සප්ත කන්‍යා ගුවන් අනතුරට අදට වසර 46 යි.

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ''කන්දේ හැපුන මහ වනන්තරේ
    ඩි.සි 8 ගුවන් යන්තරේ
    මරුවා ආ කල මිතුරේ
    බේරෙන්න බෑ සසරේ
    කාගෙද මට වරද නොතේරේ''
    මෙම ගීතය දශක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත් අදටත්ද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. මෙම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට අදට (4) ට වසර 46 ක් සපිරෙනු ඇත. 1974 දෙසැම්බර් 4 වැනිදා සිදුවූ එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බරපතලම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නොටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඒ සුන්දර පරිසරය වෙත අපි පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර “බිංදුව” (0) කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල හමුවේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම්, සිත් ගන්නා සුළු කඳුවැටිය දිස්වේ. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.
    ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳු පන්තිය දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳුවැටියකි. එසේම කඳු තරණය කරන්නන්ගේ පාරාදිසයක් වූ සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක් කළ මතකයකට හේතු පාදක වන්නට විය.
    මාර්ටින් එයා නමැති ගුවන් සමාගමට අයත් ඩී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184 ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10 ට අනතුරට පත්වී ඇති බව වාර්තා වල සඳහන් වේ. අනතුරින් එම යානය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගමන් කළ 191 දෙනාම ජීවිතක්‍ෂයට පත්වූහ.
    මෙම ගුවන්යානය 1966දී නිම කරන ලද PH-MBH ලෙස ලියාපදිංචි කර තිබූ මැක්ඩොනල් ඩග්ලස් DC-8 ගුවන්යානයකි. එය KLM ගුවන්සේවය විසින් වෙනස් කරන ලද ප්‍රැට් සහ විට්නි එන්ජින්වලින් සමන්විත වූවකි. මාර්ටින් එයාර් 138 ගුවන්යානයේ කාර්යමණ්ඩලය: ප්‍රධාන නියමුවා වූ හෙන්ඩ්‍රික් ලෑම්, පළමු නියමුවා වූ රොබර්ට් බ්ලොම්ස්මා, ගුවන්යානා ඉංජිනේරු ජොහැන්නස් විජ්නන්ඩ්ස්, නෞගණක ඉන්ග්‍රිඩ් වෑන් ඩ විලට් සහ ගුවන් සහයක හෙන්රියෙට්ටා බොර්ග්හොල්ඩ්ස්, අබ්දුල් හමීඩ් උස්මාන්, ලිලික් හෙරවාටි, ටිටියා වෑන් ඩිජිකුම්, සහ හෙන්ඩ්‍රිකා වෑන් හැම්බර්ග්.
    ලක්‍ෂපාන ජල විදුලිබලාගාරය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි ලක්‍ෂපාන දිය ඇල්ල ඉස්මත්තේ ඇති සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ (සප්ත කන්‍යා යනු කඳු හතකින් යුක්ත කඳු වැටියකි) ගුවන් යානයේ එක් තටුවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තටුව ගැටී ගුවන් යානය ඉදිරියට ගමන් කිරීමේ දී සප්ත කන්‍යා කඳු වැටියේ පස්වැනි කන්දේ අඩි කීපයක් ගල දිගට ඇඳී තිබූ රේඛාව වසර ගණනක් සුදුපාට වර්ණයෙන් දිස්ව තිබුණ ද මේ වන විට එය වල් වැදී මැකී ගොස් ඇති අයුරු දැක ගත හැකිය.
    එක්දහස් නවසිය හැත්තෑ හතරේ දෙසැම්බර් මස හතර වැනි දින සිදුවූ මේ ඛේදවාචකයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ, නෝටන් බි‍්‍රජ් පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කඳු වැටිය පිළිබඳව ලොව දසත ප‍්‍රසිද්ධියට පත්විය. ශ්‍රී ලංකාවේ ගීත රචකයන් කීප දෙනෙක් විසින් පබැදු ගී පද මාලා සුප‍්‍රසිද්ධ ගායකයන්ගේ හඬින් ගායනා කර කැසට් පට මගින් එවකට ප‍්‍රසිද්ධ වූයේ මේ අනතුරේ පසුබිම තොරතුරු ඇතුළත් කරමිනි.
