සක්කාය දිට්ඨියෙන් අයින් වෙමු

MAD41659

Member
Jun 11, 2008
7
0
0
සක්කාය දිට්ඨියෙන් අයින් වෙමු

සක්කාය දිට්ඨියෙන් අයින් වෙමු
සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නේ, දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ වීමෙන්. ඒ සඳහා තමයි සතිපට්ඨානය තියෙන්නේ. ඉන් ඇති වෙන අවබෝධය නම් පටිච්චසමුප්පාදයයි. එනම්, හේතුඵල වශයෙන් ජීවිතය තුළ දැකීමේ හැකියාවයි. ඒ හැකියාව ලබාගත් පසු තමා කියන හැඟීම මුලාවක් බව දැනගෙන එයින් අයින් වෙන්නට පුළුවන් වෙනවා. එවිට තමා කියන හැඟීම දෘෂ්ටියක් පමණක් බව තේරුම් යනවා.
පළමුවෙන් සද්ධානුසාරී විය යුතුයි.
ආර්යෂ්ටාංගික මාර්ගයට පැමිණෙන පළවෙනි පියවර සද්ධානුසාරී වීමයි. සද්ධානුසාරී බවට පත්වෙන්නේ, ශ‍්‍රද්ධාවෙන් මේ ධර්ම මාර්ගය පිළිගන්නා තැනැත්තායි. ඔහු සංසාර දුක පිළිගන්නවා. පවතින්නේ හේතු-ඵල දහමක් බව පිළිගන්නවා. දුකෙන් නිදහස් වෙන්න ඕන කියල පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වුණු බවත් ඒ ධර්මයට අපව දුකෙන් නිදහස් කරන්නට පුළුවන් බවත් පිළිගන්නවා. ඒ ධර්මය ශ‍්‍රාවකයින් විසින් අනුගමනය කළ යුතු බව පිළිගන්නවා. එසේ අනුගමනය කොට රහත් බවට පත් වූ ශ‍්‍රාවකයින් සිටි බව පිළිගන්නවා. මේ මතයන්ට පැමිණි කෙනා සද්ධානුසාරී වෙනවා. ධර්මය වෙතට එන්නට නම් මුලින් ම විය යුත්තේ මේ මතවලට පැමිණීමයි.


සද්ධානුසාරී ඉන්ද්‍රිය පිහිටීම
සද්ධානුසාරී වුණු ගමන් එයාට දැන් පිහිටල තියෙනවා ඉන්ද්‍රියයක්. ඉන්ද්‍රියක් කියන්නෙ, අභ්‍යන්තරිකව සකස් වෙන කුසලතාවක්. ඒක හිත ඇතුලෙ කි‍්‍රයාත්මක වෙන එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්න නම්, මුළු හදවතින් ම බුදුරජාණන් වහන්සේ පිළිගන්නා බව, ඒ සද්ධර්මය පිළිගන්නා බව, ඒ ශ‍්‍රාවකත්වයට පැමිණෙන බව සිදුවිය යුතුයි. එවිට එයාට සද්ධානුසාරී ඉන්ද්‍රිය පිහිටනවා.


සද්ධානුසාරී නම්, වීර්යය, සතිය, සමාධිය ඇතිවෙනවා...
සද්ධානුසාරී බවට පත්වූ තැනැත්තාට කෙලෙස් ඇතිවෙද්දී ඒවා දුරුකරන්නට වීර්යය කරනවා. වීර්යය කියන ඉන්ද්‍රිය එයාට පිහිටනවා. එයා තමන් ගේ ජීවිතය ගැන බොහොම කල්පනාවෙන් සිටිනවා. එයාට සතිය පිහිටනවා. එයා යම්කිසි ප‍්‍රමාණයකට හිත සමාහිත කරනවා. එයාට සමාධිය පිහිටනවා. වටහා ගැනීමේ ශක්තිය පිහිටනවා. සද්ධානුසාරී තත්වයට එනවිට ඒ ගුණාංග ඇතිවෙනවා. මේ ආකාරයට සෝවාන් මාර්ගයේ ආරම්භක අවස්ථාවට ඕනෑ ම කෙනෙකුට එන්නට පුළුවනි.


ධම්මානුසාරී
ධම්මානුසාරී යනු සෝවාන් මාර්ගයේ දියුණු අවස්ථාවයි. ධම්මානුසාරී කෙනා තමා ගේ මනස තමන් විසින් ම දමනය කරනු ලබනවා. වැලක් තියෙනවා කියල හිතමු. අපට මේ වැල යවන්න ඕන වෙනව දකුණු පැත්තට. ඒ නිසා දකුණු පැත්තට හරවල වැල ගැට ගැසිය යුතු වෙනවා. ඊටපස්සෙ වැල ඒ පැත්තට ඉබේ ම යනවා. අප විසින් කළේ වැල දකුණට හැරවීම පමණයි. අන්න ඒ වගේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ඉන්ද්‍රිය හය ටික ටික පාලනය කරන්න අප පුරුදු කරනවා. එය කළ යුත්තේ සතිපට්ඨානයට හිත යොමු කරමින්. එහෙම පාලනය වුණාට පස්සෙ අප වචනයෙන් පුරුදු කරනවා. ඇස අනිත්‍යයි, කණ අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියල. එහි තේරුම නම් ඇස සකස් වී තිබෙන දෙයක්. සකස් වී ඇති දෙයක් නම් වෙනස් වෙන දෙයක්. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. ඒ කියන්නෙ රූප සකස් වුණ දේවල්. සකස් වෙලා තියෙන දේවල් වෙනස් වෙනවා. මේ වගේ අපේ සම්පූර්ණ ජීවිත කතාවෙ ම ඇත්ත තත්වය විමසන්න පුරුදු කරනවා. දැන් දියුණු වෙලා තියෙන්නෙ ශ‍්‍රද්ධාව ද? නැත්නම් ධර්ම ඥානය ද? කලින් මුළු හදවතින් ම ධර්ම මාර්ගය පිළිගත්තා. ඇසූ දේ ඇහුවා. පිළිගත්තා. එතනින් නතර වුණේ නෑ. ඒ ඇසූ දේ දරාගෙන එය තේරුම් ගැනීම පිණිස දැන් මානසික අභ්‍යාසයක යෙදෙනවා, දැන් ටිකෙන් ටික ගැඹුරු කාරණා තමන්ට වැටහෙන්නට පටන් ගන්නවා. දැන් දියුණු වෙන්නේ ධර්ම ඥානයයි. ඒක තමයි ධම්මානුසාරී කියන්නේ.
ධම්මානුසාරී වෙන කොට එයාට ටික ටික පටිච්චසමුප්පාදය තේරුම් ගන්නට පුළුවන් වෙනවා. දුක ආර්ය සත්‍යයක් හැටියට ජීවිතය තුළ බලපවත්වන හැටි ටික ටික තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මේ දුකේ හේතුව මොකද්ද කියල තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මේ දුකින් නිදහස් වෙන හැටි තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ සඳහා කරන්නට තියෙන වැඩපිළිවෙලට එයා යනවා. මේ ගති ලක්‍ෂණ තිබෙන කෙනා ධම්මානුසාරී බවට පත්වෙනවා.


සද්ධානුසාරී නම් ධම්මානුසාරී නම් බයවෙන්න ඕන නෑ...
ඔය තත්ව දෙක ඇතිකර ගන්න. ඊටපස්සෙ බයවෙන්න එපා. සෝතාපත්ති මාර්ගයේ ගමන් කළ කෙනෙක් ඵලයට පත් නොවී මරණයට පත්වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ ඔක්ඛන්ති සංයුත්තයේ ඒ බව වදාළා. ඔක්ඛන්ති කියන්නේ බැසගැනීමයි. ආර්ය මාර්ගයට බැස ගන්නවා කියන නමින් සංයුත්ත නිකායෙ ඒ බව සඳහන්ව තිබෙනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මේ ජීවිතයේ අභ්‍යන්තරය වෙන් කරමින් බලන කෙනා, හේතු-ඵල වශයෙන් තේරුම් ගන්න කෙනා සෝතාපන්න තත්වයට පත් නොවී මරණයට පත්වෙන්නෙ නැති බව එහි සඳහන් වෙනවා. එහෙනම් එයා පැහැදිලිව ම බුද්ධ ශාසනයේ පිහිටන ලද කෙනෙක්. එහෙම නම් බුද්ධ ශාසනයේ පිහිටන්නට අපටත් පුළුවන්. හැබැයි ඒ සඳහා ශ‍්‍රද්ධාව මුල් බැසගත යුතුයි. ඒ ශ‍්‍රද්ධාව දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකෙ කිසි කෙනෙකුට සොලවන්නට නොහැකි විය යුතුයි. අවංකව ම සද්ධර්මය සාක්‍ෂාත් කරනවා නම්, අත්දකිනවා නම්, කිසි ම දවසක අපේ ශ‍්‍රද්ධාව වෙනස් කරන්නට හැකිවන්නේ නැහැ.

:lol::lol::lol: