සතර සතිපට්ඨානය තුළ ආනාපානසති භාවනාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🙏
    සිහියේ වටිනාකම….
    බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ සතිපට්ඨාන ධර්ම දේශනාව පවත්වා වදාළ වෙලාවේ පැහැදිලිවම පෙන්වා දුන්නා මේ මනුස්සයාගේ මේ සත්වයාගේ සිත පිරිසිදු කිරීම පිණිසත්, වැළපීම්, දුක් දොම්නස් නැති කිරීම පිණිසත්, කායික මානසික දුක් බැහැර කිරීම පිණිසත් ජීවිතාවබෝධය පිණිසත් නිවන පිණිසත් මේ සතිපට්ඨාන ධර්මය හේතුවන බව.
    මේ නිසා පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ ආනිසංස සතිපට්ඨාන ධර්ම දේශනා කරන්න කලින්ම වදාළ නිසා අපි ඒ පිළිබඳව අමුතු සැක සංකා තබාගත යුතු නෑ. අපට ඉතාම පැහැදිලියි මේ ධර්මය ප‍්‍රගුණ කරගත්තොත් මේ සිහිය ප‍්‍රගුණ කරගත්තොත් අපේ ජීවිතවලට විශාල ප‍්‍රතිලාභ ලබන්න පුළුවන්කම තියෙනවා. මේ සතිපට්ඨානය දියුණු කිරීමේදී අපට ඉස්සෙල්ලාම පුරුදු කරන්න පුළුවන් වෙන්නෙ කායානුපස්සනාව.
    🙏
    සුන්දර ම සුසුම් පොද….
    කායානුපස්සනා භාවනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි භාවනාව තමයි ආනාපානසති. ආනාපානසති කියල කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවා ගැනීම. දැන් ඔබ දන්නවා ඔබ ඉපදිච්ච දවසේ ඉඳල හුස්ම ගන්නවා. හෙළනවා. ඉපදිච්ච දවසේ ඉඳල ඔබ හුස්ම ගත්තත් හෙලූවත්, මේ ගන්න හුස්ම, හෙළන හුස්ම මුල් කරගෙන සිහිය දියුණු කරලා සිත පිරිසිදු කරන්න පුළුවන් බව ඔබ දැනගෙන සිටියේ නැතුව ඇති.
    නමුත් ඒ සුවිශේෂී ක‍්‍රමය බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සිය ගණනකට කලින් ලෝකෙට හෙළිදරව් කළා. කෝටි සංඛ්‍යාත බුද්ධිමත් මනුෂ්‍ය ප‍්‍රජාව ඒ ධර්මයෙන් ප‍්‍රයෝජන ගත්තා. ඵල නෙලාගත්තා. මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කවුරුවත් ප‍්‍රගුණ කරල නැති ප‍්‍රතිඵල ලබපු නැති දෙයක් නෙවෙයි. කෝටි සංඛ්‍යාත ජනකායක් මේ ධර්මය ප‍්‍රගුණ කරල ප‍්‍රතිඵල ලබල තියෙනවා.
    🙏
    නිවන ඇති බුදු සසුන….
    බුදුරජාණන් වහන්සේගේ ශාසනය චතුරාර්ය සත්‍යයයෙන් බැහැර වෙච්ච එකක් නෙවෙයි. ඒ නිසා අපි එ්ක හොඳට මතක තියාගන්න ඕනෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආනාපානසති භාවනාවේදී ඉස්සෙල්ලාම එයා කරන්නට ඕනි කියල තියෙන්නේ, ආරණ්‍යයකට ගිහින්, එහෙම නැත්නම් රුක් සෙවණකට ගිහින්, එහෙම නැත්නම් හිස් තැනකට ගිහින්, මේකෙ තේරුම හුදෙකලා වෙන්න කියන එක. මේ භාවනා කිරීමේදී හුදෙකලා වෙන්න ඕනෙ. ඔබට පුළුවනි, ඔබ සිටින කාමරයේම හුදෙකලා වෙන්න.
    අපි කියමු ඔබ සිටින කාමරයේ තුන් දෙනෙක් භාවනා කරනවා කියල. එතකොට තුන් දෙනා තුන් තැනක වාඩිවෙලා ඇස් වහගෙන භාවනාවට සුදුසු විදිහට ඉරියව්ව සකස් කරගන්න කොට එයා හුදෙකලා වෙලා. මේ විදිහට හුදෙකලා භාවයක් ඇතිකරන්න පුළුවන්. එහෙම නැත්නම්, බෝ මළුවක ඔබට භාවනා කරන්න සුදුසු විදිහක් හරිගස්ස ගන්න පුළුවන්. එ් වගේ නිදහස් තැනක් තෝරාගැනීම ගොඩාක් උපකාරී වෙනවා.
    🙏
    පූර්ව කෘත්‍යයන්…..
    ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඒ කෙනා (නිසීදති පල්ලංකං ආභුජිත්වා) පළඟක් බැඳගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන වාඩිවෙනවා කියල කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන එකයි. හැබැයි ඒකෙ තියෙනවා (උජුං කායං පණිධාය) කියල. පළඟක් බැඳගෙන වාඩි වුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න ඕනෙ. ඒකටයි උජුං කායං පණිධාය කියල කියන්නේ.
    බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන ඒ කියන්නේ කකුල් දෙක නවාගෙන බිම වාඩිවෙන්න අමාරුයි. මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක්. සමහරු එහෙම පළඟක් බැඳගෙන බිම වාඩිවුණත් කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේක අපි කොහොමද විසඳුමක් කරගන්නේ? මොකද අපේ ඉලක්කය සිත දියුණු කර ගැනීම. සමාධිය දියුණු කරගැනීම, ප‍්‍රඥාව දියුණු කර ගැනීම. මේකට වුවමනා කරන ආකාරයට අපේ මේ වාඩිවෙන ඉරියව්ව සකස් කරගන්නේ කොහොමද කියන එක. මේකෙදි ඔබට විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් වේවි, මේ අපි වාඩිවෙන ආසනය ගැන කල්පනාවෙන් සිටීම.
    🙏
    වාඩි වීම අපහසු නම්….
    දැන් ඔබට පළඟක් බැඳගෙන වාඩිවීම තමයි ටිකක් අමාරු කාරණාව. මොකද අපේ රටේ බොහෝ දෙනෙකුට පළඟක් බැඳගෙන වාඩිවුණාට පස්සේ කොන්ද කෙළින් කරගන්න අමාරුයි. මේකට පොඩි උපක‍්‍රමයක් තියෙනවා. උපක‍්‍රමේ තමයි ඔබට පුළුවනි පුංචි මෙට්ටයක් (රබර් මෙට්ට නෙවෙයි, රබර් මෙට්ට අමාරුයි) කොහු මෙට්ටයක වගේ පොඩි මෙට්ටයක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් විතර උසට, එහෙම නැත්නම් ඔබට පුළුවනි පුංචි බංකුවක් හරිගස්ස ගන්න. අඟල් තුන හතරක් උසට.
    හරිගස්සගෙන ඊට පස්සේ ඒකේ වාඩිවෙලා කකුල් දෙක පහළට දාගෙන ඊට පස්සේ ඔබට කොන්ද කෙළින් කරගන්න පුළුවන්. ඉතින් ඔබ එ්කෙදි සැලකිලිමත් වෙන්න අවධානය යොමු කරගන්න. හේත්තු වෙන්න පුරුදු වෙන්න එපා. හේත්තු වෙන්න පුරුදු වෙන්නෙ නැතිව ආසනේ වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න පුරුදු වෙන්න. සමහරුන්ට පුළුවනි බොහොම ලස්සනට බිම වාඩිවෙලා එරමිණිය ගොතාගෙන හොඳට කොන්ද කෙළින් කරගන්න. එ් නිසා එ් විදිහට ඔබට බැරිවුණා කියල ඔබ පසුබට වෙන්න එපා. ඔබට පුළුවන්කම තියෙනවා එ් විදිහට වාඩිවෙලා කොන්ද කෙළින් කරගන්න. එතකොට ඔබගේ මූලික කරුණ හරි.
    🙏
    භාවනාව පටන් ගන්න….
    ඊට පස්සේ තියෙන්නේ (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) දැන් භාවනා කරන අරමුණේ සිහිය පිහිටුවගෙන භාවනා කරන්න. දැන් ඔබට නිමිත්තක් තියෙනවා. නිමිත්ත තමයි ආනාපානසතිය. ආනාපානසතිය හැර වෙන නිමිති ඔබ හොයන්න යන්න එපා. මොකක්ද මේ ආනාපානසති නිමිත්ත. බුදුරජාණන් වහන්සේ ඒකේ වදාළා (සෝ සතෝව අස්සති) එයා සිහියෙන්ම හුස්ම ගනියි. (සතෝ පස්සති) සිහියෙන් ම හුස්ම හෙළයි. දැන් ඕක තමයි ඔබට කරන්න තියෙන්නේ. සිහියෙන්ම හුස්ම ගන්නවා. සිහියෙන්ම හුස්ම හෙලනවා.
    දැන් ඔබ මතක තියාගන්න එතකොට අපි අවධානය යොමු කරගන්නේ කොහාටද? හුස්ම ගැන. දැන් ඔබ සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. දැන් ඔබ ඒ සඳහා මූලික සුදුසුකමක් හැටියට මේ භාවනාවට වාඩි වෙලා කය ඍජු කරගෙන වාඩිවුණා.
    🙏
    ආනාපානසතියට පෙර….
    හැබැයි මේකෙදි ආරම්භයක් ලෙස ඔබ ටිකක් වෙලා බුදු ගුණ වඩන්න. ආනාපානසති භාවනාව වඩන්න ඉස්සර වෙලා ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිංහලෙන්, ඔබේ භාෂාවෙන් සිහිකරන්න. උන්වහන්සේට අරහං කියන්නේ මොකද? සම්මා සම්බුද්ධ කියන්නෙ මොකද? විජ්ජා චරණ සම්පන්න කියන්නෙ මොකක්ද? සුගත ගුණය මොකක්ද? ලෝකවිදූ, අනුත්තර පුරිසදම්ම සාරථී, බුද්ධ, භගවා කියන මේ බුදු ගුණ සිහි කරලා ඔබේ සිතේ ප‍්‍රසන්න පැහැදීමක් ඇතිකරගන්න.
    බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහිකරද්දී, සිහිකරද්දී බොර වෙච්ච වතුරක් තැන්පත් වෙනවා වගේ ඔබේ සිත තැන්පත් වෙනවා. සැනසීමට ලක් වෙනවා. සතුටක් ඇතිවෙනවා. මෙන්න මේක ඔබට ආනාපානසති භාවනාව දියුණු කිරීමට ලොකු රුකුලක් වෙනවා. මේ නිසා ඔබ මොකද කරන්නේ. සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙලනවා. දැන් ඔච්චරයි ඔබට මේ ආනාපානසති භාවනාවේ ආරම්භයේම කරන්න තියෙන්නේ.
    මේක අමාරු එකක් නෙවෙයි. දැන් බලන්න කොච්චර සරල ප‍්‍රවේශයක්ද තියෙන්නෙ කියල. හැබැයි මේකෙදි ඔබ සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න පටන් ගත්තට පස්සේ ඔබට තේරෙන්න ගනීවි මේ සිහිය සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ පවත්වපු සිහිය කොච්චර හිතුවක්කාර එකක්ද කියල. ඔබට ම අවබෝධ වෙන්න පටන් ගනීවි ඔබට ඕන හැටියට පවත්වන්න බැරි බව.
    🙏
    සාමාන්‍ය සිතේ ස්වභාවය….
    ඔබට තේරේවි ඔබ හුස්ම ගැන සිහිය පිහිටුවන්න යනවිට ඔබේ සිත එක එක තැන්වල දුවනවා. එක එක අරමුණුවල දුවනවා. එක එක කල්පනාවල දුවනවා. අතීතයට දුවනවා. අනාගතය මවනවා. බාහිර ශබ්දවලට යනවා. එතකොට ඔබට තේරේවි මෙවැනි ආකාරයේ සිතකින් යුතු සිහියක් ද මං පැවැත්තුවේ කියල. ඔබට ඔබේ සිහිය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.
    ඊට පස්සේ ඔබට මොකක්ද කරන්නේ තියෙන්නේ? ඔබ වීරිය ඇතිකරගන්නට ඕනෙ. සිත විසිරෙන කොට නැවතත් ආනාපානසතියේ සිහිය පිහිටුවා ගන්න. මේකෙදි ඔබ විශේෂයෙන්ම මතක තියාගන්න ඕනෙ, බුදුරජාණන් වහන්සේ වදාළ කරුණක් තියෙනවා. සතිපට්ඨානය දියුණු කිරීමේදී ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලම ඔබ අත්හරින්න ඕනෙ.
    🙏
    ඇලීම් ගැටීම් දුරලමින්….
    ඇලෙන අරමුණු හිතට එනවිට ඒක ගන්න එපා. ගැටෙන අරමුණු හිතට එනවිටත් ඒක ගන්නත් එපා. ඇලීම් ගැටීම් දෙක ඔබ බැහැර කරන්න ඕනෙ. ඔබ දියුණු කරගන්නා කුසලතා තුනක් ඔබ තුළ ඇතිකර ගන්න ඕනෙ. ඒ තමයි, (ආතාපි) ඔබේ මානසිකව ගොඩනැගිච්ච දුර්වලතා බැහැර කරන්න පුළුවන් හැකියාව දියුණු කරන්න ඕනෙ. (සම්පජාන) ඔබ සිහිනුවණින් හසුරුවන්න ඕනෙ. (සතිමා) හොඳ කල්පනාවෙන් අවධානයෙන් සිටින්ට ඕනෙ.
    එතකොට සතිපට්ඨානය දියුණු කරගන්න තියෙන්නේ මෙන්න මේ කරුණු තුන පදනම් කරගෙන. ඒ තමයි ආතාපි, සම්පජානෝ, සතිමා කෙලෙස් තවන වීර්යෙන් යුක්තව, මනා නුවණින් යුක්තව, සිහි ඇතිව.
    🙏
    සිහියේ වටිනාකම….
     
    • Like
    Reactions: kinkon and S_M_S

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අන්න එතකොට දැන් ඔබ ආවාට ගියාට ආනාපානසතිය කරන කෙනෙක් නෙවෙයි. දැන් ඔබ අවබෝධයෙන් යුක්තව ආනාපානසතිය කරන කෙනෙක්. ඔබ දන්නවා හිත යම් යම් කරුණුවලට ඒ වෙලාවේ ඇලිල තියෙනවා නම් කාම අරමුණුවල හිත දුවනවා නම්, ඒ වෙලාවේ ඔබට ආනාපානසතිය කරන්න බැහැ. ඒ වගේම යම්කිසි ගැටීමක් ඇතිවෙලා තියෙනවා නම් ඒ වෙලාවෙදිත් ඔබට ආනාපානසතිය කරන්න බෑ..
    එහෙනම් ඔබ මේ දෙකෙන් බැහැර වෙච්ච වෙලාව තමයි සිත සංසිඳවන්න පුළුවන් වෙලාව. අන්න ඒ වෙලාව තමයි අර නිශ්ශබ්ද පරිසරයක් තුළින් ඔබ හදාගන්නේ. ඊට පස්සේ ඔබට පුළුවනි සිහියෙන් හුස්ම ගන්න. සිහියෙන් හුස්ම හෙලන්න. මේක තමයි ආනාපානසති භාවනාවේ තියෙන පළවෙනි අභ්‍යාසය. දැන් ඔබට මේක හොඳට පුරුදු කරන්න පුළුවන්.
    මීළඟට ආනාපානසති භාවනාවම තවත් දියුණු කරන්න පුළුවන් ආකාරය අපි විස්තර කරල දෙනවා. දැන් ඔබට තියෙන්නේ සිහියෙන් හුස්ම ගැනීම, සිහියෙන් හුස්ම හෙළීම දියුණු කරන්නයි. හැබැයි ඔබට වුවමනයි හිත විසිරෙන්නෙ නැතිව පවත්වා ගන්න.
    මතක තියාගන්න ඒකට වීරිය, නුවණ සිහිය වුවමනයි. මේ වීරියත්, නුවණත්, සිහියත් පාවිච්චි කරල දැන් ඔබ කරන්න ඕනෙ මොකක්ද? සිහියෙන් හුස්ම ගන්න එක. සිහියෙන් හුස්ම හෙලන එක. හැබැයි මේකට ඔබ පොඞ්ඩක්වත් මානසිකව දුක්වෙන්නෙ නැති, පසුබහින්නෙ නැති, පසුතැවෙන්නෙ නැති පරිසරයක් හදාගන්න ඕනෙ. හිතින් දුක් විඳින්න නම් එපා. ඔබ එසේ කරන විට සිත එකඟ වෙන්නෙ නෑ කියල තැවෙන්න එපා. ඔබ කළ යුත්තේ සිහිය පිහිටුවාගෙන හුස්ම ගැන ඒ කියන්නේ ආනාපානසතිය ගැන, ඒ කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස ගැන සිහිය පිහිටුවීමයි. එතකොට ඔබට මේ ආශ්වාස ප‍්‍රශ්වාස වල සිහිය පිහිටුවාගෙන ඔබේ සිත දියුණු කරගෙන උදාර මනුස්ස ජීවිතයක් ලබාගන්නට පුළුවන් වෙනවා.
    🙏
    ආනාපානසති භාවනාව තුළ කායානුපස්සනා වඩන හැටි
    🙏

    🙏
    ආනාපානසතිය තුළ ඉදිරියට…
    දැන් ඔබ ආනාපානසති භාවනාව ටික ටික පුරුදු කරගනිමින් සිටින්නෙ. ආනාපානසති භාවනාව කරගැනීමේදී භාවනාවට වාඩි විය යුතු ආකාරය, කොන්ද කෙලින් තබා ගත යුතු ආකාරය, ආශ්වාස ප‍්‍රශ්වාස පැවැත්වීමේ දී සිහිය පවත්වාගත යුතු ආකාරය අපි ඔබට කියා දීලා තියෙනවා. ඒ වගේම අපි ඔබට තවදුරටත් කියා දෙන්නම්, සතර සතිපට්ඨානය දියුණු කිරීමේදී ඇලීමටත්, ගැටීමත් ඉඩ නොදී, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, නුවණින් යුක්තව, සිහිය පවත්වන්න පුරුදු වෙන්න ඕනෙ හැටි.
    🙏
    සම්මා සතිය දියුණු කරගන්න….
    අන්න එතකොට තමයි සම්මා සතිය ඔබ තුළ දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නෙ. අපි ඔබට කියා දුන්න මේ සම්මා සතිය තමයි ජීවිතාවබෝධය කරා ඔබව සකස් කරවන්නෙ. ඔබට සම්මා සතිය දියුණු කරගන්න බැරිවුනොත් ජීවිතාවබෝධය කරා ඔබ සකස් වෙන්නෙ නෑ. එහෙමනම් සම්මා සතිය කියන්නේ ඔබේ ජීවිතයට අතිශයින්ම උපකාර වන දෙයක්.
    🙏
    ගුරුවරයා හඳුනාගන්න….
    ඊළඟට ඔබට තව දෙයක් මතක් කළ යුතුව තියෙනවා. ”භාවනා කිරීමේදී ඔබ විශේෂ ගුරුවරයෙක් ලඟට ගිහින් ඒ ගුරුවරයාට ඔබේ තොරතුරු කියල, ඔබට අදාල කර්මස්ථානයක් ඉගෙන ගන්නට ඕනෙ. එබඳු ගුරු උපදේශයකින් තොරව භාවනා කිරීම අනතුරුදායකයි” කියල මේ වගේ අදහසක් (බුදු රජාණන් වහන්සේ නම් ඒ වගේ එකක් ප‍්‍රකාශ කරල නැහැ.) පසුකාලීනව පැතිරිලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නෙ ගුරුවරයා හැටියට අපි තබාගත යුත්තෙ පුද්ගලයෙක්ව නොවෙයි.
    ගුරුවරයා හැටියට, අපි තබාගත යුත්තේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත්, විනයත්. අපගේ ශාස්තෘන් වහන්සේ හැටියට අපි තබාගත යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්න කාලයේදී, ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලිව ප‍්‍රකාශ කළා, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාස්තෘන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ශ‍්‍රී සද්ධර්මයත්, පණවන ලද විනයත් ශාස්තෘත්වයේ ලා සලකන්නට කියල. මේ අනුව අපට ගුරුවරයෙකුගේ අර්බුදයක් මතුවෙන්නේ නෑ. පැහැදිලිවම ශාස්තෘ ශාසනය තියෙනවා.
    🙏
    සැබෑ ගුරුවරයා කවුද?
    ගුරුවරයෙකුගේ වැදගත්කම තියෙන්නෙ මෙන්න මෙතනයි. ඒ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කියන කෙනෙක්ද කියන එක. බුදුරජාණන් වහන්සේ වදාළ දේ නම් ඒ කෙනා පවසන්නෙ, අන්න එතන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේගේ අදහස, ආකල්පය, ඉලක්කය මේ සෑම දෙයක්ම එතනින් මතුවෙනවා. ඒකට හේතුව ඒ ධර්මය කියන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ දේ ම කීමයි. මීට අමතරව පෞද්ගලිකව රහසේ කැඳවල, රහසේ උපදෙස් දීල, රහසේම පිටත් කරල හරින ධර්ම ක‍්‍රමයක් නම් බුද්ධ ශාසනයේ නෑ.
    🙏
    සැක කළ යුතුම තැන….
    එහෙම එකක් තියෙනවා නම් පැහැදිලිව සැක කරන්න. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උන්වහන්සේ පැහැදිලිවම පෙන්වා දීල තියෙනව, ”(තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡුන්නෝ) තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය විවෘත වූ විට බබළනවා. සැඟවුණාම බබළන්නේ නෑ” කියල.
    🙏
    රහස් බණක් නැත්තේ ම ය ඒහිපස්සිකයි සදහම්….
    එතකොට එහෙම නම් ඔබට තවදුරටත් ප‍්‍රශ්නයක් මතුවේවි, භාවනා කරන කොට අපේ පුද්ගලික ආකල්ප, පුද්ගලික දියුණුව ප‍්‍රසිද්ධියේ හෙළිදරව් කරන්න ගියොත්, ඒක අනිත් අයට බාධාවක් වෙනව නේද? කියල. ඉතින් ඒක එහෙම නම්, ඒක ඉස්සෙල්ලා ම දේශනා කළ යුත්තේ ත් බුදුරජාණන් වහන්සේ ම යි.
    ධර්මය ගැන කතා කරද්දි බුදුරජාණන් වහන්සේ කාටවත් රහසේ භාවනා උපදෙස් දීල, රහසේ පිටත් කරපු අවස්ථාවක් නෑ. ඒවා ඔක්කොම වාර්තාගත වෙලා තියෙනවා, ආනන්ද ස්වාමීන් වහන්සේට ප‍්‍රකාශ කරල තියෙනවා. සියලු ස්වාමීන් වහන්සේලා දැනගෙන තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ රහස් බණ නෑ. රහස් බණ නැතිකමට අපි කියනවා ඒහිපස්සික. ඇවිත් බලන්න කියල. ඇවිත් බලන්න කියල ප‍්‍රකාශ කරන ධර්මයක රහස් උපදෙස් නෑ. යම් තැනක රහස් උපදෙස් දෙනව නම් භාවනාව හැටියට, ඔබ සැක කළ යුතුමයි. එතන පිරිසිදු බුදු දහම තියෙනව කියල ඔබ හිතන්න එපා. ඒක සැක කළ යුතුම තැනක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම රහස් නෑ. ඕනෑම දෙයක් එළිපිට කතා කරන්න පුළුවන් එකක්. අනිත් එක බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය විවෘත වුණාම බබලන එකක්. සැඟවුණාම බබළන්නේ නැති එකක්. ඉතින් මේ ධර්ම මාර්ගය විවෘත කරන්න කරන්න තමයි මේක බබලන්න පටන් ගන්නෙ. ධර්මය අනිත් අය අතර ප‍්‍රචලිත වෙනවා. පුරුදු වෙනවා.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    🙏
    බුද්ධ ශාසනය බොහෝ කල් පවතින්න නම්…
    දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා, මේ බුද්ධ ශාසනය දිගුකල් පවතින්න හේතු වෙන්නෙ මොකක් ද කියල. බුද්ධ ශාසනය බොහෝ කල් පවතින්න හේතුවෙනවා, සතර සතිපට්ඨානය බොහෝ කල් වැඞීම, සතර සතිපට්ඨානය ගැන කතා බස් කිරීම, සතර සතිපට්ඨානය අනුගමනය කිරීම. මේ කාරණා අනුගමනය නොකිරීමෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙනව කියල බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙම නම් අපිට පැහැදිලිව පේනවා, දැන් අපි මේ කතා කරන්නෙ සතර සතිපට්ඨානය ගැන.
    🙏
    අනාපානසතියේ පළමු පියවර…
    ඉතින් ඔබට අපි ඉගැන්නුව ආනාපානසතියේදී හුස්ම ඉහල ගන්න හැටිත්, පහළ හෙලන හැටිත් ගැන හොඳට සිහියෙන් ඉන්න කියල. ඊළඟට හුස්ම ඉහළ ගන්න හැටිත්, පහළට හෙලන හැටිත් හොඳට සිහියෙන් බලන්න පුරුදු වෙන කොට, ඔබේ සිහිය ටිකෙන් ටික ආශ්වාස ප‍්‍රශ්වාසවල රඳන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ බාහිරට ඔබේ සිත විසිරෙන්නෙ නැතිව, ඔබ ආශ්වාස කරන කොට ඒ ආශ්වාසය ගැන සිහිය පවත්වාගන්න පුළුවන් වෙනවා. හුස්ම හෙලන කොට ඒ හුස්ම හෙලීමට ම සිහිය පවත්වා ගන්න පුළුවන් වෙනව. ඒක තමයි ආනාපානසති භාවනාවේ තියෙන පළවෙනි පියවර.
    🙏
    හුස්ම රැල්ලේ වෙනස්කම්…
    ඊළඟට ආනාපානසති භාවනාවේ ඊළඟ පියවර තමයි, දැන් ඔබ ඒ විදිහට හුස්ම ගන්න කොට, හෙලන කොට ඔබට මේ හුස්මවල තියෙන වෙනස්කම් දැනගන්න ලැබෙනවා. හිටපු ගමන් දිගට ආශ්වාසයක් දැනෙනවා. ඒ කියන්නෙ දිගට ඔබ හුස්ම ගන්නවා. එතකොට ඔබ සිහියෙන් හිටපු නිසා, ඔබ තේරුම් ගන්නව දිග හුස්මක් ගන්නව කියල. ඊළඟට දිගට හුස්ම හෙලන අවස්ථා එනවා. ඔබ සිහියෙන් ඉන්න නිසා තේරුම් ගන්නව දැන් දිග හුස්මක් හෙලනවා කියල. හිටපු ගමන් මේ ආශ්වාස ප‍්‍රශ්වාස කෙටි වෙනවා. දැන් ඔබ කෙටියෙන් හුස්ම ගන්න කොට ඔබ සිහියෙන් හිටපු නිසා, ඔබට තේරෙනව දැන් ආශ්වාසයක් ඇතිවුණා කෙටියි. ඔබ කෙටියෙන් හුස්ම හෙලන කොට ඔබ සිහියෙන් හිටපු නිසා, තේරුම් ගන්නව දැන් කෙටි ප‍්‍රාශ්වාසයක් කියල.
    🙏
    යතු කැටයේ උපමාව…
    පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මෙතනදි ලස්සන උපමාවක් පෙන්නල දෙනවා. උපමාව තමයි, දක්ෂ යතු ගාන මනුස්සයෙක් ඉන්නවා. යතු කැටේ අතට අරගෙන අත දිගෑරල, දිගට යතු ගානවා. දිගට යතු ගාන කොට එයා දන්නවා දිගට යතු ගාන බව. සමහර අවස්ථාවලදී යතු කැටේ අතට අරගෙන කෙටියෙන් යතු ගානවා. එතකොටත් ඒ යතු ගාන මනුස්සය දන්නවා දැන් කෙටියෙන් යතු ගානවා කියල. මෙන්න මේ වගේ කියනවා ආනාපානසති භාවනාවෙදිත්, දිගට ආශ්වාස කරන කොට අර යතු ගාන මනුස්සය දිගට යතු ගාන කොට දැනගන්නවා වගේ දිග ආශ්වාසයක් කියල දැනගන්නවා. ඒ වගේම යත්ත ආපහු ගන්න කොට දැනගන්නවා වගේ දිගට ප‍්‍රාශ්වාස කරන කොට දිග ප‍්‍රශ්වාසයක් කියල දැනගන්නවා. කෙටියෙන් යතු ගාන කොට එ්ක දැනගන්නවා වගේ, කෙටියෙන් ආශ්වාස කරන කොට, ප‍්‍රශ්වාස කරන කොට මේක දැනගන්නවා.
    🙏
    ඔබේ උත්සාහය, නුවණ මතමයි රඳාපවතින්නෙ
    දැන් බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන උපමාවක්ද මේක තේරුම් ගන්න දේශනා කොට වදාළේ. මේ විදිහට ආශ්වාස ප‍්‍රාශ්වාස හොඳට දැනගන්න කොට භාවනාව සම්බන්ධයෙන් ඔබේ සිහිය ආශ්වාස ප‍්‍රශ්වාස තුළ පිහිටලා තියෙන්නෙ. දැන් ඔබට බාහිරට සිත විසිරෙන්නෙ නැතිව ආශ්වාස ප‍්‍රශ්වාසයේම සිත රඳවගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ වුණාට ඒක කරන්නෙ ඔබේ උත්සාහය මත. ඔබේ නුවණ මත. ඔබේ සිහිය පැවැත්වීම මත.
    ඒ කියන්නේ ඔබේ උත්සාහය අඩු කරාට පස්සේ, ඔබ ආයෙමත් කලින් හිටපු තත්වයට වැටෙනවා. දිගින් දිගටම ඒ ආශ්වාස ප‍්‍රශ්වාසයේම සිහිය රඳවාගෙන යන එකයි. දැන් ඔබ ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය රඳවාගෙන යනකොට දිගට හුස්ම ගන්න එක, දිගට හුස්ම හෙලන එක, කෙටියෙන් හුස්ම ගන්න එක, කෙටියෙන් හුස්ම හෙලන එක හොඳට තේරෙන්න පටන් ගන්න කොට ඔබට පුළුවන්කම ලැබෙනවා සම්පූර්ණ ආශ්වාසය ගැන සිත යොමු කරගන්න. සම්පූර්ණ ආශ්වාසය තේරුම් ගන්න. ඒ කියන්නේ ආශ්වාසය ඇතුළු වීම, ආශ්වාසය ඇතුළු වෙලා ගමන් කරලා ඉවර වෙන කොට, සම්පූර්ණ ආශ්වාසය ගැන ඔබ දැනගන්නව. එතකොට ප‍්‍රශ්වාසය ඉවරවෙන කොටත් ඔබ සම්පූර්ණයෙන්ම දැනගන්නව ප‍්‍රශ්වාසය ඉවරවුනා කියල.
    🙏
    ආශ්වාස ප‍්‍රශ්වාසය කියන්නෙත් කයක්….
    ඒ වගේම සියලූම ආශ්වාස (ඒකට කියන්නේ සබ්බකාය පටිසංවේදී) ඒ කියන්නේ ආශ්වාස ප‍්‍රශ්වාස කය ගැන. ආශ්වාස ප‍්‍රශ්වාස එක්තරා කයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. මොකද ඒකට හේතුව ඒක කය හා බැඳී පවතින දෙයක්. ඒකට කාය සංඛාර කියලත් කියනවා. එතකොට මේ ආශ්වාස ප‍්‍රශ්වාසය කෙරෙහි සම්පූර්ණ අවධානය ආශ්වාස කිරීමත් ප‍්‍රශ්වාස කිරීමත් තේරුම් අරගෙන ඔබ ආශ්වාස ප‍්‍රශ්වාසයේම සිහිය රඳවන්න පටන් ගන්න කොට (පස්සංභයං කාය සංඛාරං) ඔබේ හිත සමාධිමත් වෙන්න පටන් ගන්න කොට, මේ ආශ්වාස ප‍්‍රශ්වාස සැහැල්ලු වෙනවා. ආශ්වාස ප‍්‍රශ්වාස සැහැල්ලු වෙන කොට, ඒ ආශ්වාස ප‍්‍රශ්වාස තේරුම් ගනිමින්, ඔබ ඒ ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිත පිහිටුවා ගන්නවා. ඒ කියන්නේ ආශ්වාස කරන කොට ඒ ආශ්වාසය සැහැල්ලු වෙනවා. හුස්ම ගන්න කොට හුස්ම සැහැල්ලු වෙනවා. ඒක තේරුම් ගනිමින් ආශ්වාස කරනවා. හුස්ම හෙලන කොට හුස්ම හෙලන බව දැනගනිමින් ප‍්‍රශ්වාස කරනවා.
    දැන් එතකොට ඔබ ආනාපානසතියේ හුස්ම ගන්න හැටි, හුස්ම හෙලන හැටි, දීර්ඝ වශයෙන් හුස්ම ගන්න හැටි, දීර්ඝ වශයෙන් හුස්ම හෙලන හැටි, සම්පූර්ණ හුස්ම සැහැල්ලු වෙන හැටි තේරුම් ගනිමින් ආනාපානසතිය දියුණු කරන්න දක්ෂ වෙනවා.
    🙏
    ආනාපානසති භාවනාව තුළ වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනාව වඩන හැටි
    🙏

    🙏
    තේරුම් ගනිමින් ආශ්වාස ප‍්‍රශ්වාස කරන්න…
    තවදුරටත් ආනාපානසතිය දියුණු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. ආශ්වාස ප‍්‍රශ්වාස සංසිඳී යන අවස්ථාව තෙක්ම දැන් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ආශ්වාස ප‍්‍රශ්වාස සංසිඳීගෙන යනකොට ඔබට ටික ටික ප‍්‍රීතිය දැනෙන්න පුළුවනි. ප‍්‍රීතිය දැනෙන කොට ඔබ මොකද කරන්න ඕනෙ, ප‍්‍රීතිය දැනෙන කොට ප‍්‍රීතියට ආස කරල, ආනාපානසති භාවනාව නවත්වල, ප‍්‍රීතිය දිහා බලාගෙන ඉන්න එපා. එතකොට ඔබේ සමාධිය කැඩෙනවා. එතකොට ඔබට භාවනාව දියුණුකරගන්න තියෙන අවස්ථාව නැතිවෙලා යනවා. ඔබ කළ යුත්තේ ප‍්‍රීතිය තේරුම් ගනිමින් ආශ්වාස කිරීමයි, ප‍්‍රීතිය තේරුම් ගනිමින් ප‍්‍රශ්වාස කිරීමයි.
    එතකොට ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පවත්වන එක ඔබ වෙනස් කරන්නෙ නෑ. බොහෝ දෙනෙකුට සිද්ධවෙන මූලික ගැටලූවක් තමයි, භාවනාව සිදුකරගෙන යනකොට සමාධියක් ඇතිවුණා කියමු. ඒ කෙනා හිතන්නෙ මේ සමාධිය ඉබේ හටගත්ත එකක් කියලයි. සමාධිය ඇතිවුණේ සමාධිය ඇතිවෙන ආකාරයට හේතු සකස් වුණු නිසා. වීර්යය පිහිටපු නිසා. නුවණ පිහිටපු නිසා. හේතු නිසා ඒ සමාධිය සකස් වුණේ. සමාධියෙන් නැගිටින කොට ඒ සමාධිය නැතිවෙලා යනවා. එ්ක අවබෝධයක් නැති කෙනා හිතනවා ආනාපානසතිය පටන් ගන්න කොටම අර පරණ විදිහටම හිත සමාධිගත වෙන්න ඕනෙ කියල. හිතල ආනාපානසතියට අඩු අවධානයක් යොමු කරල, ඇති වෙච්ච සමාධිය ගැන හිතන්න පටන් ගන්නවා. එතකොට ආනාපානසතිය හරියට වැඩෙන්නෙ නැති නිසා සමාධිය වැඩෙන්නෙ නෑ.
    🙏
    සමාධිය නැති වුණා කියල දුක් වෙන්න එපා..
    ඊට පස්සේ සමාධිය නැතිවෙලා යනවා. ඊට පස්සේ එයාට දුකක් ඇතිවෙනවා, ”අනේ මම ඉස්සර හොඳට සමාධිය වඩපු කෙනෙක්. ඉස්සර මට හොඳට සමාධියක් තිබුණ. දැන් මට සමාධිය දියුණු වෙන්නෙ නෑ” කියල මානසිකව දොම්නසක් ඇති කරගන්නවා. දොම්නසක් ඇති කරගත්ත ගමන්ම එයාට ප‍්‍රශ්නයක් තියෙනවා. දොම්නස කියල කියන්නෙ හිතේ ඇතිකරගත්ත දුක. හිතේ මේ දුක හේතු කරගෙන හිත විසිරෙන්න පටන් ගන්නව. හිත විසිරෙන කොට හිත සංසිඳෙන්නෙ නෑ. හිත සංසිඳෙන්නෙ නැතිවෙන කොට ආශ්වාස ප‍්‍රශ්වාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න බැරිවෙනවා. ආශ්වාස ප‍්‍රාශ්වාස අරමුණේ සිත පිහිටුවා ගන්න බැරි වෙන කොට, සිහිය පිහිටන්නෙ නැතිවෙලා යනවා. සිහිය පිහිටන්නෙ නැතිවෙන කොට සිත එකඟ වෙන්නෙ නැතිවෙලා යනවා. එකඟ වෙන්නෙ නැති වෙනකොට සමාධිය තවදුරටත් නැතිවෙලා යනවා. එතකොට එයා තවදුරටත් අසහනයට පත්වෙනවා. ඒ නිසා ඒ ක‍්‍රමය අනුගමනය කළ යුතු ක‍්‍රමයක් නොවෙයි.
    🙏
    සමාධියක් ඇති වෙන්නෙ හේතු නිසයි…
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    භාවනාවේ දී ඔබ බොහෝ විට මතක තබා ගත යුතු එකක් තමයි, සමාධියක් ඔබට ඇතිවෙනව නම් ඇතිවෙන්නෙ හේතු සහිතව. ඒ හේතු නැතිවීමෙන් සමාධිය නැතිවෙලා යනවා. ඒ නිසා ආශ්වාස ප‍්‍රශ්වාසයේම හිත රඳවන්නට කෙනෙක් දක්ෂ වුණොත්, අන්න ඒ කෙනාට පුළුවන් වෙනවා සමාධිය කැඩෙන්නෙ නැතිව, බොහෝ වේලාවක් තමාගේ සන්තානයේ පවත්වා ගන්න.
    මේ විදිහට ආනාපානසති භාවනාව කරල සිත එකඟ වෙන කොට, ඒ කෙනාට ප‍්‍රීතිය දැනෙන්න පටන් ගන්නව. ඒ ප‍්‍රීතිය සාමාන්‍ය ප‍්‍රීතියක් නෙවෙයි. දැන් අපි දන්නව, අපට සිංදුවක් අහල, විනෝද ගමනක් ගිහිල්ල, රසවත් කෑමක් කාලා, අපිව තෘප්තිමත් කරන, සතුටු වෙන දෙයක් බලල, අපි ප‍්‍රීති වෙනවා. මේක හරිම ගොරෝසු එකක්. සමාධියේ ඇතිවෙන ප‍්‍රීතිය ඒ වගේ එකක් නෙවෙයි. හිත නිවිච්ච, සංසිඳිච්ච, සැහැල්ලු බවට පත්වෙච්ච සැනසිලිදායක ප‍්‍රීතියක්. මෙන්න මේ ප‍්‍රීතියට ඇලෙන්නෙ නැතිව එයා ආශ්වාස කරනවා, ප‍්‍රාශ්වාස කරනවා.
    🙏
    දැන් සැපයත් තේරුම් ගන්න…
    ඒ විදිහට ආශ්වාස, ප‍්‍රශ්වාසයේම සිහිය පිහිටුවා ගන්න කොට එයාට මොකද වෙන්නෙ, හිත උද්දාමයට පත්වෙන ප‍්‍රීතිමත් ස්වභාවය ටික ටික සංසිඳිල සැපය දැනෙන්න පටන් ගන්නවා. සැපය දැනෙන කොට එයා කායිකවත් සැපයක් විඳිනවා, මානසිකවත් සැපයක් විඳිනවා. දැන් ඔබ දන්නවා ආශ්වාස ප‍්‍රශ්වාස ගැන කියද්දි, ආශ්වාස ප‍්‍රශ්වාස සැහැල්ලුවට දැනෙනව කියල. මේකෙන් කියන්නෙ නෑ ආශ්වාස ප‍්‍රශ්වාස එකපාරටම නැතිවෙනවා කියල. ආශ්වාස ප‍්‍රශ්වාස තේරුණේ නැත්නම් එයාට ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පිහිටුවා ගන්න බැරිව යනවා.
    🙏
    දිගටම සිහිය පවත්වාගන්න….
    අපි දන්නවා සමහර පින්වතුන් ඉන්නව ආනාපානසති භාවනාව කරගෙන යනකොට, ටික ටික සමාධිය දියුණු වේගෙන යනකොට ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන එක එයා නතර කරනවා. අත්ඇරල ආශ්වාස ප‍්‍රශ්වාස දිහා බලාගෙන ඉන්න පුරුදු වෙනවා. සමාධිය පුරුදු කරල තියෙන නිසා ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන මට්ටමට එන අය ඉන්නවා. ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියොත් එයාට තමන් කරන්න එන භාවනාව මොකක්ද? මම මොකක්ද කරන්නෙ කියන කල්පනාව එයාට එන්නෙ නැතිව යනවා. මේ නිසා හොඳම දේ තමයි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යන්නෙ නෑ කවදාවත්. පැය ගණනක් වුණත් ආශ්වාස ප‍්‍රශ්වාස සිහිකරන්න පුළුවන්. මනසිකාර කරන්න ඕනෙ, ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. ආශ්වාසයක්…. ප‍්‍රශ්වාසයක්…. කියල. අන්න එහෙම මනසිකාරයේ යෙදීමෙන් තමයි ආශ්වාස ප‍්‍රශ්වාස දියුණු කරන්න තියෙන්නෙ. සමහර කෙනෙකුට ටික වෙලාවක් ආනාපානසති භාවනාව කරද්දි, ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී යනවා. ඒ කෙනා භාවනාව කරන්න පටන් ගන්න කොටම හිතට අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනෙ, මම දිගටම ආශ්වාසයත් ප‍්‍රශ්වාසයත් මෙනෙහි කරනවා, මේක නොදැනී යන්න දෙන්නෙ නෑ කියල. එතකොට ඒ විදිහට සකස් වෙන්නෙ නැතිව ආශ්වාස ප‍්‍රශ්වාස දිගටම පවත්වන්න පුළුවන්. ආශ්වාස ප‍්‍රශ්වාස එහෙම පවත්වද්දිත් නොදැනී ගියොත්, ඔබ හිතන්න මේ ආශ්වාස ප‍්‍රශ්වාස නොදැනී ගියාට, මේ ආශ්වාස ප‍්‍රාශ්වාස නිරුද්ධ වෙලා නොවෙයි. ආශ්වාස ප‍්‍රශ්වාස තියෙනවා. ඒ නිසා මම සිහියෙන් විමසනවා කියල ආයෙ නුවණින් විමසන කොට හිමිහිට තේරුම් යනව ආශ්වාසයක්, ප‍්‍රශ්වාසයක්, හුස්ම ගැනීම හුස්ම හෙලීම ඔබ තුළ තියෙන බව. මේ විදිහට ආශ්වාස ප‍්‍රශ්වාස දෙක දිගටම පවත්වන්න තමයි ආනාපානසතියේදී පුරුදු වෙන්න තියෙන්නෙ.
    🙏
    චිත්ත සංඛාරත් තේරුම් ගන්න…
    ඒ විදිහට ආශ්වාස ප‍්‍රශ්වාස භාවනාව දිගටම පුරුදු කරගෙන යනකොට සැප ලැබෙන කොට මොකද වෙන්නේ? ආශ්වාසයත් ප‍්‍රශ්වාසයත් තුළ සැප විඳීම හොඳට තේරුම් යනවා. ආශ්වාස ප‍්‍රශ්වාස හොඳට හඳුන ගන්නවා. ආශ්වාස කරන කොට හොඳට හඳුනාගන්නවා මේක ආශ්වාසයක්. ප‍්‍රශ්වාස කරන කොට හොඳට අඳුන ගන්නවා මේක ප‍්‍රශ්වාසයක්. මෙහෙම විඳිමින් හඳුනා ගනිමින් ආශ්වාස කරනවා, ප‍්‍රශ්වාස කරනවා. ඒකට කියනවා චිත්ත සංඛාර කියල. චිත්ත සංඛාර කියල කියන්නෙ විඳීමටයි, හඳුනා ගැනීමටයි. චිත්ත සංඛාර කියන වචනය පාවිච්චි කරන්නෙ සිත හා බැඳී තියෙන නිසා.
    🙏
    දැන ගැනීමයි – පුහුණු වීමයි…
    මේ සිත හා බැඳී පවතින විඳීමත් හඳුනාගැනීමත් තේරුම් ගනිමින් ආශ්වාස කරන කොට, ප‍්‍රශ්වාස කරන කොට, මේ විඳින එකයි, හඳුනාගන්න එකයි පවා සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. සැහැල්ලූ වෙද්දිත් ඒ සැහැල්ලු වීමට නෙවෙයි අවධානය යොමු කරන්නේ. ඒක හොඳට තේරුම් ගනිමින් ආශ්වාස කරනව. ප‍්‍රශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විශේෂත්වයක් තමයි, උන්වහන්සේ ආනාපානසතිය මුලින් ම පටන් ගන්න කොට උන්වහන්සේ දේශනා කරන්නේ ‘පජානාති’ කියල. ‘පජානාති’ කියන්නෙ හොඳට තේරුම් ගන්නවා කියන එක. දීර්ඝ ආශ්වාස ප‍්‍රශ්වාස ගැනත් උන්වහන්සේ පාවිච්චි කරන්නෙ ‘පජානාති’ කියන වචනය. ඊළඟට පාවිච්චි කරන්නෙ පජානාති කියල නෙවෙයි, ‘සික්ඛති’ කියල. ‘සික්ඛති’ කියන්නෙ පුහුණු වෙනවා. පුහුණු වෙන්න නම් අර හිතට දැනෙන දේවල් පස්සෙ යන්නෙ නැතිව, ආශ්වාස ප‍්‍රශ්වාසයේම සිහිය පවත්වන්නට දක්ෂ වෙන්න ඕනෙ. අන්න ඒ දක්ෂතාවයෙන් තමයි එ් පුහුණුව ලැබෙන්නෙ. දැන් එතකොට ආශ්වාස ප‍්‍රශ්වාස දෙක සම්පූර්ණයෙන්ම දැනගනිමින් ආශ්වාස ප‍්‍රශ්වාස කරන්නට පුහුණු වෙන්න ඕනෙ. ආශ්වාස ප‍්‍රශ්වාසයේ සංසිඳීම දැනගනිමින් ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පවත්වන්නට පුහුණු වෙන්න ඕනෙ.
    🙏
    චිත්ත සංඛාරත් සංසිඳෙනවා…
    ඊළඟට ඒවා සම්පූර්ණයෙන්ම සංසිඳුණට පස්සෙ ප‍්‍රීතියක් තියෙනවා. ප‍්‍රීතිය දැනගනිමින් ආශ්වාසයේ ප‍්‍රශ්වාසයේ සිහිය පිහිටුවන්නට පුහුණු වෙන්න ඕනෙ. ඊළඟට කායික මානසික සැහැල්ලූ බව (පස්සද්ධිය) ඇතිවෙනවා. එතකොට තමයි සැපය ඇතිවෙන්නෙ. ඒ සැපය දැනගනිමින් ආශ්වාස ප‍්‍රශ්වාසයේ සිහිය පවත්වන්නට ඔබ පුහුණු වෙන්නට ඕනෙ. ඊළඟට මේ ආශ්වාස ප‍්‍රශ්වාස දෙකේ ඇතිවෙන විඳීමත්, හඳුනාගැනීමත් ආශ්වාසය තුළත්, ප‍්‍රශ්වාසය තුළත් සිහිය පවත්වන්නට ඔබ හොඳට පුරුදු වෙන්නට ඕනෙ. ඊළඟට මේ ආශ්වාස ප‍්‍රශ්වාස තුළ විඳීම, හඳුනාගැනීම සංසිඳෙනවා. ඒ සංසිඳීමත් තේරුම් ගනිමින් ආශ්වාසයේ, ප‍්‍රශ්වාසයේම සිහිය පවත්වන්නට පුරුදු වෙන්න ඕනෙ. ඊළඟට සිත හොඳට තේරුම් ගන්නවා. කාය සංස්කාර සංසිඳිල, චිත්ත සංස්කාර සංසිඳිල ආශ්වාසයේත් ප‍්‍රශ්වාසයේත් සිහිය පිහිටුවා ගන්නට පුහුණු වෙනවා.
    🙏
    සිත ධ්‍යාන තත්වයට පත්වෙනවා…
    දැන් ඔබේ හිත ප‍්‍රමුදිත භාවයට පත්වෙනවා. ප‍්‍රමුදිත භාවයට පත්වෙන කොටත් ආශ්වාසයේම සිහිය පිහිටුවා ගන්නට ඕනෙ. ප‍්‍රශ්වාසයේම සිහිය පිහිටුවා ගන්නට ඕනෙ. එතකොට සිත වඩ වඩාත් එකඟ වෙනවා. වඩ වඩාත් එකඟ වෙනකොටත් ආශ්වාසයේම සිහිය පවත්වාගන්නට ඕනෙ. ප‍්‍රශ්වාසයේම සිහිය පවත්වා ගන්නට ඕනෙ. ඒ වෙනකොට ඔබේ සිතේ තියෙන පංච නීවරණ සම්පූර්ණයෙන්ම යටපත් වෙලා ඔබේ සිත ධ්‍යාන තත්වයට පත්වෙනවා. ආනාපානසතියෙන් බොහොම ලේසියෙන් කෙනෙකුට පළමුවෙනි ධ්‍යානය ඇතිකරගන්න පුළුවන්. පළවෙනි ධ්‍යානය බොහෝ වෙලාවක් පුරුදු පුහුණු කරන්න පුළුවන් වෙච්ච කෙනෙකුට පුළුවන් මනසිකාරයක් නැතිව සමාධියක් විතරක් පවත්වන්න. එතකොට ඔබට පුළුවනි දෙවෙනි ධ්‍යානයේ හිත පුහුණු කරන්න. දෙවෙනි ධ්‍යානයේ බොහෝ වෙලාවක් හිත දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන් තුන්වෙනි ධ්‍යානය පුරුදු කරන්න. තුන්වෙනි ධ්‍යානය බොහෝ වෙලාවක් පුරුදු කරගත්ත කෙනෙකුට පුළුවන් හතරවෙනි ධ්‍යානය පුරුදු කරන්න.
    🙏
    ගිහි ගෙදර අපටත් ධ්‍යාන….?
    ධ්‍යාන කියන වචනය ඇහෙන කොට සමහර විට තැති ගන්න පුළුවන්. බය වෙන්න පුළුවන්. අපි මේ ගිහි ගෙවල් වල ගතකරන අය. අපි කොහොමද මේ ධ්‍යාන වඩන්නෙ කියල. ඒක වෙන්නෙ ඔබ වටපිටාවේ නියම ධර්මය කතා කරන පිරිසක් නැති නිසාත්, ධර්මය පිළිබඳ ඔබේ විශ්වාසය දුරු කර?