    කාන්තාවක් සැතපී සිටින ආකාරයෙන් පිහිටි මේ සුන්දර සප්ත කන්‍යා කඳු ශිකරය බිලිගත් මාර්ටින් එයාර් ගුවන් අනතුර එදා සියැසින් දුටු අය බොහෝ පිරිසක් අද මියගොස් ඇති අතර තවමත් කීප දෙනෙක් අවට ගම්මාන වල සිටිති. වසර 40 ගෙවෙන මොහොතේ අප ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා කඳු පාමුල පිහිටි කොත්තැල්ලෙන නැමැති ගම්මානයට ගියේ ඔවුන්ගේ මතකය අවදි කිරීමටය.
    එහිදි හමුවූ ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ මහතා සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළේය.
    ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නෝටන්බ්‍රිජ්, කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටී.
    මේ ඔහු අප සමඟ පැරණි අත්දැකීම මෙලෙස විස්තර කළ කළේය.
    මම 1941 වසරේ ඉපදුණේ. ලංකා විදුලිබල මණ්ඩලයේ, ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේය. එදින රෑ 10.15 ට පමණ පොළවත් එක්ක හෙල්ලුණා. මම රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම සප්ත කන්‍යා ගල යටට ගියා.
    ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ ගුවන් යානයේ “කළු පෙට්ටිය.”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතනට බැස්සුවා.
    ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදී මාව ලිස්සලා ගිහින් ගහක රැදුනේ. මම තමයි කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නේ. ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා ඇවිල්ලා. ඒක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.
    සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි, කොත්තැල්ලෙන, මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම් අපට මෙසේ විස්තර කළේය.
    එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රිය සාදයක් සදහා සහභාගී වී එමින් සිටියදී මෙම අනතුර දැක ඇත. මේ ඔහු කියූ කතාවයි.
    මට නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුණා. ගිනි පත්තු වෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුණා. ඒ කන්දේ තියෙන්නේ බට පදුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පසුදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා.
    මිනිස්සු ඔක්කොම මැරිලා. කෑළි කෑළි වෙලා හැම තැනම මළ කඳන්. ඒවා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් ඒවා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙළිකොප්ටරයක් ආවා. ඒක මුරුත්තැන්නේ දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ.එ තන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගෙදරක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දළු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුණා.
    ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝෂයක්. සුදු මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන ඒක හැදුවා. අපි උදව් කළා එකේ වැඩ වලට. ඒ වෙනුවෙන් අපිට ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල් වලත් පාචිච්චි කලේ ලාම්පු නිසා.
    මුරුත්තැන්න තේ වත්තේ වත්මන් අයිතිකරු වන මංජුල එදිරිසිංහ මහතාය. මේ ඔහුගේ හඬය.
    මෙම ගුවන් අනතුර මුලින්ම දුටු අයෙක් මගේ පියා... ඔහු දැනට වසර කීපයකට පෙර මියගියා. අපි තමයි මේ කඳුවැටිය ආසන්නයේම පදිංචි වෙලා ඉන්නේ. මගේ පියා පවසා ඇති විදිහට 1974.12.04 වැනි දින හරියටම රාත‍්‍රි 10.10 ට මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අවදිව සිටි බවත් එක් වරම විශාල ශබ්දයක් සමග ප‍්‍රදේශයම ගිගිරුම් දුන් බව පැවසුවා. නිවසින් පිටට ඇවිත් බලන විට ඉහළින් පිහිටි සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් ඇවිලී යන අයුරු දැක්ක බවත් කීවා. තාත්තා සැනෙකින් නෝටන් බි‍්‍රජ් පොලිසියට කථා කර සිද්ධිය කියා තිබෙනවා. පොලිසිය සුළු වේලාවකින් පැමිණි පසු දැනගෙන තිබෙනවා ගුවන් අනතුරක් සිදුවෙලා කියලා.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මෙම ගුවන් අනතුර සියැසින් දුටු කොත්තැල්ලෙන ගම්වැසියෙක් වන ඊ.ජී. මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
    මේ අනතුර සිද්ධවෙනකොට මට අවුරුදු 18යි. මම ගෙදර හිටියේ. හරියටම 10.10ට විශාල ශබ්දයක් ඇහුණා. මුළු පළාතම හෙල්ලිලා දෙදරුම් කෑවා. අපිට හිතාගන්න බැරිවුණා. මම ගෙදර අයත් සමග එළියට ආවා. සප්ත කන්‍යා කන්දේ විශාල ගිනි ජාලාවක් දැක්කා. ඒ ගින්න ටික වෙලාවකින් කන්ද පුරා පැතිරී ගියා. මගේ බාප්පා එවකට පුවත්පත් වාර්තාකරුවෙක් ලෙස වැඩ කළා. ඔහු නෝටන් බි‍්‍රජ් පොලිසියට දැන්වූවා. රාත‍්‍රී 11.00 වෙනකොට පොලිසිය ආවා. මම රාත‍්‍රියේම ගමේ කීප දෙනෙක් එක්ක කන්ද ළඟට ගියා. පොලිසියේ හතර දෙනෙක් මා සමග ආවා.
    අපිට එදා රාත‍්‍රි මළ සිරුරු හමුවුණේ නෑ. ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තියෙනවා දැක්කා. රාත‍්‍රිය පුරා පට පට ගා ඇවිලෙන සද්දේ ඇහුණා. ඒ ගුවන් යානයේ ඇල්මිනියම් තහඩු පිච්චෙන සද්දේ. ඊට පසු දින පොලිසිය හා හමුදාවෙ මහත්තුරු විශාල පිරිසක් ආවා. මම හමුදාවෙ අය සමග කන්ද උඩටම නැග්ගා. මළ සිරුරුවල කෑලි හැමතැනම විසිවී තිබුණා. ගස් උඩ මළ සිරුරු කෑලි දකින්න ලැබුණා. රතු පාටට හැම තැනම ලේ. මස් කඩයක් වගේ තිබුණා. ගල උඩ තිබුණ මළ සිරුරු කොටස් හමුදාවෙ අය සමග උඩම වැළලූවා. ඒ අතර රෙදිපිළි හා පෙට්ටි විසිරී තිබුණා
    කන්ද පාමුල තිබුණ මළ සිරුරු හා කැබළි ගොඩක්. ඒවා සමූහ මිනී වළක කන්ද පාමුලම වැළලූවා. ගුවන් යානයේ එක් ගුවන් සේවිකාවකගේ මළ සිරුර ඇගේ පෙම්වතා ඇවිත් ගුවනින් ඉන්දුනීසියාවට රැගෙන ගියා. අනිත් ඒවා ඔක්කොම කන්ද පාමුල වැළලූවා. ප්ලේන් එකේ කළු පෙට්ටිය වැටුණ කියලා සැක කරපු කන්දේ උඩ පිහිටි ගල් දෙබොක්කාව ළඟට ආමි එකේ මහත්තුරුත් එක්ක මමත් ගියා. ඒක ගොඩක් ගැඹුරු වළක්. කළු පෙට්ටිය හොයාගන්න ලැබුණේ නෑ. ප්ලේන් එකේ කෑලි මිනිස්සු අරගෙන ගියා. පස්සේ පොලිසියෙන් ඒවා අරගෙන ගිය මිනිසුන්ට නඩු දැම්මා. ඒ කාලේ හැමදාම මේ ස්ථානයට හෙලිකොප්ටර් තුනක් හතරක් එනවා. පරීක්‍ෂණ කළා. ප්ලේන් එකේ ටයර් එකක් හමුවුණා. ඒක නෝටන් පොලිසියේ තියෙනවා. මේ සිද්ධිය බලන්න මිනිස්සු ලක්‍ෂ ගානක් ආවා. වාහන පෝලිම කිලෝමීටර් ගාණක් දුරට තිබුණා.
    කොත්තැල්ලෙන ග‍්‍රාමයේ වත්මන් ග‍්‍රාම නිලධාරි කේ.ජී. ගුණතිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
    සිද්ධිය වෙනකොට මට අවුරුදු 07යි. අපි එදා හිතුවෙ රැ සද්දෙත් එක්ක ලක්‍ෂපාන ගල කඩාගෙන වැටුණ කියලා. වැඩිහිටි අය හිතුවෙ එහෙමයි. සප්ත කන්‍යා කන්දට ගමේ පැරණි අය කියන්නේ ලක්‍ෂපාන ගල කියලයි. රැ එළිවෙනකම් එදා මේ කන්ද ගිනි ගත්තා. ඒ දවස්වල අපිට ඉස්කෝලේ නිවාඩු දීලා වගේ. පාලූ ප‍්‍රදේශයක් වුණ මේ පළාතට මේ සිද්ධියත් එක්ක ලොකු ප‍්‍රසිද්ධියක් ලැබුණා. කන්ද පාමුල සමූහ මිනී වළක අනතුරින් මියගිය අය මිහිදන් කරපු තැන ඉන්දුනීසියාවේ අය පැමිණ ඉතා අලංකාර ලෙස හැදුවා.
    එම ස්ථානයේ අනතුරට පත් ගුවන් යානය අයිති මාර්ටින් එයාර් ගුවන් සමාගමේ නිල ලාංඡනය ස්ථාපිත කර තිබුණා. ඒ අයගේ ගුවන් සමාගමේ ලකුණ වන විශාල ගුරුලකුගේ රුවක් ද ස්මාරකයේ සවිකර තිබුණා. එම ගුරුලාගේ රුව හා නිල ලාංඡුනය මෑතක දී කිසියම් පිරිසක් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. එය ඉතා පහත් ක‍්‍රියාවක්. ගුවන් අනතුරින් මිය ගිය අයගේ ඥාතීන් වසරක් පාසා මෙම ස්ථානයට පැමිණ මළවුන් සිහිකිරීමක් කරනවා. මෙම ස්ථානය දැන් කැලෑ වැදිලා. කිසිවෙක් නඩත්තු කරන්නේ නෑ ඔහු කීය.
    මල්ලිකා හෙන්නායක (58) මහත්මිය
    අනතුර සිදුවන අවස්ථාවේ අපි ගොඩක් බයවුණා. විශාල ශබ්දය නිසා මුළු පළාතම දෙදරුම් කෑවා. ගෙදරින් එළියට ඇවිත් බලනකොට සප්ත කන්‍යා කන්ද ගිනිගෙන දැවෙනවා දැක්කා. වැඩිහිටි අය කන්දට ගියා. මගේ මහත්තයාත් බලන්න ගියා. ඔහු එහි තිබී ඩොලර් 10 නෝට්ටුවක් ගෙනවිත් තිබුණා. එය තාම මා ළඟ තිබෙනවා සිද්ධිය මතක් වෙන්න. ප්ලේන් එකේ කෑලි ඒ දවස්වල මිනිස්සු ගෙනියනවා දැක්කා. දැන්නම් ඒවා කා ළඟවත් නෑ. නෝටන් පොලිසිය ඉදිරිපිට ටයරයක් තියෙනවා යැයි පැවසුවාය.
    මෙම අනතුරට පත් මාර්ටින් එයාර් ඞී.සී. 08 ගුවන් යානය පැදවූ එක් ගුවන් නියමුවෙකු වන නෙදර්ලන්ත ජාතික පී. ලෑම්ප් මහතාගේ පුත‍්‍රයෙකු වන පී.ඒ. ලෑම්ප් මහතා දැනට වසර තුනකට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ මෙම ගුවන් අනතුර පිළිබඳව සොයා බලා සියලූ පාර්ශ්වයන් හමු වී වාර්තාමය වැඩසටහනක් කළ බව අප හා පැවසුවේ නෝටර් බි‍්‍රජ්, කිරිවන්එළිය ප‍්‍රදේශවල පදිංචි සංචාරක මාර්ගෝප දේශකයකු මෙන්ම පරිසරවේදියකු ද වන එම්.ආර්. චමින්ද නිරෝෂණ (නීල්) මහතාය. අපට ඔහු හමුවුණේ ඔහු පදිංචි සප්ත කන්‍යා කඳු පියස අසල දී ය. මේ ඔහු අපට කී දේය.
    දැනට වසර තුනකට පමණ පෙර අනතුරට පත් මාර්ටින් එයා ඩී.සී. 08 ගුවන් යානයේ එක් නියමුවකුගේ පුතා නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මට හමුවුණා. ඔහු සමග ඔහුගේ බිරිඳ ද පැමිණියා. මම ඔවුන් සමග ඒ අයගේ වාර්තා වැඩසටහනට සහභාගි වී සිද්ධිය වූ සප්ත කන්‍යා කන්දට ගියා. මෙම ගුවන් අනතුර සිදු වූ ආකාරය පිළිබඳ ඔහුට සමීක්‍ෂණයක් කිරීමයි අභිප‍්‍රාය වී තිබුණේ. ඔහු පී.ඒ. ලෑම්ප් මහතා. ඔහු මෙහිදී සියලූ සිද්ධීන් කැටිකොට වාර්තාමය සංයුක්ත තැටියක් නිපදවූවා. එහි පිටපතක් මට ද ලබා දුන්නා.
    ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් විදේශයේ සිට පැමිණ එම මෘත දේහයන් මිහිදන් කළ ස්ථානයේ දී ඔවුන් සිහිකර ආගමික වතාවත් කරන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.
    අප කොත්තැල්ලෙන ග‍්‍රාමයට ගිය අවස්ථාවේ දී එම ගම්වැසියන් කියූ කතාවක් මෙම ලිපිය අවසන් කිරීමට ප‍්‍රථම සඳහන් කිරීමට අදහස් කළෙමු. මහත්තයෝ මේ ප්ලේන් අනතුරේ දී පළාතේ සමහර අය ප්ලේන් එකේ කෑලි විකුණලා තියෙනවා. ඒ අය කාටවත් හරිගියේ නෑ. ළඟ දී කන්ද පාමුල තියෙන මිනී වළලපු තැන හදලා තියෙන ස්මාරකය කඩල සිහිවටන ඵලක වගයක් ගලවාගෙන ගිහින් තියෙනවා. පොදුවේ ගමේ අපිටත් ඒක අපවාදයක්. එහෙම කරපු අයට කවදාවත් දියුණුවක් නෑ. මේක සමන් දෙයියන්ගෙ අඩවිය මහත්තයෝ.
    123478795_3692173820807500_8199199400022529257_o.jpg

    123525388_3692173867474162_607454583060490957_o.jpg

    123716406_3692173064140909_3645300680414940458_n.jpg

    128391247_202485731372461_4140217340868862227_o.jpg

    128816964_2809240596001742_1179588772708839694_o.jpg

    #copied
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    අපේ අම්මල සීයල එහෙමත් ඕක බලන්න ගිහින් තිබ්බ ඒ දවස් වල..

    Runway එක ළඟයි කියල හිතල ඕනෙවට වඩා descend කරපු නිසා වෙච්ච විනාශයක් 😕😕😕