බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්නා මේ මනුස්සයාගේ මේ සත්වයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත්, වැළපීම්, දුක් දොම්නස් නැති කිරීම පිණිසත්, කායික මානසික දුක් බැහැර කිරීම පිණිසත් ජීවිතාවබෝධය පිණිසත් නිවන පිණිසත් මේ සතිපට්ඨාන ධර්මය හේතුවන බව.
මේ නිසා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ ආනිසංස සතිපට්ඨාන ධර්ම දේශනා කරන්න කලින්ම වදාළ නිසා අපි ඒ පිළිබඳව අමුතු සැක සංකා තබාගත යුතු නෑ. අපට ඉතාම පැහැදිලියි මේ ධර්මය ප්‍රගුණ කරගත්තොත් මේ සිහිය ප්‍රගුණ කරගත්තොත් අපේ ජීවිතවලට විශාල ප්රතිලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. මේ සතිපට්ඨානය දියුණු කිරීමේදී අපට ඉස්සෙල්ලාම පුරුදු කරන්න පුළුවන් වෙන්නෙ කායානුපස්සනාව.
කායානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි භාවනාව තමයි ආනාපානසති. ආනාපානසති කියල කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහිය පිහිටුවා ගැනීම. දැන් ඔබ දන්නවා ඔබ ඉපදිච්ච දවසේ ඉඳල හුස්ම ගන්නවා. හෙළනවා. ඉපදිච්ච දවසේ ඉඳල ඔබ හුස්ම ගත්තත් හෙලූවත්, මේ ගන්න හුස්ම, හෙළන හුස්ම මුල් කරගෙන සිහිය දියුණු කරලා සිත පිරිසිදු කරන්න පුළුවන් බව ඔබ දැනගෙන සිටියේ නැතුව ඇති.
නමුත් ඒ සුවිශේෂී ක්‍රමය බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ලෝකෙට හෙළිදරව් කළා. කෝටි සංඛ්‍යාත බුද්ධිමත් මනුෂ්‍ය ප්‍රජාව ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තා. ඵල නෙලාගත්තා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කවුරුවත් ප්‍රගුණ කරල නැති ප්‍රතිඵල ලබපු නැති දෙයක් නෙවෙයි. කෝටි සංඛ්‍යාත ජනකායක් මේ ධර්මය ප්‍රගුණ කරල ප්‍රතිඵල ලබල තියෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශාසනය චතුරාර්ය සත්‍යයයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා අපි එ්ක හොඳට මතක තියාගන්න ඕනෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම එයා කරන්නට ඕනි කියල තියෙන්නේ, ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින්, මේකෙ තේරුම හුදෙකලා වෙන්න කියන එක. මේ භාවනා කිරීමේදී හුදෙකලා වෙන්න ඕනෙ. ඔබට පුළුවනි, ඔබ සිටින කාමරයේම හුදෙකලා වෙන්න.
අපි කියමු ඔබ සිටින කාමරයේ තුන් දෙනෙක් භාවනා කරනවා කියල. එතකොට තුන් දෙනා තුන් තැනක වාඩිවෙලා ඇස් වහගෙන භාවනාවට සුදුසු විදිහට ඉරියව්ව සකස් කරගන්න කොට එයා හුදෙකලා වෙලා. මේ විදිහට හුදෙකලා භාවයක් ඇතිකරන්න පුළුවන්. එහෙම නැත්නම්, බෝ මළුවක ඔබට භාවනා කරන්න සුදුසු විදිහක් හරිගස්ස ගන්න පුළුවන්. එ් වගේ නිදහස් තැනක් තෝරාගැනීම ගොඩාක් උපකාරී වෙනවා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා (නිසීදති පල්ලංකං ආභුජිත්වා) පළඟක් බැඳගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන වාඩිවෙනවා කියල කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන එකයි. හැබැයි ඒකෙ තියෙනවා (උජුං කායං පණිධාය) කියල. පළඟක් බැඳගෙන වාඩි වුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න ඕනෙ. ඒකටයි උජුං කායං පණිධාය කියල කියන්නේ.
බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන ඒ කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන්න අමාරුයි. මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. සමහරු එහෙම පළඟක් බැඳගෙන බිම වාඩිවුණත් කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේක අපි කොහොමද විසඳුමක් කරගන්නේ? මොකද අපේ ඉලක්කය සිත දියුණු කර ගැනීම. සමාධිය දියුණු කරගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. මේකට වුවමනා කරන ආකාරයට අපේ මේ වාඩිවෙන ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔබට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේවි, මේ අපි වාඩිවෙන ආසනය ගැන කල්පනාවෙන් සිටීම.
දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක්‍රමයක් තියෙනවා. උපක්රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. එ් නිසා එ් විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා එ් විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.
ඊට පස්සේ තියෙන්නේ (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) දැන් භාවනා කරන අරමුණේ සිහිය පිහිටුවගෙන භාවනා කරන්න. දැන් ඔබට නිමිත්තක් තියෙනවා. නිමිත්ත තමයි ආනාපානසතිය. ආනාපානසතිය හැර වෙන නිමිති ඔබ හොයන්න යන්න එපා. මොකක්ද මේ ආනාපානසති නිමිත්ත. බුදුරජාණන් වහන්සේ ඒකේ වදාළා (සෝ සතෝව අස්සති) එයා සිහියෙන්ම හුස්ම ගනියි. (සතෝ පස්සති) සිහියෙන් ම හුස්ම හෙළයි. දැන් ඕක තමයි ඔබට කරන්න තියෙන්නේ. සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.
දැන් ඔබ මතක තියාගන්න එතකොට අපි අවධානය යොමු කරගන්නේ කොහාටද? හුස්ම ගැන. දැන් ඔබ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. දැන් ඔබ ඒ සඳහා මූලික සුදුසුකමක් හැටියට මේ භාවනාවට වාඩි වෙලා කය ඍජු කරගෙන වාඩිවුණා.
හැබැයි මේකෙදි ආරම්භයක් ලෙස ඔබ ටිකක් වෙලා බුදු ගුණ වඩන්න. ආනාපානසති භාවනාව වඩන්න ඉස්සර වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිංහලෙන්, ඔබේ භාෂාවෙන් සිහිකරන්න. උන්වහන්සේට අරහං කියන්නේ මොකද? සම්මා සම්බුද්ධ කියන්නෙ මොකද? විජ්ජා චරණ සම්පන්න කියන්නෙ මොකක්ද? සුගත ගුණය මොකක්ද? ලෝකවිදූ, අනුත්තර පුරිසදම්ම සාරථී, බුද්ධ, භගවා කියන මේ බුදු ගුණ සිහි කරලා ඔබේ සිතේ ප්‍රසන්න පැහැදීමක් ඇතිකරගන්න.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරද්දී, සිහිකරද්දී බොර වෙච්ච වතුරක් තැන්පත් වෙනවා වගේ ඔබේ සිත තැන්පත් වෙනවා. සැනසීමට ලක් වෙනවා. සතුටක් ඇතිවෙනවා. මෙන්න මේක ඔබට ආනාපානසති භාවනාව දියුණු කිරීමට ලොකු රුකුලක් වෙනවා. මේ නිසා ඔබ මොකද කරන්නේ. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. දැන් ඔච්චරයි ඔබට මේ ආනාපානසති භාවනාවේ ආරම්භයේම කරන්න තියෙන්නේ.
මේක අමාරු එකක් නෙවෙයි. දැන් බලන්න කොච්චර සරල ප්රවේශයක්ද තියෙන්නෙ කියල. හැබැයි මේකෙදි ඔබ සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න ගනීවි මේ සිහිය සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පවත්වපු සිහිය කොච්චර හිතුවක්කාර එකක්ද කියල. ඔබට ම අවබෝධ වෙන්න පටන් ගනීවි ඔබට ඕන හැටියට පවත්වන්න බැරි බව.
ඔබට තේරේවි ඔබ හුස්ම ගැන සිහිය පිහිටුවන්න යනවිට ඔබේ සිත එක එක තැන්වල දුවනවා. එක එක අරමුණුවල දුවනවා. එක එක කල්පනාවල දුවනවා. අතීතයට දුවනවා. අනාගතය මවනවා. බාහිර ශබ්දවලට යනවා. එතකොට ඔබට තේරේවි මෙවැනි ආකාරයේ සිතකින් යුතු සිහියක් ද මං පැවැත්තුවේ කියල. ඔබට ඔබේ සිහිය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
ඊට පස්සේ ඔබට මොකක්ද කරන්නේ තියෙන්නේ? ඔබ වීරිය ඇතිකරගන්නට ඕනෙ. සිත විසිරෙන කොට නැවතත් ආනාපානසතියේ සිහිය පිහිටුවා ගන්න. මේකෙදි ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ, බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් තියෙනවා. සතිපට්ඨානය දියුණු කිරීමේදී ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලම ඔබ අත්හරින්න ඕනෙ.
ඇලෙන අරමුණු හිතට එනවිට ඒක ගන්න එපා. ගැටෙන අරමුණු හිතට එනවිටත් ඒක ගන්නත් එපා. ඇලීම් ගැටීම් දෙක ඔබ බැහැර කරන්න ඕනෙ. ඔබ දියුණු කරගන්නා කුසලතා තුනක් ඔබ තුළ ඇතිකර ගන්න ඕනෙ. ඒ තමයි, (ආතාපි) ඔබේ මානසිකව ගොඩනැගිච්ච දුර්වලතා බැහැර කරන්න පුළුවන් හැකියාව දියුණු කරන්න ඕනෙ. (සම්පජාන) ඔබ සිහිනුවණින් හසුරුවන්න ඕනෙ. (සතිමා) හොඳ කල්පනාවෙන් අවධානයෙන් සිටින්ට ඕනෙ.
එතකොට සතිපට්ඨානය දියුණු කරගන්න තියෙන්නේ මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන. ඒ තමයි ආතාපි, සම්පජානෝ, සතිමා කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, සිහි ඇතිව.