සම්මතයට පහරදෙන්න

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සම්මතයට පහරදෙන්න

    “භාතිය මම මුලින්ම මෙතන තිබ්බ කුණු වල වහලා දැම්මා. ඒ වලට තවදුරටත් කුණු දැමීම තහනම්. ඊට පස්සේ ළමයි ගේන ඉඳුල් වෙනමයි, කඩදාසි හා පොලිතීන් වෙනමයි එකතු කරන්න භාජන තිබ්බා. කුණු උනත් මේ කාලේ සල්ලි. අරයට මෙයාට නෙවෙයි, පාසලට මුදලක් එකතු කරන්න අවස්ථාවක්. ඒ නිසා මම අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ආයතනයකට කතා කලා. ඒගොල්ල දැන් ඒවා අරගෙන යනවා. පාසල් සංවර්ධන සමිතියට මුදලුත් ලැබෙනවා. ඔයා දන්නවනේ. දොර ඇරෙන්නේ නැත්නම්, මම එහෙම එකක් හදලා හරි දොර අරිනවා.”

    මෙහෙම කිව්වේ කටුනායක පැත්තේ කණිෂ්ඨ විද්‍යාලයක් වෙන ඩේවිඩ් සිල්වා පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන සුසන්ත කරුණාරත්න මහතා. ඒ පසුගිය දවසක නායකත්ව පුහුණු වැඩසටහනකට සම්පත් දායකත්වය ලබා දෙන්න එහි ගිය අවස්ථාවේ දී. සුසන්ත කොහොමත් නිර්මාණශීලී පුද්ගලයෙක්. අනික් අයට වඩා වෙනස්ව යමක් දැකීමේ හැකියාවක්, එහෙමත් නැත්නම් ප්‍රතිභාවක් ඔහු තුල තිබෙනවා. ළමයි කුණු ගෙනාවොත් ඒවා ගෙදර ගෙනයා යුතුයැයි නීතියක් කොළඹ ඇතැම් පාසල්වල ඇති බව මම අසා තිබෙනවා. නමුත් සුසන්ත වෙනස්. “වැඩේ කරගෙන යද්දි මට හිතුනා පාසල තමයි අවට පරිසරය සුද්ධ කරන්න හොදම තැන කියලා. මම ළමයින්ට කිව්වා ගෙදර කුණු ඉස්කෝලෙට ගේන්න කියලා. දැන් බඩු වැඩ. අපේ අපද්‍රව්‍ය කළමණාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ වීදුරු, අබලි ද්‍රව්‍ය, කඩදාසි වගේ දේවල් වෙන වෙනම එකතු වෙනවා. ඒවා මුදල් කලාම හැම සතේම එන්නේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට.” සුසන්ත සිනහ වෙමින් කියනවා. ඒ පාසලේ ළමයි ඉන්නේ 800 යි. හිතන්න, පාසල අවට ගෙවල් 800 ක් ඉබේම සුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, තවමත් ප්‍රාථමික මට්ටමේ පහසුකම් තිබෙන පාසලක් ඉහල මට්ටමකට ගැනීම සඳහා අරමුදලකුත් හැදෙනවා.

    මේ කතාව මට ලියන්න හිතුනේ වෙන කිසිවක් නිසා නෙවෙයි. අපි බොහෝ වෙලාවල්වලට වැඩක් කරන්න ගියාම, කෙරෙන්නට වඩා නොකෙරෙන්නට හේතු දකින්නට පුරුදු වී සිටිනවා. ඇයි මම මේක කලයුත්තේ කියන කාරණාවට වඩා, නොකෙරෙන්නට හේතු දකින්න පටන් ගත්තාම සිද්ධ වෙන්නේ වැඩේ ඉබේම ජෝන් බාස්ට යන එක. ඔබ මම අද ජීවත්වන ලෝකයේ ආදි මානවයා ගැන මදක් සිහියට නගා ගන්න. ඔහුට මොනවාද තිබුණේ. ඔබ මම භාවිත කරන ඇඳුම් පැලදුම්? නවීන තාක්ෂණික මෙවලම්? දියුණු මාර්ග? යාන වාහන? යන්ත්‍ර සූත්‍ර? නෑ මේ කිසිවක් ඔහුට තිබුණේ නෑ. ඔහු හුදෙක් නොදියුණු තවත් එක සතෙක් පමණයි. නමුත් අමතක කරන්න එපා, ඔහු කුතුහලයෙන් පිරුණු සතෙක්. ඔහු හැමවිටම හැම දෙයක් ගැනම ගවේෂණශීලී වූ සතෙක්. මිනිසාගේ නැට්ට කාලයක් යද්දි හැලිලා ගියාට, මිනිසාගේ දියුණුව සඳහා ඔහු විසින් යොදාගත් සිතිවිලි මෙහෙයවීමේ හැකියාව ඔබ තුල නොනැසී, ඒ වගේම වැඩිදියුණු වෙමින් පවතිනවා. නමුත් අප අද පුරුදු පුහුණු කර තිබෙන්නේ කුමක්ද? සාමාන්‍ය ප්‍රවේශ මාර්ගය ඔස්සේ අපි යමක් ජය ගන්නට උත්සාහ කරනවා. එය සාර්ථක නොවන තැන්හිදී අපි ඒ වෙනුවෙන් යළි උත්සාහ කිරීම අතහැර දමනවා. අපි සිතිවිලි මෙහෙයවා, අලුතින් යමක් කරන්නට සිතන්නේ නෑ. එයම අවසානයේ දී ඔබට පරාජය උරුම කර දෙනවා. නමුත් කල යුතුව තිබූ සියලු දේ තිබුණේ කා සතුවද? ඔබ සතුවමයි. ඔබ වෙහෙස වූවානම්, ඔබ වෙනස්ව හිතුවා නම්, ඔබේ ජීවිතයේ කොතරම් දේ වෙනස් කරගත හැකිව තිබුණා දැයි විමසා බලන්න. ඉතා දීර්ඝ ලැයිස්තුවක් ඉබේම ඔබ හමුවේ පහල වේවි.

    අර විදුහල්පති සුසන්තගේ ගතියට මම කැමති ඒ නිසා. නිසැකවම වෙනස් විදියට හිතුවාම කරන්න බැරි දේ කෙරෙන්න පටන් ගන්නවා. මම තවත් උදාහරණයක් ඔබට දෙන්නම්. ලෝකයේ මීටර් 400 කඩුළු මතින් දිවීමේ ඉසව්වේ සම්මතය තමයි කඩුළු දෙකක් අතර පියවර 15 කින් ධාවනයේ යෙදෙන එක. නමුත්, අමෙරිකාවේ ධාවකයෙකුට ඕනෑ වුණා මේක වෙනස් කරන්න. හේතුව ඔහු දැනගෙන හිටියා පියවර 15 කින් කඩුළු අතරේ දුවලා කවදාවත් මේ ඉසව්වේ ලෝක වාර්තාව තමන්ට පිහිටුවන්න බෑ කියලා. ඔහු පියවර 13 කින් කඩුළු අතරේ දුවන්න උත්සාහ කලා. පුහුණුවේ පලමු අවස්ථාවේදීම ඔහුට දැනුනා ඒක කරන්න ලේසි නෑ කියලා. හේතුව වේගය රදවා ගනිමින් දිගු පියවර තබද්දි දැනෙන වෙහෙස එන්න එන්නට වැඩියි. හැබැයි ඔහු අතහැරියේ නැහැ. එය පුහුණුවෙන අතරතුරේ තමන්ගේ දරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරන්නට ඔහු දිගටම ව්‍යායාම කලා. ගින්දර වෙනමත් පුළුන් වෙනමත් තිබ්බාම ඇවිලෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඔය දෙක ලං කලාම ඇවිලෙන්න පටන් ගන්නවා. ඔහු පියවර ගණන අඩු කරලා දරපු උත්සාහය සාර්ථක වුණේ නැතත්, ඊට දරාගැනීමේ හැකියාව වැඩි කරන්න පටන් ගත්ත ගමන් වුණේ ගින්දරයි පුළුනුයි එකට තිබ්බා වගේ වැඩක්. වැඩේ පත්තු වුණේ හිතන්නටත් බැරි විදියට. ජෝන් අකිබුවා 1972 මියුනිච් ඔලිම්පික්හිදී තියලා තිබුණු වාර්තාව අමෙරිකාවේ එඩ්වින් මෝසස් තමන්ගේ අතට ගත්තේ ඒ විදියට. ඔහු මේ ලෝක වාර්තාව හතර වතාවක්ම අලුත් කරන්නට සමත් වුණා විතරක් නෙවෙයි, ඔලිම්පික් රන් පදක්කම් දෙකක් ද දිනා ගත්තා. අදටත් වැඩිම වතාවක් තත් 48 ට අඩුවෙන් මීටර් 400 කඩුළු මතින් දිවීමේ තරග ඉසව්ව නිම කල ක්‍රීඩකයා ඔහුයි.


    232624__1524104292_58.153.204.229.jpg


    ඒ නිසා ඔබගේ හැකියාව තිබ්බාට විතරක් මදි. ඔබගේ නිර්මාණශීලී සිතුවිලිත් ඒ හා එකිනෙක බැඳෙන්නට ඕනෑ. නිර්මාණශීලී සිතුවිලි තිබ්බාට මදි. ඔබගේ හැකියාව ඒ හා එක්වන්නට ඕනෑ. පිටි, බටර් සහ සීනි වෙන වෙනම තිබ්බාම ඒවා පිටි බටර් සීනි පමණයි. හැබැයි ඔය සියල්ල පදමට මුසුකර උදුනේ පිච්චුවාම කේක් එකක් බවට පත් වෙනවා වගේ. ජයග්‍රහණය කරා යන ගමනේ එය තහවුරු කර ගැනීමට අවශ්‍යම නම්, සම්මතයේ හිර වෙන්නට එපා. පලමුවත්, දෙවනුවත් උත්සාහ කර හරියන්නේම නැතිනම්, වෙනත් වටයකින් ආයෙත් උත්සාහම කරන්න.

    භාතිය අර්ථනායක
    මානසික අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ළමයින්ට කිව්වා ගෙදර කුණු ඉස්කෝලෙට ගේන්න කියලා. දැන් බඩු වැඩ. අපේ අපද්‍රව්‍ය කළමණාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ වීදුරු, අබලි ද්‍රව්‍ය, කඩදාසි වගේ දේවල් වෙන වෙනම එකතු වෙනවා. ඒවා මුදල් කලාම හැම සතේම එන්නේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම ළමයින්ට කිව්වා ගෙදර කුණු ඉස්කෝලෙට ගේන්න කියලා. දැන් බඩු වැඩ. අපේ අපද්‍රව්‍ය කළමණාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ වීදුරු, අබලි ද්‍රව්‍ය, කඩදාසි වගේ දේවල් වෙන වෙනම එකතු වෙනවා. ඒවා මුදල් කලාම හැම සතේම එන්නේ පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට.

    :cool:මෙහෙම මිනිස්සුත් ලංකාවේ ඉන්නවා.:yes::yes: