගුවනේදී පිපිරී යයි.තත්ත්පර කිහිපයකින් මීටර් සියගණනක් ඇතුල වූ සියල්ල මහත් විනාශයකට පත්වේ.

    lgQTafF.jpg
    බෝම්බය හෙළු ප්‍රදේශය​





    පශ්චාත් ඵලය

    පිපිරුම සිදුවූ ස්ථානයේ පටන් කිලෝමීටර් කිහිපයක් දුරට පිපිරුමේ බලපෑම දැනේ.පිපිරුම නිසා හටගන්නා අතිශය බලවත් කම්පන තරංග හේතුවෙන් කඳුකරය ආශ්‍රිතව තිබූ උමං සහ ගුහා අර්ධවශයෙන් හෝ සම්පූර්ණයෙන්ම විනාශ වන්නට ඇති.ප්‍රහාරයෙන් මුලිනුපුටා දැමුණු ත්‍රස්තවාදීන් ගණන සම්බන්ධව නිශ්චිත අගයන් නොමැත.

    1D5xBZZ.jpg
    බෝම්බය පතිත වීම​

    සිවිල් වැසියන්ට යම් හානියක් සිදුවුබවට කෙරෙන චෝදනා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කලද,කිලෝමීටර් කිහිපයක් දුරින් පැවති සිවිල් වැසියන්ගේ නිවාස ආදිය පිපිරීම ඔස්සේ ස්ථිර හානියට ලක්වීමේ ඉඩක් තිබිණි.මෙය ස්භාවිකව සිදුවන භූමිකම්පාවක් හා සමාන වන අතර කම්පන තරංග නිසා නිවාසවල අභ්‍යන්තරය ස්ථාවර වී දුර්වල වීමට පුලුවනි.

    විනාශයට පත්වූ ප්‍රදේශයේ දර්ශන






    සියලු බෝම්බවල මව - සැබැවින්ම මෙය කුමක්ද?

    බෝම්බය හෙළුවේ කෙසේද එය සිදුකල විනාශය කොපමණද යන්න ගැන කරුණු අප උගත්තෙමු.දැන් බෝම්බය දෙසට අවධානය යොමු කරමු.එහි සැබෑ නම BU-43 Massive Ordnance Air Blast යන්නයි.බර රාත්තල් 22,600 හෙවත් කි.ග්‍රෑ. 10,300ක් වන මෙය නිර්මාණය කර තිබෙන්නේ විශාල ප්‍රමාණයේ ඉලක්ක වන විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින සන්නාහ රහිත හෝ සැහැල්ලු සන්නාහ සහිත සවිගැන්වූ ඉලක්ක විනාශ කිරීමටය.එසේම සවිනොගැන්වූ ව්‍යුහයන් වන ගුහා සහ භූගත උමංවලට පහරදීමටද යොදාගත හැකිබව පැවසේ.මෙම බෝම්බය සම්බන්ධව සමාජ ගත වී තිබෙන එක් අසත්‍යයක් වන්නේ එය එක්සත් ජනපදයේ විශාලතම සාම්ප්‍රදායික බෝම්බය ලෙස හැදින්වීමයි.සැබැවින්ම එම ගෞරවය හිමිවන්නේ රාත්තල් 30,000ක් හෙවත් කි.ග්‍රෑ.14,000ක් බර GBU-57A/B Massive Ordnance Penetrator (MOP) නම් අතිවිශාලතම බංකර් නාශක බෝම්බයටයි.

    onunYfE.png


    laNhDEQ.jpg
    GBU-43/B බෝම්බයේ සැබෑ ස්වරූපය​

    මෙවැනි විනාශකාරී විශාල බෝම්බ කෙරෙහි එක්සත් ජනපද හමුදාව නිරන්තරයෙන් ආකර්ෂණය විය.රාත්තල් 15,000ක්(කි.ග්‍රෑ.8,600ක්) බර BLU-82 Daisy Cutter බෝම්බය ඔවුන් භාවිතා කලේ වියට්නාම යුද්ධයේදී හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට වනාන්තර තුල පහසුවෙන් ඉඩක් නිර්මාණය කරගැනීමටයි.ඩේසි කටර් බෝම්බ ඉරාකය යුද්ධයේදී භාවිතා කලේ බිම්බෝම්බ ඇතිරූ භූමි නිශ්කාෂණය කිරීම සහ බෝම්බය ඇති කරන අධි බලැති කම්පන තරංග සහ විශාල පිපිරුම් අරය සතුරන් තුල මානසික වශයෙන් අධෛර්යයමත් කිරීමක් ඇතිකිරීමටයි.අපි කතා කරන MOAB බෝම්බය ඇමෙරිකානු හමුදාවට ලැබෙන්නේ 2003 වර්ෂයේදීය.ඒ ඩේසි කටර් බෝම්බය වෙනුවටයි.නමුත් 2017 වර්ෂය වන තෙක් ඔවුන් MOAB බෝම්බයක් සතුරන්ට එරෙහිව සටනකදී භාවිතා කලේ නැත.

    dj1mp4f.jpg
    GBU-57 MOP බෝම්බයක් බී-2 ස්පිරිට් වර්ගයේ බෝම්බ හෙළන යානයක් අසල තිබෙන අයුරු​

    aqMUmxx.jpg
    සී-130 යානයකින් BLU-82 Daisy Cutter බෝම්බයක් මුදාහරින අයුරු​





    බෝම්බය භාවිතා කලේ ඇයි

    විනාශකාරී,මිලෙන් අධික වැනි බෝම්බයක් මෙතරම් කාලයකට පසුව ඇෆ්ගනිස්ථානයේදී භාවිතා කරන්නට හේතු කිහිපයක්ම තිබේ.


    1.ඇමෙරිකානුවන් සිය බලය පෙන්වීම

    නාවුක ප්‍රහාරක කණ්ඩායමක් දියත් කිරීම රාජතාන්ත්‍රික මට්ටමේ අර්බුදයකදී සිය බලය පෙන්වීමට ප්‍රමාණවත් පියවරක් වුවද ඔබ ගනුදෙනු කරන්නේ රාජ්‍යතාන්ත්‍රික නොවන පිරිසක් සමග නම් ඔවුන්ට පණිවුඩයක් දෙන්නට ප්‍රමාණවත් බලයක් යෙදිය යුතුය.බෝම්බයකට විශාල පිපිරුම් අරයක් නිර්මාණය කර කි.මී. කිහිපයක් දුරට කම්පන තරංග දියත් කල හැකිය.නමුත් කොතරම් විනාශකාරී බෝම්බ හෙළීමකින් වුවද ඇෆ්ගනිස්ථානයේ සටන්කාමීන් අධෛර්යයමත් කල නොහැකිබව ඇමෙරිකානුවන්ට වඩා දන්නේ වෙන කවුරුන්ද?

    klyGCND.jpg
    බෝම්බ ප්‍රහාරය 2017 අප්‍රේල් මස 13දා රාත්‍රියේ සිදු කෙරිණි​




    2.අවි පරීක්ෂා කිරීමට අවස්ථාවක් කරගැනීම

    රුසියාව සිරියානු යුද්ධය අවතීරණය වූයේ කුමන අරමුණකින් වුවද ඔවුන් සිය අවි සහ තාක්ෂණය සැබෑ යුද බිමක් තුල අත්හදා බලන්නට එය අවස්ථාවක් කරගත් බව රහසක් නොවේ.ඇමෙරිකානුවන් මෙම සියවස ආරම්භ කලේ යුද්ධයකි.ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ඔවුන්ගේ අවි සහ තාක්ෂණය පරීක්ෂා කරන්නට කදිම පරීක්ෂණාගාර විය.බොහෝවිට MOAB බෝම්බය හෙළීමත් එවැනි අත්හදාබැලීමක් වන්නට පුලුවනි.නමුත් බී-52 යානයකින් රාත්තල් 2000 බෝම්බ හෙළීමෙන් ඒ හා සමාන ප්‍රතිඵලයක් අත්කරගත හැකිය.

    hol9j2L.jpg




    3.තම විරුද්ධවාදීන්ට කල අනතුරු ඇඟවීමකි

    මෙම බෝම්බ හෙළීමේ සැබෑ අරමුණ වීමට හැක්කේ මෙයයි.මන්ද සිද්ධිය සිදුවූ කාල සමයේ ඇමෙරිකාවට තිබෙන ප්‍රධාන තර්ජන ලෙස කියවුනේ රුසියාව,උතුරු කොරියාව සහ චීනය යන රටවල්ය.රුසියාව ඇමෙරිකානු දේශපාලනයට මැදිහත්වූයේ යැ‍යිද උතුරු කොරියාව ඇමෙරිකාව විනාශ කල හැකි බලයක් වර්ධනය කරගන්නේ යැ‍යිද චීනය දකුණු චීන මුහුද ආක්‍රමණය කරන්නේ යැ‍යිද චෝදනා එල්ල වී තිබිණි.බෝම්බය හෙළීම ඔස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ රටවලට අනතුරු ඇඟවීමක් කලේය යන්න සමහරුන්ගේ අදහසයි.තව පිරිසක් කියන්නේ එය ලෝක ත්‍රස්තවාදයට සිදුකල අනතුරු ඇඟවීමක් බවයි.ඇමෙරිකා ප්‍රමුඛ බටහිර රටවල් කරන්න ත්‍රස්තවාදයට එරෙහිව ව්‍යාජ සටනක් බව සනාථ වී හමාරය.එම නිසා අවසන් හේතුව පිළිගත නොහැකිය.






    රුසියානු ප්‍රතිවාදියා

    අප ඇමෙරිකානු අවියක් ගැන කතා කරන සෑම විටෙකම ඊට එරෙහිව රුසියානු අවියක් තිබේ.රුසියාවටද දැවැන්ත බෝම්බ වලින් අඩුවක් නොමැත.ඔවුන් එවැනි බෝම්බ සිරියාවේදී භාවිතා නොකලේ සිවිල් වැසියන්ට සිදුවන හානිය ගැන සලකාය.එවැනි අවියක් භාවිතා කර ජන සංහාරයක් සිදුව හොත් ඇමෙරිකාවට එරෙහිව නැගෙන ලෝක මතය මෙන් සියදහස් ගුණයක් විශාල ජනමතයක් තමන්ට එරෙහිව නිර්මාණය වන(නිර්මාණය කරන බව) රුසියාව දනියි.ඇමෙරිකානු බෝම්බයට අභියෝග කරනු පිණිස රුසියාව සියලු බෝම්බවල පියා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බෝම්බය මෙන් සිව්ගුණයක් බලවත් යැ‍යි සැලකෙන බෝම්බයක් නිර්මාණය කරන ලදි.

    e62VaFH.jpg
    රුසියානු FOAB බෝම්බයක් සහ ටීයූ-160 බෝම්බ හෙළන යානයක්​





    නිගමනය

    මෙම බෝම්බ ප්‍රහාරය එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහිව කරනවා යැ‍යි කියන යුද්ධයේ තවත් එක් අවස්ථාවක් පමණි.වැනි MOAB බෝම්බයක් භාවිතා කිරීම ඔස්සේ ඔවුන් ලබාදෙන පණිවුඩය වන්නේ ත්‍රස්තවාදීන් තවදුරටත් සුළුවෙන් නොතකන බවයි.2001 වර්ෂයේ ආරම්භ වූ ඇෆ්ගන් යුද්ධය 2017 වන විටත් නිමාවකට පත්ව නැත.දැන් තලෙයිබාන් සටන්කාමීන්ගේ බලයද පෙරට වඩා වර්ධනය වී තිබේ.ඊට හේතුව රුසියාව රහසිගතව තලෙයිබාන්වරුන්ට සහාය වීම යැ‍යි ඇමෙරිකානු බලධාරීන්ගෙන් එල්ලවන ප්‍රබල චෝදනාවකි.ඇෆ්ගනිස්ථානය වැනි රටක ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන යුද්ධය සාම්ප්‍රදායික එකක් නොව ගරිල්ලා යුද්ධයකි.ගරිල්ලා යුද්ධ ඇමෙරිකානු හමුදාවට අලුත් දෙයක් නොවේ.වියට්නාමයේදී ඔවුන් ඒ ගැන ඕනෑ තරම් පාඩම් ඉගෙන ගෙන තිබේ.නමුත් ඇමෙරිකානුවන් සැබැවින්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද වැදී සිටියි නම් උගත් පාඩම් ඇෆ්ගනිස්ථානයේදී ක්‍රියාවට නංවන්නේ නැත්තේ ඇයි?

    dKicEx6.png
    ඇෆ්ගනිස්ථානය පාලනය (2015 සිට )​

    ගුවන් ප්‍රහාරක ශක්තිය සහ මානව බුද්ධි තොරතුරු වලින් සන්නද්ධ පාබල හමුදා ඒකාබද්ධව යොදා උපාය මාර්ග සකසනවා වෙනුවට ඇමෙරිකාව ප්‍රශ්න විසදන්නට යන්නේ දැවැන්ත බෝම්බ හෙළීමෙන් හෝ දුසිම් ගණන් මිසයිල දියත් කිරීමෙන්ය.

    බෝම්බය හෙළීමේ ඔස්සේ ඇමෙරිකාව කෙටි කාලීන අරමුණක් ඉලක්ක කර ගන්නවා විනා ඔවුන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දීර්ඝ කාලීන අරමුණු යථාර්තයක් කරගන්නා බවක් නොපෙනේ.නමුත් නැගී එන රුසියාව සහ චීනයේ ගමන වළක්වන්නට දැඩි උත්සාහයක් දරද්දී ඔවුන් ත්‍රස්තවාදී සංවිධාන මර්ධනය කරන්නට කර තිබෙන දෑ අවමය.2001 දී ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරද්දී තිබුණාට වඩා ප්‍රබල තැනක අද ලෝක ත්‍රස්තවාදය සිටින්නේ ඒ නිසාය.

    1YxakGO.jpg

    අප සියලු දෙනා නරඹමින් සිටින්නේ හොඳම අවි සහ ඒවා යොදාගෙන තම ගෝලීය අරමුණු ඉටුකරගැනීමට වෙර දරන ලොව ප්‍රබලම යුද බලවතුන් දෙදෙනාගේ තරඟයකි.රුසියාව ලෝක අවදානය දිනාගන්නා දෙයක් කල හොත් එය පරයා යන දෙයක් කිරීමට ඇමෙරිකාව ක්‍රියාකරයි.මෙය සීතල යුද්ධයේ මතකයන් ආවර්ජනය කරයි.



    Source:defencyclopedia.com

    -HarshaLulzSec-
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    -HarshaLulzSec- උඹ හැමදාම කරනව වගේ ගොඩක් මහන්සිවෙලා කරපු හොඳ ත්‍රෙඩ් එකක්. මේවගේ ලිපි ලියන්න තවතවත් දිරිය ශක්තිය ලැබේවා.
    You have given out too much Reputation in the last 24 hours, try again later.:no:
     
    Last edited: