සම්මා සංකප්ප - මහා චත්තාරීසක සූත්‍රයෙන්

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මහා චත්තාරීසක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳව දේශනා කළ කරුණු පිළිබඳව නැවත කියවීම සඳහා මීට පෙර ත්‍රෙඩ් දෙක බලන්න.

    1. සම්මා දිට්ඨිය යනු නිවැරදි දැකීමද?: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-සම්මා-දිට්ඨිය.2005707/

    2. ආර්ය මාර්ග අංග සඳහා සම්මා දිට්ඨිය මුල් වන බව: https://elakiri.com/threads/මහා-චත්තාරීසක-සූත්‍රයෙන්-ii-සම්මා-දිට්ඨිය-ගැන-තව-දුරටත්.2005848/


    * බුදුරජාණන් වහන්සේ මිත්‍යා සංකල්ප ගැන මෙසේ දේශනා කළ සේක.

    ~ කතමෝ ච භික්ඛවේ, මිච්ඡාසංකප්පෝ: කාමසංකප්පෝ, බ්‍යාපාදසංකප්පෝ, විහිංසාසංකප්පෝ. අයං භික්ඛවේ, මිච්ඡාසංකප්පෝ. ~

    පින්වත් මහණෙනි, කුමක්ද මිත්‍යා සංකල්පය කියන්නේ? කාම අරමුණු පිළිබඳව කල්පනා කරමින් සිටීම, ද්වේෂය ඇතිවෙන අයුරින් කල්පනා කරමින් සිටීම, හිංසාකාරී සිතුවිලි කල්පනා කරමින් සිටීම. පින්වත් මහණෙනි, මෙයයි මිත්‍යා සංකල්පය.


    * ලෞකික වශයෙන් වන සම්මා සංකල්පය......

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාසංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ: නෙක්ඛම්මසංකප්පෝ අව්‍යාපාදසංකප්පෝ අවිහිංසාසංකප්පෝ. අයං භික්ඛවේ, සම්මාසංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපධිවේපක්කෝ. ~

    පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබා දෙන සම්මා සංකල්පය කුමක්ද? ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මීම පිණිස කරන කල්පනාව, තරහකින් තොරව කරන කල්පනාව, හිංසා රහිත වූ කල්පනාව. පින්වත් මහණෙනි, ආශ්‍රව සහිත වූ, පින් කරන්නට අනුබල ලැබෙන, මත්තෙහි සැප විපාක ලබාදෙන සම්මා සංකල්පය නම් මෙයයි.


    * ලෝකෝත්තර වශයෙන් වන සම්මා සංකල්පය......

    ~ කතමෝ ච භික්ඛවේ, සම්මාසංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ: යෝ ඛෝ භික්ඛවේ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමංගිනෝ අරියමග්ගං භාවයතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පණා ව්‍යප්පණා චේතසෝ අභිනිරෝපනා වචීසංඛාරෝ. අයං භික්ඛවේ, සම්මාසංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. සෝ මිච්ඡාසංකප්පස්ස පහානාය වායමති සම්මාසංකප්පස්ස උපසම්පදාය. ස්වා’ස්ස හෝති සම්මාවායාමෝ. සෝ සතෝ මිච්ඡාසංකප්පං පජහති.~

    පින්වත් මහණෙනි, ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කුමක්ද? පින්වත් මහණෙනි, ආර්ය වූ සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගය ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් නුවණින් විමසීමක් ඇද්ද, විතර්කයක් ඇද්ද, සංකල්පයක් ඇද්ද, සිත තිලකුණු අරමුණට නගා ගැනීමක් ඇද්ද, සිත විදර්ශනා අරමුණෙහි පිහිටුවීමක් ඇද්ද, සිත විදර්ශනා අරමුණට නැංවීමක් ඇද්ද, ඒ සඳහා කරන විතර්ක විචාරයන් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට කියන්නේ ආර්ය වූ, ආශ්‍රව රහිත වූ, ලෝකෝත්තර මාර්ග අංගයක් වූ සම්මා සංකල්පය කියලයි.


    * සම්මා සංකල්පය ඇති කර ගැනීම.......

    ~ සතෝ සම්මාසංකප්පං උපසම්පජ්ජ විහරති. සා’ස්ස හෝති සම්මාසති. ඉති’ස්සිමේ තයෝ ධම්මා සම්මාසංකප්පං අනුපරිධාවන්ති. අනුපරිවත්තන්ති. සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාවායාමෝ සම්මාසති. ~

    එතකොට ඔහු මිත්‍යා සංකල්පය ප්‍රහාණය කිරීම පිණිසත්, සම්මා සංකල්පය උපදවා ගැනීම පිණිසත්, වෑයම් කරනවා. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමය වන්නේ. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා සංකල්පය අත්හරිනවා. සිහියෙන් යුක්තව සම්මා සංකල්පය උපදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔය ආකාරයට ඔහු තුළ ධර්ම තුනක් සම්මා සංකල්පයට අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. ඒ කවර තුනක්ද යත්; සම්මා දිට්ඨියත්, සම්මා වායාමත්, සම්මා සතියත් යන තුනයි.


    තෙරුවන් සරණයි!

    ඊළඟ ත්‍රෙඩ් එක: https://elakiri.com/threads/සම්මා-වාචා-මහා-චත්තාරීසක-සූත්‍රයෙන්.2006220/
     
    Last edited:

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    ☸️ බෞද්ධයා - The Buddhist Channel ☸️
    https://t.me/yovun_daham_sakmana
    ☸️හෙළ දහම් මග සමූහයේ ධර්ම දානයකි.

    🔆1. කෝධෝ 2. උපනාහෝ🔆


    අනුන්ට බණින තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන සමහරවිට තමාගේ වස්තුව වුව ද විනාශ කරන තමාගේ ජීවිතය වුව ද නසන රෞද්‍ර‍ වූ විරුද්ධ ස්වභාවය ක්‍රෝධය ය. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා සමහරවිට තමා ගේ බඩු ද බිම ගසා පොඩි කර විනාශ කරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි. තමාගේ අඹුදරුවන්ට තර්ජනය කරයි. පහර දෙයි. සමහරවිට මරා දමයි. එසේ කොට තමාගේ ජීවිතය ද නසා ගනියි. අන්‍යයන්ට අපරාධ කිරීම ගැන කියනුම කිම? මේ ක්‍රෝධය ලෝකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. ක්‍රෝධය හටගත් පුද්ගල තෙමේ මව්පියන්ට ද අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට ද අපරාධ කරයි. පැවිද්දන්ට ද අපරාධ කරයි. ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසු වූ අන් ගුණවතුන්ට ද අපරාධ කරයි. එයින් ඔහු ආ ගිය තැන ගැරහුම් ලබයි. දඬුවම් ද ලබයි. ක්‍රෝධය මෙසේ ලෝකවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වේ. කෝප වූ පුද්ගලයා සමහර විට මවුපියන් මරා කල්පයක් අපායෙහි පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍ය වේ. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර ගැනීම අපහසු ය.

    දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසුපි චෙතියෝ පි බෝධිම්හි පි පබ්බජිතෙසු පි අපරජ්ඣිත්වා මය්හං ඛමථාති අච්චයං දෙසෙති. තස්ස සහ ඛමාපනේන තං කම්මං පටිපාකතිකමේව හෝති.

    යනුවෙන් කෝප වූ මව්පියන්ට හෝ චෛත්‍යයට බෝධියට හෝ පැවිද්දාට හෝ අපරාධ කළ තැනැත්තාට ක්ෂමා කරවා ගැනීමෙන් එහි දෝෂය නැති කර ගත හැකි බව මනෝරථ පූරණී අට්ඨකතාවෙහි දක්වා ඇත්තේ ය. ක්ෂමාව ලබා ගැනීමෙන් නිදහස් විය හැක්කේ කුඩා අපරාධ ගැන පමණක් බව කිය යුතු ය. මව්පියන් මැරීම ආනන්තරිය කර්මයක් වන නිසා කවරාකාරයකින් වත් එහි විපාකය නො වැළැක්විය හැකි ය.

    මහානර්ථකර වූ මේ ක්‍රෝධය ඇති වුව හොත් එය සිය නිවසට ඇතුළු වූ සර්පයකු සේ ද, කුසට ඇතුළු වූ වසක් මෙන් ද සලකා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. යම්කිසි කරුණක් ගැන කෝපය ඇති වූ කල්හි එය වහා සන්සිඳවා නො ගත හොත් ක්‍ර‍මයෙන් වැඩේ. මුලින් ඇති වූ ක්‍රෝධය ක්‍ර‍මයෙන් පරුෂ වචන කියන තත්ත්වයට ද, පහර දීම සඳහා අත් පා ක්‍රියා කරවන තත්ත්වයට ද, ගල් මුල් පොලු වලින් පහර දෙන තත්ත්වයට ද, කඩු කිණිසි වලින් පහර දෙන තත්ත්වයට ද, ගෙවල් ගිනි තබන බඩු විනාශ කරන තත්ත්වයට ද සිය දිවි නසා ගන්නා තත්ත්වයට ද දියුණු වේ. මෙසේ ක්‍රෝධය දියුණු වන්නේ කිපී ඇත්තේ මමය කියා ක්‍රෝධය ආත්ම වශයෙන් හෝ මාගේ ක්‍රෝධය කියා ආත්මීය වශයෙන් හෝ සැලකීම නිසා ය. ක්‍රෝධය එසේ ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ නො ගෙන තමාගේ පඤ්චස්කන්ධය නමැති ගෙට ඇතුළු වූ සර්පයකු ලෙස විෂක් ලෙස සලකන්නවුන්ට ක්‍රෝධය නො වැඩේ. ඔවුනට සර්පයා පලවා හරින්නාක් මෙන් ක්‍රෝධය පලවා හැරිය හැකි ය.

    ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අඟුරු අලුයෙන් යට වූ විට කලක් නිසල ව පවතී. එමෙන් පටන් ගැන්මේ දී ක්‍රියාකාරිත්වයෙන් පැවති ක්‍රෝධය එහි අධික වේගයෙන් සන්සිඳී අලුයෙන් යට වූ ගිනි අඟුර මෙන් සිත්සතන්හි යට වී පවතී. එය අප්‍ර‍කට ය. ඒ තත්ත්වයට පැමිණි ක්‍රෝධය උපනාහ නම් වේ. වෛරය යනු ද එයට නමෙකි. වෛරය ලෙහෙසියෙන් නො සන්සිඳෙන දීර්ඝ කාලයක් පවතින ක්ලේශයෙකි. සමහරවිට එය එක් ජාතියකදී කෙළවර නොවී කාළි යකින්නගේ වෛරය මෙන් ද, දෙවිදත්ගේ වෛරය මෙන් ද භවාන්තරයට ද යන්නේ ය. වෛරය නිසා බෝසතාණන්ට අපරාධ කොට දෙවිදත් බොහෝ වාර ගණනක් අවීචියෙහි උපන් බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේ ය.

    න හි වේරේන වේරානි -සම්මන්තීධ කුදාචනං,

    අවේරේන ච සම්මන්ති - එස ධම්මෝ සනන්තනෝ

    (ධම්මපද යමක වග්ග)

    කෙළ සෙම් සොටු මළ මුත්‍රයෙන් අපවිත්‍ර‍ වූ තැනක් ඒවායින් ම සෝදා පිරිසිදු නො කළ හැකි ය. පිරිසිදු කරන්නට ය කියා ඒවායින් සේදුවහොත් ස්ථානය වඩාත් අපවිත්‍ර‍ වන්නේ ය. වඩා දුගඳ වන්නේ ය. බණින්නහුට පෙරළා බැණීමෙන්, පහර දෙන්නහුට පෙරළා පහර දීමෙන් වෛරදය නො සන්සිඳේ. එයින් වෛරය වඩාත් දියුණු වේ. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර‍ ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති මෛත්‍රි ආදි අවෛරයෙන් ම වෛරය දුරු වේ. මේ බුද්ධාදි මහෝත්තමයන් ගිය පෞරාණික මාර්ගය යයන ඉහත දැක්වූ ගාථාවේ අදහස ය.
    ------ Post added on Aug 28, 2021 at 8:38 PM

    ❇️3. කෝධෝ චිත්තස්ස උපක්කිලේසෝ❇️

    සිත්හි හටගන්නා වූ දණ්ඩෙන් තළනු ලැබූ සර්පයකු සේ අන්‍යයන්ට විරුද්ධ වූ නැගී සිටින ස්වභාවය ක්‍රෝධ නම් වේ. මෙය ගින්නක් සේ රෞද්‍ර‍ වූ ද සන්තානය දවන්නා වූ ද පෙළන්නා වූ ද ධර්මයකි. එහි ඇති දවන තවන ස්වභාවය ක්‍රෝධයෙන් මඩනා ලද සිත් ඇති පුද්ගලයා දෙස බැලීමෙන් ම දත හැකි ය. සිත්හි ක්‍රෝධය හටගත් කල්හි එයින් පළමු කොට සිත තවයි. ඉක්බිති ශරීරය දවන්නට තවන්නට පටන් ගනී. එයින් ඒ පුද්ගලයාගේ මුහුණෙහි පැවති සෞම්‍ය ස්වභාවය හා ප්‍ර‍කෘති පැහැය ද අතුරුදහන් වෙයි. කාලවර්ණයෙන් හෝ රක්තවර්ණයෙන් යුක්ත වූ රෞද්‍ර‍ ස්වභාවයක් පහළ වෙයි. හෘදය වස්තුව විශේෂයෙන් සැලෙන්නට වේ. හෘදය වස්තුව සැලෙත්ම මුළු ශරීරයමත් සැලෙන්නට වේ. ශරීරයෙන් ඩහදිය ගලන්නට වෙයි.

    මෙය ව්‍යාපාදයාගේ උත්පත්ති හේතු වශයෙන් කී නවාඝාත වස්තූන් නිසා උපදනේ ය. අසත්පුරුෂයන්ට හා මෝඩයන්ට අස්ථානයෙහි ද ක්‍රෝධය හටගන්නේ ය. අසත්පුරුෂයන් අකාරණයෙහි කිපෙන සැටිත් ඔවුන් එයින් ම විනාශ වන සැටිත් මතු දක්වන කථාවෙන් දතයුතු.
    ------ Post added on Aug 28, 2021 at 8:40 PM